රන් පැහැයෙන් වර්ණවත් වූ ජපානයේ සඟ සමුළුව


 

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දේශනාවට අනුව සංඝයාගේ සමගිය, සැපයට හේතුවෙයි. වසර දෙදහස් පන්සියයකට නොඅඩු බෞද්ධ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකික සමාජය තුළ ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනුයේ සතුට සාමය මෙන්ම අවසන නිවන් මගට පාර කියන උතුම් වූ බුදු දහම බෙද‌ාහරින මහගෙදර යන විරුදාවලියට උරුමකම් කියමිනි. ඒ නිසාම ආසියාවේ ධර්ම භාණ්ඩාගාරය ලෙස ද අප රට හඳුන්වනු ලැබේ. 


එවන් ධර්මද්වීපයක උපත ලද ශ්‍රී ලාංකික භික්‍ෂූන්වහන්සේ සියවසකට එපිට සිට ලෝක ප්‍රජාවට බුදු දහම ව්‍යාප්ත කරන්න බොහෝ සෙයින් අප කැපවී ක්‍රියා කළහ. 1891 වසරේදී ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ මූලිකත්වයෙන් මහා බෝධි සමාගම පිහිටුවා දේශ දේශාන්තරයන්හි බුදු දහම බෙදාහරින්නට පුරෝගාමී වූ අතර එයින් පිබිදුනු ශ්‍රී ලාංකික භික්‍ෂූන්වහන්සේ ඒ මඟ යමින් අද වෙනවිට ලොව පුරා බොහෝ රටවල වෙහෙර විහාරස්ථාන ආරම්භ කරමින් තමන් වහන්සේගේ ලෝක ශාසනික සේවය ජාත්‍යන්තරය තුළ ඉටු කරමින් වැඩ වසති. 


මෙසේ ආදී යතිවරයන් වහන්සේලා විසින් තත්කාලීන අභියෝගයන් ඉදිරියේ තබන ලද පියවර පිළිබඳ කල්පනා කර ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික භික්‍ෂූන්වහන්සේලාගේ එක්වීම අත්යන්තයෙන්ම සිදුවිය යුතු කාලීන ජාතික අවශ්‍යතාවක් සේ අවබෝධ කරගත් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍යපාද තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන්වහන්සේ ලොව පුරා ධර්මදූත සේවාවේ නිරත වෙමින් මවු රටටත් ලෝකයටත් මහත් සේවයක් සිදුකරන යතිවරයාණන්වහන්සේලා ඒකරාශී කොට අදීන සංඝ පෞර්ශයක් බිහි කිරීමේ භාරදුර කාර්යය සඳහා මුල පිරූහ. 


ඒ අනුව රටවල් තිස්පහක් පමණ නියෝජනය කරමින් වැඩම කර සිටි සියයකට ආසන්න භික්‍ෂූන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ත්‍රෛනිකායික මහානායක හිමිපාණන්වහන්සේලාගේ මූලිකත්වයෙන් දෙසැම්බර් මස 22-23 හා 24 යන තෙදින පුරා ජපානයේ ක්ෂුකුබා නගරයේදී ජාත්‍යන්තර සඟ සමුළුව පැවැත්විණි. පුරා දින තුනක් පැවැති එම ජාත්‍යන්තර සඟ සමුළුවේ රටේත් ජාතියේත් සම්මා සම්බුද්ධ ශාසනයේත් චිර පැවැත්ම උදෙසා තීන්දු තීරණ කිහිපයක් ගන්නා ලදී. 


මෙම උදාර කටයුත්ත සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා කරන ලද මහඟු මෙහෙවරක් බව ආගම දහමට ලැදි බෞද්ධ අපගේ හැඟීමයි. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ ත්‍රෛනිකායික මහානායක හිමිපාණන්වහන්සේලාට අපගේ ගෞරවනීය නමස්කාරය පූජා කරමු. 

 

 


ප්‍රේමා කංකානම්ගේ රෝමය.