මුළුමනින් ම රත්තරනින් නිමවා තිබූ වැසිකිළි කට්ටලය හොරු අරන් ගිහින්


තබා තිබුණේ බ්‍රිතාන්‍යයේ කෞතුකාගාරයක

මඋරිට්සියෝ කටෙලාන්ගේ නමැති ඉතාලි ජාතික පනස් අටහැවිරිදි සුප්‍රසිද්ධ කලා නිර්මාණකරුවකු ෆැන්ටසියකට අනුව මුළුමනින් ම කැරට් දහඅටේ රත්තරනින් නිම කරන ලද ආසන වැසිකිළි කට්ටලයක් (Comode) මහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් ආසන්නයේ බ්ලෙන්හෙයිම් කෞතුකාගාරයේ සමකාලීන කලා භාණ්ඩ ප්‍රදර්ශනයක් සඳහා තබා තිබියදී අරක්ෂක අංශ ඇසට වැළි ගසා සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇත. (බ්ලෙන්හයිම් ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පරිවර්ථනය කිරීමට පෙර 1874 දී සර් වින්ස්ටන් චර්චිල් උපත ලබා තිබුණේ එම ගොඩනැගිල්ලේ ය.) 


මෙම ආසන වැසිකිළි කට්ටලයේ බර පිළිබඳව සඳහනක් නැති අතර එහි මූල්‍යමය වටිනාකම ලෙස තක්සේරු කර ඇත්තේ යුරෝ දසලක්ෂයකි. ඇමෙරිකා යනුවෙන් එයට නමක් ද දී තිබී ඇත. ජල පහසුකම් සහිතව මෙම වැසිකිළි කට්ටලය මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබී ඇති අතර, සොරුන් විසින් එය ගලවාගෙන යාමේදී ජලනළ විසන්ධිකිරීම හේතුවෙන් වැසිකිළි කට්ටලය සවිකර තිබුණු ශාලාව පමණක් නොව කෞතුකාගාරයේ යාබද කාමර කීපයක් ද ජලයෙන් යටවී තිබී ඇත. 


තේම්ස් මිටියාවත පොලීසියේ වාර්තාවට අනුව මෙම සොරකම සම්බන්ධයෙන් දැනට වයස අවුරුදු හැටහයක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ ශාක්ෂි අනුව තවත් සැකකරුවන් කීපදෙනෙකු පිළිබඳව පොලිසිය විමසිල්ලෙන් සිටී. එහෙත් රන්මුවා ආසන වැසිකිළි කට්ටලය පිළිබඳව මෙතෙක් කිසිම තොරතුරක් ලැබී නැත. 


මෙම සනීපාරක්ෂක මෙවලම 2010 වසරේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ ප්‍රදර්ශනයකට ඉදිරිපත්කර තිබියදී, එම ප්‍රදර්ශනය සංවිධායකයින් විසින් එය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අලෙවිකිරීම සඳහා උත්සහයක් දරා ඇති බව ද, එය ව්‍යර්ථවූ බව ද කියැවේ. 

 


චාපි කෝසලා. 
මියුනිච්, ජර්මනිය.