ශ්‍රීලනිපය නොබෙදී තියාගන්න ජනපතිගේ දැඩි වෑයමක්


පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන්නට ලන්ඩනයට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ ඉරිදා උදේ යළි දිවයිනට පැමිණියේය. ජනාධිපතිවරයා ලන්ඩනයේ සිටියදී ද ශ්‍රීලනිපයේ ඇතිව තිබෙන බෙදීම් ගැන වරින්වර දුරකතන ඇමතුම් දෙමින්ද ඇතැම් කණ්ඩායම් හමුවෙමින්ද සාකච්ඡා කළේය. ආණ්ඩුවෙන් ඉවත් වූ ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි හා ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන තිදෙනා ලන්ඩනයේදී ජනාධිපතිවරයා හමු වූයේද මේ අතරවාරයේය. මේ තිදෙනාම ලන්ඩනයට ගොස් තිබුණේ පෞද්ගලික කාරණා වෙනුවෙනි. එහෙත් ඒ අතරේ ජනාධිපතිවරයා හමුවන්නැයි ඔවුන්ට දන්වා තිබිණි. ඒ අනුව ඔවුන් තිදෙනා ජනාධිපතිවරයා නවාතැන් ගෙන සිටි හෝටලයට ගොස් පැය තුනකට ආසන්න කාලයක් සාකච්ඡා කර තිබුණේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හා මන්ත්‍රීවරුන් 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත් වීම ගැනය. ජනාධිපතිවරයා කීවේ කණ්ඩායමක් ලෙස එකට කටයුතු කළ යුතු බවය.  


ලන්ඩනයට ගිය ඩිලාන් උපන්දිනය සැමරුවේද අතරමග කියා ලන්ඩන් නුවර ඊස්ටම් ප්‍රදේශයේ අවන්හලකට 18 වැනිදා රෑ කෑමට ඩිලාන් චන්දිම ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිස ගියේ තවත් ශ්‍රී ලාංකික පිරිසක්ද සමඟය. පිරිස අවන්හලේ ගත කරද්දී රෑ 12 ට ආසන්න වෙමින් තිබිණි. චන්දිම කීවේ තව සුබ මොහොතකින් ඩිලාන්ගේ උපන් දිනය උදාවන බවය. එම අවන්හලේම කුඩා කේක් ගෙඩියක් වැනි යමක් ගෙන ඉටිපන්දමක්ද ගසා හදිසියෙන් උපන්දින කේක් කපන්නට සූදානම් කළේ චන්දිම ඇතුළු පිරිසය. පිරිසගේ සුබ පැතුම් මැද ඩිලාන් කේක් කපා එහි සිටි අයට කැව්වේය. එහි සිටි ශ්‍රී ලාංකික කාන්තාවකට කේක් කපන්න සෙල්ෆි ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලවල පලවීම නිසා ඩිලාන්ගේ උපන්දිනේට වෙනම ප්‍රසිද්ධියක්ද ලැබිණි.  


ලන්ඩන් සිටි ඩිලාන්ට උපන්දිනේට සුබ පතන්නට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කතා කළේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා​ගේ ජංගම දුරකතනයට. ‘‘කෝ ඔතන ඩිලාන් ඉන්නවා දැයි’’ ලක්ෂ්න් පෙරේරාගේ ඇසූ මහින්ද ඔහුට දුරකතනය දෙන්නැයි කීවේය.  


ඩිලාන්ට සුබපැතූ මහින්ද කීවේ ඔහුගේ උපන්දිනේ ගැන වෙබ් අඩවිවල යන දේවා දැක්කම නම් ඔයාට අවුරුද්දම කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා වගේ පේනවා කියාය. ඩිලාන්ද සුබ පැතීම ගැන හිටපු ජනාධිපතිවරයාට ස්තුතිය පළක​ළේය.  


ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම ගිය සඳුදා තිලංග සුමතිපාලගේ නිවසේ රැස්වුණේ ලන්ඩනයේදී ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවේ තොරතුරු ගැන කණ්ඩායම දැනුවත් කිරීමටත් එක්කය. එස්.බී., සුසිල්, අනුරා යාපා, ලක්ෂ්මන් යාපා, ජෝන් සෙනෙවිරත්න, දයාසිරි  


ඩිලාන්, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, චන්දිම වීරක්කොඩි ඇතුළු 16 ​ෙදනාගේ කණ්ඩායමේ 13 දෙනෙක් ඊට සහභාගි වූහ. පහුවදා ජනාධිපතිවරයා හමුවී කරන සාකච්ඡාවට ඉදිරිපත් කරන කරපු කාරණා ගැන මෙන්ම එම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන ශ්‍රීලනිපය හා සන්ධානයේ මහලේකම්වරුන් කරන ප්‍රකාශ අාදිය ගැන ද එහිදි සාකච්ඡා විය. මේ සාකච්ඡා යන අතරේ මහින්ද අමරවීර ද එම සාකච්ඡාවට ගෙන්වා ගත යුතු බවට අදහසක් ඉදිරිපත් විය ඒ අනුව අමරවීරට එන්නැයි ආරාධනා කරමින් ඇමතුම දුන්නේ අනුරාධ ජයරත්න ය. ඇමතුම දී ඉතා සුළු වේලාවකින් මහින්ද අමරවීර ද පැමිණ මේ පිරිසේ සාකච්ඡාවට එක්විය. එහිදී ඔවුන් කීවේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් මේ මොහොතේ ඉවත්විය යුතු බවය. අමරවීර කියා සිටියේ ශ්‍රීලනිපය මේ මොහොතේ ඉවත් නොවී තීරණාත්මක අවස්ථාවක ඉවත්වීම සුදුසු බවය.   


ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට ජනාධිපතිවරයා හමුවන්නැයි දැනුම් දී තිබුණේ අඟහරුවාදා පස්වරු 5.00 ටය. ඊට පෙර එම මන්ත්‍රීවරු 16 දෙනා එදිනම හවස 3.00 ට තිලංගගේ නිවසේ යළි රැස්විය. සවස ජනාධිපතිවරයා හමුවී කරන සාකච්ඡාවේදී අවධානය යොමු කළ යුතු කරුණු ගැන එස්.බී., සුසිල්, අනුර යාපා, ඩිලාන්, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිස ලැයිස්තුවක්ද සකස් කළෝය.   


කලින් දී තිබූ වේලාව අනුව ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් 16 දෙනා අතර හමුව ජනාධිපති නිල නිවසේදී පැවැත්වූයේ අඟහරුවාදා සවස 5.00 ට පමණය. තමන් ඇතුළු 16 දෙනා 8 වැනිදා විපක්ෂයේ අසුන් ගන්නා බව සුසිල් සිය කණ්ඩායමේ තීරණය ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. ‘‘ඔයාලා කණ්ඩායමක් විදියට එක තීන්දුවක ඉන්නව නම් හොඳයි. මෙතන වැදගත් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමයි’’ යැයි ජනාධිපතිවරයා කීවේය.   


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම රාත්‍රි 7.00 ට පැවැත්වූයේ 16 දෙනා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවය. එහිදීද සාකච්ඡාවට  ලක්වුණේ පක්ෂ​ෙය් ඉදිරි කටයුතු 16 දෙනා විපක්ෂයට යෑම හා මැයි දිනය සැමරීම සඳහාය. අනතුරුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව රාත්‍රි 8.00 ට රැස්වූයේද ජනපති මෛත්‍රීගෙ ප්‍රධානත්වයෙනි. සුසිල්, දයාසිරි, අනුර යාපා, රෙජිනෝල්ඩ් කුරේ ඇතුළු පිරිසක් කියා සිටියේ ශ්‍රීලනිප ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවය. සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, අමරවීර, දමින්ද යන ඇමැතිවරු ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටිය යුතු බව කියා සිටියහ. අමුණුගම කීවේ ශ්‍රීලනිපයට වැඩ කිරීමට බලය තිබිය යුතු බවය. ඒකට සුසිල් ප්‍රේමජයන්ත උත්තර දුන්නේය. සුසිල් කීවේ ශ්‍රීලනිපය 94 දී ආණ්ඩුව පිහිටෙව්වේ බලය තිබිල ද කියාය. මහින්ද සමරසිංහත් මහින්ද අමරවීරත් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දුන් ශක්තිය නිසා ලබාගත් ජයග්‍රහණ ගැන කීවේය. මහින්ද සමරසිංහගේ කතාව සමහරුන් හැඳින්වූයේ ජනාධිපතිවරයා වෙනුවෙන් ගැයූ ප්‍රශස්ති  ගීයක් කියාය. විනාඩි 11 කදී කළ අදහස් දැක්වීමේදී 33 වතාවක් ඔබතුමා ඔබතුමා යනුවෙන් ජනාධිපතිවරයා ඇමතූ බව මධ්‍යම කාරක සභාව අවසන්වී එළියට එන ගමන් මන්ත්‍රීවරු කීහ. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවුණොත් බරපතළ අර්බුදයකට යන බව දයාසිරි කීවේය. මෙවර මධ්‍යම කාරක සභාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සහභාගි වූ නමුත් එතුමිය අදහස් දැක්වීමෙන් වැළකී සිටියාය. හිටපු ජනාධිපතිනිය අදහස් දැක්වූයේ නම් පිළිතුරු දෙන්නට ඩිලාන් සූදානමින් සිටිය ද එතුමිය කතා නොකළ නිසා ඩිලාන්ද නිහඬව සිටියේය.