සයිප්‍රසයේ 13 වැනි වරටත් කඨින මහා පු​ණ්‍යෝත්සවය


ලොව පුරා බෞද්ධයින්ගේ පුණ්‍යෝත්සව අතුරින් සුවිශේෂී වූ පිංකම ලෙස කඨින පිංකම හඳුන්වන්නේ. එය එතරම් පිං කුසල් කරගත හැකි පිංකමක් නිසාවෙනි. ඇසළ පුන් පොහොයත් සමග භික්ෂූන් වහන්සේලාට කරන්නාවූ වස් ආරාධනාවෙන් ආරම්භ වී එදා සිට තෙමසක් පුරා විහාරස්ථාන තුළ රැඳී වස් වසා වැඩ හිඳිමින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව් පසයෙන් පිදුම් ලබමින් තම දායක පිරිසට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා ආදී විවිධ ආගමික වැඩසටහන් දිනපතා පවත්වමින් අර්ථයෙන්ධර්මයෙන් අනුශාසනා කරන උන්වහන්සේලා තෙමස්පූර්ණ වූ කල අටමහ කුසලයන්ට අයත් කඨින චීවර පූජාව සිදු කරනු ලබයි.   


මව්බිමෙන් බැහැරව දුරකතර දිවි ගෙවන ඔබගේ දහම් පිපාසය සන්සිඳුවීම උදෙසා එවන් වූ පිංකම් සයිප්‍රසයේ වෙසෙන ලංකික ජනතාව වෙනුවෙන් වසරක් පාසා ශ්‍රී ලංකාරාමයෙන් සිදු කරනු ලබයි.   


විහාරාධිපති සයිප්‍රසයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන අනුශාසනා පරිදි සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථ බෞද්ධ සංගමය, සතර පේරුවේ දායක දායිකාවන් සමග මෙවරද කඨින මහ පිංකම උත්සවාකාරයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දෙනු ලබයි. 2018.11.18 වැනි ඉරුදින නිකෝසියා සීතා උද්‍යානයේ පැවැත්වෙන අතර 2018.11.17 වැනි සෙනසුරාදා රාත්‍රියෙහි එම විහාරස්ථානයේදී පිරිත් දේශනාවක්ද පැවැත්වේ.   


විමලා යාපා   
නිකෝසියා - සයිප්‍රස්