තෙල් සංස්ථාව මකර කටට ගිය හැටි


රාජ්‍ය ආයතනයක් අකාර්යක්ෂම  වුණේ මෙහෙමයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යනු මේ රටේ ඇති රාජ්‍ය ආයතනවලින් අංක එකේ ආයතනයකි. 1961 අංක 29 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කළේ එවකට අග්‍රාමාත්‍යව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසිනි. එතෙක් මේ රටේ තෙල් හා ලිහිසි තෙල් ව්‍යාපාරය සිදුකළේ බහුජාතික සමාගම් විසිනි.  


බහුජාතික සමාගම් සතුව තිබූ ඛනිජ තෙල් කර්මාන්තය හා ඒ ආශ්‍රිත වෙළෙඳාම ජනතා සතු කිරීමට එවකට පැවැති පාලනය ගත් තීන්දුව නිසා ශ්‍රී ලාංකිකයන්ට තෙල් සංස්ථාව නමැති මාහැඟි රාජ්‍ය ආයතනයක් හිමි විය.  
1964 සිට 1972 දක්වාම ඒ ජනසතු කිරීමේ ක්‍රියාද‌ාමය සිදුකෙරිණ. 1969 වසරේ දී සපුගස්කන්ද පිරිපහදුව ඉදිකිරීම ශ්‍රී ලාංකික තෙල් කර්මාන්තයේ ඊළඟ යෝධ පිම්ම බවට පත්විය. තෙල් කර්මාන්තයේ ස්වාධීනත්වය අපට උරුම වූයේ එලෙසිනි.  


ඉන්පසුව මේ රටේ තෙල් සංස්ථාව භාරගත් ඇමැතිවරු සිය දහස් ගණනින් තෙල් සංස්ථාවට දේශපාලන ​ගෝල බාලයින් බුරුතු පිටින් ගෙනත් දමන්නට ගත්තේ දුරදිග නොසිතමිනි. එහි අනිසි ප්‍රතිඵලය වූයේ අවශ්‍ය තරමට වඩා සේවක පිරිසක් තෙල් සංස්ථාවට රිංගා ගැනීමය. මේ වන විට පන්දහසකට අධික පිරිසක් මෙහි රැකියා කරති.  


 කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව අසූව දශකය වන විටත් මේ ර​ෙට් තිබූ අංක එකේ රාජ්‍ය ආයතනයක් ලෙස අභිමානය රැකගෙන රටට යහපතක් කරමින් තිබිණි.  


 පිටරටින් ගෙන්වන බොරතෙල් කොළඹ වරායේ පිහිටි බෝයාවේ සිට සපුගස්කන්දට ගෙන ගොස් පිරිපහදු කර, පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ලෙස කොළොන්නාව තෙල් නිමාවට ගෙනැවිත් බෙද‌ා හැරීම හොඳ ලාබ ව්‍යාපාරයක්.  


හේතුව තෙල් වෙළෙඳ‌ාම අත්පිට මුදලට බවට පත්ව තිබිණ. තෙල් පිරිපහදුවේ දී විකුණන නිසාය. අතුරු නිෂ්පාදන පෙළක් ද ශේෂ විය. ඒවා අමතර ලාබ ලෙස සංස්ථාවට එකතු විය.  


 ලිහිසි තෙල්, ඉටිපන්දම් කර්මාන්තය, නයිලෝන් සික්ස්, තාර හා ගෑස් ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අමතර ලාබ ලෙස වූ ඒවා ය. කාලය මොන තරම් නපුරු ද? කාලයටත් වඩා නපුරු තීරණ ඇතැම් පාලකයන් හා දේශපාලනඥයන් විසින් ගනු ලැබිණි.  


 1980 වසර ආරම්භයත් සමග මෙරට ශක්තිමත් සංස්ථාවක්ව තිබූ තෙල් සංස්ථාව සතුව තිබූ ඉටිපන්දම්, නයිලෝන් සික්ස්, ලිහිසි තෙල්, තාර, ගෑස් කර්මාන්තය විනාශ කර දමා ඒවා පුද්ගලික සමාගම් වෙත නතු කරන්නට ඔවුහු ක්‍රියා කළහ.  


 ඒ අතරතුර අලුතින් ආණ්ඩු බලයට එන පාර්ශ්ව තම ගෝල බාලයන් බුරුතු පිටින් එකතු කොට තෙල් සංස්ථාවේ රැකියාවලට ගෙනත් දැමුවේ ඒ මැති ඇමැතිලාගේ පුද්ගලික බූදලයක් ලෙස සලකමිනි. අන්තිමේ දී තෙල් සංස්ථාව සතුව තිබූ කර්මාන්ත එකින් එක ගලවා ඒවා පුද්ගලික අංශයට පවරා දෙමින් විකුණාගෙන කෑමේ ක්‍රමයක් හඳුන්වා දෙන්නට විය.  


මෙහි නරකම කාලය උද‌ා වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේය. එවකට ඇමැති අනුරුද්ධ රත්වත්ත යටතේ තිබූ සංස්ථාව ටික දිනක් යන්නට පෙර මහනුවර කොළනියක් බවට පත්ව ගියේ දේශපාලන පත්වීම් නිසාය. තෙල් පිරිපහදුවේ දී අමතර නිෂ්පාදනයක් ලෙස ලැබුණු ගෑස් ටික මෙරට පුද්ගලික ආයතනයකට තෑගි කළේ හිතවත්කම පදනම් කරගෙනය.  


 ජේ.ආර්. සහ ප්‍රේමදාස යුගවල දී නයිලෝන් සික්ස්, ඉටිපන්දම්, ලිහිසි තෙල් අංශ විකුණා දමා තිබූ අතර සිරිමාවෝ මැතිනිය 1969 දී ඉදිකර රටට ද‌ායාද කළ සපුගස්කන්ද පිරිපහදුව ඇඟපත වාරු නැති මහල්ලෙක් ලෙස අක්‍රීය, බෙලහීන තත්ත්වයකට පත්ව ගියේ කිසිවකු එය යාවත්කාලීන කිරීමට කල්පනා නොකළ නිසාය.  


මේ අල්ලපනල්ලේ 2001 දෙසැම්බර් 05 වැනිදා බලයට පැමිණි එක්සත් ජාතික පෙරමුණු රජය තෙල් සංස්ථාවේ මළගමට යන පාර විවෘත කරමින් තෙල් සංස්ථාව කොටස් තුනකට කඩා දැමීය. ඒ අනුව තෙල් සංස්ථාව සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් (සිපෙට්කෝ) ලෙසත්, කොළොන්නාව තෙල් නිමා අංගනය ප්‍රමුඛ අංශයේ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමක් ලෙස දෙකට කඩා එක් කොටසක් ඉන්දීය තෙල් සමාගමටත්, තවත් කොටසක් චීනය හෝ වෙනත් රටකට පවරනු පිණිස මහා භාණ්ඩාගාරය යටතටත් පවරනු ලැබීය.  


 ඒ අනුව මෙරට තෙල් වෙළෙඳ‌ාමේ ඒකාධිකාරිය තෙල් සංස්ථාවට අහිමි වී ගියා පමණක් නොව මෙරට තෙල් ව්‍යාපාරය නොරටුන්ට විවර විය. ඉන්දීය තෙල් සමාගමට (අයි.ඕ.සී.) මෙරට ඉන්ධන පිරවුම් පොළවල් 150 ක් ද ඒ අනුව හිමි විය.  


 ඊට අමතරව ත්‍රිකුණාමල චීන වරාය පරිශ්‍රයේ පිහිටි තෙල් ටැංකි 99ක් හා ඒ භූමිය ද ඔවුනට නතු වී ගොසිනි. ඉන්දියාවේ දී පිරිපහදු කරන ඉන්ධන, නෞකා මගින් මෙරටට ගෙනැවිත් විකිණීමට ඔවුන්ට බලය හිමිව ඇතැයි තවත් චෝදනාවකි. ඒ කියන්නේ රටට බදු නොගෙවා තෙල් ආනයනය කිරීමට අයි.ඕ.සී. යට ඉඩ දී ඇති බවය.  


 වර්තමානය වන විට ප්‍රශ්න ගොඩකි. රාජපක්ෂ පාලන සමයේ දී මහා භාණ්ඩාගාරයට පවරා දී තිබූ කොටස් යළි සංස්ථාවට පවරා ගත්තේ වෘත්තීය සමිති කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි. නමුත් සිරිමාවෝ පාලන සමයෙන් පසුව මේ රට පාලනය කළ එකදු රජයක්වත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අලුතින් කිසිවක් කර නැත. එහි අඩුපාඩු සකසා මෙය රැකගන්නට කිසිවකු ක්‍රියා කළේ ද නැත.  


 කොළඹ වරායට එන නෞකාවලින් ඉන්ධන ගොඩබාන විට සම්මත වේගයෙන් ඉන්ධන ගොඩබෑම කළ නොහැකිය. එසේ සම්මත වේගය ක්‍රියාත්මක කළහොත් වරායේ සිට කොළොන්නාව දක්වා එළා ඇති තෙල් නළවල සිදුරුවලින් ඉන්ධන ගලා මහ පොළොවට ගලා යනු ඇත. ඒ හරහා රුපියල් මිලියන ගණනින් පාඩු විඳීමට තෙල් සංස්ථාවට පසුගිය කාලය තුළ සිදුවිය.  


 මෙහි අනෙක් නරකම හා අවාසිම කාරණයක් ද ඇත.  


 කොළඹ වරායට තෙල් ගෙන එන නෞකා ජාත්‍යන්තර රක්ෂණ සමාගම්වල රක්ෂණය වන අතර මෙරට ඉන්ධන ගොඩබාන නළ පද්ධතිය සිදුරු වී ඇති නිසා සෙමෙන් ඉන්ධන ගොඩ බාන්නට සිදුව ඇති නිසා ක්‍රම කිහිපයකින්ම පාඩු සිදුවේ.  


 පළමු පාඩුව සිදුවන්නේ තෙල් ගොඩබෑමට යන දින ගණන වැඩිවීමය. ඒ නිසා වරායට ගෙවන ගාස්තු ප්‍රමාණය වැඩි වේ. පමාවන සෑම දිනකටම රක්ෂණ ගාස්තු ගෙවීමට සිදුවේ. ප්‍රමාදය කිසිම දවසක වාසියක් නොවන්නා සේම තෙල් ගොඩබෑමේ ප්‍රමාදයෙන් තෙල් සංස්ථාව ලබන පාඩුව සමස්ත රටේ ජනතාවගේ කරමත හෙළන්නේ මේ සියලු පව් තෙල් ලීටරයේ මිලට එකතු කරමිනි.  


මේ අතර තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්) හා මැලේසියානු හියරෙන්ස් සමාගම අතර අත්සන් කළ ගිවිසුමක් නිසා මසකට රුපියල් මිලියන ගණන් පාඩු විඳීමට සිදුව ඇත. එම ගිවිසුමට ප්‍රකාරව විකුණුවත් නැතත් හයිරෙක්ස් නමැති ලිහිසි තෙල් සමාගමින් ලිහිසි තෙල් ලීටර ලක්ෂ පහක් මසකට ලබා ගැනීමට තෙල් තොග ගබඩා පර්යන්තයට සිදුව ඇත.  


 මේ ගිවිසුම් මොන කෙහෙල්මලකට ඇතිකර ගන්නා ගිවිසුම් ද යන්න කිසිවකු දන්නේ ද නැත. හෙජින් ගිවිසුම නිසා සිදුවූ අලාභය අදටත් නොවිසඳුණු ප්‍රශ්නයක් සේ ඉතිරි වී ඇත. සභාපති ගෙදර ය. ආණ්ඩුවත් ගෙදර ය. නමුත් ඒ පාඩුව පමණක් රටට ඉතිරි ය.  


 යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව චන්දිම වීරක්​ෙකාඩි තෙල් භාර ඇමැති ලෙස පත්කෙරිණි. ඒ කාලයේ දී ත්‍රිකුණාමල චීනවරාය පරිශ්‍රයේ තෙල් ටැංකි යළි සංස්ථාවට ගන්නට අසාර්ථක උත්සාහයක නිරත වුණා හැර ඒ ඇමැතිගෙන් වූ සෙතක් නැති තරම්ය. නමුත් දෙතුන් සියයකට රැකී රක්ෂා ලබා දීමට ඒ කෙටි කාලය එකී ඇමැතිවරයාට ප්‍රමාණවත් වූ බව වෘත්තීය සමිති නායකයන් කියන දෙයකි.  


දැන් අලුත්ම ප්‍රශ්නය වී ඇත්තේ තෙල් මිල සූත්‍රය ය. තෙල් මිල සූත්‍රය භාරව සිටින්නේ මහා භාණ්ඩාගාර අති​ෙර්ක ලේකම් එස්.ආර්. ආටිගල මහතාය. සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල සෙවීමේ කමිටුව මගින් ඉන්ධන මිල තීරණය කරන්නට ගත් තීරණත් සමග මුදල් ඇමැති මංගල සමරවීරත් ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අර්ජුන රණතුංගත් අතර ඇති වූ ප්‍රශ්නයට තාමත් විසඳුම් නැත.  


05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල නගී කියා මුදල් අමාත්‍යාංශය නිවේදනය කළ ද 06 වැනිදා උදෑසන සිට තෙල් සංස්ථාව පෙර සේම තෙල් විකුණන්නට තීරණය කළේ රටේ තීන්දු තීරණවල වටිනාකම හෑල්ලු කරමින්.  


 ඊළඟ ප්‍රශ්නය ඇති වී ඇත්තේ අර්ජුන රණතුංග ඇමැතිවරයාගේ සහෝදරයකු වන ධම්මික රණතුංග මහතා ඛනිජ තෙල් සංස්ථාවෙත්, තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙත් සභාපතිත්වයට පත් කිරීමත් සමග ඇතිවී ඇති සිද්ධියයි. 

 
 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමැති අර්ජුනට කියා තිබුණේ මේ ආයතන දෙකට දෙදෙනෙක් පත් කරන ලෙස ය. නමුත් මේ ආයතන දෙකේම සභාපති ලෙස ධම්මික රණතුංග ක්‍රියා කරන අතර තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි සුඛෝපභෝගී මෝටර් රථයක් ද ඔහු ලබාගෙන ඇත. මීට අමතරව තෙල් සංස්ථා මුදල්වලින් දැන් රුපියල් කෝටි දෙකකට ආසන්න තවත් වටිනා රථයක් මිලදී ගැනීමට ද ලීසිං සමාගමකින් මිල ගණන් කැඳවා ඇත.  


 තෙල් සංස්ථාව සතු ජීප් තුනක් ද සංස්ථා ප්‍රධානියකුගේ පවුලේ උදවියට වෙන්කර දී ඇතැයි තවත් කතාවකි. තවත් බෙන්ස් රථයක් ද ආගිය අතක් නැතැයි වෘත්තීය සමිති කියති.  


 රියැදුරන් හතර දෙනකු මෙම රථ සඳහා අනුයුක්තව සිටින අතර ඒ එක් අයෙක් මසකට රුපියල් 125,000 ක පමණ අතිකාල ලබා ගන්නා බවට ද තොරතුරු ලැබී ඇත. ඒ කියන්නේ රියැදුරු වැටුප 65,000 නම් අතිකාල සමග ඒ එක් රියැදුරකුට 190,000ක පමණ මාසික වැටුපකට හිමිකම් කීමය.  


 මේ අතරතුර මාධ්‍ය උපදේශකයෙකු හා තවත් උපදේශකයෙක් ද සංස්ථාවට බඳවා ගැනීමට සැලසුම් කරමින් සිටින අතර දෛනිකව පවත්වන සාකච්ඡා සඳහා අමාත්‍යාංශ ලේකම් ඇතුළු අතිරේක ලේකම්වරු සංස්ථාවට හෝ තෙල් තොග ගබඩා පර්යන්තයට කැඳවාගෙන ඒමට සැලසුම් කර ඇත.  


‘යහපාලනය’ මේ රටේ ස්ථාපිත වූයේ පවුල් පාලනයට තිත තබන පොරොන්දුව පිටය. එදා රාජපක්ෂ පවුල එකතු වී තිස් වසරක ත්‍රස්තවාදය පරාජයට පත් කළේ නැතිනම් අදටත් ප්‍රභාකරන් රට වනසා හමාරය. නමුත් මේ පවුල් පාලනය තෙල් සංස්ථාවට රිංගා ඇතැයි ද තෙල් සංස්ථා වෘත්තීය සමිතිවල චෝදනාවකි.  


ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ තෙල් මිල ගැන ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් ලක්ෂ 85ක දැන්වීම් පළ කර ඇති බව හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හෙළි කළේය. යහපාලන කට්ටිය මෙසේ කරද්දී රාජපක්ෂ පාලන කාලයේ දී රාජපක්ෂ වෙනුවෙන් වියදම් කළ මුදල් කන්දරාවත් හෙළි කළේ නම් කදිමය. රාජපක්ෂ පාලන කාලයේ දී තෙල් අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා මසකට රුපියල් කෝටි 14ක වියදමක් දරා ඇත.  


 නමුත් ඉන්ධන අලෙවියේ කිසිදු වෙනසක් නොවූයේ තෙල් වෙළෙඳාම හා මාළු වෙළෙඳාම අතර වෙනස තහවුරු කරමිනි. 2014 වසරේ දී කළ ඒ රුපියල් කෝටි ගණන් ප්‍රචාරක වියදම්වලට අදාළ රජයේ විගණන වාර්තා ලැබුණ ද මුදල් විනාශ කළ නිලධාරින්ගෙන් ඒ මුදල් අයකර ගැනීමට හෝ දඬුවම් දීමට කිසිවකු ක්‍රියා කර නැත.  


 ඇත්තටම ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද අයාලේ යන තැනට තල්ලු වී ගොසිනි. ඇමැති මාරු වූ විට සභාපති, කළමනාකාර අධ්‍යක්ෂවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලවලට අලුත් අය පැමිණෙති. ඒ අය හරිහම්බ කරගෙන මාරු වෙති. රුපියල් බිලියන ගණන්වලින් සිදුවන ගනුදෙනු පිටුපස අනන්තවත් වංචා, දූෂණ, මූල්‍ය අක්‍රමිකතා සිදුවේ.  


ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල දැන් රුපියල් 145 කි. ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 155 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118 කි. සුපර් ඩීසල් ලීටරය 129 කි. මැති ඇමැතිවරුන්ගේ හා තෙල් සංස්ථා නිලධාරින්ගේ කරුමක්කාර වැඩ ටිකේ පව් ගෙවන්නේ මෙරට ජනතාවය.  


සපුගස්කන්ද තෙල් පිරිපහදුව යාවත්කාලීන නොකර, සිදුරු වී ගිය තෙල් නළ අලුත් නොකර, සංස්ථාවේ හොරු ටික පන්නා දමන තුරු මේ සංස්ථාව කාර්යක්ෂම වන්නේ නැත. රටකට ඉන්ධන මොන තරම් තීරණාත්මක වුව ද තෙල් සංස්ථාව තුළ සිදුවන වංචා, දූෂණ හා අක්‍රමිකතා හමුවේ හෙට දවස තවත් නපුරු වන බව නිසැකය.  


 තෙල් මිල සූත්‍රය යටතේ මාසෙන් මාසයට තෙල් මිල වැඩි වී මැතිවරණ ළංවන විට තෙල් මිල අඩුකිරීම මේ සූත්‍රයට බැරිකමක් නැත. මෙය තෙල් මිල සූත්‍රයක්ම පමණක් නොව නූල් සූත්තරයකි.  


මැතිවරණ කාලයට මන්නාරම් දෝණියේ තෙල් නිධි ගැන පුරසාරම් දොඩන්නේ යම් සේ ද තෙල් මිල සූත්‍රය යටතේ මැතිවරණ ළං ළං වෙත්ම තෙල් මිල පහළ වැටී, ඡන්දවලින් පසුව ඉහළ යන හැටි මේ නූල් සූත්තරයත් බදු මිල සූත්‍රය යටතේ සිදුවන හැටි අමුතුවෙන් කිවයුතු නොවේ.

 

 

 

 

 

ශිරාන් රණසිංහ