මහත්වරුනේ ! දුප්පතාගේ සල්ලි ඇත්ත කියලා ගන්න


ඉන්දිය සාගර​ෙය් මුතුඇටය, පෙරදිග ධාන්‍යාගාරය නම් අනගිභවනීයතාවයෙන් පිදුම් ලැබූ අප සුන්දර ශ්‍රී ලංකාව වර්තමාන තත්ත්වය අනුව රටේ ජීවත් වීම මහා පරිමාණයේ ජීවන අරගලයක යෙදෙන්නට මිනිසුන්ට සිදු වී ඇත. එයට හේතුව නම් අප රටේ ආර්ථික තත්ත්වය ඉතාමත් දුර්වලව තියන නිසාය. මේ හේතූන් නිසා අපේ රටේ ගැහැනු පිරිමි තම ජීවිතය යන්තම් හෝ ඉදිරියට ගෙන යන්න වැඩි දෙනෙක් තෝරාගෙන ඇත්තේ මැදපෙරදිග රටක රැකියාවය. අපේ රටේ වැඩි දෙනෙක්ට පහසුවෙන්ම ආ හැකි රටවල් මැදපෙරදිග නිසාය.   


නමුත් අද මා ලියන්නේ අපේ රටේ සමහර විදේශ රැකියා අායතන ගැනයි. ලංකාවෙන් පිරිමි කෙනෙක් සෞදි අරාබියට එන්නට අද කළුකඩ මුදලාලිලා ගානට වැටී ඇති විදේශ රැකියා ආයතන බොහොමයක් ඇත. ඔවුන් හිතුනු මුදල් ගණන් අය කරති. ​ඔවුන් මෙය සිදු කරන්නේ වංචා සහගතවය. ඒ මදිවට දැන්වීමක් පත්තරේ කළ කරන්නේ,   


“වෛද්‍ය පහසුකම්, වායු සමනය කරනලද නවාතැන්, ආහාරපාන, යෑමට ඒමට ගුවන් ටිකට් පත් නොමිලේ. අදම පැමිණෙන්න, සම්මුඛ පරීක්ෂණය සඳහා විදේශ මහතුන් ලංකාවට පැමිණ ඇත. පිටත්විම සතියකින්”   


මේ කියමන් සත්‍ය වන්නේ සියයට විසි පහක් පමණි. අනිත් හැම දෙයක්ම බොරුය. අපි ලවා කොළවලට අත්සන් ගන්නේ එහිදී වුවමනා වෙන වග කියාය. නමුත් මෙහේ සත පහකට වැඩක් නැතිය. අද මා සිටින සෞදි අරාබිය පුබෙල් නගරයේ සියයට හැත්තෑ පහක් පමණ ආයතන කිසිම නීතියක් නැතිව අරාබි ජාතීන්ට ඕනෑ විදියට පාලනය කරන ආයතන වේ. විශේෂයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් ආයතන වේ.   


අපේ තරුණයින්ට තැරැවුකරුවන්ට සහ වි​ෙද්ශ රැකියා ආයතන මවාපාන සුරංගනා ලෝකයට එක්වීමට රුපියල් අනූදාහක් අසූ පන්දාහක් අඩුම වශයෙන් අය කරයි. එයට ද කමක් නැත. අැත්ත පවසා මුදල් ගන්නේනම්. ඔහු එම මුදල් ගිහින් දෙන්නේ ගෙදර තියන දේවල් නොව තමන්ගේ ගෙයි ඉඩම උකස් කර නැතිනම් බැංකු ණයකින් නැතිනම් තවත් කෙනෙකුගෙන් පොලියට අරන්. මෙහේට ආවාම අර කියූ ලෝකයක් පේනතෙක් මානයක නැත. ගිනි පුපුරැ ගහන අව්ව, ඇඟ පැලෙන සීතල අපි වගේ මිනිසුන්ට අපායක් බඳුය.   
නමුත් මිනිසුන් එම සැම දුකක්ම උසුලාගෙන සේවය කරගෙන ගියත් සමහර ආයතනවල මාස තුනක් වැටුප් තියා ගැනීම සිදු කරයි.   
ගෙයි ඉඩම උකස් තියලා එන කෙනාට මෙහිදී ඇතිවෙන කම්පනය වෙන අසරණකම කියා නිමකරන්න බැරිය. සමහරුන්ගේ ඇස්වලින් කඳුළු වැටෙන්නේ මා වැටුනු අමාරුවකය කියාය.   


මේ හේතූන් නිසා අපේ පිරිමි අය සුළු දෙනෙක් මුදල් සොයාගෙන ලංකාවට යන අදහසින් නීති විරෝධී වැඩ කරමින් හිර ගෙවල්වල දඬුවම් විඳින්නට සිදුවෙන අවස්ථා අනන්තය. අපේ අය අරාබි ජාතීන්ගේ පහරදීම්වලට ද ගොදුරු වේ. පරුෂ වචන ඉදිරියේ මොන තරම් අසරණ වෙනවා ද?   


අපේ ශ්‍රී ලංකාව තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ රියාද් නගරයේය. එයට කිලෝ මීටර් 600 විතර දුරය. කොබාක් නගරයට මාසයේ අන්තිම නියෝජිත මහතුන් දෙපලක් පැමිණ එයත් ජුබෙල් නගරයේ සිටි කිලෝ මීටර් 100කට වැඩිය. මේ වැලි කතරේ කාට කියන්න ද පිළිවෙළක් නැති විදේශ රැකියා ඒජන්සියෙ මහත්වරුනේ. මේවාට ඔබලා වගකිය යුතුයි. අහිංසක මිනිසුන් මුලාවේ දාන මේ ආයතන ගැන වගකිය යුතු නිලධාරීන්ගේ දෑස් යොමු වේවා.   


සමන්ත නයිදහේවා   
ජුබෙල් සෞදි අරාබිය.