මේ ගොල්ලන්ගේ කයිවාරුව විතරයි වැඩ නෑ


සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්  

 

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව ජනබලවේග පෙළගැස්විය හැකිද? 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුද? මේ ඒ ගැන විමසමින් සමඟි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා සමඟ කළ සාකච්ඡාවකි. 

 
ප්‍රශ්නය - රටේ දේශපාලන තත්ත්වය ගැන ඔබේ විග්‍රහය කොහොමද?  
 
පිළිතුර - අද වැඩ කරන විරුවෙක් ගෙනල්ලා රට සුරපුරයක් කරනවා කියලා කිව්වට අද රට සම්පූර්ණයෙන්ම විනාශකාරී තැනකට ගිහින් තියෙනවා. මේ ගොල්ලන්ගේ කයිවාරුව විතරයි වැඩ නෑ කියලා ඔප්පු කරලා තියෙනවා.  
 
ප්‍රශ්නය -  ඔබ එහෙම කියන්නේ ඇයි?  
 
පිළිතුර - කොවිඩ් පරදවපු ලෝකයේ පළමු රට කියලා බයිලා කිය කියා හිටියා. නමුත් අද ගෙදරින් එළියට බහින්න බැරි තත්ත්වයක් තියෙන්නේ. භීතියෙන් මුසපත්වෙලා ඉන්න රටක් බවට පත්වෙලා තියෙනවා. රටම ගත්තොත් ජනතාව නොගැවසෙන තැනක් බවට පත්වෙලා තියෙනවා. ඒ එක කයියක්.  
 
ඒ අස්සේ කොවිඩ් පරදවන්න මුළු ලෝකයම බෙහෙත් හොයනවා. එන්නත් හොයනවා. මේ ගොල්ලෝ මොනවද කරන්නේ. මේ ගොල්ලෝ එන්නත් නොවෙයි ව්‍යවස්ථාවක් තමයි හදන්න හදන්නේ. එක එන්නතක් හොයාගන්න ට්‍රයි කරන්නේ නැහැ. එ් වෙනුවට ඒකාධිපති ව්‍යවස්ථාවක් ගේන්න හදනවා.  
 
අද මුළු රටේම ආර්ථිකය කඩාගෙන වැටිලා තියෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5 ක් අවුරුද්දකට එන්න ඕනෑ. මේ අවුරුද්දේ අපේක්ෂිත ඩොලර් බිලියන පහෙන් අඩුම තරමින් ඩොලර් පන්සීයක්වත් එන්නෙ නැහැ. ඒ පාඩුව මකා ගන්නේ කොහොමද?  
 
මාර වියත්තු ටිකක් ඉන්නවා කිව්වා. කොවිඩ් ආපු මුල්ම කාලේ අපේ රටේ පාවිච්චි කරන බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 65 සිට 17 දක්වා අඩුවුණා. එහෙම වුණාම අපට කරන්න තිබුණේ මුළු අවුරුද්දටම ඇණවුම් කරන්න.  
 
ප්‍රශ්නය - නමුත් ඔබලාගේ ආණ්ඩුව ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දුන්නනේ. ඉතින් කොහේද ගබඩා කර ගන්නේ?  
 
පිළිතුර - ඕක තමයි වියත් උත්තරය. සිංගප්පූරුව ජපානය වගේ රටවල් ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? ඒ රටවල් අවුරුද්දටම අවශ්‍ය ප්‍රමාණයට ඇණවුම් කළා. අපිත් එහෙම කළානම් අඩුතරමින් ඩොලර් බිලියන 3.7 ක් ඉතුරු කරගන්න තිබුණ. සංචාරක ව්‍යාපාරයෙන් අහිමිවන ප්‍රමාණයෙන් සෑහෙන ප්‍රමාණයක් කවර් කරගන්න තිබුණා. එහෙම කළේ නෑ.  
 
අද මිනිස්සු ආර්ථික වශයෙන් සාමාජික වශයෙන් හා කායික වශයෙන් පීඩාවට පත්වීම විතරයි වෙලා තියෙන්නේ. මේ ජනාධිපතිවරයා ඇවිත් දැන් අවුරුද්දක් වෙනවනේ. මේ අවුරුද්ද තුළ කරපු එක වැඩක් මට පෙන්වන්න.  
 
ප්‍රශ්නය - මේ ගෙවුණු කාලය ගත්තොත් කොවිඩ් - 19 මාරක උවදුරෙන් රට බේරාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න වුණා.  
 
පිළිතුර - කොවිඩ් ආපු වෙලාවේ මාර්තු මාසයේදී ආවේ. ඒක මෙහෙම වසංගතයක් වුණේ කොහොමද? අපේ රට දූපතක්. දේශ සීමා නෑ අපට දේශ සීමා තියෙනවානම් වෙනත් රටකින් එන්න පුළුවන්. හරි වෙලාවට ‘‘එයාර් පෝට්’’ එක වැහුවානම් නාම යෝජනා දෙනකම් එයාර් පෝට් එක ඇරගෙන ඉන්නෙ නැතිව එහෙම කළානම් මේක වසංගතයක් බවට පත් නොවන්න තිබුණ. ඒක ඕනෑම මෝඩයෙකුට තේරෙනවා.   
 
මේ ගොල්ලන්ට කොවිඩ් එන්න කලිනුත් ආවට පස්සෙත් එකම අරමුණයි තිබුණේ. ඒ තමයි තුනෙන් දෙකක බලයක් අරගෙන ව්‍යවස්ථාව හරහා ඒකාධිපති රටක් හද‌ාගන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි රටේ කිසිම වැඩක් නොවුණේ.  
 
හැම වෙලාවෙම කල්පනා කරන්නේ 20 සම්මත කර ගන්නේ කොහොමද? ඒකාධිපතියෙක් වෙන්නේ කොහොමද කියලයි. ආර්ථිකය ගොඩදාන්නේ කොහොමද? සමාජය දියුණු කරන්නේ කොයි විදියටද කියලා කල්පනා කළාද?  
 
ප්‍රශ්නය - ඔබේ විවේචනය රට තියෙන තත්ත්වය අනුව සාධාරණයි කියලා ඔබ හිතනවද?  
 
පිළිතුර - අතිශයින්ම සාධාරණයි. මේ ගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තිබුණ ජාතික පාසල් දාහක් හදනවා කියලා. ඒකෙන් 123 ක් මේ අවුරුද්ද ඇතුළත හදනවා කිව්වා. මට පෙන්වන්න එහෙම හදපු එකක්. අඩුගානේ හදනවා කියලා ගැසට් කරලා තියෙනවද? එහෙමවත් කරලා නෑනේ.   
 
මෙච්චර මේ වියත්තු ඉන්නවා කියන කට්ටිය ඒගොල්ලන්ට අධ්‍යාපනය දියුණු කරන්න සැබෑ උවමනාවක් තියෙනවානම් හදනවා කියා අඩුම තරමින් ගැසට් කරන්න හරි එපැයි ඒකවත් කරලා නැහැ. ඉතින් ඔබතුමා කොහොමද කියන්නේ මේ විවේචනය අසාධාරණයි කියලා.   
 
කොවිඩ් තියෙන නිසා ඉස්කෝල හදන්න බැරි වුණාට ඒකාධිපති ව්‍යවස්ථාවක් නම් හැදෙනවා. පළමුවැනි කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළේ 20 වැනි සංශෝධනය.  
 
ප්‍රශ්නය - 20 වැනි සංශෝධනයට එරෙහිව ආණ්ඩුව ඇතුළෙත් ප්‍රතිවිරෝධතා මතු වෙනවා. ඔවුන් සමග යම් සාකච්ඡාවකද ඔබලා ඉන්නේ?  
 
පිළිතුර - මෙහෙමයි. සමගි ජන බලවේගය විදියට අපි විවිධ පක්ෂ එක්ක ඉන්නේ. ඔය ආණ්ඩුව ඇතුළේ ඉන්න පොඩි පොඩි පක්ෂ කෙඳිරිගාන එක විතරයි. අද ආණ්ඩුව ඇතුළේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙන්නේ. මේ​ගොල්ලන්ට හඬ නගන්න බෑ කෙඳිරිගාන්න විතරයි පුළුවන්. ඊයේ පෙරේද‌ා ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබුණ රැස්වීමේදිත් මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න අවස්ථාවක් දීලා නෑ. අදහස් ප්‍රකාශ කරන්න ගියාම පිටවෙච්ච වචනත් පත්තරවල ගියානේ. 
 
අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති හින්ද මේ ගොල්ලො කෙඳිරිගගා කෙකර ගගා ඉන්නවා. මාධ්‍යයට වෙබ් සයිට්වලට විවිධ කතා කිය කියා ඉඳලා ඡන්දෙ ආවම ඒ පැත්තට ඡන්දෙ දෙනවා. මොකද මේ ගොල්ලෝ ඇමැතිකම්වලට ආශයිනේ. රට ලොකුයි දේශප්‍රේමය ලොකුයි කිව්වට ඇමැතිකම තමයි ලොකුම. බලන්නකෝ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කොච්චරද කියනවානම් ඔය කෙඳිරිගාන අයට පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ගහන්නේ හරහා වැටෙන්න.   
 
ප්‍රශ්නය -  ඒක අවශ්‍යනම් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙ ලක්ෂණයක් හැටියට හඳුන්වන්නත් පුළුවන්?  
 
පිළිතුර - මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මට කියන්න තියෙන්නේ 20 එන්න කලින් ඔහොමනම් 20 ආවම බලාගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමාට ද ඇතුළුව මාධ්‍යට ද ඇතුළුව හොඳේ. 
 
ප්‍රශ්නය -  මේ ආණ්ඩුවට එරෙහිව ඔබ විවේචන එල්ල කළත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන විශේෂ ජනාධිපති කොමිසමෙන් හෙළිවන කරුණු දිහා බැලුවම ඔබේ යහපාලන ආණ්ඩුවේ තරමත් පේනවා.  
 
පිළිතුර - යහපාලන ආණ්ඩුවේ වැරැදි නිසානේ මේ ගොල්ලෝ බලයට ආවේ. ඒ වැරැදි කියව කියව ඉඳලනේ බලයට ආවේ. දැන් ආයේ අමුතුවෙන් කියවන්න දෙයක් නෑනේ. අපේ වැරැදි පෙන්වලා බලය ගත්තනම් දැන් හරියට කරන්න එපැයි. ඒ නිසා තමයි මම කියන්නේ කයිය විතරයි වැඩ නෑ කියලා. ඔබතුමා මට පෙන්වන්න මේ ආණ්ඩුව කරපු එක හරි වැඩක් එහෙම එකක්වත් නෑ.  
 
ප්‍රශ්නය - මේ වෙලාවේ ඔබලා යෝජනා කරන්නේ ‘රට ලොක් ඩවුන්’ කරන්න කියල ද නමුත් ආණ්ඩුව විභාග තියාගෙන රට සාමාන්‍ය මට්ටමෙන් පවත්වාගෙන යනවා.  
 
පිළිතුර - ඔබතුමා මාධ්‍යවේදියෙක් හැටියට මම මේ කියන එක හරිද වැරැදිද කියලා හොයන්න. ආණ්ඩුව රැම්ඩන් පීසීආර් කරන්නේ නෑ. ඒ නිසා තමයි ලොක් ඩවුන් කරන්නේ නැත්තේ. ලොක් ඩවුන් කළානම් රැම්ඩන් පීසිආර් කරන්න වෙනවා. ඒක කළානම් මේක රටේ කොයිතරම් විහිදිලාද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. මේක නොකරන්නේ ගහපු කයියෙ හැටියට මේවා එළියට ආවම නෝන්ඩි වෙනවනේ. ඒ නිසා තමයි රට මෙහෙම තියාගෙන යන්නේ. ඒ ගොල්ලන්ට වැදගත් වෙන්නේ ඡන්ද විතරයි.   
 
එද‌ා යන්තම් රුපියල් පන්දාහක් දුන්නා අද ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ද‌ාලා දවස් 14 ක් වෙනවා. එක මිනිහෙකුට ආණ්ඩුව එක හාල් ඇටයක් දීලා තියෙනවද? දැන් එහෙම දෙන්නේ නෑ. ඡන්දෙ ඉවරයිනේ.  
ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ජනාධිපතිවරණයෙදිත් මහ මැතිවරණයෙදිත් ඒගොල්ලන්ට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන් දිස්ත්‍රික්කයක්. නමුත් අද තුට්ටුවකට මායිම් කරනවද ඒගොල්ලන්ගේ බඩගින්න  
 
ප්‍රශ්නය - පාස්කු කොමිසමේදි කියැවුණා ආගමික සහජීවනයට මුල්තැන දෙන්න ගිහින් ජාතික ආරක්ෂාව බිඳ වැටුණා කියලා?  
 
පිළිතුර - ඔය පසුගිය ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් නොවෙයි මම. ඔය ලොකු ලොක්කෝ කතා කළේ මොනවද කියලා අපි දන්නේ නෑ. හැබැයි පසුගිය ආණ්ඩුව කාලේ මොන තත්ත්වයක් තුළ හරි ජාතික ආරක්ෂාව හෑල්ලුවට ලක්වීම හා වගකීම් විරහිත ලෙස කටයුතු කිරිමනම් කිසි ලෙසකින් හෝ අනුමත කරන්න බෑ. අපේ අංක එක රටනේ ඒ රටේ ආරක්ෂාව තුට්ටුවට දෙකට ද‌ාලා වැඩ කරපු එකනම් අනුමත කරන්න බෑ. සහජීවනයයි අරකයි මේකයි කරන්න කලින් ඒවත් ඕනෑ. ඊට කලින් අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරුවෙලා තියෙන්න එපැයි. ඔබතුමා සිංහල බෞද්ධ වෙන්නෙත් මම මුස්ලිම් වෙන්නෙත් ඉපදුණාට පස්සේ. ඉපදෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් විදියටනේ. සහජීවනය දෙවැනි එක පළමුව රට.  
 
ප්‍රශ්නය -  ඔබ එහෙම කිව්වත් ඔබේ කඳවුරේ ඇතැමුන් පාස්කු ප්‍රහාරකයන් වෙනුවෙන් පෙනී සිටින බවක් පේනවා සැකකරුවන් මුද‌ාහරින්න කියලා ඔවුන් ඉල්ලනවා.  
 
පිළිතුර - මමනම් දන්නේ නෑ. මම ඔය පාස්කු ප්‍රහාරය වෙච්ච දවස්වල පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා මේකට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට මරණ දඬුවම දෙන්න ඕනෑ කියලා. ඒ නිසා අපේ රටට ආදරේ කිසිම කෙනෙක් පාස්කු ප්‍රහාරකයන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඒ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතුයි.  
 
ප්‍රශ්නය - සමගි ජන බලවේගයේ පොදු මතය ඕකද?  
 
පිළිතුර - සමගි ජන බලවේගයේ පොදු මතය තමයි මේක. අපේ කිසි කෙනෙක් පාස්කු ප්‍රහාරකයන්ගේ ආරක්ෂකයන්වෙලා නෑ. මම ඔබට වගකීමෙන් කියනවා සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක විදියට අපේ පක්ෂයේ කවුරුවත් වැරැදිකරයන් ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ.  
 
ප්‍රශ්නය - ඔබේ පක්ෂයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා අහවලා නිදහස් කරන්න කියලා. 
 
පිළිතුර - නෑ නෑ ඔබතුමා එතුමාගේ කතාවේ අන්තර්ගතය හොඳට විමර්ශනය කරලා බලන්න. එතුමා පාස්කු ප්‍රහාරකයන් ආරක්ෂා කරන්න කියලා කිව්වේ නෑ. එතුමා කිව්වේ රියාජ් බදියුදීන් අත්අඩංගුවට අරගෙන මාස පහක් තියාගෙන ඉඳලා චෝදනා නැහැ කියලා නිදහස් කරණවානම් මොකද්ද ඒකේ තේරුම කියලනේ එතුමා අහන්නේ. එහෙම මිනිසුන්ව බොරුවට අත්අඩංගුවට ගන්න එපා. චෝදනා තියෙනවානම් පමණක් අත්අඩංගුවට ගන්න කියලයි එතුමා කිව්වේ.  
 
ප්‍රශ්නය -  රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා සහ ඔහුගේ පක්ෂය 20 ට පක්ෂව ඡන්දය දෙයි කියලත් රාවයක් යනවා.  
 
පිළිතුර - ඒක ඒගොල්ලන්ගේ වැඩක්නේ. ඒගොල්ලො අපිත් එක්ක ඉන්න එක පක්ෂයක්. ඒ ගොල්ලන්ගේ මතය අනුව ඒගොල්ලෝ වැඩ කරයි.  
 
ප්‍රශ්නය -  ඒ පිළිබඳ සාකච්ඡාවක් වුණේ නැද්ද?
  
පිළිතුර - මම සහභාගි වෙච්ච සාකච්ඡාවලදී ඔය ගැන කතා වුණේ නෑ. දැන් මේ ආණ්ඩුවේ ඉන්නවා අන්තවාදයට උදව් කරපු අය. ජාතිවාදයට උදව් කරපු අය ඒ වගේම ත්‍රස්තවාදයට උදව් කරපු අය ඕනෑම මගුලක් කරලා ඒ ගොල්ලන් ළඟට ආවම දේශප්‍රේමී වෙනවනේ.  
 
ප්‍රශ්නය -  ඔබ කියන්නේ එහෙම දේශප්‍රේමි වෙන්න රිෂාඩ් බදියුදීන් ආණ්ඩුවට සහයෝගය දෙයි කියලා?  
 
පිළිතුර - මම කිව්වේ ඕනෑම කෙනෙකුට ඒ විදියට දේශප්‍රේමී වෙන්න පුළුවන් කියලයි.   
 
ප්‍රශ්නය -  ඔබේ පක්ෂයේ කිහිප දෙනෙකුත් 20 ට සහයෝගය දෙන්න සූදානමින් ඉන්නවා කියලා වාර්තා වෙනවා.  
 
පිළිතුර - ආත්ම ගෞරවය තියෙන තමන්ගේ දරුවන් ගෞරවාන්විතව පාසල් යායුතුයි කියලා හිතන, මුදල්වලට තම ආත්මගරුත්වය පාවා නොදෙන අයනම් කීයටවත් යන්නේ නෑ.
  
ප්‍රශ්නය -  ‘බල්ලා ගියත් මමනම් යන්නේ නැහැ’. කියපු අය බල්ලා ගෙදර තියලා අනික් පැත්තට පැන්නා.
  
පිළිතුර - ඔව් මෙහෙමනේ ඉතිහාසය මතම හැමදේම සිද්ධ වෙන්නේ නෑ. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගනිමින් සමාජයක් වෙනස් වෙනවා. ඒක අපිට මැතිවරණවලදී පේනවනේ.  
 
මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් 79 ක්ම අලුත් අය. සමගි ජන බලවේගයෙන් තේරිච්ච මන්ත්‍රීවරුන්ගෙන් සියයට 95 ක්ම අලුත් අය. ජනතාව හිතන විදිය ගැන ඒකෙන් පේනවා. අනිත් එක ඕනෑම කෙනෙකුට පේනවා මේ ආණ්ඩුව කරන වැරැදිත් එක්ක ඉදිරියෙ එන ආර්ථික අර්බුදයත් එක්ක ආණ්ඩුවට ඉදිරි ගමනක් නැහැ කියල.  
 
ප්‍රශ්නය -  ඔබ ආණ්ඩුවට සහයෝගය දේවි කියලත් ආරංචියක් යනවා   
 
පිළිතුර - පට්ටපල් බොරුවක් මම හිතනවා හිතාමතාම ඔබතුමා ඔය බොරුව ගෙතුවා කියලා. කවුරුවත් මගෙන් මීට කලින් ඔහොම අහලා නෑ. මම යන්නේ නෑ අපේ කවුරුවත් යන්නෙත් නෑ.  
 
 
සාකච්චා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්