කොරෝනා සම්පූර්ණයෙන්ම ඉවරවෙනතුරු ඉන්න බෑ


ඡන්දෙ තියන්න කොමිසම පක්ෂවලින් අදහස් ඉල්ලයි

  • යෝජනා ලිඛිතව ඉල්ලා පක්ෂ ලේකම්වරුන්ට ලිපියක් 

(අජන්ත කුමාර අගලකඩ) 

කොරෝනා වයිරසය හමුවේ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ලබාදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයට තරග කරන පක්ෂවලින් ඉල්ලීමක් කර ඇත. 
එම අදහස් හා යෝජනා ලබන 31 වැනිදාට පෙර ලිඛිතව ලබාදෙන්නැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත. 

කොරෝනා වයිරසය සම්පූර්ණයෙන් අවසන් වනතෙක් මැතිවරණය පැවැත්වීමට බලා සිටීම ප්‍රායෝගිකව කළ නොහැකි බැවින්, කොරෝනා වයිරසය පාලනය කර තිබියදී මැතිවරණය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම ලිපිය මගින් ඉල්ලා ඇත. 
මේ අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (25) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවේ. 


මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කරනු ලැබ ඇති අතර, එම කමිටු සාමාජිකයන් හෙට පැවැත්වෙන සාකච්ඡාවට සහභාගි වනු ඇත. 
ඉකුත් අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ලබන මස 20 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ කොරෝනා වයිරසය පැතිරීම හමුවේ මැතිවරණය පැවැත්විය නොහැකි බව පවසමිනි. 


මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉකුත් බදාදා (20) දැනුම් දී තිබුණේ ලබන මස 20 වැනිදා ද මැතිවරණය පැවැත්වීමට නොහැකි බවය. 


කොරෝනා වසංගතය පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශවලින් සුබවාදී නිර්දේශ ලැබී සති 9ත් 11 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්විය හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.