දිසා විසිඑකක් රෑට වහයි


උදේ 6 සිට සවස 6 දක්වා ඇඳිරිය ඉවතට  

 

(අජන්ත කුමාර අගලකඩ)  

දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලිහිල් කිරීම යටතේ, දිස්ත්‍රික්ක 21ක පමණ හෙට (20) ඇඳිරි නීතිය ඉවත් කළද, එම දිස්ත්‍රික්කවලට රාත්‍රි කාලයේ දී යළි ඇඳිරි නීතිය පැනවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.  


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අතර අද (19) පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් කර ඇඳිරි නීතිය හෙට (20) සිට ලිහිල් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි පැවැසේ.  


කොරෝනා වයිරසය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගය හමුවේ, එහි වත්මන් තත්ත්වය පිළිබඳව එම සාකච්ඡාවේදී පූර්ණ සමාලෝචනයක් සිදුකෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.  

අධි අවදානම් ප්‍රදේශ ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හතර හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට (20) සිට දහවල් කාලයේ ඉවත් කිරීමට රජය අපේක්ෂා කරයි. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා උදේ 6.00 සිට සවස 6.00 දක්වා ඉවත් කිරීමට නියමිතව ඇත. 
එසේ ඇඳිරි නීතිය ඉවත් කළද, දිස්ත්‍රික්ක අතර සංචරණය තහනම් කිරීම උත්සව හා මහජන හමුවීම් තහනම් කිරීම ඇතුළු කොන්දේසි ගණනාවක් එම දිස්ත්‍රික්කවලට පැනවෙනු ඇතැයි වාර්තා වේ.  


දිවයිනපුරා පනවා ඇති ඇඳිරි නීතිය දැඩි අවදානම් දිස්ත්‍රික්ක හය හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට හෙට (20) උදේ 6.00ට ඉවත් කෙරෙන බව රජය ගිය සතියේ නිවේදනය කළේය.