බංග්ලාදේශ කසාද සහතිකයෙන් කුමරි බඹසර ප්‍රශ්නය ඉවත්වෙයි


 

මුස්ලිම් ශරීයා නීතිය අකුරට ම ක්‍රියාත්මක කෙරෙන බංග්ලාදේශය, කාන්තාවක සහ පිරිමියෙකු විවාහ වීමේදී පිරවිය යුතු ලිපි ලේඛණ අතර විවාපත්වෙන අවස්ථාවේ කාන්තාව කන්‍යාවක ද යන වග සඳහන් කිරීම අගෝස්තු මස විසිපස්වැනිදා සිට අවලංගු කර ඇත.


බංග්ලාදේශ යුවලක් විවාහපත් වෙන අවස්ථාවේ පිරවිය යුතු පෝරමවල කාන්තාව කන්‍යාවක ද, විවාහක ද, දික්කසාදවී ද, වැන්දඹු ද යන්න ප්‍රකාශ කිරීම සඳහා වෙනම ම කොටසක් විය. මෙම ලියවිලිවල කන්‍යාව “කුමරි” ලෙස නම් කෙරී තිබුණි. එහෙත් විවාපත්වෙන පුරුෂයා විවාහක ද, අවිවාහක ද, දික්කසාද ද, වැන්දඹු ද ආදී කිසිවක් පිළිබඳව තැකීමක් මෙතෙක් කෙරුනේ නැත.


විවාහ ගිවිසගන්නා කාන්තාවගේ කන්‍යාභාවය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශනය, මානව හිමිකම් යටතේ කාන්තාව අවමානයට මෙන් ම අවතක්සේරුවට ද ලක්කිරීමක් ලෙස සලකා එයට එරෙහිව, බංග්ලාදේශ මුස්ලිම් කාන්තා නිදහස පිළිබඳ ක්‍රියාකාරී රාජ්‍ය නොවෙන සංවිධාන කීපයක් විසින් 2014 වසරේදී මෙම විෂය පිළිබඳව නීතිමය සාධාරණත්වයක් ඉටුකරදෙන ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අභිආයාචනයක් ඉදිරිපත් කරන ලදී. වසර පහක අධිකරණ කඹ ඇදිල්ලකින් පසුව අගෝස්තු මස විසිපස්වැනි ඉරිදා බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය කාන්තාවට වාසිසහගත අයුරින් අදාළ විෂය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත්කළේය.


මින්පසු බංග්ලාදේශ විවාහයේදී පිරවිය යුතු පෝරමවල “කුමරි” වෙනුවට අවිවාහක කාන්තාව යන අරුතැති “ඔබිබහිටා” වචනය සඳහන්වෙනු ඇත. ඊට අමතරව විවාහපත්වෙන පුරුෂයා අවිවාහක ද, විවාහක ද, දික්කසාද ද, වැන්දඹු ද යන්න සහතික කිරීම සඳහා ද අදාළ පෝරමවල කොටසක් වෙන්වෙනු ඇත.

 


චාපි කෝසලා.
මියුනිච්, ජර්මනිය.