සිංහල අවුරුද්ද එන්න ඉස්සෙල්ලම මේ රටේ ජනතාවට සහන දෙනවා


බලශක්ති රාජ්‍ය ඇමැති  රෝහිත අබේගුණවර්ධන  

රටේ ​දේශපාලනය දිනෙන් දින ගිනියම් වෙමින් තිබේ. මේ ඒ දේශපාලන තත්ත්වය පිළිබඳවත් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් බලශක්ති රාජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- හාල් මිල, එළවළු මිල ගිනි ගණන්. ඒවා අමතක වෙන්න ආණ්ඩුව විවිධ සංදර්ශන පවත්වමින් ඉන්නවා?  


පිළිතුර:- හාල් මිලත් එළවළු මිලත් වැඩි වෙලා කියලා අපි පිළිගන්නවා. අපි නොවැම්බර් මාසෙ 17 වැනිද‌ා තමයි බලයට පත් වුණේ. පහුගිය ඉතිහාසය පුරාම පොහොර සහනාධාරය කප්පාදු කරලා කරපු වැඩවල ප්‍රතිඵල තමයි අපට මේ භුක්ති විඳින්න වෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- ජනතාවට ඕනෑ හේතු නොවෙයි, උත්තරයි.  


පිළිතුර:- මම පිළිගන්නවා. නමුත් මේ තත්ත්වය ඉබේ ඇතිවෙච්ච දෙයකුත් නොවෙයි. මේ රටේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් වෙළෙඳපොළට කරන බලපෑම සරළ නෑ. ඒකට කළ යුතු දේත් අපි දැන් හොයලා බලලා කරමින් ඉන්නේ. විශේෂයෙන් එළවළු මිල ඉහළ යන්න වර්ෂාවත් බලපෑවා. ආණ්ඩුවක් ගත්තු ගමන්ම මේ වගේ අර්බුදවලට ක්ෂණිකව පිළිතුරු දෙන්න අමාරුයි. හැබැයි ඔබ කිව්වා වගේම පහුගිය ආණ්ඩුව වගේම හේතු ඉදිරිපත් කර කර අපි ඉන්නේ නෑ. මෙතැන වැරැද්ද කොතැන ද වෙන්නේ එතැනට අවශ්‍ය වැඩපිළිවෙළ හදලා විශේෂයෙන්ම සිංහල අවුරුද්ද එන්න ඉස්සෙල්ලා මේ රටේ හාල් මිලත් එළවළු මිලත් අඩුකරලා, ජනතාවට සහන දෙන්න අපි කටයුතු කරනවා.  


ප්‍රශ්නය:- චම්පික රණවක, රාජිත සේනාරත්න වගේම රන්ජන් රාමනායක පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. උසාවියෙන් ඇප ලැබෙනවා. මේක දේශපාලන දඩයමක් නොවෙයි ද?  


පිළිතුර:- රටේ ප්‍රධානම දේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒ වගේම ස්වාධීන අධිකරණය. මේ දෙක දිහා බලනකොට 2015 සිට 2019 දක්වා බැලුවොත් බොහොම පැහැදිලිව දේශපාලන දඩයම් තමයි කළේ. බැසිල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවට ගත්තා. මහ රෑ කඩුවෙල උසාවියට අරගෙන ගියා. චෝදනාව ප්‍රාදේශීය සභාවලට යකඩ බට ලබාදීම හා සමෘද්ධිලාභීන්ට නිවාසාධාර ලබාදීම. හිරේ දැම්මා. මාස තුනක් හිරේ හිටියා. ඇප නෑ. බැසිල් මහත්තයාට ඇප නොදීමේ තීන්දුව අධිකරණ තීන්දුවක් නොවෙයි දේශපාලන තීන්දුවක්. ඒකනේ ඇප නැතිවෙන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමාව අත්අඩංගුවට ගත්තා. මාසයක් විතර රිමාන්ඩ් කරනවා. එළියට ද‌ානවා. ඊට පස්සේ නඩු අහනවා. නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනවා. බී වාර්තාවකින් රිමාන්ඩ් කරන එක දේශපාලන තීන්දුවක්. ඔය කාරණා එක්ක බලනකොට චම්පික හිටපු ඇමැතිවරයාව අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ ඔහුට ඇප ලැබෙනවා. ඒක අධිකරණ තීන්දුවක්. රාජිත සේනාරත්න සිද්ධිය ගත්තත් ඒ විදියමයි. පහුගිය ආණ්ඩුව කාලේ ඇප නොලැබෙන්න හේතුව බොහෝම පැහැදිලිව දේශපාලනික තීන්දු.  


ප්‍රශ්නය:-- වැරැද්ද කවුරු කළත් වැරැදියි?  


පිළිතුර:- ඒක තමයි මම කියන්නේ. අපි එහෙම වැරැදි කරන්නේ නැහැ කියලා. රන්ජන් රාමනායකගේ හා සීඅයිඩී එකේ හිටපු ප්‍රධානි ශානි අබේසේකරගේ හඬ පටි අරගෙන බලන්න. ඒ වගේම විනිසුරුවරියක් එක්ක හා විනිසුරුවරුන් එක්ක කරන සාකච්ඡා තියෙනවා. කොහොමද නීතිය නවලා තියෙන නැවිල්ල. දිල්රුක්ෂි ඩයස් වගේම සුහද ගම්ලත් මහත්මයා අනාවරණය කළා. කරපු බලපෑම් ගැන. ඒ අය අධිකරණය අතට අරගෙන බලපෑම් කරලා නඩු ද‌ාලා අපේ මැති ඇමැතිවරුන් හිර කළා කියන එක ඉතාම පැහැදිලියි. අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන ආණ්ඩුවක් මිස නීතිය අතට අරගෙන පිස්සු නටන ආණ්ඩුවක් නොවෙයි. අධිකරණය තමයි අද තීරණය කරන්නේ ඇප දෙනව ද නැද්ද කියලා.  


ප්‍රශ්නය:- මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට අවශ්‍ය අය තෝරා තෝරා දඩයම ක්‍රියාත්මක කරන බවත් කියැවෙනවා?  


පිළිතුර:- රනිල් වික්‍රමසිංහට අවශ්‍ය දේ කරන්න නොවෙයි අපේ රජය බලයට පත් වුණේ. අපි බලයට පත් වුණේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරන්න. රනිල් වික්‍රමසිංහ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. එතුමා එතුමාගේ පක්ෂයේ වැඩ කටයුතු ටික බලා ගනීවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් අපේ ආණ්ඩුවේ වැඩකටයුතු ටික බලාගන්නවා.  


ප්‍රශ්නය:-ඒ කියන්නේ මේවා වෙන්නේ ඩීල් එකකට නොවෙයි?  


පිළිතුර:- අපිට කිසිම ඩීල් එකක් නෑ. අපි අපේ දේශපාලන ගමන යන්නේ යහපාලන ආණ්ඩුව කරපු දේවල් කරන්න නොවෙයි. අපි රජයක් විදියට කරමින් යන්නේ ජනතාව ඉල්ලපු දේවල්. ජනතාවට අවශ්‍ය දේවල්.  


ප්‍රශ්නය:-ඔය තරම් උනන්දුවෙන්ම ඇයි බැඳුම්කර හොරු අල්ලන්නෙ නැත්තේ කියලා ප්‍රශ්න කරන අයත් ඉන්නවා?  


පිළිතුර:- බොහොම හොඳ ප්‍රශ්නයක්. බැඳුම්කර හොරකම මේ රටේ ජනතාවගේ මතකයේ උඩින්ම තියෙන එකක්. බැඳුම්කර හොරකම කළේ කවුරුවත් නමුත් විඳවන්නේ මේ රටේ ජනතාව. මේ ආර්ථික අර්බුදය ඒ හොරකමේ එක් ප්‍රතිඵලයක්. ඒ නිසා අපි ජනාධිපතිතුමා එක්ක කරපු පක්ෂ නායක රැස්වීමේදීත් ඇමැතිවරුන් එක්ක කරන සාකච්ඡාවලදීත් අපි ඉල්ලීමක් කළා. ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ප්‍රමාදයකින් තොරව කරන්න කියලා. මේක කරන්න මේ පිළිබඳ විශේෂඥ දැනුම තියෙන නිලධාරීන් යොදවන්න කියලත් අපි ඉල්ලීමක් කළා. මේ වෙන විට ඒක ක්‍රියාත්මකයි. හෙට අනිද්ද‌ා වෙනකොට බැඳුම්කර වංචාවට සම්බන්ධ අය, ඒ අය සම්බන්ධ වෙච්ච හැටි, උදව් කරපු හැටි, දේශපාලන නායකයන්ගෙන් ඒකට ලැබුණු උදව් මොනවා ද? මේ ආදී වශයෙන් සියලු තොරතුරු අනාවරණය වේවි. ඒ වගේම ඒ අපරාධකරුවන්ට දඬුවම් ලැබේවි.  


ප්‍රශ්නය:-ඇයි එහෙනම් බැඳුම්කර වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් කරන්නේ නැත්තේ?  


පිළිතුර:- පාර්ලිමේන්තුව කැඳෙව්වේ පහුගිය අඟහරුවාද‌ා සහ බද‌ාද‌ා දින දෙකේදී. ඒ දිනවලට අද‌ාළ න්‍යාය පත්‍රය මුලින් හදලා ඉවරයි. අපි පාර්ලිමේන්තුවට කිව්වේ මේ බැඳුම්කර වාර්තාව විතරක් නොවෙයි බැඳුම්කරය සම්බන්ධ ඩිව් ගුණසේකර වාර්තාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලයි. පාර්ලිමේන්තුවට විතරක් නොවෙයි රටේ පොදු ජනජනතාවටත් ඉදිරිපත් කරනවා.  


ප්‍රශ්නය:-ජනාධිපතිවරණ වේදිකාවේදී කිව්වේ ‘සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා’ කියලයි. නමුත් කිසිම වැඩපිළිවෙළක් නෑ?  


පිළිතුර:- මේ වෙන විට මුළු රටේම ආසන මට්ටමින් ඒ උපාධිධාරීන්ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කරමින් තොරතුරු ඒකරාශී කරගනිමින් ඉන්නවා. දිසාපතිවරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තියෙනවා.  


ප්‍රශ්නය:- රැකියාව දෙන්නේ මන්ත්‍රීවරයාගේ ලැයිස්තුවට අනුව?  


පිළිතුර:- සත්තකින්ම නෑ. මේ රටේ ජනතාව බලවත් පිළිකුලෙන් ඒ දේශපාලනය ප්‍රතික්ෂේප කළා. මේක දේශපාලන කාරණ මුල්කරගෙන කරන දෙයක් නොවෙයි. පොහොට්ටුවට වැඩ කළා ද? හංසයාට වැඩ කළා ද? වෙන කාට හරි වැඩ කළා ද කියලා කිසිම සොයා බැලීමක් නෑ. යම්කිසි කෙනෙක් උපාධියක් අරගෙන තියෙනවා නම් ඔහුගේ උපාධියට ගැළපෙන ඔහුගේ සුදුසුකමට ගැලපෙන රැකියාවක් ලබාදීම තමයි අපේ රජයේ වගකීම.  


ප්‍රශ්නය:-උපාධිධාරීන්ට රැකියා දෙන්න තව කොච්චර කාලයක් යයි ද?  


පිළිතුර:- වැඩි කාලයක් යන්නේ නෑ. ඉතාම ඉක්මනින්ම දෙනවා. දැන් අපිට ආරංචියක් තියෙනවා සමහරු හදනවා රැකියා විරහිත උපාධිධාරීන් පාරට බස්සන්න. මොකද ඒ අය දන්නවා වැඩි කාලයක් යන්න කලින් අපි සියලුම උපාධිධාරීන්ට රැකියා දෙනවා කියලා. එතකොට උපාධිධාරීන්ට ඒ අයට කියන්න පුළුවන් ‘ඔන්න අපි සටන් කරලා තමයි රැකියා ලබා දුන්නේ’ කියලා. ඒ නිසා මම කියනවා කරුණාකරලා ඒ ප්‍රෝඩාව කරන්න එපා. අපි අනිවාර්යයෙන්ම සියලුම උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා. ප්‍රමාදයකට තියෙන්නේ ඔවුන්ගේ තොරතුරු එකතු කිරීමට කාලය ගත වීමයි.  


ප්‍රශ්නය:-අලුතෙන් කිසිම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරන්නේ නැහැ. සල්ලි නැති නිසා කියලා ආණ්ඩුව කියනවා?  


පිළිතුර:- එක පැත්තකින් මේකේ කාරණා දෙකක් තියෙනවා. මාර්තු මාසයේ මුල් සතිය වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. එතකොට මැතිවරණ කාල සීමාවක් එන්නේ. මැතිවරණ කාලයකදී සංවර්ධන කටයුතු කරන්න ගියාම බරපතළ ප්‍රශ්න මතු වෙනවා. මැතිවරණ කාලයේ මුල්ගල් තැබීමේ උත්සව කරනවා කියලා චෝදනා නැගෙනවා. අනික් කාරණය තමයි අපි දැන් යන්නෙත් අතුරු සම්මත ගිණුමක් සම්මත කරගෙනයි. රජයක් හරියට ශක්තිමත්ව ලබාගෙන තමයි 2020 ට අයවැයක් ඉදිරිපත් කළ යුත්තේ. ඒ විදියට යනකොට අපි සැලසුම් කර තිබෙන දැවැන්ත සංවර්ධන යෝජනා ආරම්භ කරන්න පුළුවන් වෙනවා.  


ප්‍රශ්නය:- සල්ලි හොයා ගන්නේ කොහොම ද?  


පිළිතුර:- පහුගිය ආණ්ඩුවේ තිබුණ නොහැකියාව අපි දැක්කා. නමුත් අපට එහෙම ප්‍රශ්නයක් නෑ. අපේ රජය බලයට පත්වීමත් සමග ලෝකයේ අනෙකුත් රටවල විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා අපේ රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා කියලා. ජනාධිපතියි අගමැතියි රණ්ඩු කරන්නේ නැති දෙන්නා දෙපැත්තට අදින්නේ නැති එක දැක්මක් තියෙන සමගි සම්පන්න ස්ථාවර ආණ්ඩුවක් රටේ තියෙනවා. ඒ පිළිගැනීම ජාත්‍යන්තරය තුළ තිබෙනවා. අන්න එතකොට අපිට පුළුවන් ඒ සියලු දෙනාගේ සහයෝගය ලබාගෙන මේ රට ඉදිරියට ගෙනියන්න. ඔබ අද ගිහිල්ලා මේ ර​ටේ ව්‍යාපාරිකයන්ගෙන් අහන්න. ඔවුන් අද කියන්නේ බිස්නස් හොඳ පැත්තට හැරෙමින් තිබෙනවා කියලයි. ඒ කියන්නේ දේශීය වශයෙන් ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ තත්ත්වයත් ප්‍රයෝජනයට අරගෙන ජාත්‍යන්තර සහයෝගයක් ලබාගෙන රටට අවශ්‍ය සංවර්ධනය ලබා දෙන්න අපට පුළුවන්.  


ප්‍රශ්නය:-විපක්ෂයේ ඉන්න කාලේ අගමැති මහින්ද රාජපක්ෂ කිව්වේ ‘අපේ දේපොළ මිලදී ගන්න එපා. අපේ රජයක් යටතේ ඒවා නැවත පවරා ගන්නවා’ කියලා. දැන් හම්බන්තොට වරායට මොකද වෙන්නේ?  


පිළිතුර:- හම්බන්තොට වරායට අද‌ාළව අගමැතිතුමා මුලින්ම කරපු කාර්ය තමයි චීන තානාපතිතුමා එක්කත් චීන රජයත් සමගත් කතා කළා. මේ ගිවිසුම අත්සන් කිරීම තුළම මහා භයානක තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ. වරායක් විකුණන්න බෑ. වරායක අයිතිය ව්‍යවස්ථාවෙන්ම හඳුන්වන්නේ ආරක්ෂක මර්මස්ථානයක් විදියටයි. එ් නිසා මෙතැන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ තර්ජනයක් තියෙනවා. මේ ගැන චීන තානාපතිතුමා සමග අගමැතිතුමා සාකච්ඡා කළා. ජනාධිපතිතුමත් අගමැතිතුමත් පක්ෂ නායක රැස්වීමේදී අවධාරණය කළා චීන රජයත් සමග කතා කරලා මේ ගිවිසුම ගැන අවබෝධයක් ඇති කරගෙන කොහොමද මේ වරාය නැවත රටට අයිතිකර ගන්න සාකච්ඡා කරනවා කියලා. විජයද‌ාස රාජපක්ෂ මැතිතුමා මගේ මතකයේ හැටියට මේ වරාය නැවත ගන්න අධිකරණයේ නඩුවකුත් ගොනු කරලා තියෙනවා. මේක යහපාලන ආණ්ඩුව කරපු වංචනික වැඩපිළිවෙළක්. චීන රජයත් සමග සාකච්ඡා කරලා මේක නැවත රටට අත්පත් කරලා දෙන්න ජනාධිපතිතුමත් අගමැතිතුමත් කටයුතු කරනවා.  


ප්‍රශ්නය:- ඡන්දය කාලේ බොහොම නරකයි කියපු එම්.සී.සී. ගිවිසුම නැවත අධ්‍යයනය කරන්න ආණ්ඩුව තීරණය කළා. දැන් ඒ ගිවිසුම හොඳයි ද?  


පිළිතුර:- එම්.සී.සී. ගිවිසුම ගැන තාම අධ්‍යයනය කරනවා. මගේ පෞද්ගලික මතයත් අපේ බහුතර මතයත් මේකේ අහිතකර වගන්ති සියල්ලම අහෝසි කළ යුතුයි. ඒ ගිවිසුම අනිවාර්යයෙන්ම දැඩි විමර්ශනයට ලක්කළ යුතු බවයි මම කියන්නේ.  


ප්‍රශ්නය:-අලුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමද‌ාසයි. ආණ්ඩුවට ලේසි වෙන එකක් නෑ?  


පිළිතුර:- අපි ජනාධිපතිවරණය ගැන සාකච්ඡා කරන කොට මම පක්ෂ නායක රැස්වීම්වලදී කියපු දෙයක් තමයි විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කවුද කියන එක අන්තිම මොහොත දක්වාම ප්‍රශ්නයක් වෙලා තිබුණ වෙලාවේ මම කිව්වේ රනිල් වික්‍රමසිංහ වෙනුවට සජිත් ආවොත් අපිට තවත් වාසියි කියලා. ඒකට හේතුව එජාප කඳවුරේ ලොකු වීරයා තමයි සජිත්. එයාට ගැහුවම මුළු කඳවුරටම වදිනවා. ඒ නිසා ජනාධිපතිවරණයේදී අපි ගැහුවේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා කියපු හොඳම වීරයාට. ඡන්ද ලක්ෂ 14 කින් පරාජය කළේ. එහෙම කෙනෙක් විපක්ෂනායක වුණා කියලා අපිට නම් කිසිම අභියෝගයක් හරි ප්‍රශ්නයක් හරි නොවෙයි. නොවැම්බර් 17 වෙනිද‌ා එළිවෙනකොට ඔය විපක්ෂනායකතුමා හැංගුණ තැනක්වත් හොයාගන්න බැරි වුණා. ඩයිනමෝව හොඳයි කියලා කිව්වට කිසිම කැපැසිටි එකක් නෑ කියලා කිව්වේ රන්ජන් රාමනායකමයි. ඉතින් එයා ගැන හිතාගන්න පුළුවන්නේ.  

ප්‍රශ්නය:- මහ මැතිවරණය සම්බන්ධයෙන් තියෙන බලාපොරොත්තුව?  


පිළිතුර:- මහ මැතිවරණයේදී අපි අනිවාර්‌‌යයෙන්ම තුනෙන් දෙකක බලයක් සහිත ජයග්‍රහණයක් ලබනවා. ඒ සම්බන්ධයෙන් කිසිම අවිශ්වාසයක් නෑ.

 

 

සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්