පොලිතින් වෙනුවට විකල්ප කෝ


දිරාපත් නොවන පොලිතින් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය මගින් පරිසරයට සිදුවන හානිය නිසා ඒවා wභාවිතය සීමාකිරීමේ සිට තහනම් කිරීම දක්වා වන සාකච්ඡා කාලාන්තරයක් මුළුල්ලේ මෙරටේ පැවැතිණි. මේ සාකච්ඡාවන් වැඩි බරකින් යුතුව ඉදිරියට ඇදී ඒමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ කැළිකසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වන තරමට ඔඩු දුවා තිබීමත් කසළ කළමනාකරණයට අදාළව විධිමත් කසළ ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙළක් අපට නොතිබීමත් නිසාය.  


මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී මිනිස් ජීවිත ගණනාවක් රටට අහිමි වීමත් සමග මේ කසළ කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව ගැන විශාල අවධානයක් යොමු වූ අතර පරිසරයට අහිතකර බලපෑම් ඇති කරන පොලිතින් හා ඒ අාශ්‍රිත නිෂ්පාදන සීමා කිරීමේ හෝ තහනම් කිරීමේ සාකච්ඡාවට අලුත් පණක් ලැබීමට ද ඒ සිද්ධිය ඉවහල් විය.  


 පොලිතින් භාවිතය සම්බන්ධව 2016 සිට පැවතුණු මේ සාකච්ඡාවල එක් ප්‍රතිඵලයක් වූයේ මීට ඉහත දී මයික්‍රෝන 20 ට සමාන හෝ ඊට අඩු ඝනත්වයෙන් යුතු ආහාර දවටන (ලන්චී ෂීට්) තහනම් කිරීමට ගත් ක්‍රියා මාර්ගයයි.  


 ඉන්පසුව ද මේ පොලිතින් තහනම් කිරීමට අදාළ සාකච්ඡාවන් ඉදිරියට ඇදුණු අතර 2015 වසරේ දී කැබිනට් මණ්ඩලයට මීට අදාළව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිතින් භාවිතය හා තහනම් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කරනු ලබන අතර ඒ කමිටුවේද යෝජනා ඇතුළත් මධ්‍යම පරිසර අධිකාරිය යෝජනාවලියක් සකස් කෙරේ. ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු පසු එළැඹෙන සැප්තැම්බර් මස පළමු වැනි දින සිට පොලිතින් තහනම ක්‍රියාත්මක වීමට නියමිතය.  


ඒ අනුව ලබන මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන පොලිතින් තහනම යටතේ පහත සඳහන් නිෂ්පාදන භාවිතය තහනම් වේ.  


1. වැඩි ඝනත්වයෙන් යුතු පොලිතින් (High D Ensity Polyethylene-HDPE) අමුද්‍රව්‍ය ලෙස භාවිත කර නිපදවන ‘සිලි සිලි බෑග්’ ඇතුළු නිෂ්පාදන.  


2. පොලිතින් වලින් නිෂ්පාදිත ආහාර එතීම සඳහා යොදා ගන්නා දවටන (ලන්ච් ෂීට්)  


3. පොලිස්ටරින් (Polystyrene) අමුද්‍රව්‍ය ලෙස භාවිත කර සකස් කරන කෑම පෙට්ට, පිඟන්, කෝප්ප සහ හැඳි.  


සැප්තැම්බර් පළමු දා සිට මේවා ආනයනය, නිෂ්පාදනය, විකිණීම සහ භාවිතය තහනම් ​ෙව්. එම තහනම කඩකරන්නන්ට ලැබෙන දඬුවම් ජාතික පාරිසරික පනත අනුව තීරණය වනු ඇත.  


මේ තහනම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව ගත් තීන්දුව පරිසරය පැත්තෙන් බලන විට ඉතාමත්ම නිවරැදිය. මන්ද කැළිකසළ ප්‍රශ්නය නිසා ර​ෙට් විවිධ ව්‍යසන නිර්මාණය වූ නිසාත් දිරාපත් නොවන පොලිතින් වැනි ද්‍රව්‍ය කැළිකසළ වශයෙන් පරිසරයට මුදාහැරීම මහත් ගැටලුවක්ව පවතින නිසාත්ය.  


ඒ කෙසේ වෙතත් මේ තහනමත් සමග මේ වන විට ප්‍රධාන ප්‍රශ්න දෙකක් පැන නැගී ඇති ආකාරයක් හඳුනාගත හැකිය. එකක් නම් පොලිතින් නිෂ්පාදන කර්මාන්තශාලා හිමිකරුවන් නගන මැසිවිල්ලයි. ඔවුන් පවසන්නේ පොලිතින් නිෂ්පාදනයෙන් ක්‍රමානුකූලව ඉවත් වීම සඳහා තමන්ට ප්‍රමාණවත් කාලයක් නොදී මේ තහනම කඩිමුඩි​ෙය් ක්‍රියාවට නැගීම මගින් තමන්ට බලවත් අසාධාරණයක් වන බවය.  


 එමෙන්ම වැඩිදුරටත් පොලිතින් කර්මාන්තකරුවන් කියා සිටින්නේ මෙම තහනම නිසා ව්‍යාපාර සඳහා බැංකුවලින් ලබාගත් ණයතුරුස් ගෙවා ගත නොහැකි තත්ත්වයකට තමන් පත්ව සිටින බවත් තම කර්මාන්තශාලාවල සේවය කරන ලක්ෂ තුනකට ආසන්න සේවකයන්ගේ රැකියා අහිමිවීමේ අනතුරක් නිර්මාණය වන බවත්ය.  

 

මේ තීන්දුව අසාධාරණයි  

පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

අනුර විජේතුංග  


මේ තීන්දුව අසාධාරණයි. මොකද කර්මාන්තයක් කරගෙන යන කෙනෙක්ට දවස් හතර පහක් ඇතුළත ඒ කර්මාන්තයෙන් අයින් වෙන්න හරි වෙනත් කර්මාන්තයක් පටන් ගන්න හරි අමාරු නිසා.  


 ඒ නිසයි අපි කියන්නෙ මෙතන කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පොලිතින් කර්මාන්තය ලංකවේ අවුරුදු තිහ හතළිහක් පරණ කර්මාන්තයක්. දැනට පොලි බෑග් ලංකාවට ආනයනය කරන්නෙ නෑ. සීයට සීයක්ම වගේ මේ කර්මාන්තශාලාවලින් තමයි ඒවා නිෂ්පාදනය කරන්නෙ. HDPE පොලිතින් කර්මාන්තශාලා දාහකට වැඩි ප්‍රමාණයක් දැනට ලංකාවේ තියෙනවා. ඒවායේ ඍජුව 40,000 ක් විතර සේවකයො ඉන්නවා. තව ලක්ෂ තුනකට විතර රැකියා සපයනවා.   


තහනම් කරන්න යන HDPE කියන පොලිතින් තමයි මේ කර්මාන්තශාලාවලින් සීයට අසූවක් විතර නිෂ්පාදනය කරන්නේ. අපි මේ කර්මාන්ත ශාලා කරගෙන යන්නේ ගත්ත බැංකු ණයවලින්. තව සමහරු තමන්ගේ දේපොළ පවා උකස් කරලයි මේ කර්මාන්තශාලා කරගෙන යන්නේ.  


 එක්කො අපිට රජය මේ සඳහා සාධාරණ කාලයක් දෙන්න ඕන. නැත්නම් කර්මාන්තකරුවන්ගෙ ණය ප්‍රශ්නවලට වගේම සේවකයන්ගෙ ප්‍රශ්නවල වගකීම ආණ්ඩුව ගන්න ඕන. කොහොම නමුත් විය යුත්තේ මේ තහනම ක්‍රමිකව ක්‍රියාත්මක කරන එකයි.  


සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ සහ ප්‍රතිචක්‍රියකරණයේ සංගමයේ සභාපති අනුර විජේතුංග මහතා එම ගැටලුකාරී තත්ත්ව පිළිබඳ ‘ඉරිදා ලංකාදීප’ ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.  


 මේ පොලිතින් තහනමත් සමඟ පැන නැගී ඇති අනෙක් ගැටලුව වන්නේ තහනම් කළ නිෂ්පාදන සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශ කර තිබෙන විකල්ප සම්බන්ධයෙන් උද්ගතව ඇති පරස්පරතාය.  


විශේෂයෙන්ම තහනම් කරන ලද ආහාර දවටන (ලන්ච් ෂීට්) වෙනුවට විකල්ප හැටියට මධ්‍යම පරිසර අධිකාරිය යෝජනා කරන්නේ ප්ලාස්ටික් ආහාර ඇසුරුම්, තෙල් කඩදාසි වර්ග, ඉටිමය කඩදාසි වර්ගයි. ජෛවහායනයට ලක්වන ප්ලාස්ටික් භාවිතය වැදගත් බව කියන එම අධිකාරිය ඒවා භාවිතය ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කමද පෙන්වා දෙයි.  


 මේ තහනමට අනුව භාවිතය තහනම් කර තිබෙන ‘සිලි සිලි බෑග්’ ඇතුළු වැඩි ඝනත්වයෙන් යුතු පොලිතින් (HDP) මලු වෙනුවට විකල්ප හැටියට මධ්‍යම පරිසර අධිකාරිය යෝජනා කරන්නේ කඩදාසි (ඇතුළත තීන්ත මුද්‍රිත නොවන) පන්, රෙදි වැනි පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් නිපදවිය හැකි මලුය. එමෙන්ම පොලිස්ටයිරින් අමුද්‍රව්‍ය ලෙස යොදා සකස් කළ ආහාර ඇසුරුම් පෙට්ටි හා ඒ ආශ්‍රිත වෙනත් නිෂ්පාදන වෙනුවට විකල්ප හැටියට යෝජනා කර තිබෙන්නේ කඩදාසි ඇසුරුම්ය.  


 මධ්‍යම පරිසර අධිකාරිය යෝජනා කරන මේ විකල්ප ප්‍රායෝගික නොවන බව සඳහන් කරන පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමය කියන්නේ ඊට වඩා වෙනත් හොඳ විකල්ප තිබෙන බවයි.  


පොලිතින් තහනම් කරනවා නම් එ්කට හරියන විකල්ප තියෙනවා. නමුත් මේ ගොල්ලෝ කතා කරන්නේ අපිට හරියන විකල්ප ගැන නොවෙයි. මධ්‍යම පරිසර අධිකාරිය HDPE පොලිතින් වෙනුවට යෝජනා කරන විකල්පය තමයි බයෝ ප්ලාස්ටික් කියන එක. ඒකට දැනට යන වියදමට වඩා ඩොලර් හාරසීයක් වියදම් වෙනවා.  


 ඒ වගේම ඒ සඳහා වෙනම මැෂින් ගන්න වෙනවා. අපි කියන්නේ HDP වෙනුවට ඔක්සො බයෝඩීටබල් කියන තාක්ෂණය ගේන්න කියලා. ඒකට වැයවෙන්නෙ සීයට දහයක විතර මුදලක්. අපේ තියෙන මැෂින්වලින් ඒක කරන්නත් පුළුළුන්.  


 එහෙම කළොත් පොලිතින් කර්මාන්තකරුවන්ට වගේම පරිසරයට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. අපි පොලිතින් හදන්නෙ පරිසරයට හානි වෙන්නත් සත්තුන්ට කන්නවත් නෙවෙයි. එතනදී මධ්‍යම පරිසර අධිකාරිය කාර්ය භාරය වෙන්නෙ කොහොමද පොලිතින් පරිසරයට බැහැර කරන්නෙ කියන එක ගැන ජනතාව දැනුම්වත් කිරීමයි. එහෙම කළා නම් මෙහෙම ප්‍රශ්නයක් නැ.   


ක්‍රමවත් කසළ කළමනාකරණයක් ගැන අවධානය යොමු කරනවා වෙනුවට මධ්‍යම පරිසර අධිකාරිය කරන්නෙ ලක්ෂ තුන හතරක සේවකයො පිරිසක් ජීවත් වෙන කර්මාන්තයක් වහන්න කියලා ජනාධිපතිවරයාට යෝජනා කරන එක. එම සංගමයේ සභාපති අනුර විජයතුංග මහතා කීවේය.

 

 

 

උපුල් වික්‍රමසිංහ

 


 

 

පොලිතින් සම්පූර්ණයෙන්ම තහනම් වෙන්නේ නෑ.  

 

මෙතන දී පළමුව කියන්න ඕන දේ තමයි මේකෙන් වෙන්නෙ පොලිතින් සම්පූර්ණයෙන්ම තහනම් වෙන එක නෙවෙයි. පොලිතින්වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන තුනක් තමයි අපි තහනම් කරන්නෙ.  


HDP කියන අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරන ග්‍රොසරි බෑග් වගේම සිලි සිලි බෑග්වලට අමතරව පොලිතින් වලින් නිෂ්පාදනය කරන සියලුම ලන්ච් ෂීට් වර්ගත් තහනම් වෙනවා.  


 ඊළඟට පොලිස්ටරයින් කියන අමුද්‍රව්‍ය වලින් හදන කෑම පෙට්ටි හා ඒවයෙන් හදන පිඟන් කෝප්ප, හැඳි තහනම් කරලා තියෙනවා. මේවා හැරෙන්න වෙන කිසිදෙයක් අපි තහනම් කරලා නෑ. අපි මේ දේවල් කරන්නෙ පරිසරය ජෛව විවිධත්වය, සතා සීපාව වගේම මිනිසුන්ගෙත් ආරක්ෂාව සඳහාය.  


 අපි මේ තීරණය ගත්තේ එකපාරටම කියලා කියනවා නම් වැරදියි. 2006, 2007 කාලේ ඉඳලම අපි මේ ගැන සාකච්ඡා කරගෙන ආවා.  


 මේ තහනම් කරන ලද නිෂ්පාදන වෙනුවෙන් අපිට විකල්ප තියෙනවා. කෑම පෙට්ටියට විකල්පය හැටියට අපිට කාඩ්බෝඩ් පෙට්ටිය පාවිච්චි කරන්න පුළුවන්. ෂොපින් බෑග් ගත්තොත් අපි තහනම් කරලා තියෙන්නේ HDP කියන අමුද්‍රව්‍යවලින් හදන පොලිතින් මලු විතරයි. අනිත් ඒවා පාවිච්චි කරන්න පුළුළුන්.  


 මෙතන දී වැදගත් වෙන්නේ අපිම ඇතිකර ගන්න පුරුදු. මොකද සිලි සිලි බෑග් වෙනුවට අපි කඩේ යනකොට බෑග් එකක් අරගෙන යනවා නම් ඒකයි වැදගත්. මේ සිලි සිලි මල්ල නිසා පරිසරයට වෙන හානිය විශාලයි. ඒ ගැන විවාදයක් නෑ. ලන්ච් ෂීට් එකත් එහෙමයි. ඒ වෙනුවට අපිට ජෛවහායනයට ලක් කළ හැකි ප්ලාස්ටික් ඇසුරුම් වගේම තෙල් කඩදාස, ඉටිමය කඩදාසි වගෙ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. මේවා වෙළෙඳපොළට එයි. මේක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි.  


 මොකද අවුරුදු තිහක් තිස්සේ අපි පාවිච්චි කරපු දේවල් වෙනස් කරද්දී ඒවා නිෂ්පාදනය කරන අයත් ක්‍රමානුකූලව ඒවට හැඩගැහෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ විකල්ප ප්‍රායෝගික නෑ කියන කතාව අපි ප්‍රතික්ෂේප කරනවා. ලන්ච් ෂීට් තහනමත් එක්ක කෙනෙක්ට කියන්න පුළුවන් ගෙදර ඉඳන් කෑම එකක් අරගෙන එන්න විදියක් නෑ කියලා. ඒකට අපි විකල්පයක් දෙන්න අවශ්‍ය නෑ. එහෙම කෙනකුට පුළුවන් කෑම පෙට්ටියක් මිලට අරගෙන ඒකෙ කෑම ගේන්න. මේ නීතියත් එක්ක ජනතාවත් වෙනස් විදියට හැඩගැසෙන එකයි අපි බලාපොරොත්තු වෙන්නෙ.  


 මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) උපාලි චන්ද්‍රරත්න මහතා මේ තහනම හා එහි අරමුණු පැහැදිලි කළේ එපරිදිය.  

 

 

 

මධ්‍යම පරිසර අධිකාරිය