අරුම පුදුම රටේ, පණමට පොල් හැටේ


පුංචි රටේ අසීමිතව මැති ඇමැතින් බිහි කෙරෙනා   
කාලෙ එළැඹ තිබේ යසට එකිනෙකාට මඩ ගසනා   
ප්‍රතිපත්තින්වලට වඩා අලි කොටි වලසුන් දෙවනා   
අහිංසකයො මුලා කරන බොරු පොරොන්දු ගොඩ ගසනා   
 
අලුත්ම සිඟමන් යැදීම රට පුරාම ඇරඹීලා   
ගෙයින් ගෙයට දැන් යන්නෝ සිනහවත පෙන්නාලා   
සුදුසු කෙනා කොයි කවුරුද ජනතාවෝ විමසාලා   
පෙන්වා ලති කතිරේ බලය ඉදිනු මැනවි ඉවසාලා   
 
රට කරවන තැනට යන්න සුදුසු කව්ද යැයි සිතන්න   
ඒ උත්තම සභා ගැබට හොඳ අරුතක් ලබා දෙන්න   
උගතුන් මැති සබ​ෙය යවා කාරිය කරවනු ලබන්න   
විශ්‍රාමය සමග වැටුප් ඔවුන්ට හිමි බව සිතන්න   
 
ජයවේවා ඔබ සැමටම සිනහා වත හරි සොඳුරුයි   
රූප පෙට්ටියෙන් දකිනා උණුසුම්වූ දෙබස් බොහොයි   
ඡන්ද සිඟමනේ යන්නෝ දෙන පොරොන්දු නම් බොහොමයි   
වැසි ඉල්ලා හඬන මැඩියො වගේ සැවොම සිහි ගැන්වෙයි   
 
 
වික්ටරින් කොළඹගේ