කොළොම්පුරේ
ජීවිතේ

 

 

මීට වසර කීපයකට පෙර එක්තරා දවසක සවස් ජාමයේ එවකට මා සේවය කළ පුවත්පත් කාර්යාලයේ රාජකාරී නිමවා නිවසට යාමට ලක ලෑස්තිවන විට ප්‍රධාන කර්තෘවරයාගෙන් කැඳවීමක් ලැබුණි. ‘ගෙදර යන්න කලින් ​​​ෆොටෝ ග්‍රැපර් කෙනෙකුත් අරගෙන පිටකොටුවට යන්න. අර ෆ්ලෝටිං මාර්කට් (පාවෙන වෙළඳපොළ) හෙට විවෘත කරනවනේ. එතනට ගිහින් කථාවක් හදන්න” කර්තෘතුමාගේ නියෝගය විය.   


පත්තර රස්සාවේ හැටි එහෙමය. වෙලාවක් අවේලාවක් නැත. තැනක් නොතැනක් නැත. කෑමට බීමට කාලයක් නැත. ආයතනයේ වාහනයක් හා ඡායාරූප ශිල්පියෙකු ද සමග පිටකොටුවට පැමිණ වාහනයෙන් බිමට බට මොහොතේ මට දැනුණේ සුරපුරයට පැමිණියාක් මෙනි.   
එවිට වේලාව හැන්දෑවේ 7පමණ වුවත් හතර අතින් දැල්වෙන නිවෙන නේක වර්ණ විදුලි බුබුළු රාත්‍රිය පලවා හැර තිබිණ. එතෙක් ගඳ ගසමින් තිබූ බේරේ කොළ පැහැ ජල තලය සුපිරිසිදුව ඇත. ජල තලය මැද හුම්මානය සේ විහිදෙන වතුර මල් කිරි පැහැ පෙන කැටි අහසට විසුරුවමින් ඇද හැලෙති. ඒ මත වැටෙන ෂඩ් වර්ණ විදුලි එළි නිසා රිදිවන් ජලකඳ මොහොතින් මොහොත එක් එක් වර්ණයන්ගෙන් ඒකාලෝකවේ.   


මම සිටින්නේ කොළඹ කොටුවේම දැයි දෙනෙත් විහිදා වටපිට බැලුවෙමි. ජල තලය මත නැවතී තිබෙන යාත්‍රා අනේක විධ බඩු මුට්ටුවලින් පිරී ඇත. සුළඟ හා දඟ කරන සිහින් දිය රැලි සමග ඒවා ලතාවකට පැද්දෙයි. යාත්‍රා තුළ සිටින පාවෙන වෙළඳසැල්වල හිමිකරුවෝ උදාවෙන සිය අලුත් ජීවිත ගමනට ලක ලෑස්ති වෙමින් සිටිති.   
ඒ එදාය... අද පාවෙන වෙළඳපොළ නොඑසේ නම් ෆ්ලෝටිං මාර්කැට්ටුව පාළුවට ගොසිනි. පාවෙන යාත්‍රාවල තිබූ වෙළඳසල් කුණාටුවට හසුව ගසාගෙන ගොස්ය. අබලන් යාත්‍රාවෝ බිදුණු වරායක සුන්බුන් වැන්න. ගද ගසන කොළ පාට ජලය මත සෙමෙන් සෙමෙන් පැද්දෙන්නේ ෆ්ලෝටිං මාර්කට්ටු වේ ඉරණම අසලින් යන එන්නන්ට කියා පාන්නට මෙනි.   
එදා ප්‍රතාපවත් ලෙසට අහසට නැගුණු වතුර මල් නිසලය. ඒ මත වැසු දියකාවෙකු අත්තටු විදහා අව්ව තපිමින් හිඳී. මාර්කැට්ටුවේ දෙකෙළවර තිබෙන ආපන ශාලා අසල පමණක් කීප දෙනෙකු දක්නට ලැබේ. පාළුවට ගිය මේ බිමේ තනිය මකන්නට මෙන්ම සිමෙන්ති බංකු එකක දෙකක තුරුලුව හිඳින පෙම්වත්තු ජල තලය දෙස හිස් බැල්මෙන් බලා හිඳිති. එදා මා දුටු සුරපුරය කොහේ ගියා ද නැත.   


මැනිං වෙළඳපොලේ කච බචය හා මුසුව තිබූ කලබලකාරී බව පහව ගොස්ය. කුණු ගොඩ ළඟින් මාර්කැට්ටුවේ ගොඩනැගිල්ල හා බස් නැවතුම්පොළ වෙන් කෙරෙන කුණු කානුව ළඟ අඩිපාරේ සෘජුෆෝම් පෙට්ටි කබලක් මත වාඩිගෙන යකඩ වැටට එපිටින් පෙනෙන බස් පොළ දෙස හිස් බැල්මෙන් බලා හිදින වියපත් මිනිසෙකි.   
කුණු කානුවේ එළවළු පල්ගඳ මග හරින්නට දෝ ඔහු අත දැල්වෙන දුම්වැටියකි. මම මේ මිනිසා වෙතට ගියෙමි. ඈත එපිට බදුලු පුරවරයේ සිට කොළඹට සේන්දු වූ චන්ද්‍රසේකරන් සිගරැට්ටුව නිවා දමා මා වෙතට හැරිණි.   
1983 කෝලහාලයේ දී අපේ ගෙවල් ගිනි තිබ්බා. නොමැරි බේරිලා කොළඹට පැන ගත්ත ගමන් තමයි මේ තාත්තා මැරුණා. අම්මා මිය ඇදුනෙ ඊට අවුරුදු පහ හයකට පස්සෙයි. එක එක රස්සාවල් කළා. වයස ගෙවුණේ මේ ගෙන්දකම් පොළවටම තමයි. දැන් අර අතන තියෙන හෝටලේ ඉඳුල් පිඟන් සෝදනව පඩිය දවසට රු. 1000යි.   
චන්ද්‍රසේකරන්ගේ වයස ඔහුගේ ගණන් හිලව් අනුව අවුරුදු 53කි. දෑස් යටට ගිලිගොස් ඇති කළු පැහැති මුහුණේ දින කීපයකින් නොකැපූ රැවුල් ගස් පොරි අහුරක් ඉස්සාක්​ සේ සුදට කැපී පෙනේ. කේඩෑරී වී ගිය දෙඅත්වල නහර පෑදී මතුව තිබේ. ඒ වසර 36ක කොළඹ ජීවිතය ඔහුට උරුමකර දී තිබෙන නෂ්ටාවශේෂය.   
උදේ 6 ඉඳල හවස 6 වෙනකම් එක දිගටම වැඩ. කෑම බීම නවාතැන් හළෙන් ලැබෙනව. මේ වෙලාවට වැඩි සෙනගක් නැති නිසා. සිගරැට් එකක් පත්තු කර ගත්තා. වියපත් මුහුණේ අව්‍යාජ සිනාවකි. අාගාර තුළින් කුඩාවට පෙනෙන දෑස් යකඩ වැටෙන් එපිට කොහේදෝ ඉසව්වක නැවතී ඇත.  


මගේ එක ඇහැක් පෙනෙන්නේ නැහැ. ඇනෙක් ඇහැටත් කාචයක් දාලයි තියෙන්නේ​. ඒක ටිකක් හොඳට පේනවා. බරවැඩ කරන්නත් බැරි නිසා මේ රස්සාව කරනවා. නිවාඩු එහෙම නෑ. වැඩකරන දවස්වලට සල්ලි ලැබෙනවා. ජීවිතයේ බරක් පතලක් නැති මේ වියපත් මිනිසා ජීවිතයට ඔහේ පාවි යාමට ඉඩ හැර තිබේ.   
කසාදයක් බඳින්න හිතුවෙත් නැත්තේ කුලී වැඩ කරලා මටවත් තනියම ජීවිතේ ගැට ගහ ගන්න බැරි නිසයි. පවුල් වුණොත් ඒ අයත් නඩත්තු කරන්න වෙනවනේ. ඊට මීට වඩා හොඳයි තනිකඩ වෙනව කියලා හිතුවා. හෝටලෙන් දෙන දෙයක් කාලා එතනම නිදා ගන්නවා. බදුල්ලේ මගේ කියල කිසි කෙනෙක් නැහැ. දැන් ඉතින් ජීවිතේ ඉතිරි ටිකක් මේ ගෙන්දගම් පොළවට දිය කරනවා.   


ජීවිතයට අරමුණක් නොමැති නමුත් ඒ වියපත් දෑස් කෙවෙනි අග බලාපොරොත්තුවක සේයා රැඳි තිබෙනු ඒ දෑස්වලට එබි බැලු මම දිටිමි. ඒ කුමක්දැයි නොවිමසා ඔහුගෙන් සමුගතිමි.   
එක අතකට චන්ද්‍රසේකරන්ලාගේ රැකියාව ස්වාධීනය. අපේ රටේ බොහොමයක් පුද්ගලික ආයතනවලින් නොගෙවන දවසේ වේතනයක් ඔහුට ලැබේ. වෙනස ක්ලීන් සූට් එක නැතිකම පමණක් නොවේදැයි අඩි පාරෙන් පිටකොටුවට ගමන් කරන අතරවාරයේ මට සිතිනි.   


දැන් මේ සාවිය මට හොඳින් හුරුපුරුදුය. තලවකැලේ ඩිව්ලා කොටිකාවත්තේ නිරංජන්ලා මේ හැන්දෑවේ පෙනෙන්නට නොසිටි නමුත් මම ඉදිරියට ගියෙමි.   
5වන හරස් විදියේ එක්තරා සුප්‍රසිද්ධ පලතුරු තොග ආනයනය කරන ආයතනයක් ඉදිරිපස කරත්තයක ඔහු වාඩිවී සිටියේය. අසලින් පෙනෙන බෝමළුවත් ඒ සෙවණේ වැඩවෙසෙන ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙස හිස් බැල්මෙන් බලා සිටින අයෙකි. හේ රොහාන් ප්‍රනාන්දු නම් විය.   
මම ඉපදුනේ හැදුණේ වැඩුණේ මේ කොළඹම තමයි. ගෙවල් මෝදර. මේ කොන්ක්‍රීට් වනන්තරේ හැම ත්‍රාඩ ක්‍රියාවක්ම, ඕනම හොර ජාවාරකම උපත තමයි ‘මෝදර සිරා පොරවල්’ ඉන්නෙත් මෝදර. ඒත් මම ඒවට පුරුදු වුණේ නෑ. පුංචි කාලේ ඉඳලම ආශාවෙන් හිටියෙ නැව් රස්සාවට.   
රොහාන් කොළු කාලයේදීම මුහුදට මුහුදු වෙරළට සාගරය මත යෝධයන් සේ පාවි යන මහා නැව්වලට ඇලුම් කළේය.   
අනේ කවදාහරි මටත් නැවක යන්න තියෙනවා නම් සිය දහස් වරක් මහා සාගරය දෙස බලාගෙන මිමිනුවාර අනන්තය. මෝදර සිට කවදාවත් නැව් නගින්නට බැරි බව ඔහු දැන සිටියේය. ඒ නිසා ඉඩක් ලද හැම විටෙකම වරාය අසලට යාම ඔහුගේ දින චර්යාවේ අංගයක් කර ගත්තේය.   
යකඩ වැටට එපිටින් පෙනෙන විශාල දොඹකර පතංගර නැව්. කඩියන් සේ කලබලයෙන් වැඩකරන මිනිස්සු හිටි හැටියේ දෙකන් බිහිරි කරවමින් මහ හඩින් නාදවන නැව් සයිරන් හඬ ඔහුව අමුතුම ලොවකට කැඳවාගෙන ගියේය. අන්තිමේ දී ඔහුගේ සිහිනය සැබෑවක් බවට පරිවර්තනය විය.   


1985 වසරේදී කම්කරු රැකියාවද සමග රොහාන් නැව් නැග්ගේය. ලැබුණු රැකියාව හොඳින් කරගෙන මහා සාගරය මැද තනිවී සිටි ඔහු නැවත උපන් බිමට පා තැබුවේ 1993 දීය. අනතුරුව සය මසක් පමණ කාලයක් අඹු දරුවන් සමග විවේක ගත් රොහාන් පිටකොටුවේ නාටාමි රැකියාව තෝරා ගත්තේ ස්ව කැමැත්තෙන්ය. ඔහු මුට්ට කර ගසන්නේ නැත. අනුයුක්තව සිටින පලතුරු ආනයනය සමාගමෙන් රටේ විවිධ ප්‍රදේශවලට ගෙන යන ඇපල්, මිදි, දෙළුම් දොඩම් ඇසුරූ පෙට්ටිකර අත් කරත්තයෙන් අදාළ වාහනය වෙත හෝ බස්රථයෙන් නම් මධ්‍යම බස් නැවතුමට එසේත් නැතිනම් ගුණසිංහපුර, බැස්ටියන් මාවත බස් පොළවලට ප්‍රවාහනය කරදීම ඔහුගේ රාජකාරියයි.   
කෑල්ලකට (පෙට්ටියකට) කුලිය රු. 20යි. ගබඩාවට ලොරි වලින් ගෙනෙන පලතුරු පෙට්ටිවලටත් කර ගහනවා. ඒවට නම් ලැබෙන්නේ පෙට්ටියකට රු. 2යි. වයස අවුරුදු 55ක් වන රොහාන් දරු දෙදෙනෙකුගේ පියෙකි. ඔවුන් දැන උගෙන නිසි වයසේදී විවාහයක් කරගෙන ඔවුන්ගේ ලෝකවලය.   
දවසට රු. 3000ක් විතර හොයනවා. උදේ 5.30 ඉඳලා හවස 6.30 වෙනකම් ඩියුටි. ගාණක් නෑ. වැඩ තිබුණොත් රෑ වෙනකම් හරි ඉන්නවා. කොච්චර හම්බ කළත් ඉතුරුවක් නෑ. මහත්තයෝ දවල් දවසෙ මගේ වියදම රු. 800ක් ගෙදරට රු. 1500ක් දෙනවා. ඇඟේ පතේ අමාරුවට අරක්කු කාලක් බොනව හැමදාම නෙමෙයි. මේ රස්සාවට මම කැමතියි කාටවත් යටත් නෑ. මේ කරත්තෙට දවසේ කුලිය රු. 100යි. 


මේ රස්සාවට බැහැලත් දැන් අවුරුදු 29ක්. ජොබ් එකටත් බාධා නැත්තෙමත් නෑ. මේක 5 වෙනි හරස් වීදිය 3-4 විථිවල වැඩකරන නාට්ටමිලා අපිට ඒවගෙ වැඩක් කරන්න ඉඩ දෙන්නේ නෑ. ඒ අය දෙමළ මුස්ලිම් ඒකාධිකාරයක් ඒ වීථිවල පවත්වාගෙන යනව. හැබැයි ඒගොල්ලෝ අපේ ඒරියා එකට ඇවිත් මුට්ට කර ගහනවා කාගෙන්වත් බාධාවක් නෑ. වැරදිලාවත් අපි ඒ පැත්තට ගියොත්. ගහල පන්න ගන්නේ.   
මට කෝකි වැඩෙත් පුළුවනි. නමුත් මේ ජොබ් එකට කැමතියි. අතපය වාරු තියෙන කම් කරගෙන යනවා. සිය ජීවිතයේ එක් පරිච්ජේදයක් වෙත කියා හමාර කළ රොහාන් මා දෙස බලා සිනාසුණේය.   


ඒ අව්‍යාජ සිනාවට පිටුපසින් ජීවිතය ජීවත් කරවීමේ දුක්මුසු කථාව සැඟවී ඇතැයි මට සිතුනි. ඔහු සමග එක පෙළට කරත්තයට පස්ස හේත්තු කරගෙන සිටි මම ඉන් ඈත්වී සමන්තිලා චන්ද්‍රසේකරන්ලා රොහාන් ලා පොළොවේ පය ගසාගෙන සිටින සීමාවෙන් තාවකාලිකව සමුගතිමි.   
පදික වේදිකාවේ හැඳුනුම්පත් කවර හා ලයිෂන් කවර පොදියක් අත දරාගත් අයෙකි.   
‘‘මම බලාගෙන මහත්තය ඉස්සර වතාවේ මගේ යාළුවත් එක්ක කතා කරනවා. මොකක්ද පත්තරේ. ඔහු නමින් ඇන්ටන් ගුණවර්ධනය. පදිංචිය තලවතුගොඩ ප්‍රදේශයේය. 52 හැවිරිදි ඇන්ටන් පිටකොටුවට වැටී ඇත්තේ වයස 6, 7තරම් කුඩා අවධියේය.   
තාත්තා වැඩ කළේ හාබර් එකේ. ඉස්කෝලේ නැති දවසට එයත් එක්ක කොළඹ එනවා. ඒ කාලෙදිම කොටුවේ කාගිල්ස් සාප්පුව අයිනෙ ටොයිස් බඩු විකුණුවා ඉස්කෝලේ ගියේ නම් 10 පන්තියට විතරයි. ඉන් පස්සේ දිගටම පේව්මන්ට් එකේ තමයි එක එක කාලෙට එක එක දේවල් විකුණනවා. පොලිසියෙන් එනකොට දුවනවා.   
පේව්මන්ට් එකේ බඩු විකිණීම නීති විරෝධිලු. අල්ලාගෙන ගිහින් දඩ ගහනවා රු. 5000යි. 6,000යි. ගංජාකාරයෙක් කොටු වුණොත් දඩය රු. 1000යි. දැන් අවුරුදු 36ක්ම මේ බජාර් එකේ අපි වැරදි වැඩ කරන්නේ නෑ. කාටවත් වංචා කරන්නේ නෑ. මිනිස්සුන්ව රවටන්නේ නෑ. එහෙව් අපට බිස්නස් එකක් කර ගන්න ඉඩ දෙන්නේ නෑ. මේව කරන්නේ ජීවත් වෙන්න මිසක් රජ වෙන්න නෙමෙයි.   


අහිංසකයන් අපරාධකරුවන් බවට පත් කෙරෙන්නෙ මෙහෙව් නීතිරීති නිසාය. ‘මර්සිවැඩ’ නිසා හා ජනතාවට නිදහසේ පාර තොටේ ගමන් කිරීමට පේමන්ට් වෙළඳාම තහනම අවශ්‍ය බවට ඇතැමෙකුට තර්ක කිරීමට හැකියාව ඇති නමුත් මොවුහු ද ජීවිතය ජීවත් කරලීමට වෙරදරන ඔබ අප වැනි මිනිසුන්ය.   
පුංචි කාලෙ ඉඳලම සල්ලි අතපත ගා පුරුදුවුණු නිසා මේ රස්සාව හොඳයි කියලා හිතුණා. කසාද බැඳලා දරු දෙන්නෙකුත් ඉන්නවා. එයාලා කසාද බැඳල වෙන්වෙලා.   
ගුණවර්ධනගේ බිරිඳ මීට වසර 3කට පෙර රැකියාවක් සඳහා වැලිකතරට ඉගිල ගොස්ය. ඉතින් බිරිඳ රට රස්සාවක නම් දරුවන්ගෙනුත් නිදහස් නම් ඇයි මේ පේව්මන්ට් එකේ කර වෙන්නේ. මගෙන් ප්‍රශ්නයකි.   


ඔහු ඉතා සැහැල්ලුවෙන් දුන් පිළිතුර නම් ගෑනිගෙන් හම්බ කරගෙන කන්න කැමති මිනිහෙක් නෙමෙයි මහත්තයෝ මම. එයා සල්ලි හොයාගෙන ඇවිත් ඕන දෙයක් කර ගනිවී. මම මේ ජොබ් එකෙන් දවසකට රු. 1000ක් 1500ක් හොයනවා. හවසට පොඩි අඩියකුත් ගහල ගෙදර ගිහින් සැහැල්ලුවෙන් නිදා ගන්නවා. ජීවිතේ කියන්නේ ඒකනේ නේද? ඔහු මගෙන් විමසීය.   
අතපුරවාගෙන සිටින ප්ලාස්ටික් කවර තොගය සමග සිනාසෙයි. අපි හැමදාම මහ පාරෙ මෙතෙක් පත්කළ කිසිම නායකයෙක් කිසිම ආණ්ඩුවක් අපි වෙනුවෙන් කරපු කරන දෙයක් නෑ. කරපු එකම දේ අපි මහා නීති විරෝධි ලෙසට සලකගෙන මර්දන නීති ගෙන ආ එක පමණයි.   
මැතිවරණ කාලයට පමණක් මේ මිනිසුන් වෙත එන දේශපාලනඥයෝ නම් වැඩ කොටස මොවුන් ලවා ඉටුකර ගෙන දියවන්නාවට ගිය පසුව මේ අයව අමතක කරති. දුන් නහුතයක් පො​රොන්දු අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දමති. පීඩිතයා හැමදාමත් මහ පාරේය.   


කොළඹ හැන්දෑව අළු පාටට හැරෙමින් පවතී. අහස් කුසේ රැඳී තිබෙන්නේ මෙහි වෙසෙන මෙහි යන එන ජනී ජනයාගේ සුසුම් පොදිය. ඒ ගොන්නට තවත් සුසුමක් එක් කළ මම ඔවුන්ගෙන් සමු ගතිමි.   

 


සටහන හා ඡායාරූප
තිලක් පුෂ්පකුමාර