තැපෑල වනසන අපූරු පරිපාලනය


රාජ්‍ය ආයතනයක් විනාශ වන හැටි

තැපැල් සේවයට ඇති ඉතිහාසය වසර දෙසීය තුනකට එහාට දිව යන්නක් බව විශ්වාසය. 1815 දී මුළු රටම ඉංග්‍රීසින්ගේ පාලනයට නතු වෙන්නටත් පෙරාතුව මෙරටට පැමිණ රටේ පාලන ප්‍රදේශ බෙදාගත් පෘතුගීසි, ලන්දේසි කාලය තුළත් තැපැල් සේවයක් මෙරට ක්‍රියාත්මක වූ බවට විශ්වාස කළ හැකිය.  


එදා රුවල් ඔරුවේ නැගී රටින් රටට ගිය පරදේශක්කාරයන් මෙරටට ගොඩවී ප්‍රදේශ අල්ලා ගත් පසු මව් රටේ සිට මෙරට සිටින නියෝජිතයන්ට පණිවුඩ ගෙන යෑමට තැපැල් සේවයක් අවශ්‍ය විය. රාජ්‍ය පාලන යුගවල පවා සංදේශ ගෙනයාම තැපෑලේ උපත බව සිතීමේ වරදක් ද නොදනිමි.   


ශ්‍රී ලංකාවේ පළමු තැපැල් කන්තෝරුව ලෙස සැලකෙන්නේ කොළඹ කොටුව කුවීන්ස් පැලස් හෙවත් රැජිනගේ මාළිගාවය. ජී.පී.ඕ. ලෙස නම්කර ඇත්තේ එයයි. පසුගිය කාලයේ පැවැති යුද සමයේ දී ආරක්ෂක හේතුන් මත තැපැල් මූලස්ථාන ගොඩනැගිල්ල ආරක්ෂක අංශ සඳහා පවරාගත් පසු තැපැල් මූලස්ථානය වෙන ස්ථානයක ස්ථාපිත කිරීමට සිදුවිය.  


තැපැල් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට 26,000කට අධික පිරිසක් සේවය කරති. දිනකට ලියුම් හුවමාරුව, මුද්දර අලෙවිය ඇතුළු කටයුතුවලින් රුපියල් මිලියන 15 කට වඩා ආදායමක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා උපයා ගනිති.  


1817 දී ඉංග්‍රීසින් විසින් ස්ථාපිත කළ තැපැල් සේවය 1832 වසරේ දී කොළඹ සිට මහනුවරටත් 1838 දී කොළඹ සිට ගාල්ලටත් විහිදී ගිය තැපැල් සේවාව 1892 වනවිට පේරාදෙණිය කේන්ද්‍ර කරගෙන තැපැල් සේවාව විධිමත් විය. එතැන් පටන් ඉංග්‍රීසි පාලන සමයෙත් ඊට පසුව ශ්‍රී ලංකාව නිදහස ලබා ගෙවී ගිය කාලය තුළත් තැපැල් දෙපාර්තමේන්තුව හරහා ඉටු වූ සේවාව සුළුවෙන් නොතැකිය තරම් වූවකි.  


තොරතුරු සන්නිවේදන ජාලයේ අලුත් පෙරළි සමග ලියුම් කියුම් හුවමාරුව අඩුවී ගියේ අනූව දශකයේ අවසන් වසර කිහිපයේ දීය. එදා පෙම්වත්හු ආදරය, වේදනාව බෙදා ගත්තේ තැපෑලට පින් සිදුවෙන්නටය. අවමඟුලක් දැනුම් දුන්නේ විදුලි පුවත් හරහාය. රැකියාවකට අයැදුම්පතක් යොමුකර රැකියාවක් සොයා ගත්තේ තැපැල් දෙපාර්තමේන්තුවට පින් සිදුවෙන්නටය. එදා පා ගමනින් ගිය තැපැල්කාරයාටත්, පාපැදියේ ගිය තැපැල්කාරයාටත් ගම්බිම්වල තිබූ ගරු සරුව ඒ රැකියාවේ වටිනාකමට හොඳ මතක සහතිකයකි. එදා ගම්වල අයත් නගරයේ අයත් තැපැල්කාරයා හෙවත් පියුම් මහත්තයා එනතුරු ගමන් බිමන් නොයෑමට වග බලා ගත්තේ ලියුම් කියුම් ඒ තරමට වැදගත් වූ බැවිනි.  


දුරකථන, ජංගම දුරකථන ව්‍යාප්තියත්, ෆැක්ස්, ඊමේල්, එස්.එම්.එස්. ෆේස් බුක්, අන්තර්ජාලය, ට්විටර්, වයිබර් ආදී නවීන තාක්ෂණීය මෙවලම්වල සම්ප්‍රාප්තියත් සමග තැපැල් කටයුතුවලට මරු පහරක් එල්ල වුවද අදටත් තැපැල් සේවාව නොමැතිව බැරිය. හරියට මොන තරම් විද්‍යුත් මාධ්‍ය තිබුණත් මුද්‍රිත මාධ්‍ය අවශ්‍ය වෙන්නේ යම් සේ ද මේ තරම් තියුණු ප්‍රබල සන්නිවේදන ජාල තිබියදීත් තැපැල් සේවා හරහා තැපැල් දෙපාර්තමේන්තුව දිනකට රුපියල් මිලියන 15ක පමණ ආදායමක් උපයන්නේ එනිසාය.  


මේ ඉතිහාස කතා අපි පසෙකට දමමු.  


අද වනවිට තැපැල් සේවාව ගමන් ගන්නේ මළ සොහොනකටය. හේතුව වෙන කිසිවක් නොව මේ රටේ පාලකයන් හා තැපැල් දෙපාර්තමේන්තුව බාරව සිටින දේශපාලන අධිකාරිය මේ කියන තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු යාවත්කාලීන කිරීමට කිසිදු පියවරක් නොගන්නා නිසාය.  


පසුගිය ජුනි මාසයේදී තැපැල් වෘත්තීය සමිති එකතුවී දින 16ක් තිස්සේ වැඩ වර්ජනයක් කළේය. මේ වර්ජනය නිසා රටට සිදුවූ පාඩුව රුපියල් කෝටි විසිහතරක් යැයි ද ගණන් බලා තිබිණි.  


මේ සේවක වර්ජනයට හේතුව වෙනකක් නොව 06-2006 රාජ්‍ය සේවා චක්‍රලේඛය ය. එය තැපැල් දෙපාර්තමේන්තුවට නොගැළපෙන බව ද වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.  


තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින තැපැල් සේවකයන්ට ඇති ලොකුම ප්‍රශ්නය උසස්වීම් ලබාදීමේ ප්‍රශ්නයකි. ඊට අමතරව වැටුප් විෂමතා ප්‍රශ්නය ද මේ හා බැඳී පවතී.   


2013 වසරේ දී තැපැල් දෙපාර්තමේන්තුවට බඳවාගත් 1,086 දෙනෙක් වසර පහක් තිස්සේ ස්ථාවර කර නැත. මේ පිරිස බඳවාගෙන ඇත්තේ තැපැල් සහයකයන් ලෙසිනි. ඒ අනුව බරපතළ ප්‍රශ්නය මොවුන් අතර නිර්මාණය කර ඇත. තනතුරු වර්ග 18ක් මෙම තැපැල් සහයක ගොඩට දමා ඇති අතර ඒ ගොඩේ සිටින පිරිස පවරන ඕනෑම රාජකාරියක් ඉටුකළ යුතු තැනකට පත්කර ඇතැයි වෘත්තීය සමිති කියයි.  


මීට අමතරව තැපැල් ස්ථානාධිපති (Post Master) I, II, III ලෙස වර්ගීකරණය ද බරපතළ අවුලක් වී ඇත. දෙවැනි පෙළ සිට පළමු පෙළට ගියත් නොගියත් වැටුප් හා දීමනා මෙතෙක් කලක් ලබාදුන් අතර මේ වනවිට එය ද නවතා දැමීම සටනට හේතු වී තිබිණි.  


II වැනි ශ්‍රේණිය තැපැල් ස්ථානාධිපතිවරු 5,262ක් සහ I වැනි ශ්‍රේණියේ තැපැල් ස්ථානාධිපති නිලධාරින් 876ක් සිටින අතර ඇත්තටම බැලූ විට ඔවුනගේ තනතුරු හා වැටුප් ප්‍රශ්න විසඳීමට පාලකයන් ක්‍රියාකළ යුතුය. නමුත් ඒ ප්‍රශ්න ද විසඳීමට මොවුහු ක්‍රියා කරන්නේ නැත. එහෙව් ආයතනයක් තුළ ගුණාත්මක හා ප්‍රමාණාත්මක දියුණුවක් අපේක්ෂා කළ හැකි ද?  


නිදහස් අධ්‍යාපනය ඇති කළේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාය. එතුමා නොවන්නට අද මේ මහ පුටුවල වාඩිවී සිටින බොහෝ දෙනාට ඒ පුටුවට පැමිණ වාඩිවීමට තබා කොළඹට ඒමටවත් ඉඩකඩ ඇහිරී යන්නට ඉඩ තිබිණි. තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින 26,000ක්වූ ස්ථිර සේවකයන් මෙන්ම 1,048ක් වන ස්ථාවර නොවූ සේවක පිරිස ද හෘද සාක්ෂියෙන් විමසිය යුත්තේ නිදහස් අධ්‍යාපනය නොවන්නට මේ ටිකත් නැතැයි කියා නොවේද? උදේට වැඩට පැමිණ දහයට තේ බී දවල් පැයකටත් වඩා ආහාරපාන ගෙන සවස 3.00ට කවුළු වසා දමා නිවසට දිව යන්නට තනන රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් දෙපාර්තමේන්තුවට නම් හිඟයක් නැත. සමස්ත රාජ්‍ය සේවකයාගේ අකාර්යක්ෂමතාවේ කැඩපතක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුවේ යම් සේවකයෙක් කවුරු හෝ නම් කළත් එය පුදුමයකට කරුණක් නොවේ.  


තැපැල් දෙපාර්තමේන්තුව තුළ මුදල් වංචා කරන අය සිටිති. අල්ලස්වලට යට වන අය සිටිති. මුද්දරවලින් උපයන මුදල් යටිමඩි ගසන අය ද සිටිති.  


පසුගිය දිනක ගල්කිස්ස ප්‍රධාන තැපැල් කාර්යාලයේ එකතුවී තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 42ක මුදලකට වෙච්ච දෙයක් නැත. ඒ පිළිබඳව විමර්ශන කළ නිලධාරියා කියා සිටියේ ඒ මුදල් අස්ථානගතවීම පළමු වරට වාර්තා වූ සිද්ධිය නොවන බවකි. හැව්ලොක් ටවුම ප්‍රධාන තැපැල් කාර්යාලයේ ද මෙපරිදිම රුපියල් ලක්ෂ හතළිස් ගණනක් අස්ථානගත වුණේ මීට පෙරාතුවය. පසුව ඒ මුදලින් කොටසක් ලාච්චුවල දමා තිබූ බව කියමින් එහි ප්‍රධානියෙක් විගණන නිලධාරින්ට එම මුදල් ලබාදී ඇත. තැපැල් කන්තෝරුවල එකතු වෙන මුදල් යම් යම් සේවකයන්ට අවශ්‍ය පරිදි සාක්කුවේ දමාගත නොහැකි වුවද තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින බොහෝ නිලධාරින් ඒ මුදල් සේප්පුවල දමන මුවාවෙන් සාක්කුවල දමාගෙන ගොස් ඩේලි කලෙක්ෂන් ක්‍රමයට එම මුදල් පොලී කරන බවට ද තොරතුරු හෙළි වී ඇත.  


මෙහි අලුත්ම හෙළිදරව්ව වෙන්නේ කොළඹ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ පිහිටි පිටරට තැපැල් පාර්සල් අංශයේ (EMS) ය. පිටරටට පාර්සල් යැවීමට එන අය අදාළ බර අනුව නියම කරන මුදල් ගෙවා දමති. එසේ ගෙවන මුදල රුපියල් 15,000ක් නම් අදාළ තැපැල් ස්ථානාධිපතිවරයා ගනුදෙනුකරුට රුපියල් 10,000 ගෙවූ බවට අපැහැදිලි රිසිට් පතක් නිකුත් කර රුපියල් 5000 සාක්කුවේ දමා ගනියි. මේ එක ක්‍රමයකි. තවත් ක්‍රම කිහිපයක් හරහාම දෙපාර්තමේන්තුවට අය විය යුතු මුදල් සාක්කුවට දමා ගන්නා ක්‍රම ඇත.  


ඉහත සඳහන් ක්‍රමය හෙළි වූයේ පිටරට යැවීමට බාර කළ පාර්සලය මෙරට සිටින පුද්ගලයාට යළි ආපසු ඒම නිසාය. ඒ අනුව මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්ථානයට රිසිට් පත ද රැගෙන පැමිණි ඒ පුද්ගලයා නිසා මේ පිළිබඳ සොයා බලද්දී සිද්ධ වී ඇති යටිමඩි ගැසීමේ මගඩිය හෙළි විය. නමුත් හොරාගෙ අම්මාගෙන් පේන අහන්නා සේ මේ සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුවී ඇත්තේ සහකාර අධිකාරිවරයෙක් යටතේය. මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් එය විග්‍රහ කළේ මෙලෙසිනි.  


“හොරු එක්ක ඉන්න කොට නිකම්ම හොරු වෙනවා. ඔක්කොම එකතු වෙලා යමක් කරන විට ඒකට එරෙහි වුණොත් එවැනි අයකුට එතැන ඉන්න ලැබෙන්නෙ නෑ. තැපැල් හුවමාරු මධ්‍යස්ථානයේ පිටරට තැපැල් පාර්සල් අංශයෙත් තත්ත්වය එහෙමයි”  


මෙම සිද්ධියෙන් පසුව වසර ගණනාවක් දුරට සිදුවී ඇති ගනුදෙනු පරීක්ෂා කිරීමේදී එහි සේවය කළ පිරිස් රුපියල් කෝටි ගණනක් උපයාගෙන ඇතැයි හෙළි වී ඇත. නමුත් විමර්ශන නිලධාරීන් ද අභ්‍යන්තර විගණන අංශය ද කළ පරීක්ෂණ නිසි පරිදි සිදුවී නැත. එහි සේවය කළ පිරිසට ස්ථාන මාරුවීම් ලබාදී අලුත් පිරිසක් පත් කිරීම හැර රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනවලින් පසුවටත් රටට සිදුකළ පාඩුව හෝ අදාළ වරද කළ අයට දඬුවමක් පනවා නැත.  


තැපැල් දෙපාර්තමේන්තුව සතුව ඇති ගොඩනැගිලි ඉතා පැරැණිය. මොන තරම් පැරැණි වුවද ඇතැම් ගොඩනැගිලිවලට කෙළ හළන පිරිසක් ද සිටිති. මේ ඉපැරැණි, මනස්කාන්ත පරිසර මැද දිදුලන තැපැල් කාර්යාල සංචාරක හෝටල් බවට පත් කරන්නට කැස කවන පිරිසකි. කොළඹ කොටුවේ පිහිටි ‘ක්වින්ස් හවුස්’ බිල්ඩිමේ සිට මහනුවර, නුවරඑළිය, ගාල්ල පිහිටි තැපැල් කාර්යාල ටික ඇත්තටම හෝටල්වලට මරේ මරු තැන් ය. වෘත්තීය සමිති සටන් නොමැති නම් බිල්ඩින් ටික මේ වනවිටත් දෙස් විදෙස් ආයෝජකයන්ට දී හමාර ය.  


අනෙක් පැත්තෙන් ගත් කල තැපැල් දෙපාර්තමේන්තුව යටතේ රට පුරා පිහිටුවා ඇති ප්‍රධාන තැපැල් කාර්යාල උපතැපැල් කාර්යාලවල පමණක් නොව ප්‍රධාන කාර්යාලයේ පවා කාර්යාලයීය උපකරණ යල්පැන ගිය ඒවා ය.   
අැතැම් පරිගණක ක්‍රියා කරන්නේ යලට මහට ය. මේවායේ සේවයට එක්වෙන බොහෝ දෙනා රක්ෂාව ලෙස මෙය තෝරා ගන්නේ අවසාන කාලයේ දී ලැබෙන විශ්‍රාම වැටුප පිළිබඳ සිතමිනි. බොහෝ රාජ්‍ය සේවකයන්ගේ එකම අරමුණ මසක් තුළ ලැබෙන වැටුපත් අවසානයේ දී උරුමවෙන විශ්‍රාම වැටුපත් ය. සියලුම රාජ්‍ය සේවකයන් ඒ ගොඩට නොවැටුණත් බහුතරය වැටෙන්නේ ඒ ගොඩට ය. එනිසා තැපැල් සේවයත් සේවකයාත් වසර 203කට එහා පැරැණිකමම මේ තැපැල් සේවාව තුළ ඉතිරිව ඇති දේවල් ලෙස ද සැලකිය හැකිය.  


මෙරට තැපැල් සේවාව සම්බන්ධව සොයා බැලීමට ඇමැති සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි 10 වැනිදා කමිටුවක් පත් කළේය.   


එම කමිටුව කළ නිරීක්ෂණවලට අනුව තැපෑලේ වාර්ෂික වියදම රුපියල් බිලියන 13ක් වන අතර වාර්ෂික ආදායම බිලියන 07කි. ඒ කියන්නේ මෙය ආදායම් උපයන ආයතනයක් වුවද වාර්ෂිකව රුපියල් බිලියන 8ක පමණ පාඩුවක් සහිත ආයතනයකි.  


එම කමිටුවේ නිර්දේශ අතර ආදායම් උපයන දෙපාර්තමේන්තුවක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව වෙනම පාලක මණ්ඩලයක් මගින් පාලනය වෙන රාජ්‍ය ආයතනයක් බවට පත්කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇත. ඒ කියන්නේ මේ රාජ්‍ය ආයතනය අධිකාරියක් බවට හෝ රාජ්‍ය පුද්ගලික සමාගමක් බවට පත් කිරීමට වෙඩිමුර දැමීමක් යැයි සේවකයෝ කියති.  


මේ වනවිට ප්‍රධාන තැපැල් කාර්යාල 652ක් රට පුරා ඇත. උපතැපැල් කාර්යාල ගණන 3,410කි. ග්‍රාමීය තැපැල් කාර්යාල 101කි. වතු තැපැල් කාර්යාල ගණන 04කි. නියෝජිත තැපැල් කාර්යාල (පුද්ගලික) ගණන 524කි. මේවායේ එකතුව 4,692කි. සේවක ගණන විසිහය දහසකට වැඩිය.   


ලියුම් තෝරන සේවකයන්ගේ අතිකාල පැය ගණන උපරිම 240කි. එම පැය ගණන අවසන් වූ පසුව කිසිවකු ලියුම් තෝරන්නට අමතර කාලයක් වැඩ කරන්නේ නැත. එනිසා ඇතැම් අවස්ථාවල ලියුම් තේරීම් පමාවී ලියුම් බෙදා හැරීම ද ප්‍රමාද වන බව පැවසේ. වරද සේවකයන්ගේ නොව අතිකාල සීමා කළ අයගේ ය. තැපෑල, ඈවර වෙන්නට හේතු වී ඇති කාරණා අපමණය.  


රාජ්‍ය සේවයට එක්වන මේ අය රැකියා ස්ථිර වූ සැණින් බැංකු ණයක් ගෙන ජීවිතය ආරම්භ කරති. ආවාහ විවාහ වෙති. ගෙයක් දොරක් තනා ගනිති. බැංකු ණයට පඩිය කැපුණු පසු කුමන හෝ ක්‍රමයකින් කීයක් හරි සොයා ගන්නට දඟලති. ළිඳේ වැටුණු එකා ළිං කටින්ම ගොඩ ආ යුතු නිසා එසේ කරන කල රාජ්‍ය සේවය ළිඳත් පසාරු කරගෙන වළ පල්ලටම යන බව මේ අයට තේරුණත් නැතත් ඇත්තටම වෙන කරන්නට දෙයක් ද නැත. මේ රටේ සෑම රාජ්‍ය සේවයක්ම අවුල් කළේ දේශපාලන ගොබ්බයන් ය. දේශපාලන හෙංචයියන් බුරුතු පිටින් මේ ආයතනවලට ගෙනත් දමා ඒවා විනාශ නොකළේ නම් මේ ආයතනවලින් වෙන සේවය මිල කළ නොහැකි තරම් ය.  


තැපැල් සේවය අවුල් වූ පසු පාලකයන්ගේ අලුත්ම සැලැස්ම වී ඇත්තේ වසර දෙසීයකට වඩා පැරැණි තැපැල් ගොඩනැගිලි හෝටල්වලට විකිණීමට ය. තැපැල් දෙපාර්තමේන්තුවේ සිටින අතිරික්ත සේවකයන් වන්දි ගෙවා හෝ නොගෙවා ගෙදර යැවීමට ය. අවසානයේ දී මේ රාජ්‍ය ආයතනය අහෝසි කොට අලුත් ආකෘතියක් යටතේ මේ ආයතනය පුද්ගලීකරණය කිරීමටය.   


තැපැල් දෙපාර්තමේන්තුවත්, තැපැල් සේවාවත් මල් වඩම් අතේ තබාගෙන සිටින්නේ එදවස ළංවන තුරු ය.  

 

 

 

 

ශිරාන් රණසිංහ