මේ ගොල්ල නියත පරාජය දැකලා අමුතු බිල්ලෙක් මවනවා


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ   
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   
මහින්ද‌ානන්ද අලුත්ගමගේ

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් තබා ඇති තක්සේරුව කෙබඳුද? පවතින අභියෝග මොනවා ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද‌ානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.   

 

 

 ප්‍රශ්නය:- කොහොමද ඡන්ද ව්‍යාපාරයේ අලුත් තත්ත්වය?   


පිළිතුර:- දවසෙන් දවස මැතිවරණ ව්‍යාපාරය උණුසුම්වෙනවා. ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙමින් පවතින බව අපට දැනෙනවා. විශේෂයෙන්ම මෙහිදී අපි දැක්ක, දකින විශේෂිතම ලක්ෂණය තමයි එක්සත් ජාතික පක්ෂයෙ ග්‍රාමීය මට්ටමේ පිරිස් විශාල වශයෙන් අපිත් එක්ක එකතුවීම. විශේෂයෙන්ම මේ වෙලාවෙ බුද්ධිමත් ජනතාව ජාතික ආරක්ෂාව කියන කාරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරලා තියෙනවා. 

 
 ප්‍රශ්නය:- නමුත් එයම ප්‍රධාන?   


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. එක්සත් ජාතික පක්ෂයේ වේදිකවේ ඉන්නේ කවුද? අප්‍රේල් 21 ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වපු රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු පිරිස තමයි ඒ වේදිකාවේ ඉන්නේ. එතකොට දවසින් දවස මේවා ඔප්පු වෙන්න, ඔප්පු වෙන්න මේ රටේ ජනතාව ඔවුන්ගෙන් ඈත්වෙනවා. මේ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ නායකයන් දෙමළ ජාතික සන්ධානයෙ නායකයන් එක්ක සාකච්ඡා කරන්නේ දෙමළ ජාතික සන්ධානයේ රට බෙදන යෝජනා ගැනයි. ඒ නිසා සජිත් ප්‍රේමද‌ාස මහත්තයාගේ වේදිකාවේ ඉන්නේ රට බෙදන, රට කඩන බලවේග නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන එක ජනතාව තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ගම් මට්ටමේ විශාල පිබිදීමක් තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් වන බව ස්ථීරයි.   

 

සහරාන්ලාට ශත පහක් ගෙවලා නෑ. හැබැයි ඒ දවස්වල අපේ බුද්ධි අංශවල මුස්ලිම් තරුණයෝ හිටියා. ඒක ඇත්ත. හැබැයි එතැන සහරාන් නෑ. ඒක බොරුවක්. සහරාන්ට රුපියලක් හරි ගෙව්වා කියලා එක කඩද‌ාසියක් පුළුවන් නම් පෙන්වන්න. ඒක පට්ටම පට්ටම බොරුවක්. හැබැයි මතක තියාගන්න. මේ යුද්ධය ජයග්‍රහණය කරන්න මුස්ලිම් තරුණයෝ අපට හුඟාක් උදව් කළා


 ප්‍රශ්නය:- ඔබ ආරක්ෂාව ගැන කතා කළා. සජිත් ප්‍රේමදාස කිව්වා ඔහුගේ ආරක්ෂක ඇමැති සරත් ෆොන්සේකා කියලා. ඔහු තමයි යුද්ධයේදී හමුද‌ාවට නායකත්වය දුන්නේ? 

 
පිළිතුර:- සරත් ෆොන්සේකා මහත්තයාගේ වචනවලින්ම කියනවා නම් එතුමා කිව්වා එතුමා හමුද‌ාවේ හිටියා අවුරුදු ගානක්. එතුමාම හමුද‌ාපති කරලා මේ යුද්ධය ජයග්‍රහණය කරන්න හිතුවේ නෑ කිසිම ජනාධිපති කෙනෙක්. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා එ් අවස්ථාව දුන්නා කියලා. ඒ වගේම මතක තියාගන්න යුද්ධය ජයග්‍රහණය කළේ නිවැරැදි තීන්දු තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරපු නිසයි. නිවැරැදි තීන්දු ගන්න පුළුවන් නායකයෙක් අපිට හිටියා.   


සරත් ෆොන්සේකා හමුද‌ාපති වුණාට වැඩක් නෑ. නිවැරැදි තීන්දු තීරණ ගන්නා නායකයෙක් නොහිටියා නම් ලංකා ඉතිහාසයේ පළමු වරට එහෙම නිවැරැදි තීන්දු තීරණ ගත්ත නායකයෙක් යටතේ, ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක නායකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නවා.   


සරත් ෆොන්සේකා මහත්මයා යුද හමුද‌ාවට නායකත්වය දුන්නා. කරන්නාගොඩ මහත්තයා නාවික හමුද‌ාවට නායකත්වය දුන්නා. රොෂාන් ගුණතිලක මහත්තයා ගුවන් හමුද‌ාවට නායකත්වය දුන්නා. පොලිස්පතිතුමා සිවිල් ආරක්ෂක බළසේනාවේ අණදෙන නිලධාරිතුමා මේ සියලු දෙනාම යුදපිටියෙ තම තමන්ගේ සේනාංක මෙහෙයවන කොට එ් සියල්ලම නිවැරැදිව කළමනාකරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි.   


හමුද‌ාවට අවශ්‍ය ආයුධ ටික අරන් දීලා, පිරිස් බලය වැඩි කරලා. නැව් අරගෙන දීලා ඒ අවශ්‍ය දේවල් කළේ නැත්නම් හමුද‌ාව යුදපිටිය ඇතුළේ අසරණ වෙනවා. ඒ නිසා රටට ඕනෑ හමුද‌ාපතිවරයෙක් නොවෙයි. නිවැරැදිවම තීන්දු තීරණ ගන්න සටන් නායකයෙක්.   


 ප්‍රශ්නය:- කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ගෝඨාභය කිව්වේ යුදහමුද‌‌ාවට නායකත්වය දුන්නේ ගෝඨාභය කියලයි.   


පිළිතුර:- දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂගෙ ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුම පැත්තකින් තියන්න. එයාගේ පෞරුෂය අරගෙන බලන්න. සජිත් ප්‍රේමදාසගේ රෙදි ගලව ගලවා හිටපු සරත් ෆොන්සේකා කියනවා ‘සජිත් මාව හමුවෙලා මගේ නෝනගේ නමයි මගේ දුවගේ නමයි කිව්වා. බලන්න එයා මොනතරම් නිහතමානී නායකයෙක් ද කියලා. එක කාලයක් සජිත් ප්‍රේමද‌ාසගේ රෙදි ගැලෙව්වා. එහෙම කිය කියා හිටපු කෙනා නෝනගෙයි, දුවගෙයි නම කිව්වා කියලා ‘එයා මාර නායකයෙක්’ කියලා කියනවා. එහෙම කෙනෙකුට ද රටේ ආරක්ෂාව බාර දෙන්නේ? නායකයෙක් වෙන්න පෞරුෂයක් තියෙන්න ඕන. නායකයෙක් වෙන්න තීන්දු ගන්න පුළුවන් වෙන්න ඕනෑ. තමන්ගේ නෝනගේ නමයි දුවගේ නමයි කිව්වම සියලු අසමානකම් සමානකම් බවට පත් වෙනවද? සියලු දුර්වලතා දක්ෂතා බවට පත් වෙනව ද? එහෙම නායකයෝ නොවෙයි රටට ඕන රටට ඕනෑ කොන්ද පණ තියෙන නායකයෙක්.   


 ප්‍රශ්නය:- ෂැංග්‍රිලා හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවේදී ‘හමුද‌ාවට බාර වූ තරුණයන්ට මොකද වුණේ’ කියලා ගෝඨාභයගෙන් ඇහුවම ගෝඨාභය කියනවා ‘හමුද‌ාවට අණ දෙන්නේ මං නෙවෙයි.’ කියලා. කොන්ද පණ තියෙනවා නම් ඇයි වගකීම වෙන කාගෙ හරි පිට පටවන්නේ?   


පිළිතුර:- නෑ... නෑ... නෑ... ඔබ මේක තේරුම් ගන්න. යුද්ධ ජයග්‍රහණයේ මූලිකම හේතුව තමයි තීන්දු ගැනීම. හමුද‌ා නායකයන් සියලු දෙනා එකට එකතු කරලා අවශ්‍ය යටිතල පහසුකම් ටික දීලා ඒ අවශ්‍ය පරිපාලනමය තීන්දු ගත්තේ ආරක්ෂක ලේකම් හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි.   


යුද හමුද‌ාවට අණ දුන්නේ යුද හමුද‌ාපතිවරයයි. නාවික හමුද‌ාවට අණ දුන්නේ නාවික හමුද‌ාපතිවරයයි. හැම හමුද‌ාවකම ඒ විදියට තමයි කටයුතු කෙරුණේ. 

 
 ප්‍රශ්නය:- ‘ගෝඨාස් වෝ’ කියලා පොත් ලියන්න කලින් එහෙම නම් ඔහොම කියන්න තිබුණා?   


පිළිතුර:- මහත්තයෝ මේ අහන්න. හමුද‌ාවන්ට අණ දෙන්න පුළුවන්කම තියෙන්නේ ඒ හමුද‌ාපතිවරුන්ටයි. ආරක්ෂක ලේකම් කියන්නේ උඩ ඉඳලා ඒ සියල්ල සම්බන්ධිකරණය කරලා තීන්දු ගන්න කෙනායි. යුද්ධයට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන්නේ එතුමයි. හමුද‌ා බුද්ධි අංශවලින් මුදල් ගෙව්වා නම් ඒවා දන්නේ හමුද‌ාපතිවරුන්. බුද්ධි අංශවලට මුදල් ගෙවන්නේ නැහැ ආරක්ෂක ලේකම්වරයා.   


2009 වෙනකම් වුණේ තීන්දු ගන්න නායකයෙක් නොසිටීමයි. යුද්ධය ජයගත්තේ ඒ තීන්දු ගැනීමේ බලයෙන්. ඒ තීන්දු පරක්කු වුණේ නෑ. ජනාධිපතිතුමාගේ සහෝදරයාවීම නිසාම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කෙළින්ම කතා කරලා අවශ්‍ය තීන්දු ගන්න පුළුවන් වුණා. වෙනත් නිලධාරියෙක් හිටියා නම් එහෙම කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව.   

 

ජාතික ආරක්ෂාව ඈලියාවට ඇරීමෙන් වෙච්ච විපත පාස්කු ප්‍රහාරයෙන් පැහැදිලි වුණා. ඒ නිසා ජාතික ආරක්ෂාව ප්‍රධානයි. අපි යන්නේ ඒ මාර්ගයේ. ජාතික ආරක්ෂාව ප්‍රධාන කොට සලකන ජනාධිපති කෙනෙක් ඉන්නවා. පොළොවේ පය ගහලා ඉන්න ජනතාව ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවා. මේක තමයි රටට ඕනෑ.


 ප්‍රශ්නය:- සහරාන්ලාට පඩි ගෙවල, පෝෂණය කරලා තියෙන්නෙත් ආරක්ෂක අමාත්‍යාංශය?   


පිළිතුර:- ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්. සහරාන්ලාට කවද‌ාවත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පඩි ගෙවල නෑ.   


 ප්‍රශ්නය:- ඔබ වගකීමෙන් ද කියන්නේ?   


පිළිතුර:- අනිවාර්යයෙන්ම ඔව්.   


 ප්‍රශ්නය:- නමුත් පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක්ම කිව්වා ‘ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමයි සහරාන්ට පඩි ගෙව්වේ’ කියලා?   


පිළිතුර:- මම ඒක දැක්කේ නෑ. එහෙම ගෙවපු මොනවා හරි දෙයක් තියෙනවා නම් පෙන්වන්න. සහරාන්ලාට ශත පහක් ගෙවලා නෑ. හැබැයි ඒ දවස්වල අපේ බුද්ධි අංශවල මුස්ලිම් තරුණයෝ හිටියා. ඒක ඇත්ත. හැබැයි එතැන සහරාන් නෑ. ඒක බොරුවක්. සහරාන්ට රුපියලක් හරි ගෙව්වා කියලා එක කඩද‌ාසියක් පුළුවන් නම් පෙන්වන්න. ඒක පට්ටම පට්ටම බොරුවක්. හැබැයි මතක තියාගන්න. මේ යුද්ධය ජයග්‍රහණය කරන්න මුස්ලිම් තරුණයෝ අපට හුඟාක් උදව් කළා.   


ප්‍රභාකරන්ගේ අඩවියට රිංගුවේ හුඟාක් වෙලාවට මුස්ලිම් අය. ඒ අයට දෙමළ භාෂාව පුළුවන් වීම ලොකු උදව්වක් වුණා. ඒ ගෞරවය මුස්ලිම් තරුණයන්ට හිමිවිය යුතුයි. හැබැයි එතැන සහරාන් නෑ.   


 ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂට දැක්මක් දැනීමක් නැති නිසා යන යන තැනට මහින්ද රාජපක්ෂත් එක්ක යන්නේ කියලා කියනවා?   


පිළිතුර:- අපේ අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහත්තයා. ඔබ මතක තියාගන්න මේ හදන ආණ්ඩුවේ පළමුවැනි එක තමයි තීන්දු ගන්න ජනාධිපති කෙනෙක් ඉන්න ඕන. විනයගරුක, වැඩකරන නායකයෙක් ඉන්න ඕන. ඊළඟට පොළොවේ පය ගහලා ඉන්න මිනිසුන්ගේ ප්‍රශ්න හඳුනන අගමැතිවරයෙක් රටට ඕනෑ. ඒක තමයි මේ සුසංයෝගය.   
අගමැතිවරයා රටේ ජනතාවගේ ප්‍රශ්න ටික හඳුනාගෙන ඉදිරිපත් කළා. තීන්දු ගන්න ඕනෑ රටේ ජනාධිපති. පහුගිය කාලේ මොකද වුණේ. ජනාධිපති කියන දේ අගමැතිවරයා කරන්නේ නෑ, අගමැති කියන දේ ජනාධිපතිවරයට ඇහෙන්නේ නෑ. ඔව් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි අපේ නායකයා. එතුමව මේ රටේ ජනතාව ඉල්ලනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව තව පිරිසක් ඉල්ලනවා. එහෙම බැලුවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වෙනම ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙනම ඡන්ද පදනමක් තියෙනවා. මේ පදනම් දෙකම එකතු කරගෙනයි අපි දිනන්නේ.   


 ප්‍රශ්නය:- ඇත්තටම මහින්ද රාජපක්ෂගේ සෙවණැල්ලට මුවාවෙලා ඉන්නේ තනියෙන් උත්තර දෙන්න බැරි නිසා නොවෙයි ද?   


පිළිතුර:- ඔහොම ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්. අපේ අගමැති අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ. එහෙම නම් ඇයි ගෝඨාභය රාජපක්ෂ ඉන්න හැම වේදිකාවකම විමල් කතා කරන්නේ. විමල් නැතිව බැරි නිසාද? දිනේෂ් කතා කරන්නේ ඇයි මේ දෙන්න නැතිව බැරි හින්ද ද? නෑ.   


දැන් බලන්න. දැන් මැතිවරණ රැලි වැඩියි. දැන් මහින්ද මහත්තයා වෙනම යන්නේ? ගෝඨාභය මහත්තයා වෙනම යන්නේ. මුළු ලංකාව පුරාම තනියෙන් ගෝඨාභය රාජපක්ෂට දුවන්න බෑ. ඒ නිසා අපේ නායකයෝ රැස්වීම් බෙද‌ාගෙන යනවා.   


 ප්‍රශ්නය:- ඉස්සර නම් ‘මාධ්‍ය ගෝඨාභයට භයයි. දැන් ගෝඨාභය මාධ්‍යයට භයයි.’ ඒක නේද ඇත්ත?   


පිළිතුර:- ඔය කතා දෙකම බොරු. මේ වෙලාවේ අපේ කඳවුරට ගහන්න මොනවද තියෙන ආයුධ. අඩුම තරමේ 2015 දී කියපුවාවත් දැන් තියෙනව ද? ඒවා අමූලික බොරු බව ජනතාව දන්න නිසා ඒවා කියන්න බෑ. වෙන කියන්න දෙයක් ඇත්තෙත් නෑ. ඒ නිසා එක එක ‘පැටන්’ හදන්න බලනවා. වචනයක් එහා මෙහා වුණොත් ඒක අල්ල ගන්නවා.   
අනික් කාරණය තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙක් නොවෙයි. පරිපාලන නිලධාරියෙක් තමයි දේශපාලනයට ඇවිත් තියෙන්නේ. ඒ නිසා අනික් අයගේ තරමින් මාධ්‍යයේදී ගෝඨාභය මහත්තයාව මනින්න එපා. මේ රටේ මිනිස්සු ඉල්ලන්​නේ එහෙම නායකයෙක්. එතුමට තියෙන ඉල්ලුම ඒකයි.   


 ප්‍රශ්නය:- ගෝඨාභය ආවොත් දරදඬු පාලනයක්, සුදු වෑන් තමයි කියලා කියන පිරිසකුත් ඉන්නවා?   


පිළිතුර:- මොකක්ද ඔහුගේ දරදඬු පිළිවෙත? ඔහු පරිපාලන නිලධාරියෙක් හැටියට හිටපු කාලයේ වැඩේ වෙනුවෙන් තද තීන්දු ගත්තා. එහෙම නැතිව මේ නිලධාරි තන්ත්‍රයත් එක්ක වැඩ කරන්න බෑ. කොහේද සුදුවෑන් ආවේ? කොහේද ඉස්සුවේ. කාව ද ඉස්සුවේ. අපි පාර්ලිමේන්තුවේදී ඇහුවා ‘සුදු වෑන් ගැන කියනවා. මොනවා හරි සිදුවීම් වාර්තා වෙලා තියෙනවද?’ කියලා. මේ ආණ්ඩුවේම මහත්වරුන් කියනවා එහෙම කිසිම පැමිණිල්ලක් නෑ’ කියලා.

   
 මතක තියාගන්න අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය​ට ඉදිරිපත් කරන්නේ ‘නිදෙ‌ාස් කොට නිදහස් කරලයි.’ ඔහුට එල්ල කරපු සියලු චෝදනාවලින් ඔහු නිදහස්. මට කියන්න ඔහු කරපු එක වැරැද්දක්.   


 ප්‍රශ්නය:- ඇමැති ජෝන් අමරතුංග නම් කිව්වා ‘ගෝඨාභයට තව නඩු වැටෙයි’ කියලා?   


පිළිතුර:- නඩු ද‌ාන්න කියන්න. අපි බලන් ඉන්නේ නඩු ද‌ානකම්. නඩු දැම්මට වැඩක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට 2014 ඉඳන් ගැහුවා. කොච්චර චෝදනා එල්ල කළා ද? දේශපාලන හේතු මත එල්ල කරපු චෝදනා මිසක් ඒ චෝදනාවල කිසිම පදනමක් නෑ. ඒ නිසා නඩු ද‌ාන්න කියන්න.   


 ප්‍රශ්නය:- දෙමළ සන්ධානය යෝජනා 13 ක් ඉදිරිපත් කළා. මොකක්ද පොහොට්ටුවේ ප්‍රතිචාරය?   


පිළිතුර:- ඒ යෝජනා සාකච්ඡා කරන්නෙත් නෑ. ඒ යෝජනා අතට ගන්නෙවත් නෑ.   

 

ඊයේ පෙරේද‌ා මහනුවර දිස්ත්‍රික්කයෙ සජිත්ගේ රැස්වීම් තිබුණ. මිනිස්සු 500 ක් නෑ. යටිනුවර රැස්වීමට සෙනඟ නැති නිසා සජිත් ආවෙත් නෑ. ගෙලිඔය සෙනඟ නෑ. නාවලපිටියෙ සෙනඟ නෑ. ගෝඨාභය රාජපක්ෂගේ හැම ආසන රැස්වීමකම ජනතාව හත් අටද‌ාහයි.


 ප්‍රශ්නය:- ඒ යෝජනා ඔබේ පාර්ශ්වයට ලැබුණා ද?   


පිළිතුර:- ලැබුණෙත් නෑ. ලැබුණත් ගන්නෙත් නෑ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා ඒ යෝජනා අපි ප්‍රතික්ෂේප කරනවා කියලා. දහස් ගණන් රණවිරුවන් ජීවිත පූජා කරලා දිනා දුන්න රට අපි මොනම හේතුවක් නිසාවත් පාවලා දෙන්නේ නෑ. සියල්ලටම වඩා අපිට මේ රට වටිනවා. ඒ නිසා එහෙම ලියුමක්වත් අපි අතට ගන්නේ නෑ.   
උතුරේ ජනතාවට තියෙන පළමු ප්‍රශ්නය දේශපාලන විසඳුම නොවෙයි. ඒ ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නය ආර්ථිකයයි. අපි සූද‌ානම් ඒ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම උතුර සංවර්ධනය කරන්න අපි ලෑස්තියි.   


 ප්‍රශ්නය:- එතකොට දේශපාලන විසඳුමක් ඇත්තෙම නෑ?   


පිළිතුර:- 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව අපි ලෑස්තියි ඒ ගැන කතා කරන්න. අපි ඒ ජනතාවට නිදහස දිනාදුන්නා. තිස් අවුරුද්දක් ඒ මිනිස්සු දුක් වින්ද‌ා. ප්‍රභාකරන් යුද්ධ කළේ ඒ අහිංසක ජනතාව පළිහක් කරගෙන. ඒ මිනිසුන්ගේ ජීවිත ඒ මිනිසුන්ට නැති කළා. අපි ඒ මිනිසුන්ට ජීවිතය දුන්නා. යුද්ධයෙන් විනාශ වෙච්ච භූමිය නැවත ගොඩ නැගුවා. නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය ඇතුළු ව්‍යාපෘතිවලින් ඒ ජන ජීවිතය ගොඩනැගුවා. යහපාලනය ඒ සියල්ල නැති කළා. ඒ නිසා පළමුවෙන් ඒ මිනිසුන්ගේ ආර්ථිකය හදන්න ඕනෑ. නිදහස්, නිවහල් මිනිසෙක් විදියට ඒ මිනිසුන්ට ගොඩනැගෙන්න අවස්ථාව දිය යුතුයි.   


 ප්‍රශ්නය:- නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ සමාජය තුළ මිලිටරි ආධිපත්‍යයක් ගොඩ නැගීම නොවෙයි?   


පිළිතුර:- එක එක්කෙනාට එක එක දේවල් කියන්න පුළුවන්. නමුත් ඇත්ත ඒක නොවෙයි. ජාතික ආරක්ෂාව ඈලියාවට ඇරීමෙන් වෙච්ච විපත පාස්කු ප්‍රහාරයෙන් පැහැදිලි වුණා. ඒ නිසා ජාතික ආරක්ෂාව ප්‍රධානයි. අපි යන්නේ ඒ මාර්ගයේ. ජාතික ආරක්ෂාව ප්‍රධාන කොට සලකන ජනාධිපති කෙනෙක් ඉන්නවා. පොළොවේ පය ගහලා ඉන්න ජනතාව ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙනවා. මේක තමයි රටට ඕනෑ.   


මේ රට ගොඩනගන්න නම් මෙහෙම සංකලනයක් ඕනෑ. රණ්ඩු වෙන්නේ නැති දේශපාලන නායකත්වයක් රටට ඕනෑ. දැක්කනේ පසුගිය කාලේ මොනවද වුණේ කියලා. උඩ ඉඳලා පහළට ගහ ගන්නවා.   


 ප්‍රශ්නය:- ගෝඨාභය දිනුවොත් මිලිටරි වළල්ලක් තමයි පරිපාලනයට එන්නේ කියලා ආණ්ඩුව කියනවා?   


පිළිතුර:- මේ ගොල්ලෝ නියත පරාජය දැක දැක අමුතු බිල්ලෝ මවනවා. හීනෙන් දොඩවනවා.   


 ප්‍රශ්නය:- නමුත් යුද ජයග්‍රහණයෙන් පස්සේ උතුරේ ආණ්ඩුකාර තනතුරට පත් කළේ විශ්‍රාමික යුදහමුද‌ා මේජර් ජනරාල්වරයෙක්?   


පිළිතුර:- ඒ එද‌ා තිබුණ තත්ත්වයට යටත්වයි. අද ජයග්‍රහණයෙන් පහුවදා ඉඳලා ඒ තත්ත්වය යහපත් වෙන්නේ නෑ. යම්කිසි කාලයක් ඒ අධික්ෂණය තිබිය යුතුයි. නමුත් දැන් තත්ත්වය වෙනස්. දැන් සංකලනය මහින්ද - ගෝඨා. ඒ නිසා ඔබ මතු කරන්න හදන තත්ත්වය ඇති වෙන්නේ නෑ.   


ගෝඨාභය රාජපක්ෂ එද‌ා හිටියේ පරිපාලන නිලධාරියෙක් හැටියට. එදා ඔහු දේශපාලනය කළේ නෑ. අද ඔහු දේශපාලනඥයෙක්. ඒ නිසා ඔහු කටයුතු කරන්නේ දේශපාලනඥයකු විදියටයි. එතුමාගේ අද දේශපාලන කතා බලන්න. එතුමා වැඩ කරන හැටි බලන්න. ඔහුගේ ප්‍රතිරූපයට හානි කරන්න පරාජයෙන් වියරු වැටිලා ඉන්න පිරිස් විවිධ මඩ ගහනවා. එකක් බොහොම පැහැදිළිව කියන්න ඕනෑ. ඔය බොරුවලට ජනතාව රැවටෙන්නේ නෑ. මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව දැන් තීන්දුව අරගෙන ඉවරයි.   


 ප්‍රශ්නය:- එහෙම නම් ඇයි මේ එක දිගට පොරොන්දු දෙන්නේ?   


පිළිතුර:- අපිට ජනතාවගේ ප්‍රශ්න තේරෙනවා. ඒවාට අපි ළඟ විසඳුම් තියෙනවා. ඒ විසඳුම් ප්‍රායෝගිකයි. අපි කිව්වේ නැහැනේ වතු කම්කරුවන්ට රුපියල් 1500 ක් දෙනවා කියලා. අපි කියන්නේ වතු කම්කරුවාට රුපියල් 1000 ක් දෙනවා කියලයි. තුට්ටු දෙකේ බොරු කියලා අපි ජනතාව රවටන්නේ නෑ. සජිත්ලාට රුපියල් පනහක් දී ගන්න බෑ. ඒ වුණාට රුපියල් 1500 ක් දෙන්න කතා කරනවා.   


 ප්‍රශ්නය:- බදු අයින් කරන බව කියනවා, හැබැයි ආද‌ායම් මාර්ග ගැන කියන්නේ නෑ?   


පිළිතුර:- අපේ අවුරුදු දහයක පාලන කාලය ගන්න. අපි යුද්ධයක් කරන ගමන් රට සංවර්ධනය කළා. ජනතාවට ඒ අත්දැකීම තියෙනවා. අපිට මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන්. ආයෝජකයන් ගෙන්වන්න පුළුවන්. කෘෂිකර්මාන්තය දියුණු කරන්න පුළුවන්. රැකියා අවස්ථා ඇති කරනවා. අපි එහෙම රට දියුණු කරලා පෙන්නුවා.   


 ප්‍රශ්නය:- ජවිපෙ අනුර කුමාර ඉන්නවා. මහේෂ් සේනානායක ඉන්නවා. රොහාන් පල්ලෙවත්ත ඉන්නවා. මේ අය ඔබේ කඳවුරට අභියෝගයක් නෙවෙයි ද? 

 
පිළිතුර:- ඔය කවුරු හිටියත් ප්‍රශ්නයක් නෑ. ඔය අය කවුද කියලා මුළු රටම දන්නවා. අපේ කඳවුරට යම්හරි තරගයක් තියෙන්නේ සජිත් විතරයි. ඔය ඔබ කියපු කිසිම අපේක්ෂකයෙක් ඡන්ද පනස්ද‌ාහකට වඩා ගන්නේ නෑ. මේ රටේ මිනිස්සු මෝඩ නෑ. මේ රට ගොඩනගන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විතරයි. වෙන නමක් නෑ. ඒක මිනිස්සු තීරණය කරලා ඉවරයි.  


 ප්‍රශ්නය:- නමුත් අනුර කුමාර නව මාදිළියකින් නව පෙනුමකින් මැතිවරණ ව්‍යාපාරය අරගෙන යනවා?  


පිළිතුර:- නව මාදිලියකින් නව පෙනුමකින් ආවත් පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහනේ. සජිතුයි අනුරයි දෙන්නම එකයි. මේ අවුරුදු හතර හමාර අනුර කුමාර ජීවත් වුණේ රනිල්ගේ දේශපාලන අනුග්‍රහයෙන්නේ. අනුරනේ රනිල්ගේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ රැක්කේ. ඒ නිසා රනිල් නොම්බර දෙක අනුර කියන්නේ. මේ රටේ මිනිස්සු ඒක දන්නවා.  


 ප්‍රශ්නය:- 2015 දී ඔබේ කඳවුර හිටියෙත් මේ උන්මාදයෙන්මයි. ප්‍රතිඵල එනකොට පරාදයි. සජිත් ආවම ගම නැගිට්ටා?  


පිළිතුර:- ගමේ ඉන්න යූඑන්පීකාරයා නැගිට්ටා. ගමේ එක පොහොට්ටු සාමාජිකයෙක් සජිත් ගාවට ගියේ නෑ. යූඑන්පියට ඉන්නේ පරදින නායකයෙක්. සටනක් දෙන්න හරි පුළුවන් සජිත් ආවොත් තමයි කියලා ගමේ යූඑන්පි සාමාජිකයා හිතුවා. නමුත් එයත් නොන්ඩි ගහන අශ්වයෙක් කියලා ඒ පාක්ෂිකයා තේරුම් අරගෙන තියෙනවා.  


ඊයේ පෙරේද‌ා මහනුවර දිස්ත්‍රික්කයෙ සජිත්ගේ රැස්වීම් තිබුණ. මිනිස්සු 500 ක් නෑ. යටිනුවර රැස්වීමට සෙනඟ නැති නිසා සජිත් ආවෙත් නෑ. ගෙලිඔය සෙනඟ නෑ. නාවලපිටියෙ සෙනඟ නෑ. ගෝඨාභය රාජපක්ෂගේ හැම ආසන රැස්වීමකම ජනතාව හත් අටද‌ාහයි.  


 ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වේදිකාවට නගින කොට තවදුරටත් හූ කියනව ද?  


පිළිතුර:- නෑ නෑ. එහෙම නම් රනිල්ටත් හූ කිව්වේ. ඕක මේ ආසනවල තියෙන මනාප පොරයනේ.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතාම ශක්තිමත්ව මැතිවරණ ව්‍යාපාරයෙ ඉන්නවා. ඊයේ පෙරේද‌ා මහින්ද අමරවීර මැතිතුමා හම්බන්තොට හැම රැස්වීමකටම ආවා. බදුල්ලේ රැස්වීමේ නිමල් සිරිපාල මැතිතුමා කතා කළා. කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. අපි දැන් සමගිව මේ ගමන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ ද‌ාහතරම අපිට ඡන්දය දෙනවා. මේ මැතිවරණය අපි දිනනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්