ඉතාලි පත්තරයක පිටුවක්ම ලංකාවේ ලස්සන කියයි


සංචාරක සෘතුවේදී අප රටට කදිම ප්‍රචාරයක්

ඉතාලියේ වැඩියෙන්ම අලෙවි වෙන පුවත්පත ලෙස වසර කීපයක සිටම වාර්තා තබා ඇත්තේ “ඉල් මෙසජ්ජෙරෝ” පුවත්පතය. මෙම පුවත්පතේ මව් කලාපය මුළු රටටම පොදුවේ මුද්‍රණය වෙන අතර, විමධ්‍යගත ක්‍රමවේදයක් යටතේ රටේ විවිධ ප්‍රාන්තවලදී ඒ ඒ ප්‍රදේශයේ පුවත් අඩංගු අතිරේකයක් මෙම පුවත්පතට එකතුවේ.   


“ඉල් මෙසජ්ජෙරෝ” පුවත්පතේ ජූලි මස දොළොස්වැනි බ්‍රහස්පතින්දා ප්‍රධාන කලාපයේ විසිතුන්වැනි පිටුව මුළුමනින්ම ශ්‍රී ලංකාවේ ස්වභාවික හා සංස්කෘතික ආකර්ෂණය වෙනුවෙන් වෙන්ව තිබීම විශේෂත්වයකි. ඉතාලි ජාතිකයන් මේ වනවිට ග්‍රීෂ්ම නිවාඩුව ගතකිරීම සඳහා යා යුතු ගමනාන්තයන් තීරණය කර හමාරය. එහෙත් අවසන් මොහොතේ නිවාඩුව ගතකිරීම සඳහා විදෙස් ගමන් තීරණය කරන සංචාරකයන් ආකර්ෂණය කරගැනීම පිණිස ශ්‍රී ලංකාව පිළිබඳ මෙම විස්තරය බලපෑමක් කළ හැකි බව සහතිකය.   


“ශ්‍රී ලංකාවේ වනයේ බිහිවුණු පුරවරය” මැයෙන් සීගිරි ඉතිහාසයෙන් ඇරඹෙන   ප්‍රධාන ලිපිය, සීගිරිය පිළිබඳ චමත්කාරවූ සම්පූර්ණ චිත්‍රයක් මවයි. ඡායාරූප කීපයක් සමග සීගිරිය පිළිබඳ කර ඇති විස්තරය එය නැරඹීමට පැමිණීම සඳහා සංචාරකයා උසිගන්වන සුළු ය.   


දඹුල්ලේ ලෙන් ප්‍රතිමා සහ පොළොන්නරුවේ ශෛලමය ප්‍රතිමාවන් පිළිබඳව චමත්කාර විස්තරයක් කරනු ලබන ලියුම්කරු, ලෙනාඩ් වුල්ෆ්ගේ සහෝදර සිඩ්නි වුල්ෆ් විසින් 1907 දී ලියා ඇති “මහනුවරට මාර්ගෝපදේශ” නම් ග්‍රන්ථයේ විස්තරයට අනුව යමින්, මහනුවර දළදා මාලිගය හරිත වර්ණ කඳු මැද දිදුලන මානික්‍ය ලෙස හඳුන්වයි.   


එම පිටුවටම තවත් අතිරේක ලිපියක් සපයන ලිපිකරු, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව කර ඇති වර්ණනය පරිසර ලෝලී සංචාරකයා ඇද ගැනීමට රුකුල් දෙන්නකි. දකුණු පළාතේ රමණීය මුහුදු තීරය, මිරිස්සේ කැස්බෑවුන් මෙන්ම හෝර්ටන් තැන්න ඇතුළු උඩරට කඳුකරය ද යාල, කුමන ඇතුළු අසිරිමත් වන ජීවීන් පිරුණු විවිධ වපසරියේ අභයභූමි විසිපහක් පිළිබඳව ද කදිම විස්තරයක් ලියුම්කරු ඉදිරිපත් කරයි.   


රුපියල් ලක්ෂ ගණනක් වැයකර කරවාගතයුතු ප්‍රචාරයක්, සුදුසුම මොහොතක නොමිලේ කරදී ඇති මෙම පුවත්පත් කලාවේදී ස්තේෆනෝ අර්දීතෝට ශ්‍රී ලාංකිකයන් ලෙස අප ස්තූතිවන්ත විය යුතුය.   

 

 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.