කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නෑ


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
මහින්දානන්ද අලුත්ගමගේ  

 

අගෝස්තුව ආණ්ඩුවට තීරණාත්මක බව ඒකාබද්ධ විපක්ෂය කියයි. ඒ ඇයි? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - රටේ දේශපාලන තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?  


පිළිතුර - මේ වෙනකොට ආණ්‍ඩුව අර්බුද ගණනාවකට මුහුණ දීලා තියෙනවා. එක පැත්තකින් ආණ්ඩුව ඇතුළේ තියෙන බල අරගලය. අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන ගැටුම.  


ප්‍රශ්නය - එහෙම ලොකු ගැටුමක් තියෙනවාද? එහෙම නැත්නම් එහෙම දෙයක් ප්‍රාර්ථනා කරනවාද?  


පිළිතුර - එහෙම ගැටුමක් තියෙනවා නේ. තියෙනවා විතරක් නොවෙයි මේක දවසෙන් දවස වර්ධනය වෙමින් පවතිනවා. ඒ නිසා ආණ්ඩුවට තීරණ ගන්න බෑ. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. ආණ්ඩුවේ තියෙන අස්ථාවර බව නිසා ආයෝජකයෝ එන්නේ නෑ. ඒ නිසා බරපතළ දේශපාලන අර්බුදයකට ආණ්ඩුව මුහුණ දීලා තියෙනවා. අනික් පැත්තෙන් බරපතළ ආර්ථික අර්බුදයකට ආණ්ඩුව මුහුණදීලා තියෙන්නේ. ආණ්ඩුවට සල්ලි නෑ. ඒ නිසා මිනිසුන්ට අසාමාන්‍ය ලෙස බදු ගහන්න පටන් අරගෙන.  


ප්‍රශ්නය - ආණ්ඩුව බාර ගත්තේ ණය උගුලක හිර කළ රටක්?  


පිළිතුර - දැන් අවුරුදු කීයක් තිස්සේ ඔය කතාව කිව්වද? 2015 දී අපි ආණ්ඩුව බාර දෙනකොට රාජ්‍ය බදු ආදායම ට්‍රිලියන එකයි. 2018 දෙසැම්බර් වෙනකොට මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ට්‍රිලියන 2ක්. ඒ කියන්නේ සීයට සීයක් බදු ගහනවා. එතකොට මෙහෙම බදු ගහන්න ගත්තොතින් මේ රටේ මිනිස්සු මරාගෙන මැරෙණ මනසින් හෝ පාරට බහිනවා. බදු ගහලත් දැන් සල්ලි මදි නිසා රටේ තියෙන ඉතාම වාණිජමය වටිනාකමින් යුත් දේපොළ විකුණනවා. හම්බන්තොට වික්කා. මත්තල විකුණන්න හදනවා. ඒ වගේම පලාලි ඉන්දියාවට දෙන්න හදනවා. එතකොට මේ රටේ ජාතික ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතිව රටේ සම්පත් විකුණනවා. ඒ නිසා අපි දන්නවා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එන්නේ මොකාටද කියලා. එතුමාගේ ‘රිගේනින්ග් ශ්‍රී ලංකා’ ගමන ඔතැනින් නතර වෙන්නේ නෑ. ඊළඟට විදුලිබල මණ්ඩලයට, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, ලංගමට, දුම්රියට අත තියනවා. මහා ආර්ථික ඔස්තාර්ලා කියල බලයට පත්වෙච්ච මේ ආණ්‍ඩුවට බැරිවුණා මේ කාලය තුළ ජනතාවට කිසිම සහනයක් දෙන්න. රට විනාශයෙන් විනාශයට අරගෙන ගියා විතරක් නොවෙයි හිටගෙන හොරකම් කරන්නත් පටන් ගත්තා.  


මේ කාරණා නිසා දැවැන්ත ජනතා විරෝධයක් මතු වෙලා තියෙන්නේ. මිනිස්සු ඉස්සර පාරට බැස්සේ බඩු මිල අඩු කර ගන්න. පොල් මිල අඩු කරගන්න. හාල් මිල අඩු කර ගන්න. නමුත් දැන් මිනිස්සු පාරට බහින්නේ ‘අදම මැතිවරණයක් දියව්’ කියලයි. මොකද මිනිසුන්ගේ දැන් මූලික උවමනාව ආණ්ඩුව ගෙදර යැවීමයි.  


ප්‍රශ්නය- ඔය ඔබ කියන විදියේ දැවැන්ත අර්බුදයක් තිබුණත් ඒකාබද්ධ විපක්ෂය මොකද කරන්නේ?  


පිළිතුර - ඒකාබද්ධ විපක්ෂය ඔබ දන්නවා පහුගිය කාලය පුරාම මේ රටේ කරපු අරගලය. ආණ්ඩුව මේ තරමින් හරි මට්ටු කරලා තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයයි. අපි පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත කරපු දැවැන්ත අරගල උද්ඝෝෂණ නිසා තමයි ආණ්ඩුව මේ තරමින්වත් මට්ටු වෙලා තියෙන්නේ. අපි පහුගිය 2 වැනිදා කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් කළා. ඒ වගේම අද ඉරිදා අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ 10කට වැඩි පිරිසක් කොළඹට ගෙන්වලා මුළු කොළඹම වට කරලා ආණ්‍ඩුවට දැවැන්තම බලපෑමක් එල්ල කරන්න. එතැනින් පටන් ගන්නා උද්ඝෝෂණ මාලාව ලබන අවුරුද්ද පුරාම දිග්ගැස්සෙන දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් බවට පත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දැවැන්තම පා ගමනක් එ් වගේම අප බලාපොරොත්තු වෙනවා දින කිහිපයක් කොළඹ නවතින්න. ජනතාවත් එක්ක ඇවිත් අපි කොළඹ නතර වෙනවා.  


ප්‍රශ්නය - කොළඹ නතර වීමේ අරමුණ?  


පිළිතුර - අරමුණ ආණ්ඩුව ගෙදර යැවීම. ආණ්ඩුව ගෙදර යනකම් අපි ගෙදර යන්නේ නෑ. ඒක තමයි අපේ අරමුණ.  


ප්‍රශ්නය - ආණ්ඩුව එහෙම ගෙදර යයිද?  


පිළිතුර - ආණ්‍ඩුව ගෙදර යා යුතුමයි. ආණ්ඩුව කඩිනමින් මැතිවරණ ප්‍රකාශයට පත් කළ යුතුයි. ආණ්‍ඩුව මැතිවරණ කල් දමමින් ජනතාවට බදු ගසමින් රාජ්‍ය දේපොළ විකුණමින් ජනතාවගේ මුදල් හොරකම් කරමින් මේ හොර තක්කඩි ආණ්ඩුව ගෙදර යැවිය යුතුමයි. ඒ අරමුණෙන් තමයි මේ උද්ඝෝෂණ මාලාව අපි කරන්නේ.  


ප්‍රශ්නය - අලුත් විශේෂ මහාධිකරණ පිහිටුවලා හොරුන්ට දඬුවම් දෙන්න හදනකොට ඒකාබද්ධ විපක්ෂය බූමිතෙල් ගැවුණු ගැරඬි වගේ දඟලන්න පටන් අරගෙන කියලා ආණ්ඩුව කියනවා?  


පිළිතුර - මෙහෙමයි. විශේෂ අධිකරණ හදනවා කියලා එදා ඉඳලම කිව්වනේ. දැන් විශේෂ අධිකරණ හදලා. ඒ විදියට විශේෂ අධිකරණ හැදීමයි අපි පාරට බැසීමයි අතර තියෙන ප්‍රශ්නය මොකද්ද? අපි පාරට බහිනවා කිව්වොත් අපි පාරට බැස්සොත් ආණ්‍ඩුව විශේෂ අධිකරණ හදන එක වේගවත් කිරීම තමයි වෙන්නේ. අපි මෙහෙම අරගල කරනකොට ‘මුන් දඟලගෙන එනවා මුන්ව ඉක්මනට අල්ලලා හිරේ දාන්න ඕනෑ’ කියලා ආණ්ඩුව හිතනවා. ඒ නිසා අපි ඒවට බය නෑ. ඔය දඩයමට බය වුණා නම් අපි මේ මුකුත් කරන්නේ නෑ. නඩුවලට බය නම් විශේෂ අධිකරණවලට බය නම් මේ දඩයමට බය නම් අපි කළ යුත්තේ ආණ්‍ඩුවත් එක්ක ඩීල් එකක් දාගෙන නිකම් ඉන්න එක. අගමැතිවරයට කඩේ ගිහින් ජනාධිපතිවරයට කඩේ ගිහින් ෂේප් එකේ ඉන්න ඕනෑ. අපි මේ දඩයමට බය නැති හින්දා තමයි අපි පාරට බහින්නේ.  


ප්‍රශ්නය - සෙනඟ පෙන්වලා පරීක්ෂණ අතරමග නතර කර ගැනීමේ උත්සාහයක් මේ උද්ඝෝෂණ ඇතුළේ?  


පිළිතුර - මෙහෙමයි. මේ විශේෂ අධිකරණවලට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඒවට විතරක් නඩු දාන්න බැහැනේ. විශේෂ අධිකරණ හැදීමේ මූලික අරමුණ තමයි මහාධිකරණවල නඩු පමාවීම. එතකොට මේවායේ කුඩු නඩු තියෙනවා. මිනීමැරුම් නඩු තියෙනවා. ඒ විදියට මහා නඩු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ විශේෂ අධිකරණවල අපේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නඩු විතරක් දැම්මොත් ඉතාම පැහැදිලිව පේනවා මේවා දේශපාලන අධිකරණ කියලා. ඉතින් මම හිතන්නේ නෑ අධිකරණය එහෙම වෙයි කියලා. අග්‍රවිනිශ්චයකාරතුමා නීතිපතිතුමා එතැනට යයි කියලා මම හිතන්නේ නෑ. මහේස්ත්‍රාත්වරුන් එතැනට යයි කියලා මම හිතන්නේ නෑ. මොකද අධිකරණය ස්වාධීන වෙන්න ඕනැ නේ. අධිකරණය දේශපාලන අධිකරණයක් වුණොත් රටකට මොකද වෙන්නේ? අද මේ රටේ යම්තම් හරි ඉතිරි වෙලා තියෙන්නේ අධිකරණය විතරයි. ඒ නිසා මේ අධිකරණය අපිට විතරක් ගහන අධිකරණයක් වෙන්න බැහැ. මේ අධිකරණය විය යුත්තේ අපේ නඩුත් අහනව වගේම අපි දාන නඩුත් එන්න ඕනෑ. සියලු නඩු මේවට එන්න ඕනෑ. ඉතින් මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා නම් අපේ නඩු විතරක් අහන්න ඒක තමයි අපිට කරන ලොකුම උදව්ව. මම විශ්‍වාස කරන්නේ නම් නෑ අගවිනිසුරුතුමා, නීතිපතිතුමා හෝ විනිශ්චයකාරතුමන්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕනෑ විදියට වැඩ කරයි කියලා.  


ප්‍රශ්නය - අවුරුදු තුන හමාරක් තිස්සේ ඔය විදියටම උද්ඝෝෂණ කළා, පා ගමන් ගියා, සෙනඟ පෙන්නුවා කෝ ආණ්ඩුව ගෙදර යැව්වද?  


පිළිතුර - ඇයි අපි ගෙදර යැව්වෙ නැද්ද මේ ආණ්‍ඩුව. අපි පෙබරවාරි 10 වැනිදා ආණ්ඩුව නිල නොලත් විදියට ගෙදර යැව්වනේ. ලංකා ඉතිහාසයේ අලුත් දේශපාලන පක්ෂයක් හදලා දවස් 50ක් යන්න කලින් ලංකාවේ පළාත් පාලන ආයතනවල සීයට 73ක බලය ලබා ගත්තා නම් ඊට වැඩිය මොනවද?  


මේ රටේ පළමුවැනි පුරවැසියා ජනාධිපතිවරයා, දෙවැනි පුරවැසියා අගමැතිවරයා. නියෝජනය කරන පක්ෂ දෙකම ගෙදර යැව්වා. පක්ෂ දෙකම පරදවා දින පනහේ පක්ෂයක් රටේ පළාත් පාලන ආයතනවලින් සියයට 73ක බලය ගන්නවා. ඊට වැඩිය මොනවද ඒකාබද්ධ විපක්ෂයට ගන්න තියෙන ජයග්‍රහණ ලබන්න ඕනෑ. උපරිම ජයග්‍රහණ අපි ලබලා තියෙනවා. හෙට පළාත් සභා මැතිවරණය තිබ්බොත් පළාත් සභා හතේම අපි බලය පිහිටුවනවා. ඒ නිසා ආණ්ඩුවට කියන්න පුළුවන් නම් මැතිවරණයකට යන්න කියලා. විශේෂ අධිකරණ දාන්න කියන්න. හැබැයි ඒ වගේම මැතිවරණයකට යන්න කියන්න. මිනිස්සු හිටගන්නේ කොහේද කියලා එතකොට බලාගන්න පුළුවන්. ඒ නිසා අපි පාගමන් ඇවිල්ලා ගෝල්ෆේස් පුරවලා හයිඩ්පාක් පුරවලා නුගේගොඩ පුරවලා කරපු දේවල් තමයි මේ තියෙන්නේ. ජනතාව අද අන්ත පීඩනයක ඉන්නේ, මිනිසුන්ගේ අතේ සල්ලි නෑ. මිනිසුන්ට කන්න නෑ. මිනිස්සු දැඩි අසීරුතාවක ඉන්නේ. මේ ගොල්ලෝ රාජ්‍ය සම්පත් සියල්ල විකුණනවා. හිටගෙන හොරකම් කරනවා. අවස්ථාවක් එනකම් තමයි ජනතාව බලාගෙන ඉන්නේ.  


ප්‍රශ්නය - ආණ්‍ඩුව පෙරළන කතා කළාට ඔබලාට තවමත් විපක්ෂ නායක ධුරයවත් ලබාගන්න බැරි වුණා?  


පිළිතුර - මෙහෙමනේ. ඉතින් මේ කතානායකවරයාගෙන් විපක්ෂ නායක ධුරය ලබාගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් නේ. අද තියෙන්නේ විකෘති පාර්ලිමේන්තුවක්. කතානායකතුමා කියන්නේ නිකම්ම නිකම් පතෝල කරලක්. ගුණත් නෑ අගුණත් නෑ. මේ රටේ පහළ වෙච්ච අදක්ෂම කතානායකවරයා. කිසිම තීන්දුවක් ගන්නේ නැති මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් කරපු කතානායකවරයා තමයි මේ කතානායකවරයා. අද බලන්නකෝ පාර්ලිමේන්තුවේ තියෙන සංයුතිය. මේ රටේ මිනිස්සු ඇයි මේ පාරට බහින්නේ? මේක මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රශ්නය නේ. පාර්ලිමේන්තුවේ නියම විපක්ෂයට එළියට එන්න දෙන්නේ නැතිව කෘතිම විපක්ෂයක් හදලා. ආණ්‍ඩුවට කඩේ යන විපක්ෂයක් හදලා ඒ විපක්ෂය ආණ්‍ඩුව වෙනුවෙන් පෙනී ඉන්නවා. රටේ ජනතාවගේ ඇත්ත ප්‍රශ්නය එළියට එන්නේ නෑ. ඒ නිසා තමයි මේ මිනිස්සු පාරට බහින්නේ. ඒකට තනිකරම වගකියන්න ඕනෑ කරු ජයසූරිය මහත්තයයි. ආණ්ඩුවට කඩේ යන අනුර කුමාර දිසානායක. පැයක් කතා කරනවා. ආණ්‍ඩුවට කඩේ යන සම්බන්දන් පැයක් කතා කරනවා. දිනේෂ් ගුණවර්ධන විනාඩි 5ක් කතා කරනවා. අපි දැන් 70ක් ඉන්නවා. 70ට විනාඩි 5යි. අරගොල්ලන්ට පැය දෙකයි. ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුව වැඩිම හැල්ලුවට ලක් කළ කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා ඉතිහාසයට එක් වෙනවා.  


ප්‍රශ්නය - කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවටත් පුවත් පළවුණා?  


පිළිතුර - පැහැදිලිවම! ඉදිරියේදී විශ්‍වාසභංගයට එහා ගිය දේවල් එයාට ගේන්න පුළුවන්!  


ප්‍රශ්නය - ඔබලා නියෝජනය කරන්නෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. ඉතින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් කොහොමද විපක්ෂ නායක ධුරය ඉල්ලන්නේ?  


පිළිතුර - එහෙම නම් කොහොමද 2015 ජනවාරි ඉඳලා. දින 100 ආණ්ඩුව තියෙන කාලේ ඒ ආණ්‍ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය ඉන්දැද්දී නිමල් සිරිපාලට විපක්ෂ නායක ධුරය දුන්නේ? එදා ඒක දෙන්න පුළුවන් නම් අද දෙන්න බැරි ඇයි? අපි කියන්නේ ඒකම කරන්න කියලයි.  


ප්‍රශ්නය - පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරයට චීනෙන් සල්ලි ලැබුණා කියන එකට ඒකාබද්ධ විපක්ෂය සාර්ථක පිළිතුරක් දුන්නේ නැහැ?  


පිළිතුර - ඇයි දුන්නේ නැත්තේ! පැහැදිලිවම අපි උත්තර දුන්නා. මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයත් ප්‍රකාශයක් කළා. මේ කතාව බොරුයි කියලා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිතුමත් ඒ කතාව ප්‍රතික්ෂේප කළා. මේ කතාව ගිය පත්තරය ගැන කතා කරලා වැඩක් නෑ. ඇමෙරිකාවේ ජනාධිපතිවරයා පවා ප්‍රතික්ෂේප කරන පත්තරයක්. අනිත් එක ඒක මේ 2015 ජුනි මාසයේ රජයේ පත්තරේක ගිය නිව්ස් එකක් මේ. අවුරුදු දෙක තුනකට පස්සේ ඇයි මේ කතාව කිව්වේ දේශපාලනිකව මඩ ගහන්නයි. ඒ නිසා නිව්යෝක් ටයිම්ස් විවාදයට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු බහුතරයක් ආවේ නෑ. කවුද කතා කළේ. අන්තිමට ඝන පූර්ණය නැතිව විවාදය නතර වුණා. ඒ විවාදයෙනුත් ආණ්ඩුව බරපතළ විදියට පරාජයට පත් වුණා.  


ප්‍රශ්නය - රාජපක්ෂ පිය-පුතු දෙපළ එදා ලංකාවේ හිටියෙත් නෑ.  


පිළිතුර - රාජපක්ෂ පිය-පුතු දෙදෙනා කලින්ම දාගෙන හිටපු සංචාරයකට ගියේ. අනික මේ බොරු චෝදනාවක් ගැන කතා කරන විවාදයකට ඒ වගේ සංචාරයක් නතර කරලා එන්න ඕනැත් නෑ.  


ප්‍රශ්නය - ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව ඇතුළේ බරපතළ අර්බුදයක් මතු වෙලා.  


පිළිතුර - පොහොට්ටුව ඇතුළේ කිසිම අර්බුදයක් නෑ එක්සත් ජාතික පක්ෂය ගන්න. සමහරු කියනවා සජිත් ප්‍රේමදාස තමයි අපේක්ෂකයා කියලා. චම්පික රණවක කියනවා මෛත්‍රීපාල සිරිසේනමයි. රනිල් වික්‍රමසිංහ කියනවා. මංගලගේ නමත් කියනවා. කරු ජයසූරියගේ නම කියනවා. නවීන් දිසානායක කියනවා. අට දෙනෙක් ඉන්නවා.  


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ පොහොට්ටුව ගැනයි?  


පිළිතුර - මහින්ද රාජපක්ෂ මහත්තයා හරි වෙලාව ආවම කියයි කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. හැබැයි මේ වෙනකොට ආණ්ඩුවට ඉතාම බරපතළ විදියට ‘ගෝඨාභයක්’ ඇති වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි කියලා දිගින් දිගටම බරපතළ විදියට ප්‍රහාර එල්ල කරමින් යනවා. අපේක්ෂකයා නම් කරන්නත් කලින් අපේක්ෂකයා වෙයි කියලා හිතන අයටත් බය නම් ආණ්ඩුවේ තත්ත්වය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. නියම වෙලාවට අපි අපේ අපේක්ෂකයා දාන්නම්.  


ප්‍රශ්නය- වාසුදේව නානායක්කාර කියනවා ‘‘චමල් රාජපක්ෂ තමයි හොඳ’’ කියලා. කුමාර වෙල්ගම කියනවා ‘‘මමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. මටත් අපේක්ෂකත්වය ගන්න පුළුවන්’’ කියලා.  


පිළිතුර - කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නෑ. එතුමා මේ පක්ෂයේ මිනිස්සු බොහොම ආදරය කරපු කෙනෙක්. හැබැයි ඉතින් මේ මෑත කාලයේ කරපු සමහර ප්‍රකාශ නිසා විකටයෙක් වෙල ඉන්නවා. වාසුදේව නානායක්කාර මැතිතුමා පහුගිය කාලයේ වෙනස් මතයක් දරුවා. නමුත් දැන් එතුමා ඒ මතය දරන්නේ නෑ. ඒ නිසා පක්ෂයක් ඇතුළේ විවිධ මත තියෙන්න පුළුවන්. හැබැයි සාමූහික තීන්දුවක් තමයි අපි ගන්නේ. ඒ නිසා කලබලයට පත් විය යුතු නෑ.  

 

 

 

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්