ප‍්‍රංශයේ පාපන්දු ක‍්‍රීඩා කළ අප‍්‍රිකානු තරුණයා ලයිබීරියාවේ ජනාධිපති පදවියට පත්වෙයි


 

”මිස්ටර් ජෝර්ජ්” 90 දශකයේ ලෝක පාපන්දු පිටියේදීත් විශේෂයෙන් ප‍්‍රංශ පාපන්දු ක්‍ෂේත‍්‍රයේදී හා ප‍්‍රංශ පාපන්දු ලෝලීන් ඔහු ඇමතුවේ එසේය. එනමුදු අද ඔහුව අමතන්නේ ලයිබීරියාවේ නව ජනාධිපති ජොර්ජ් වේහා ලෙසය. 2018 ජනවාරි 22 වැනිදාා බටහිර දිග අප‍්‍රිකාවේ අත්ලන්තික් සාගරයට යාබදව උතුරින් සියරා ලියෝන් හා ගිනේ රටවල්ද නැගෙනහිරෙන් අයිවරි කොස්ට් රාජ්‍යයට මායිම්ව පිහිටි වර්ෂ 1847දී අප‍්‍රිකාවේ ප‍්‍රථම නිදහස දිනා ගත් රට වන ලයිබීරියාවේ 25 වැනි ජනාධිපති ලෙස දිව්රුම්දී වැඩ භාර ගත් ජෝර්ජ් වේහා ඔහුගේ ප‍්‍රථම රාජ්‍ය නායක හමුව සඳහා පෙබරවාරී 20 වැනිදාා ප‍්‍රංශ ජනාධිපති හමුවීමට ප‍්‍රංශයට පැමිණියේය. 
දින හතරක සංචාරයක් සඳහා ප‍්‍රංශයට පැමිණි ඔහු 21 වැනිදාා එලිසේ පැලස් නොහොත් ප‍්‍රංශ ජනාධිපති මැදුරේදී ප‍්‍රංශ ජනාධිපති තුමා සමග දිවා භෝජන සංග‍්‍රහයකට සහභාගි වූයේය. මෙම විශේෂ අවස්ථාවට ප‍්‍රංශ පාපන්දු සම්මේලනයේ සභාපති නොයෙල් ග්‍රෙට්, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානී ඉන්පැන්ටිනෝ, ප‍්‍රංශ ක‍්‍රිඩා ඇමැතිනී ලෝරා පෙලෙසෙල්, ප‍්‍රංශ ඔලිම්පික් කමිටු සභාපති, ප‍්‍රංශයේ හා එංගලන්තයේ පළමු පෙළේ පාපන්දු ශූරතාවයේ ක‍්‍රීඩා කළ ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයෙකු වන අයිවරි කොස්ට් ජාතික ඩිඩියෙර් ඩ්රොග්බා, ප‍්‍රංශයේ පාපන්දු සඳහා දෙවැනි වැඩිම මුදලක් අය කරන පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමේ ඉදිරි පෙළ ක‍්‍රීඩක ක්ලයින් එම්බාපේ යන අයද ඇරයුම් ලබා සහභාගි වූහ. 


අනතුරුව ප‍්‍රංශ අගමැති හමුවීමෙන් පසු ප‍්‍රංශයේ ප‍්‍රසිද්ධ පළමු පෙළේ පැරිස් සෙන්ට් ජර්මන් පාපන්දු ක‍්‍රීඩා සමාජයේ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගි වූයේය. ජනාධිපති ජෝර්ජ් වේහාගේ ප‍්‍රංශ සංචාරයට ද විශේෂත්වයක් ඇත්තේය. එනම් ඔහුගේ ක‍්‍රීඩා ජිවිතයේ ස්වර්ණමය කාලය ගත කළේ ප‍්‍රංශයේ බැවිනි. එම නිසාම අදටත් ඔහු ද්විත්ව පුරවැසියෙකු ලෙස ලයිබීරියානු හා ප‍්‍රංශ ජාතිකත්ව දෙකම භාවිත කරන්නේය. 


වර්ෂ 1966 දී ලයිබීරියාවේදී උපන් ජෝර්ජ් වේහා තිදරු පියෙකි. ඔහුගේ බිරිඳ ජැමෙයිකන් හා ඇමෙරිකන් පුරවැසි හිමි ක්ලාරා නම්වේ. ඔහුගේ පුතුන් දෙදෙනෙකු අදටත් ප‍්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මේන් ක‍්‍රීඩා සමාජයේ අධ්‍යාපනය කරමින් දෙවැනි පෙළ තරඟවලට ක‍්‍රීඩා කරන්නේය. ජොර්ජ් වේහා 90 දශකයේ ලෝකයේම සුප‍්‍රසිද්ධ යුරෝපයේ ප‍්‍රථම පෙළේ පාපන්දු ක‍්‍රීඩා සමාජයන්හී ක‍්‍රීඩා කළ ඉදිරි පෙළේ ප‍්‍රහාරක දක්ෂ ක්‍රීඩකයෙකි. 
ප‍්‍රථමයෙන් වර්ෂ 1989දී ප‍්‍රංශයේ මොනාකෝ පාපන්දු කණ්ඩායමට එක් වන්නේය. එහිදී වර්තමාන එංගලන්තයේ ආර්සනල් පාපන්දු ක‍්‍රීඩා සමාජයේ පුහුණුකරු වන එකල මොනාකෝ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ප‍්‍රංශ ජාතික ආර්සන් වැන්ගර් යටතේ පුහුණුව ලබන්නේය. ඉන්පසු වර්ෂ 1995 දක්වා වරින් වර ප‍්‍රංශ පාපන්දු ලීගයේ තරග වදින ප‍්‍රධාන කණ්ඩායම් වන පැරිස් සෙන්ට් ජර්මේන් හා මාර්සෙයිල් යන කණ්ඩායම්වලට ක‍්‍රීඩා කරන්නේය. එසේ නමුදු පාපන්දු ක‍්‍රීඩකයෙකු ලෙස ඔහුගේ සවර්ණමය යුගය ගෙවී යන්නේ පැරිස් සෙන්ට් ජර්මේන් කණ්ඩායමට ක‍්‍රීඩා කළ සමය යැයි හැඳින්වීම අතිශෝක්තියක් නොවේ. 


එහිදී ප‍්‍රංශ පාපන්දු ශූරතාව කිහිප විටක් ජය ගැනීමටත් එහිදී වැඩිම ගෝල් හිමිකර ගත් ක‍්‍රීඩකයා වීමටත් ඔහුට අවස්ථාව හිමි වන්නේය. වර්ෂ 1995 න් පසු ඉතාලියේ ඒ සී මිලාන්, එංගලන්තයේ චෙල්සි හා මැන්චෙස්ටර් සිටි කණ්ඩායම්වලට ක‍්‍රීඩා කරමින් ඉතාලි ශුරතාව හා එංගලන්ත ශූරතාවන් ජය ගැනීමට එම කණ්ඩාම්වලට දාායකවූ ප‍්‍රධානම ක‍්‍රීඩකයා ලෙස හැඳින්වීම නිවැරදිය. මෙම කාලය තුළ ඉහත කණ්ඩායම්වලට ක‍්‍රීඩා කරමින් යුරෝපා පාපන්දු ශූරතාවන් රැසක්ම හිමි කර ගැනීමට ඔහු දාායක වන්නේය. 


එබැවින් 1995 දී යුරෝපයේ හොඳම දක්ෂම පාපන්්දු ක‍්‍රීඩකයාට පිරි නමන පාපන්දු රන් කුසලානය, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වර්ෂයේ හොඳම ක‍්‍රීඩකයා ලෙසත් 1996 දී අප‍්‍රිකාවේ හොඳම පාපන්දු ක‍්‍රීඩකයා ලෙසත් සියවසේ අප‍්‍රිකාවේ හොඳම ක‍්‍රීඩකයා ලෙසත් තෝරා ගනී. අප‍්‍රිකානු මහද්වීපයේ ඔහු කෙතරම් ජනප‍්‍රිය ද කීවොත් නෙල්සන් මැන්ඩෙලා පවා ඔහුව හමුවීමට ආරාධනා කර ඇත්තේය. 

 

 

 

යුරෝපයෙන් පසු විශාල මුදලකට ආරාබි එක්සත් එමීර් රාජ්‍යයේ කාණ්ඩායමකට ක‍්‍රීඩා කරමින් වර්ෂ 2002දී පාපන්දු ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම යන්නේය. ඉහත කාලය තුළ ජෝර්ජ් වේහා අති විශාල මුදලක් පාපන්දු ක‍්‍රීඩාවෙන් හරි හම්බ කර ගන්නේය. පාපන්දු ක‍්‍රීඩාවෙන් විශ‍්‍රම යෑමෙන් පසු ලයිබීරියානු ජාතික පාපන්දු කණ්ඩායම ශක්තිමත් කොට අන්තර් ජාතික තරඟ වලට සහභාගි වීමට අවස්ථාව උදාා කර දුන්නේය. ඒ සඳහා ඔහුගේ පුද්ගලික ධනය යෙදවූ අතර වර්තමානයේ පාපන්දු ක‍්‍රීඩකයන් බිහි කරන පාපන්දු ඇකඩමියක්ද ඔහුගේ වියදමින් ස්ථාපිත කොට ඇත්තේය. 


තමන් උපන් ග‍්‍රාමයේ දුප්පත් පවුල්වලට නිවාස තනා දෙමින් මං මාවත් අලුත් වැඩියා කරමින් දුප්පත් අසරණ පවුල් වල දරුවන්ට අධ්‍යාපන පහසුකම් සපයමින් 2005දී දේශපාලනයට අවතීර්ණ වෙන ඔහුව දෙවි කෙනෙක් ලෙස සැලකීමට එරට වැසියෝ පෙළඹීමට එතරම් කලක් ගත නොවීය. ඉන්පසු ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසෙමින් විවිධ තනතුරු දරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී දෙවරක් පරාජය වෙමින් පසුගිය දෙසැම්බර් ජනාධිපතිවරණයෙන් ඉතා විශිෂ්ට ජයක් ලබා ගනිමින් ජනාධිපති පදවියට පත් වන්නේය. 


ලබීරියාව යනු ලෝකයේ දුප්පත්ම රටවල් දහයෙන් එකකි. රටේ ජනගහනයෙන් 60%කට හරිහැටි අධ්‍යාපනයක් නොමැත. වසර 1989 සිට 2003 දක්වා රට තුළ සිවිල් යුද්ධයක් පැවැති අතර ලක්ෂ 2කට අධික ජනතාවක් මිය ගියේය. ඉන් පසු වර්ෂ 2013 සිට 2015 අතර කාලය එබෝලා වෛරසයට ගොදුරු වූයේය. එහෙව් රටක් ගොඩ දැමීම සිතන තරම් පහසු කාර්යක්ද නොවන්නේය. එම අභියෝගයට අද ජොර්ජ් වේහා ජනාධිපති මුහුණ දී සිටී. ජොර්ජ් වේහා ඉතාමත් නිහතමානී, අවංක මහත්මා ගතිගුණ වලින් පිරි චරිත ඇත්තෙකි. එබැවින් ඔහු මිස්ටර් ජොර්ජ් ලෙස ප‍්‍රංශයේ ප‍්‍රකටය. එබැවින් තම රට යහපත් තැනකට ගෙන ඒමට ඔහුට සැබෑ අවංක වුවමනාවක් තිබේ. ඉදිරි වසර හය තුළ ඔහු ඉහත අභියෝග පිළිගන්නා අන්දම සැලකිල්ලෙන් නිරීක්ෂණය කරමු. 

 


සුනිල් ආනන්ද 
පැරීසියේ සිට