පෙරළන්න පුළුවන් පළමු තත්පරයේදීම මේ ආණ්ඩුව පෙරළනවා


විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

දේශපාලන අර්බුද සුළිය තවමත් මුළුමනින්ම පහව ගොස් නැත. අභිනවයෙන් විපක්ෂ නායක ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතාට එම නව තනතුර සම්බන්ධයෙන් ද අභියෝග එල්ල වී තිබේ. ඒ අභියෝග මැද ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග කළ සාකච්ඡාවකි. 

• අප ඔබ හැඳින්විය යුත්තේ කොහොමද? පාර්ලිමේන්තු මන්ත්‍රී ද විපක්ෂ නායකද?   


හැමදාම මාව හඳුන්වපු හැටියට හැඳින්වූවාම හරි. මම 70 ඉඳලා මන්ත්‍රී. දැනුත් මන්ත්‍රී. විපක්ෂනායකකම්, අගමැතිකම් ජනාධිපතිකම් තාවකාලික තනතුරු.   


• දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් කියනවා ‘‘තවමත් මමයි විපක්ෂ නායක’’ කියලා.   


එතුමාට ඕනෑම මතයක් ඉදිරිපත් කරන්න නිදහස තියෙනවනේ.   


• කලබලේ ඇයි පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ? මේ ප්‍රශ්න ඒ නිසානේ?   


නෑ මම එහෙම සාමාජිකත්වයක් අරගෙන නෑ.   


• පත්තරවල පින්තූරත් ගියා. ඔබ කොහොමද නෑ කියන්නේ?   


පක්ෂයක සාමාජිකත්වය ඉල්ලීමත්. පක්ෂයෙන් සාමාජිකත්වය පිරිනැමීමත් දෙකක්නේ. ඇප්ලිකේෂන් දැම්මට විතරක් මදියි.

   
• කාඩ්පතක් ප්‍රදානය කරනවා තමයි පින්තූරයේ තිබුණේ?   


නෑ ඒක සාමාජික කාඩ්පතක් නොවෙයි. කාඩ් එකේ මගේ නම නෑ. මම බෙදුවා විතරනෙ. කතානායකවරයට දැන් තියෙන්නේ තීන්දුවක් ගන්නනේ. පක්ෂයක් විසින් දන්වලා යවනවා අපේ පක්ෂයේ සාමාජිකයකු වන මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක වශයෙන් පත් කරන්න කියලා. සන්ධානයේ මහ ලේකම් එහෙම ලියුමක් යවනවා. තව මොනවද?.   


• ඔබ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක්ද? පොහොට්ටුවේ සාමාජිකයෙක්ද?   


මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් දැනට. අනික මම යාවජීව සාමාජිකයෙක්. මේක හැදුවෙත් බණ්ඩාරනායක මහත්තයලයි අපේ තාත්තලයි. ඒ නිසා ඒකේ අයිතිය තියෙනවා. අනික මම පක්ෂයේ අනුශාසකවරයෙක්. අනුශාසකවරයෙක් හැමදාම ඉන්නවා මිසක් එහාට මෙහාට වෙන්නේ නැහැනේ.   


• ඔක්තෝබර් 26 වැනිදා අගමැති ලෙස දිවුරුම් දීමේ අවස්ථාවේ සිට මේ මොහොත දක්වා සිදු වූ සියල්ල අරගෙන ඔබෙන් මෙහෙම ඇහුවොත් ‘‘මොකද වුණේ?’’   


මුකුත් වුණේ නෑ. මම එදා හිටපු මහින්ද රාජපක්ෂම තාම ඉන්නවා. 

 
• බහුතරය නැතිව මොකටද අගමැතිකම බාර ගත්තේ?   


බහුතරය නැහැ කියන්නේ කවුද? බහුතරය තිබුණා.   


• කෝ පෙන්වන්න බැරි වුණානේ?   


ඔව්! යම් යම් හේතු තිබුණා. ඒ හේතු නිසා යම් යම් අය පසුබෑමට ලක්වුණා.   

 


• ප්‍රශ්නය සල්ලිද?   


නෑ. සල්ලිම නොවෙයි. මම නම් කාටවත් කතා කළේ නෑ. මම එන්න කිව්වෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ යම් යම් මන්ත්‍රීවරුන් පිටරට ඉඳලා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා අපි කොළඹට ආපු ගමන් ඔබතුමත් එක්ක එකතු වෙනවා කියලා.   


• කවුද ඒ අය?   


මම එහෙම නම් ගම් කියන්න යන්නේ නෑ. පස්සේ වෙන වෙන හේතූත් තිබුණා. සමහරු ඒ අය එනවට විරුද්ධව කතා කළා. එහෙම ප්‍රශ්න ඇති වුණානේ. දැන් ඒවා කතා කරන්න අවශ්‍ය නෑ. ඒක ඒ අයටත් හොඳ නෑ. අපේ අයටත් හොඳ නෑ.   


• මල් වට්ටියක් තිබුණු ඔබේ අතට ගොම හට්ටියක් දුන්නා කියලත් කියනවා. 

 
ම්..... ම්..... ම්....... එහෙම එකක් නෑ. මල් වට්ටිය තාම තියෙනවා. 2005 දී අතට ගත්ත මල් වට්ටිය තාම තියෙනවා.   


• අගමැති ධුරයෙන් ඔබ ඉල්ලා අස්වුණේ ඇයි?   


මම රට අස්ථාවර කරන්න අවශ්‍ය නෑ. නඩු තීන්දුව එන්න තියෙන්නේ ජනවාරි 16-17. එතකන් මට අගමැති ධුරයේ ඉන්න පුළුවන්. නමුත් එතකොට රටේ තත්ත්වය මොකද්ද? රටේ අස්ථාවරත්වයක් ඇති වෙනකොට ඒ දිහා බලාගෙන මට ඉන්න බැහැනේ.   


• රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න කියලා අධිකරණයේ නඩුවක් ගොනු කරලා තියෙනවා. එහෙම තිබිය දී ඔහු අගමැති හැටියට පත් වෙනවා.   


ඒක එයාට ප්‍රශ්නයක් නොවෙයිනේ. එයා ඔය ටෙම්පල් ට්‍රීස් එක ඇතුළට ගියෙත් ඒක තියාගන්නනේ. මෙයා හිටියේ 5 වැනි පටුමගේනේ. මේක වෙච්ච ගමන් ටෙම්පල් ට්‍රීස් ගිහින් ‘‘මම තමයි අගමැති’’ කියලා ඒ වරප්‍රසාද භූක්ති වින්දා? ඒ එක එක්කෙනාගේ හැටිනේ.   


• තව අවුරුදු එක හමාරක් ඉවසුවා නම් හොඳයි කියලා කියන අයත් ඉන්නවා?   


ඔව් සමහරු එහෙමත් කියනවා. හුඟාක් එහෙම කියන්නේ යූඑන්පී කට්ටිය.

   
• එහෙම හිටියා නම් හොඳයි කියලා හිතන්නේ නැද්ද? මේකෙන් පසුබැසීමක් වුණා?   


නෑ. කිසිම පසුබෑමක් නෑ. මේකෙන් අපි පක්ෂයක් හැටියට තදින් බැඳුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එකට යන්න තීරණය කරපු නිසයි අපි එළියට බැස්සේ. විපක්ෂයට ආවේ. අපි එදා ඉඳලා විපක්ෂයේ හිටියේ. ඒ කාලය තුළ දී ඒ තිබුණු මංගල්‍යය අපි මේ පාර කැඩුවා. නැවතත් අපේ පක්ෂය යූඑන්පී විරෝධී, අධිරාජ්‍ය විරෝධී, ජනතාවාදී පක්ෂයක් බවට පත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් ඒ ප්‍රවාහයට ඇතුළත් කර ගත්තා. ඒක ලොකු ජයග්‍රහණයක් අපිට.   


• ඔබේ මීළඟ පියවර මොකද්ද?   


පක්ෂයක් විදියට අපි එදා විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා වගේ අපි ඒක කළානේ. ඒක තමයි අපේ වගකීම. එහෙම නැතිව හැමදාම විපක්ෂයේ ඉඳගෙන අර දෙමළ ජාතික සන්ධානයයි ජනතා විමුක්ති පෙරමුණයි වගේ ආණ්ඩුවට බොරුවට බැණ බැණ ඉන්නේ නැතිව පෙරළන්න පුළුවන් පළමු තත්පරයේදීම පෙරළනවා. අපි ආණ්ඩුව අරක්ෂා කරන්නේ නෑ. පෙරළන්න පුළුවන් වෙලාවට පෙරළනවා. ඒ වැඩ පිළිවෙළ අපි දියත් කරනවා.   


• ඔබ හා ජනාධිපති මෛත්‍රී කුමන්ත්‍රණයක නියැළුණා. ඒක පරාජය කළා කියලා ජවිපෙ අනුර දිසානායක කියනවා?   


මොන කුමන්ත්‍රණයක්ද? කුමන්ත්‍රණය කළේ ඒ අයනේ. ජනතා වරමක් නෑනේ ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගෙන ආණ්ඩු පිහිටුවන්න එහෙම ජනතා වරමක් දීලා තියෙනවද කියලා මම දන්නේ නෑ. මම විශ්වාස කරන්නේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු අය අපේක්ෂා කළේ යූඑන්පී වි​රෝධී දේශපාලනයක් මිස යූඑන්පියට මුක්කු ගැසීමක් නොවෙයි.   


• දෙමළ සන්ධානයත් ජවිපෙත් ඉන්නේ විපක්ෂයේ. ඒ අනුව යූඑන්පියටත් බහුතරය නෑ. ඉතින් විශ්‍වාසභංගයක් ගේන්න පුළුවන්නේ? 

 
කතානායකගේ අවසාන තීරණය දෙන්නේ හඬින් ඡන්දය විමසුවොත් එහෙම. එයාට ඇහෙන්නේ වැරදි හඬවල්නේ. අපේ හඬ ඇහෙන්නේ නෑ.  


• ඔබලා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළාම මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් අධිකරණයට යනවා ඒ තීරණයට විරුද්ධව?  


ඔව්. ස්වාධීන කොමිසන් සභා කියලා දාගත්තට වැඩක් නෑ. කොමිසන් සභාවල ඇතුළත බලන්න. ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ළඟ තියාගෙන කියපු කතාව තුළ තියෙනවනේ කොමිසන් සභා ගැනත් නඩු කාරයන් පත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨයන්. සුදුසුකම් තියෙන අය පත් කළාම ඒ අයව ඉවත් කරලා ඒ අයට අවශ්‍ය අය පත් කරගත්තා කියලා ජනාධිපතිතුමා ලොකු චෝදනාවක් ඉදිරිපත් කළා. මේක හැමෝටම බලපානවා. ඒ කතාව හරියට කියෙව්වොත් මොකද්ද කිව්වේ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ජනාධිපතිවරයාගේ බලතල පවා උදුරාගෙන වැඩ කළා කියලත් එතුමා කිව්වා. ඒ කිසිම චෝදනාවක් අගමැතිවරයා ප්‍රතික්ෂේප කළේ නෑ.  


• මේ පාර්ලිමේන්තුවට තව මාස 13ක් තියෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්. මොකක් වෙයිද?  


එච්චර කාලයක් යන්නේ නැති වෙයි.  


• කොයි තරම් කාලයක් යයිද?  


මාස 6ක් විතර. සමහරවිට ඊට පෙරත් වෙන්න පුළුවන්. රටේ තියෙන දේශපාලන පසුබිම දිහා බැලුවාම එහෙම තමයි කියන්න වෙන්නේ.  


• පාර්ලිමේන්තුව විසුරුවීමේ යෝජනාවක් ඔබලාට ගේන්න පුළුවන්ද?  


බෑනේ ඉතින්. අපි එහෙම ඉල්ලුවත් ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මොකක් කරයිද? ඒ දෙගොල්ලෝ හැර වෙනත් කොටස් ඒ යෝජනාවට සහාය දෙයි කියලා හිතන්න බෑ.  


• යුද්ධය අවසන් කළ නායකයා ලෙස ඉතිහාසයට එක් වුණ ඔබ දින 50 අගමැති හැටියට යළිත් ඉතිහාසයට එක් වුණා. මොකද හිතෙන්නේ?  


ඒක ප්‍රශ්නයක් නෑ. ඒකත් රෙකෝඩ් එකක්නේ. මෙතැන තියෙන්නේ මට තියෙනවා ආත්ම ශක්තියක්. ජනාධිපති හැටියට වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියටත් මට ඉන්න පුළුවන්. ඒ දෙකේම හිටියා කියලා මගේ වෙනසක් වෙලත් නෑ.

  
• ඒ දින 50න් රටට දීපු ජයග්‍රහණයක් තියෙනවද?  


ඇයි නැතිව. බදු සහන ටික බලන්න. තෙල් මිල අඩු කළා. බඩු මිල අඩු කළා. වඩාත්ම වටින්නේ ආණ්ඩුවේ තුනෙන් දෙක නැති කිරීම. එහෙම නොවුණා නම් නොවැම්බර් 7 ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කර ගන්න ඉඩ තිබුණා.  


• ඔක්තෝබර් 26 ඔබ අගමැති හැටියට දිවුරුම් දෙන්න කලින් කොච්චර කාලයක් මේ සාකච්ඡා ගියාද?  


මම හිතන්නේ සුමාන දෙකක් විතර ඇති. දිවුරුම් දීපු දවසත් එක්කම හතර පාරයි මම ජනාධිපතිවරයා මුණගැහුණේ. ඇත්තම කියනවා නම් දිවුරුම් දෙන්න යනකම් මම දන්නෙත් නෑ.  


• ඔය සාකච්ඡා පටන් ගන්නේ කොහොමද?  


ඔය සාකච්ඡා ගැන මට කතා කරලා කිව්වා වාසුදේව සහෝදරයා. ඊට පස්සේ එස්.බීලා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල ඒ සාකච්ඡාවලට සම්බන්ධ වුණා. වාසුදේව සහෝදරයා ඇවිල්ලා කිව්වම මම කිව්වේ මට නම් එකතු වෙන්න බෑ කියලයි. මම ඒක කෙළින්ම ප්‍රතික්ෂේප කළා. පස්සේ මම කිව්වා පක්ෂයට දාලා බලන්නම් කියලා. මම තනියෙන් ගත්ත තීරණයක් නොවෙයිනේ. අනික් අයත් එක්ක කතා කරලා ජනාධිපතිතුමා තුන් පාරක් හමු වුණා.  


• කෙ​ෙහ්දීද හමු වුණේ?  


ඒවා අහන්න එපා ඒවා කියන්න බෑ.   


• ජනාධිපති මෛත්‍රී​ හා ඔබ අතර තියෙන අවබෝධය කොහොමද?  


බොහොම හොඳ අවබෝධයක් තියෙනවා අපි දෙන්නගේ. සිරිසේන මහත්තයා හැත්තෑ ගණන්වල ඉඳලා මම දන්නේ. 2014 දී ප්‍රශ්නයක් ආවා. එයා ගියා. එයා ගිහින් දිනුවා. ඒක හරිනේ. එයාට අවස්ථාවක් ආවම එයා ඒක ප්‍රයෝජනයට ගත්තා. ඒකේ කිසිම වරදක් මම දකින්නේ නෑ. මේක ජනතාවගේ ප්‍රශ්නයක්නේ. ජනතාව මට ඡන්දය දෙන්නේ නැතිව අනික් පැත්තට ඡන්දය දුන්නා. දිනුම පැරදුම කියන එක පිළිගන්න බැරිනම් ඒක ප්‍රශ්නයක්.  


• ජනාධිපති මෛත්‍රී මෙවරත් ඔබ කිසියම් උගුලකට හසු කළා කියලා හිතෙන්නේ නැද්ද?  


මම එහෙම හිතන්නේ නෑ. එහෙම උගුලකට හසුවීමක් නෑ. උගුලකට හසුවෙනවා නම් ඒක මගේ වරදක් මිසක් එයාගේ දක්ෂතාවයක් නොවෙයි. විශේෂයෙන්ම දේශපාලනයේදී මෙතැනදී මම කිසිම විටෙකදී උගුලකට හසු වුණේ නෑ.  


• ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නීති උපදෙස් මත කියලයි කිව්වේ. නමුත් ග්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිශ්චය මණ්ඩලය කිව්වේ ඒක නීති විරෝධීයි කියලයි.  


අධිකරණ තීන්දුවට මගේ එකඟතාවක් නෑ. ඒ තීන්දුව ගත්තේ ශ්‍රේෂ්‍ඨාධිකරණයනේ. අපට ඊට ඉහළ අධිකරණයක් නෑ. ඒක අපි පිළිගන්න ඕනෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ජනාධිපතිවරයා වැරැද්දක් කළේ කියලා. එතුමා, සද්භාවයෙන් තමයි ඒක කළේ. ඒක ජනාධිපතිතුමත් කිව්වා. මම මේ තීන්දුව ජනතාවට ගන්න අවස්ථාව දුන්නා කියලා. එතුමා කිව්වා.  


• ඔබ පිළිගන්නවද ජනාධිපතිවරයා සද්භාවයෙන් කළේ කියලා.  


අනිවාර්යයෙන්ම ඔව්. නීතිවිශාරදයන්ගෙන් විමසලා තමයි එතුමා ඒ තීරණය ගත්තේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ජනතාවට නොදී පාර්ලිමේන්තුවේ 127 දෙනකුට දිය යුතුයි කියලා තීන්දු කළා. ඒ තීරණයට එකඟ නොවුණත් අපි හිස නමනවා.  


• ඔබ කඩිමුඩියේ අගමැතිකම බාරගත්තේ නඩු හබ ෂේප් කරගන්න?  


සත්තකින්ම නෑ. රට විකුණාගෙන විකුණාගෙන ගියානේ. අනික් පැත්තෙන් විදේශ කඳවුරු දාන්න අපේ ඉඩම් දෙන්න පටන් ගත්තා. රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථාව ගේන්න හිටියේ. අපි නම් මේවා විවේචනය කරමින් හිටියේ. එතකොට මේවා නතර කරන්න පුළුවන් ක්‍රමය මොකද්ද? බලයගත යුතුයි. ලැබුණු පළමු අවස්ථාවේම ඒ බලය ගත්තා. විපක්ෂයේ ඉන්න මිනිහා අවස්ථාවක් ලැබුණොත් ගන්නෙ නැත්නම් තේරුමක් නැහැනේ. රට වෙනුවෙන් අපි ඒ තීන්දුව ගත්තේ. ඒකේ කිසිම වරදක් නෑ. හෙට සම්බන්දන්ට එන්න කිව්වොත් සම්බන්දන් නොගෙන ඉඳීද?  


• ජාත්‍යන්තරය මෙවරත් ඔබට හරහට හිටියා. ඇයි ජාත්‍යන්තරය ඔබත් එක්ක මෙච්චර අවුල්?  


ඔව්. විදේශ බලපෑම් බොහොම බරපතළව ආවා. ඒක බොහොම පැහැදිලියිනේ. 2015 ජනාධිපතිවරණයේදීත් ඒක ආවනේ. මම ප්‍රසිද්ධියේ ඒකට චෝදනාත් කළානේ. අදත් ඒ බලපෑම තිබුණේ අපි දැක්කනේ අත්පුඩි ගහපු හැටි ගැලරියේ ඉඳගෙන. තානාපතිවරුන්ට ඒක සුදුසුද කියන එක ප්‍රශ්නයක්නේ. ඒ තමයි රටේ තත්ත්වය.  


2015 ජනාධිපතිවරණයේදී ඇමෙරිකාවේ විදේශ ලේකම් ජෝන් කෙලී කිව්වනේ ඩොලර් මිලියන හයසිය ගාණක් රටවල් 3ක ආණ්ඩුව පෙරළන්න යෙදෙව්වා කියලා. ඒකෙන් අපි ජයගත්තා කියලත් කිව්වා. ඒ රටවල් තුනෙන් එකක් තමයි අපේ රට. එතකොට එංගලන්තයේ හිටපු අගමැතිවරයා කිව්වා ඒකේ ක්‍රෙඩිට් එකක් අපටත් අවශ්‍යයි කියලා. කවුද මේ? හරි විදියට බැලුවොත් 1948ට පෙර මේ රට තිබුණ තත්ත්වයට මේ අය අරන් ගිහින් තියෙනවා. අද මන්නාරමේ මිනී වළවල් හාරන්නෙත් සුද්දෝ. මේ රටට අත්වෙලා තියෙන තත්ත්වය දේශපාලන කෝණයෙන් බලන්නේ නැතිව පුළුල්ව බලන්න ඕනෑ.  

බොහොම හොඳ අවබෝධයක් තියෙනවා අපි දෙන්නගේ. සිරිසේන මහත්තයා හැත්තෑ ගණන්වල ඉඳලා මම දන්නේ. 2014 දී ප්‍රශ්නයක් ආවා. එයා ගියා. එයා ගිහින් දිනුවා. ඒක හරිනේ. එයාට අවස්ථාවක් ආවම එයා ඒක ප්‍රයෝජනයට ගත්තා. ඒකේ කිසිම වරදක් මම දකින්නේ නෑ.


• මේ පරිසරය තුළ විධායක බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් ඔබේ ස්ථාවරය?  


අපි දේශපාලන වශයෙන් විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. නමුත් රටේ තියෙන තත්ත්වය දිහා බැලුවම එල්ටීටීඊ එක තවම ක්‍රියාත්මක වෙනවනේ පිටරට ඉඳලා. යම් යම් අවස්ථාවල වෙන වෙන ස්වරූපවලින් මෙහිදී ප්‍රකාශයට පත් වෙනවා. එබඳු තත්ත්වයක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ අවස්ථාව නොවෙයි.  


• ඔබ මුලින් බලාපොරොත්තු වෙන්නේ මහ මැතිවරණයක්ද? ජනාධිපතිවරණයක්ද?  


මහ මැතිවරණයකට ගිහින් ජනාධිපතිවරණයකට ගියොත් තමයි ඔක්කෝටම හොඳ.  


• ඊළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය ගන්න ජනාධිපති මෛත්‍රී ඔබලා ළංකර ගත්තා?  


නෑ එහෙම එකකුත් නෑ. ජනාධිපතිවරයා අපිත් එක්ක කරපු කිසිම සාකච්ඡාවකදී මට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ඕනෑ කියලා කිව්වෙ නෑ. මම දන්නවා පෞද්ගලිකව සමහරු ඔය කතාව ජනාධිපතිවරයට කිව්වම එතුමා කිව්වේ ඒක මේ වෙලාවේ අදාළ වෙන්නේ නෑ කියලා.  


• ඊළඟ ජනාධිපතිවරණයේ කවුද ඔබේ අපේක්ෂකයා?  


පිළිතුර - ඒකට තව කල් තියෙනවනේ.  


• ගෝඨාභය රාජපක්ෂගේ නම ඉස්සර කියවුණා?  


පිළිතුර - එක එක්කෙනාගේ නම් කියැවෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ නම කියැවෙනවා, වෙල්ගම කියනවා එයා කියලා. මර්වින් සිල්වා කියනවා එයා එනවා කියලා. බලන්න කොච්චර ප්‍රබල කට්ටිය ද කියලා. මම විතරයි කියන්නේ නැත්තේ මම එනවා කියලා.  


• මැතිවරණයකට යන්නේ කොහොමද? පොහොට්ටුවෙන්ද? ශ්‍රී ලංකා එකෙන්ද?  


පිළිතුර - අපි සන්ධානයක් හැටියට ඉදිරිපත් වෙන්නේ. ඒකට අපි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා.  


• ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තුන් දෙනෙක් ආණ්ඩුවට ගියා. තවත් කට්ටිය යන්න ඉන්නවලු. මොකද වෙන්නේ?  


පිළිතුර - තමන්ගේ දේශපාලන ඉරණමත් අරගෙන තමයි යන කෙනෙක් යන්නේ.  


• පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගැනීමේ මෙහෙයුම අසාර්ථක වුණේ‍ බැසිල් රාජපක්ෂ කර ඇරිය නිසා?  


පිළිතුර - මම පිළිගන්නේ නෑ ඒක. මොකද මුස්ලිම් අය පක්ෂයක් විදියට ගමු කියන මතයේ බැසිල් හිටියා. සමහරු හිටියා පක්ෂය කඩලා කට්ටිය ගමු කියලා. ඊටත් එහා ප්‍රශ්නයක් වුණේ තව කණ්ඩායමක් අපේ පැත්තේ හිටියා. ‘‘ඔය ගොල්ලෝ එන්න එපා අපි ඔය පැත්තට එනවා’’ කියලා කියපු අය. ඒ අය කිව්වා ‘‘අපි තාම තීන්දුවක් අරගෙන නෑ අප දහ දොළොස් දෙනෙක් ආණ්ඩුවට එන්න ඉඩ තියෙනවා. උඹලා මේ පැත්තට ඇවිත් අමාරුවේ වැටෙන්න එපා’’ කියලා. 

 
• ඒ අයත් එක්ක කොහොමද ඉස්සරහට වැඩ කරන්නේ?  


මගෙත් එක්ක වැඩ කරන්න කාටවත් අමාරු නෑ. මට ප්‍රශ්නයක් නොවෙයි ඕවා. අපේ පක්ෂයෙන් ඉල්ලනවා නම් ඕනෑම කෙනෙක් ඒ ඕනෑම කෙනෙකුට මම උදව් කරනවා එක හා සමානව.

 

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්