වැඩ කරලා පෙන්වන්න ආණ්ඩුවට අපි ටික කාලයක් දෙනවා


ජාතික සමගි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී 
මනෝ ගනේෂන්  

  • මේ අවස්ථාවේ තමයි ඉතිහාසයේ හොඳම විපක්ෂය බිහිවෙලා තිබෙන්නේ.

 

හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඉරිද‌ා ලංකාදීපය සමග මෙසේ සාකච්ඡාවකට එක්වේ.

   
•අලුත් ආණ්ඩුවක් දැන් පත්වෙලා. ඔබලා විපක්ෂයට ගිහින් කො​හොම ද අලුත් තත්ත්වය?   
 
දැන් අලුත් ආණ්ඩුවක් පත්වෙලා තියෙනවා. ජනාධිපතිවරයා පත්වුණා ගිය අවුරුද්දේ නොවැම්බර්වල. ඒ ගොල්ලො ආණ්ඩු බලය එයාලට දෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලුවා. ජනතාව දැන් ඒක එයාලට දීලා තියෙනවා. තුනෙන් දෙකට කිට්ටු බලයක් ලබාදීලා තියෙනවා. ඒක හොඳයි. ආණ්ඩුවට දැන් දීපු පොරොන්දු ඔක්කොම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉෂ්ට කරන්න පුළුවන්. එයාලා කිව්වෙ ඒ ඔක්කොම කරන්න තුනෙන් දෙකේ බලයක් දෙන්න කියලා. දැන් ඉතින් ඒක හරි. දැන් ආණ්ඩුවට තියෙන්නේ වැඩ කරන්න.
ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදි එයාලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කළා. දැන් ඒ ප්‍රතිපත්ති අකුරටම ඉෂ්ට කරන්න කිසිම බාධාවක් නෑ. ඒවා ඉෂ්ඨ කරන්න කියලා ආණ්ඩුවට මතක් කරමින් ඉෂ්ඨ කරනවද නැද්ද කියලා අපි සෝදිසියෙන් බලාගෙන ඉන්නවා.   
 
විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන්න හරි හමන් විපක්ෂයක් තියෙනවද කියලා සමහරු අහනවා. ඇත්තටම විපක්ෂයේ හයියක් තියෙනවද මේ වෙලාවේ.?   
 
කවුද එහෙම අහන අය? එහෙම අහන අයට කියන්න බය වෙන්න එපා කියලා. කලබල වෙන්නත් එපා කියන්න ඒ අයට.   
 
මේ අවස්ථාවේ තමයි ඉතිහාසයේ හොඳම විපක්ෂය බිහිවෙලා තියෙන්නේ. මොකද මීට පෙර තිබුණු විපක්ෂය ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා. ජාතිවාදය අන්තවාදය අවුස්සලා ඒක තමන්ට බලය ලබා ගැනීමේ ගමනේ පදනම කරගෙන වැඩ කරපු විපක්ෂයක්. හෘදසාක්ෂියක් තියෙන ඕනෑ කෙනෙක් ඒක පිළිගන්න ඕනෑ. අපි එහෙම හැසිරෙන්න යන්නේ නෑ. ඒ නිසා මේ වෙලාවේ ප්‍රගතිශීලි විපක්ෂයක් රටේ තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි. ආණ්ඩුව හරි දේ හොඳ දේ කරනකොට ඒකට සහයෝගය ලබාදීමත් ආණ්ඩු වැරදි දේවල් කරද්දී ඒවට විරුද්ධව කටයුතු කිරීමත් විපක්ෂයේ වගකීමක්. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සටන් කරනවා රටට අගතියක් වෙන කිසි දේකට අපි විපක්ෂය විදිහට ඉඩ තියන්නේ නෑ. ආණ්ඩුවට තමන් කියපු දේවල් මතක නැති වෙනකොට අපි ඒවා මතක් කරලා දෙනවා.   
 
ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් තියෙන වෙලාවක විපක්ෂයට මහ ලොකු හයියක් තියෙනවද?   
 
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 225 ක්. ඒකෙන් එකසිය පනහකට ආසන්න ප්‍රමාණයක් තමයි තුනෙන් දෙක කියන්නේ. ඒත් ඒ පිරිස විතරක් නෙවෙයිනේ පාර්ලිමේන්තුව. තවත් හැත්තෑ පස් දෙනෙක් ඉන්නවා.
සාම්ප්‍රද‌ායිකවම විපක්ෂයට පැවරුණු කාර්යභාරයක් තියෙනවා. අපි එ් භූමිකාව පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. ඉන් එහාට ගිහින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි පෙනී ඉඳිමින් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. තුනෙන් දෙක කියන්නේ පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි සංඛ්‍යාවක් විතරයි. ඔළුගෙඩි සංඛ්‍යාව වැඩිවුණු පලියට ඒ කණ්ඩායම කරන හැම දේම හරි වෙන්නෙ නෑනේ. ඒ නිසා විපක්ෂයේ භූමිකාව සුළුකොට තකන්න බෑ. අපි ආණ්ඩුවේ කොටස්කාරයෝ නෙවෙයි. හැබැයි රටේ කොටස්කාරයෝ අපි ශ්‍රී ලංකා රාජ්‍යයේ කොටස්කාරයෝ. පාර්ලිමේන්තුව කියන්නේ ආණ්ඩුවේ කොටස විතරක් නෙවෙයි.  
 
විපක්ෂ නායකත්වයේ භූමිකාව පාර්ලිමේන්තුවේ තීරණාත්මක සාධකයක්. වර්තමාන විපක්ෂනායකවරයා තීරණාත්මක චරිතයක් රඟපානවද?  
 
මේ අවස්ථාවේ රටට තරුණ ඇහුම්කන්දෙන කතා කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්, වැරැද්දක් පෙන්නලා දුන්නම ඒක නිවැරදි කරගන්න ඉතා හොඳ දේශපාලන ඉවක් සහ පරිනතකමන් තියෙන විපක්ෂනායතවරයෙක් අපට ඉන්නවා. ඒක අපිට විතරක් නෙවෙයි රටටම හොඳ දෙයක්. සජිත් ප්‍රේමද‌ාස ඉතිහාසය පුරාම ඉවසීමෙන් තමන්ගේ පක්ෂය ආරක්ෂා කරමින් කටයුතු කළා. පසුගිය ආණ්ඩුකාලේ අගමැතිධුරය ලබාගන්න අවස්ථා කීපයකදීම ආරාධනා ලැබුණා. මා හරහාත් ඔහු වෙත ඒ ආරාධනය කරන්න හිටපු ජනාධිපතිවරයා කටයුතු කළා. එතුමා ඒ වෙලාවේ ඒක බාරගත්තේ නෑ තමුන්ගෙ පක්ෂයේ අයගෙ විශ්වාසය එතුමා පාවා දුන්නේ නෑ. පස්ස දොරෙන් ගිහින් ෂෝට්කට්වලින් ලොකු පුටුවල වාඩිවෙන්න හැදුවේ නෑ. ඒ වෙලාවෙ ඔහුට එහෙම කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණේ නෑ. ඔහු තමන්ගේ කණ්ඩායමේ එකඟතාවට පයින් ගහලා බලය ලබාගන්න ගියේ නෑ. එ් කණ්ඩායමේ බහුතරය ඔහු ඒ අවස්ථාව ලබා ගන්නවට කැමැත්තෙනුත් හිටියා. ඒත් ඔහු එහෙම කළේ නෑ, ඔහුට ෂෝට් කට් දේශපාලනයක් නෑ. ඒ නිසා ඔහු මට විශ්වාසයි.  
 
ඔබ කිව්වා සජිත් ප්‍රේමද‌ාස තමන්ගේ පක්ෂය රැකගෙන හිටියා කියලා එ්ත් අන්තිමට මොකද වුණේ? කෝ ඒ පක්ෂය අද?  
 
දැන් එතුමා ඇතුළු පිරිස සමගි ජන බලවේගය එච්චරයි. කලබල වෙන්න එපා. පක්ෂයක් කියන්නෙ නමම නෙමෙයි. ලාංඡනයම නෙවෙයි. එහි අඩංගුව දිහා බලන්න. දැන් එහෙම බැලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා එකක් තියෙනවද? එහෙම එනතැන් නෑනේ. ඒක දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙලානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාපේක්ෂව බැලුවොත් අද නාමිකව තියෙන දෙයක්. ඒකෙ බහුතරය පොදුජන පෙරමුණට ගියා ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයේ අති බහුතරය සමගි ජනබලවේගයට ඕනෑ වුණා. මන්ත්‍රීවරු වගේම බිම් මට්ටමේ සාමාජිකයො දක්වා දැන් බහුතරය සමගි ජනබලවේගය වටා එකතු වෙලා ඉවරයි. මුළු රටෙන්ම නාමික එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ දෙකක් විතර. ඒ පිරිසත් ක්‍රමයෙන් අපි වටා එකතු වෙනවා.  
 
හැබැයි එක්සත් ජාතික පක්ෂය තාම තියෙනවනේ. ඔය නායකත්වයට එහෙමත් කට්ටිය පොරකන්නේ? 
 
එ්ක පුද්ගලයින්ගේ අර්බුදයක්. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගෙ හෝ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක එහි නායකත්වයට පොරබදන පුද්ගලයින්ගේ අර්බුදයක්. මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන පක්ෂයක්. ඩී.එස්. සේනානායක වගේ නායකයන් හදපු පක්ෂයක්. රටට නිදහස ලබාගන්න මුල් වුණු පක්ෂය. ජාතියේ පියා නායකත්වය දරපු පක්ෂය. අද වැටිච්චි තැන ගැන අපිට ඇත්තටම කනගාටුයි. මේ තැනට මේ පක්ෂය පත්කරපු අය ගැනත් අපිට තියෙන්නේ කනගාටුවක්. ඒ වගේම තරහක්. මැතිවරණයේදී ජනතාව ඒ පක්ෂයට තීන්දුවක් ලබාදුන්නා. දැන්වත් එය ඉන්න කීප දෙනා ඒක තේරුම්ගන්න ඕනෑ. ඒ අය මතයන් හදන්න උත්සාහ කරනවා ඒ අය මේක ද‌ාලා ගියොත් පක්ෂය අනාථ වෙයි කියලා අපි කියන්නේ තව අනාථ වෙන්න දෙයක් නෑ. ඒ අය ඒ පක්ෂය අනාත කරලා ඉවරයි. ඒ අයට සමඟි ජනබලවේග එක්ක කේවල් කිරීමේ බලයක් තවත් නෑ.  
 
මේ දෙක එකතුවීම ගැනත් සාකච්ඡා යනවා නේද?  
 
ඔව් එහෙම කතාබහක් යනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ගැන අපි සම්බන්ධ වෙන්නෙ නෑ. මොකද අපි සමගි ජනබලවේගයේ වෙනත් පක්ෂයක්. ඒකේ සජිත් ප්‍රේමද‌ාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයෙන් ආපු කණ්ඩායම හැර තව පක්ෂ හතරක් තියෙනවා. ඒ නිසා අපේ ඒකට සෘජුව සම්බන්ධයක් නෑ. ඒත් ඒ වගේ අවසන් තීන්දුවක් ගන්නවනම් සමගි ජනබලවේගයේ නායකත්වය අපිත් එක්කත් සාකච්ඡා කරලා එවැනි අවසන් තීන්දුවකට යාවි කියලා අපි විශ්වාස කරනවා.  
 
  • සමගි ජන බලවේගය හදන්න හා එහි නායකයා රැක ගන්න එජාපයේ අයට වඩා අපි ඇප කැප වෙලා වැඩ කළා.
  • සජිත් ප්‍රේමදාස කියන්නේ තවත් රනිල් වික්‍රමසිංහ කෙනෙක් කියා පෙන්වන්න පිරිසක් උත්සාහ කළා. මම ඒකට ඉඩ දුන්නෙම නෑ.
 
සමගි ජනබලවේග ඇතුළෙ ඔබලගෙ පක්ෂයට තියෙන පංගුව ගැන හැඟීමකට පත් වෙනවද?  
 
සමඟි ජනබලවේගයේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් අපේ පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් ඉන්නවා. මේක ඇතුළේ අපිටත් භූමිකාවක් තියෙනවා. ඒක පැහැදිලියි. ඒක අපි තේරුම් අරන් තියෙනවා. එක්සත් ජාතික පාක්ෂිකයෝ කියාගෙන ඉන්න අයට වඩා සමගි ජනබලවේගය හදන්න සහ එහි නායකත්වය ආරක්ෂා කරන්න අපි ඇප කැප වෙලා වැඩ කටයුතු කළා. ඔහුට ජනාධිපති අපේක්ෂක කම ලබා දෙන්න. අගමැති අපේක්ෂක කම ලබා දෙන්න අපි කැපවෙලා වැඩ කළා. එතැනදී අපේ දායකත්වය තීරණාත්මක එකක්. අපේ මන්ත්‍රී සංඛ්‍යාවට වඩා අපේ කාර්යභාරයේ බර වැඩියි. එතැනදී ඒ තත්ත්වය සජිත් ප්‍රේමද‌ාස ඇතුළු පිරිස හොඳින් අවබෝධ කරගෙන ඉන්නවා කියලා මම විශ්වාස කරනවා.   
 
මේ වගේ සන්ධාන ගැහුවම මහ මැතිවරණවලදී තමන්ට හිමිවෙන කෝටා එක ගැන නොයෙක් අර්බුද ඇති වෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර පිළිබඳ ප්‍රශ්න ඇති වෙනවා. ඔබලටත් එහෙම ප්‍රශ්න තියෙනවද? මේ වෙලාවේ?  
 
ඔව්, එහෙම ප්‍රශ්න ඇති වෙනවා. ඒක අරුම පුදුම දෙයක් නෙවෙයි. ඒවා අපි බුද්ධිමත්ව කළමනාකරණය කරගත යුතුයි. මේ අවස්ථාවේ ජාතික ලැයිස්තු සම්බන්ධව එබඳු තත්ත්වයන් ඇතිවුණා. අපිට ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සංඛ්‍යාව හතක්. අපි දහයක් විතර බලාපොරොත්තු වුණා. සජිත් ප්‍රේමදාස කණ්ඩායමට අමතරව තියෙන සෙසු පක්ෂ හතරට එක ගාණෙ දුන්නම ඉතුරු තව ආසන තුනයි. ඒත් එතන කීප දෙනෙක් හිටියා. ඡන්දය වෙලාවෙ මැතිවරණ මෙහෙයුමේ නිරත වෙලා. ඒ අය විශාල කැප කිරීමක් ජයග්‍රහණය වෙනුවෙන් කළා. ඉතින් ඒ අය අතරින් තුන් දෙනෙකුට විතරත් ඒක දුන්න නම් ඒක හොඳ මදි. මේ තත්ත්වය අපි අවබෝධ කරගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර ප්‍රශ්නය අපි නිරාකරණය කරගත්තා.   
 
අපි මස් රාත්තලම ඉල්ලලා රණ්ඩු කරන්න ගියේ නෑ. ඒක තමයි ප්‍රශස්ත දේශපාලනය කියන්නේ. මේ වෙලාවෙ විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ යම් යම් අයට ඕනෑ වුණා. අපි මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරවලට කේවල් කරමින් සජිත් ප්‍රේමද‌ාස බිත්තියට ​හේත්තු කරන්න හදනවා කියලා. සමහර මාධ්‍යයන් එ්ක ඉස්මතු කරන්න උත්සාහ කළා. නමුත් මම ඒ අවස්ථාවට ඉඩ තිබ්බේ නෑ. ඔවුන් ඒ හරහා බැලුවා සජිත් ප්‍රේමද‌ාස කියන්නේ තව රනිල් වික්‍රමසිංහ කෙනෙක් කියලා රටට චිත්‍රයක් මවාපාන්න. මම ඒකට ඉඩ දුන්නෙම නෑ. අපි ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රශ්නය ඉතාම හොඳට කළමනාකරණය කරගත්තා.   
 
මම නිතරම ලොකු චිත්‍රය දකින කෙනෙක්. මම කිසි වෙලාවක පටු විදිහට හිතන්නේ නෑ. ඒ මගේ දේශපාලන දැක්ම. අපි දේශපාලන ව්‍යාපාරයක නිරත වෙද්දී පුළුල් දේශපාලන දැක්මක් තිබිය යුතුයි.  
 
අලුත් ආණ්ඩුවට ඔබලා වැඩ කරන්න කාලයක් දෙනවද? ආණ්ඩුවේ දේශපාලන හනිමූන් එක දිහා බලාගෙන ඉන්නවා කියලා තමයි පහුගිය කාලේ කිව්වේ. ඔය හනිමූන් එකට කොච්චර කල් දෙනවද මේ විපක්ෂය?  
 
දෙවෙනි හනිමූන් එකත් දෙනවා ඒ ගොල්ලන්ට පහුගිය නොවැම්බර් ඉදලා මහ මැතිවරණය වෙනකම් පළවෙනි හනිමූන් එක දුන්නා. දැන් මේ දෙවෙනි හනිමූන් එක. අපි ටික කාලයක් බලමු නේද. එහෙම නැතුව අපි දැන් ඉඳලා විරෝධතා පටන් ගත්තම ආණ්ඩුව ඒක ආයුධයක් කරගන්නවා. වැඩ නොකර ඉන්න එතකොට කියන්නේ බලන්න අපිට වැඩ කරන්න දෙන්නේ නෑ. විපක්ෂය කකුලෙන් අදිනවා කියලා අපි ටික කාලයක් ආණ්ඩුවට දෙනවා. දැන් වැඩකරලා පෙන්නන්නකො. අපි ලබන සිංහල අලුත් අවුරුද්ද විතර වෙනකම් දීලා බලමු නේද ආණ්ඩුවට අවස්ථාව. ඒකෙන් අපි කියන්නෙ නෑ ආණ්ඩුව කරන හැම වැඩේම දිහා ඇස් කන් පියාගෙන ඉන්නවා කියලා. අවශ්‍ය පියවර අවශ්‍ය වෙලාවට අපි ගන්නවා. ඒත් විපක්ෂය වැඩ කරන්න නොදී බාධා කරනවා කියලා කියන තුරුම්පුව ගහන්න අපි ආණ්ඩුවට මේ ටික කාලය තුළ ඉඩ තියන්නේ නෑ. අපේ පැත්තට බෝලෙ ද‌ාලා ඇඟ බේරගන්න ආණ්ඩුවට චාන්ස් එක දෙන්නේ නෑ. අවශ්‍ය අවස්ථාවේදී අපි අපේ සටන පටන් ගන්නවා.  
 
• ව්‍යවස්ථා සංශෝධනය ගැනත් මේ දවස්වල වැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා.  
 
මේ ආණ්ඩුව 20 වෙනි සංශෝධනය ගේන්න හදනවා. තාම අපිට හරියට පැහැදිලි නෑ ඒකෙන් මොකක්ද කරන්න හදන්නේ කියලා. 19 තිබුණ බොහෝ කාරණා අයින් කරලා තියෙනවා. මේ අලුත් එකට ඇතුළත් කරන දේවල් මොනවද කියලා අපිට තාම පැහැදිලි කිරීමක් කරලා නෑ. අපි බලමු ආණ්ඩුව මොනාද කරන්නේ කියලා. 19 තිබුණු හොඳ දේවල් පවා මේ අය ඉවත් කරන්න කටයුතු කරනවා. ඒක සුබ ලකුණක් නෙවෙයි. මේ අයගේ අලුත් යෝජනා එක්ක අපිට ඒ පිළිබඳ පුළුල් සංවාදයකට යන්න පුළුවන්.   
 
පසුගිය දවසේ විග්නේෂ්වරන් පාර්ලිමේන්තුවේදී කරපු කතාවක් අාන්දෝලනයට තුඩු දුන්නා. ඔබට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති මම හිතන්නේ. ඔබට අල්ලපු අසුනේ ඉඳගෙන තමයි ඔහු ඒ කතාව කියන්නෙත්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?  
 
ඔව් විග්නේෂවරන් මගේ එහා පැත්තෙ ආසනේ හිටියේ. අනිත් පැත්තේ හිටියේ සුමන්තිරන්. බොහෝ දෙනා එද‌ා පළවෙනි දවසේ කතා කළා කතානායකවරයාට සුබ පැතුවා. පක්ෂ නායකයෝ හැම දෙනාටම කතා කරන්න අවස්ථාව ලැබුණා. විග්නේෂ්වරන් මගෙන් ඇහුවා මටත් කතා කරන්න පුළුවන් නේද කියලා මම කිව්වා ඔබත් පක්ෂ නායකයෙක් නිසා කතා කරන්න පුළුවන් කියලා. විග්නේෂ්වරන්ට කලින් මම කතා කළා. ඊට පස්සෙ තමයි ඔහු කතා කළේ. මම ඔහුට කිව්වා කතානායකවරයාට සුබ පතනවා වගේම පාර්ලිමේන්තුවේ තමාගේ ගමන ගැනත් යම් අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. එතකොට තමයි විග්නේෂ්වරන් ෆයිල් එකක් ඇතුලේ තිබිලා ලියාගෙන ආපු කතාවක් කියාගෙන ගියේ. ඒ කතාවට කලින් වෙච්ච සිදුවීම මම මේ පළවෙනි වතාවට මධ්‍යයට කිව්වෙ.  
 
විග්නේෂ්වරන් මහත්තයගෙ මතය එතුමගෙ පුද්ගලික මතය. ඒ ගැන තවත් අය පාර්ලිමේන්තුවේදි අදහස් පළ කළා. ඒ අයගෙ කලබල වීමත් ඒ තරම් අවශ්‍ය දෙයක් කියලා මම හිතන්නේ නෑ. ඒ ගැන තීන්දුවක් ගන්න අවස්ථාව කතානායකවරයාට දුන්නා. කතානායකවරයා ඒ ගැන නිවැරදි තීන්දුවක් ගත්තා. ඔහුගේ පරිණතභාවය ඒ තීණ්දුව හරහා ඔහු පෙන්නුවා. විමල් වීරවංසත් ඔය වගේම කතාවක් පසුගිය දවසක කියනවා දැක්කා. ලංකාවේ පළවෙනි භාෂාව සිංහල භාෂාවය, ලංකාවේ පළවෙනි ආගම බුද්ධාගමය කාටවත් ඒකට විරුද්ධ වෙන්න බැරිය වගේ කතාවක්. ඒකත් විග්නේෂ්වරන්ගෙ වගේම කතාවක්. මම නම් භාෂා විශාරදයෙක් නෙවෙයි. වාග් විශේෂඥයෙකුත් නෙවෙයි. මේ ගැන අදහස් පළ කරපු විද්වතුන් ඉන්නවා. අනවශ්‍ය ප්‍රශ්න මතු කරලා නැති අර්බුද ඇති කරන එක දැනුමක් තියෙන දේශපාලකයින්ට සුදුසු දෙයක් නෙවෙයි. අපි හැම භාෂාවකටම සෑම ආගමකටම ගරු කරමින් කටයුතු කළ යුතුයි. මදිද ඔය ප්‍රශ්න ඇදගෙන ලේ හලා ගත්තා. මෙච්චර කල් විග්නේෂ්වරන්ලටත් විමල් විරවංශලටත් මම නම් කියන්නේ ඔය වගේ පටු අදහස්වල ඉන්නේ නැතුව ප්‍රශස්ත දේශපාලනයකට ඇවිත් තමන්ගේ දේශපාලන පරිණතභාවය පෙන්නන්න කියලා.   
 
• ඔබේ දේශපාලන දිවියේ සමීපතමයෙකු ලෙස දිගු කාලයක් පුරා එක්ව කටයුතු කරපු රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ඉරණම ගැන මොකක්ද අදහස?  
 
රනිල් වික්‍රමසිංහට ගෞරවනීය විදියට දේශපාලනයෙන් විශ්‍රාම යන්න අවස්ථාව ලැබුණා අපිත් ඒ සම්බන්ධව යම් යම් දේ දැනුම් දුන්නා. ඒවත් වැඩිය පිළිගන්නේ නෑ. අපේ පක්ෂය යු.එන්.පි.ය නෙවෙයිනේ. අපි ඔහුට වැඩියෙන් ළංවෙලා කතා කරනකොට ඔහු නිතරම කිව්වෙ ඒ ප්‍රශ්න අපි අපේ පක්ෂය ඇතුළේ බේරගන්නම් ඔයාලා කලබල වෙන්න එපා කියලා. ඔහුත් එක්ක ඉඳපු අනිත් පක්ෂ නායකයින්ටත් වඩා මට ඔහු ගැන කතා කරන්න අයිතියක් තියෙනවා. ඔහු එක්ක ඔහුගේ පක්ෂයෙම අය වරින් වර අර්බුද ඇති කරගෙන ඉවත්වෙලා යද්දි අපි ඔහුගෙන් ඉවත් වුණේ නෑ. 2001 ඉඳලා 2020 වෙනකම් අපි එකට කටයුතු කළා. ඔහුත් ඒ බව දන්නවා. ඔහුටත් ඒ ගැන අදහසක් ඇති. දැන් හරි ජනතාවගේ හඬට ඇහුම්කන් දීලා ඔහු තීරණයක් ගන්න ඕනෑ. ඔහුත් එක්ක මට කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නෑ. දේහපාලන වශයෙන් මම ඔහුගෙන් බොහෝ දේ ඉගෙන ගත්තු කෙනෙක්.  

 

ප්‍රියන්ත කොඩිප්පිලි