කොළොම්පුරේ   ජීවිතේ-3

 

​මේ ගිනියම් වූ පිටකොටුව හෙමි හෙමින් නිවීයන හෝරාවයි. හාත්පස කැකෑරෙමින් තිබූ දූලිවලාවෝ හෙට්ටිවීදිය දෙසින් හමන්නේ කුණු වූ ලූනු හා අර්තාපල් ගඳ එක් වූ අමුතුම ගන්ධයක් ද සමගිනි. පාවෙන වෙළෙඳපොළ පිටුපස අංගනයේ නැවතී සිටි දුම්රියක් සුපුරුදු ‘‘හූව’’ සමගින් ඇඟමැළි කඩමින් මරද‌ාන දෙසට ගාටන්නේ සෙනග ඉහින් කනින් එල්ලාගෙන කොහේදෝ යන්නටය.   

සිය ගණනක් දෙනා අතර සිර වී ඕල්කොට් මාවතේ පාර පැනගත් මම බෝ සමිඳු ළඟින් දකුණට හැරී ඉදිරිය බැලුවෙමි. ගසෙන් නෙළාගෙන එන ගමනේ දී මාස ගණනක් පල් වූ ඇපල්, දොඩම්, මිදි මේ දැන් කැඩූ ඒවා සේ ජනතාවගේ මලු තුළට දමන්නට කැසකවන වෙළෙඳුන්ගේ කචබචය අස්සෙන් ගමන් කළෙමි. මා දුටුවේ හෝටලය අසල අත්කරත්තය නවතාගෙන ගිමන් හරින පුද්ගලයෙකි. ‘‘මහන්සියි වගේ’’ ළඟට කිට්ටු වී කතා කළෙමි.   


ඔහු එච්. සුරේෂ්ය. ගම ගල්කිස්සය. ගෙන්දගම් පොළොවට පය ගැහුවෙ 1980 අවුරුද්දෙ. මේ සාවියෙ තොග ගබඩාවලින් ලූනු අල පිරවූ ගෝනි ලොරිවලට පටවනවා. එක කෑල්ලකට (ගෝනියකට) කුලිය රු. 20/- යි. මම රාජකාරිය පටන් ගන්නෙ උදේ 9ට විතර. මොකද මේකෙ නාට්ටාමිලා තුන් වර්ගයක් ඉන්නවා. එක කොටසක් පාන්දර 3ට වැඩ පටන් ගන්නවා. අනෙක් පිරිස උදේ 6ට. අපි ටිකක් දවල්වෙලා එනවා. ඒ ඒ විදියට කළාම හැමෝටම වැඩ තියෙනවා. තරගයකුත් නෑ. ඒ නිසා රැකියාවට ගහ බැන ගැනිලි අඩුයි.   
කිසිවෙකුගේ නියමයකින් අණකින් නොවුණත් මේ මිනිස්සු වැඩ බෙද‌ාගෙන සිටිති. කවුරුත් එකම අරමුණක් වෙනුවෙන්, දහදිය හෙළන්නෝය. ඒ අඹු දරුවන්ට, මව්පිය, සොහොයුරු සොහොයුරියන්ට හෙට දවසක් උදාකර දීම වෙනුවෙනි. මේ නිසාම අප ජීවත්වෙන සමාජයේ මෙන් කැපිලි, කෙටිලි, කේලම් එකිනෙකා පරයා නැගී සිටීමක් නාටාමි සමාජය තුළ නොමැත. 56 විය පසුකරමින් සිටින සුරේෂ් විවාහක තිදරු පියෙකි. පුතෙකු සුරතල් කිරීමට වරම් නැති වුවත් දුකක් නැත. ලොකු දුව විවාහකය. අනෙක් දෙදෙනා පාසල් යති.   


දුක සැනසුම එකට කැටි වූ ගල්කිස්ස ප්‍රදේශයේ සිය නිවසේ සිට නිතිපතා පිටකොටුවට එයි. ඉර ගල වැටෙන හෝරාවේ දවස නිම කරයි. බිරිඳ අහල පහළ ධනවතෙකුගේ නිවසක වැඩ කරයි. ඒ ඔවුන්ගේ ජීවන චර්යාව.  


වැඩ ඉවරවෙන්න වෙලාවක් නෑ. දවසේ කුලිය හොයාගෙන ගෙදර යනවා. අපේ සමහරු නම් පැය 24ම මේකෙ. දුර පළාත්වලින් කොළඹට බැහැපු මේ අයට ඉන්න හිටින්න හරි හමන් තැනක් නැහැ. අඹු දරුවො ගම් රටවල්වල. ඒ වැඩි දෙනෙකුට ඒ අය දකින්න ඕන කමක් තියෙන බවක් පේන්නෙ නැහැ. හම්බකරනව කනවා, බොනවා. මේකෙම කොහේහරි වැටිල රාත්‍රිය ගෙවනවා. ඕක තමයි ජීවිතේ.   


ඒ ඒ වගේ ද මහත්තයෝ දවසම මහන්සිවෙලා ගෙදර උවමනා ‘සකල මනාව’ සිලි සිලි උරයක ද‌ාගෙන ගෙට ගොඩවුණාම තියෙන සනීපෙ. අඹු දරුවන් එක්ක ඉන්නකොට දැනෙන සතුට අරක්කු, ගංජවලින්වත් වෙන කිසිම දේකින්වත් ලබාගන්න බැහැ.   


ඇත්තටම පෙනුමෙන් රළු වුවත් ඔවුහු ද ඔබ අප වෙසෙන සමාජයේම කොටසකි. අල, මිරිස් සුවඳට තැම්බුණත් ආදරය, සෙනෙහස, පපු කැවුතුවලින් දෝර ගලයි.   
මම අරක්කු සිගරැට් බීම නවත්වල ගොඩක් කල් ඒ පිච්චෙන සල්ලි ඉස්කෝලෙ යන දරුවන්ට වියදම් කරනවා.   


මට ඉන්නෙ ගෑනු දරුවො. ලොකු දුව දැනටමත් කසාද බැඳලා. අනික් දෙන්නත් කවදහරි ඒ තත්ත්වයට පත්වෙලා අපිව අතහැරල යාවි. ඒත් ඒ වෙනකම් මගේ යුතුකම කරනවා. තරුණ කාලෙ වගේ නෙමෙයි දැන් එක දිගට මුට්ට කරගහන්න බෑ. මුළු ඇඟම කකියනවා. දැනුත් මම මේ ඉන්නේ ඇඟට අමාරු නිසා. ඒත් වැඩ නොකළොත් බඩගින්නේ.   
මේ ඔබ හා මා ඇතුළු සමස්ත පියවරුන්ගේ කථාව නොවේද? මව්පියෝ තරුණ වයසේ පටන් කෙස්ස පැහී වාරු නැති වන තුරු අඹු දරුවන් රකිති. කරදඬු උස්මහත් වූ කල දූ දරුවන් කැදැල්ලෙන් නික්ම ඔවුන්ගේ ලෝකයන් වෙත යන්නාහ. සුරේෂ් ඔහුගේ මොළයෙන් විග්‍රහ කළේ ඒ ඛේදවාචකයයි.   


අද කරත්තයක් කුලියට ගත්තා. ඒකටත් දවසෙ කුලිය රු 150/- යි. ඉතින් මම යනව මට සමුදුන් ඔහු කරත්තය ද තල්ලුකරගෙන වීථියේ ඈත කෙළවරින් හැරී නොපෙනී යනතෙක් හෙවණැල්ල ඉතා දිගුව පෙනිණි.   


හතරවන හරස්වීදියේ දෙපස පිහිටි ලන්දේසි පන්නයේ ඉපැරණි ගොඩනැගිලි අතරින් අැවිද ගියෙමි. මේවායේ ඇතුළත හොඳට ඉඩකඩ සහිතය බොහෝමයක්ම තොග ගබඩාය. මේවෙලේ ඉන් වැඩි කොටසක දවසේ වෙළෙඳ‌ාම අවසන් වෙමින් පැවතිණ. ගබඩාවල විශාල ඉදිරි දොරටුවලට ඔබ්බෙහි හතර අතට ගොඩගසා ඇති ලොකුලූනු අර්තාපල්, ගෝනි හා ටින් කෑම ඇසූරූ පෙට්ටි අස්සෙන් දිගු මේස ඉදිරිපිට ඉඳගෙන සිටින ‘මුදලාලිවරුන්’ යන්තමින් දිස්වේ.   


පමා වී පැමිණ ලොරි තඩියක් ගාල් වීමට ඉඩක් සොයමින් සැර දමමින් හිඳී. හිසේ ජටාවක් බැඳි කළුම කළු රියැදුරාගේ තුන් මුනින් දහදිය පෙරේ. දවසේ මෙහෙවර නිම කරමින් සිටින නාටාමි ජනයා තැන තැන අගුපිල්වල ඉඳ දවසේ මතකයන් වමාරති. වැසි වැටී නැතත් කුණු මඩ රැඳුණු ජලය පිරි වළවල් වීථියේ බහුලය. අගනුවර ප්‍රධාන මාර්ග වරින්වර පිළිසකර කෙරෙන නමුදු හරස් විථිවල ලන්දේසින් විසින් ගල් සහිත මාවත තවමත් එසේමය.   


නාස් පුඩුවලට දැනෙන ලූනු අර්තාපල් කුණු ගඳින් ද එක්තරා ආකාරයක අමුතු ආශ්වාදයක් ගෙන එයි. 4 වන හරස්වීදිය මැද දී හමු වූ ඒ. නාගරත්න මහතා දකුණේ ගාල්ලෙ ඉපිද හැදුණු වැඩුණු අයෙකි. ‘‘වැඩ බැරිවුණත් ගම ගාල්ලෙ’’ නොව ගාල්ලෙන් පැමිණ පිටකොටුවේ ගෙන්දගම් පොළොවේ ‘වැඩ’ පෙන්වන්නෙකි. ඒ හයිකාරකමෙන් ගණන්කාර කමෙන් නොව දෑතේ වෙර වීරියෙනි. සුදු වෙමින් පැවති හිස කෙස් හා උඩුරැවුල ජීවිතයේ සැඳෑ සමය සිහිපත් කළත් 62 වියෙහි පසුවන මේ දිරිය මිනිසා ජීවිතයට ඉඩ නොදෙමින් දෑත දෙපය දිරිගෙන මුට්ට කරගසයි.   


කොළඹට ඇවිත් අවුරුදු 20ක් වෙන්න ළඟයි. මුල්ගම ගාල්ලෙ හිනිදුම. එහේ තේ වතුවල කම්කරුවෙකු විදියට වැඩ කළා. ගම එපා වෙලා කොළඹ ආවා. ඒ එනකොටත් කසාද බැඳල. කාලයක්ම අඹු දරුවො එහේ මම මෙහේ. දරුවො දෙන්නයි බිරිඳ රස්සාවක් කරන්නෙත් නෑ. මෑතකදි ඒ ඔක්කොම කොළඹට එක්කරගෙන ආව. කොළොන්නාවෙ පොඩි ගෙයක් කුලියට අරගෙන ජීවත් වෙනවා. මොනව කරන්නද? දැන් ඉතින් අතපය වාරු නැති වෙනකම් මෙහෙම තමයි.   


විථියේ දී හමු වූ නාටාමිවරුන්ගෙන් නාගරත්න විශේෂ පුද්ගලයෙකි. බොහොමයක් නාට්ටාමිලාට නිශ්චිත තැනක් නැත. 1 සිට 5 දක්වා ඕනෑම හරස් වීථියක නොඑසේ නම් ප්‍රධාන වීථිය (Main Street) පිටකොටුව, පීපල්ස් පාර්ක් මේ ඕනෑම තැනකදී හසුවන ඕනෑම මුට්ටයකට කරගසති. නමුත් නාගරත්න එසේ නොවේ. ඔහු 4 වෙනි හරස් වීථියේ තොග කඩයක නිත්‍ය නාට්ටාමිවරයෙකි. එම වෙළෙඳසල හිමිකරු පරිප්පු ආනයනය කරන්නෙකි.   


නාගරත්න මහතාගේ රාජකාරිය ගබඩාවෙන් බිල් දමා නිකුත් කෙරෙන පරිප්පු මුට්ට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලොරිවලට පැටවීමයි. ඒ පටවන කෑලි ගණනට කඩ මුදලාලි හවසට කුලිය බේරයි. මට ඔහු හමුවූයේ උදේ සිටම ‘පරිප්පුකා’ මද ඉසිඹුවක් ලබන අතරතුර දීය.   


එක කෑල්ලකට රු 20/- ක් ලැබෙනවා. අදට නම් ම​ෙග් වැඩ ඉවරයි. හවස 5 පහුවුණාට පස්සේ මුදලාලි ගණන් බේරනවා. එතකම් මේ හරියට වෙලා ඉන්නවා. මෙහෙම වැඩ කරනකොට හැමදාම වැඩ තියෙනවා. පෝයට විතරයි නිවාඩු.   


හදිස්සියෙ ලෙඩක් දුකක් හැදිල එන්න බැරි වුණොත්? මගෙන් අතුරු ප්‍රශ්නයකි.   


එහෙම දවසට ටැම්පරි කෙනෙක්ව කඩෙන් හොයා ගන්නවා. මේ ක්‍රමයෙදි හම්බකරන්න පුළුවන් අඩු මුදලක් තමයි. සාමාන්‍යයෙන් ‘කෑල්ලකට රු 20ක් කුලිය ගන්නවා. තොග ගබඩාවලින් ලැබෙන්නෙ ඊට අඩුවෙන් නමුත් විවේකයකුත් තියෙනවා.   


විථියේ කලබලකාරී බව පහව ගොස්ය. හිමිදිරියේ පටන් කය වෙහෙසූ ඇතැම් නාටාමිවරු මාවත අයිනේ පෙට්ටි කඩයෙන් ස්ට්‍රෝං කිරි තේ වීදුරුවක් තොල ගාති. විඩාව බේරෙන මුහුණුවලින් බලාපොරොත්තුවේ සේයා මතුවේ. තොප්පිය හිස පැලඳි නානා බදින ඉස්සො වඩේ සුවඳ බඩගිනි අවුළුවනසුලුය. ගත වෙහෙසන කුලී කරුවන් බොහොමයකගේ දවසටම ආහාරවේල වඩයක් හා ප්ලේන්ටියක් බව කියන්නේ නාගරත්නය. ‘වැස්ස දවස්වලට තමයි එපා වෙන්නෙ. කුණු මඩ පෑගුණාම කකුල්වල තුවාල හැදෙනවා. වැස්සට මුවා වෙන්න ගියොත් දවසෙ ගතමනාව නැති වෙනවා. වැඩ කෙරුවොත් සල්ලි නැත්නම් අත් දෙක වන වනා ගෙදර යන්න වෙනවා’’   


ඔහු ගිමන් හරින කරත්තය මත හිඳගතිමි. අපට මදක් එපිටින් අගුපිලක වාඩි වී සිටින දෙතුන් දෙනෙකි. ඔවුන් ඒතරම් ගත වෙහෙසූ අය නොවන සේය ඇඟලාගෙන සිටින ඇඳුම් පිරිසිදුය. වෙහෙසකර වූ බවක් මුහුණුවලින් ද පල නොවේ. බ්‍රේස්ලට්, අත්ඔරලෝසු අත්වල එති තිබේ. ‘‘අර ගොල්ල නාටමිලා නෙවෙයිද?’’   


මේ හරස් විථිවල විතරක් නෙමෙයි පිටකොටුව පුරාම නානා ප්‍රකාර මිනිස්සු ඉන්නවා. වැඩි දෙනෙක් දවස තිස්සෙම මහන්සිවෙලා වැඩ කරනකොට තවත් පිරිසක් ඇඟට නොදැනීම දවසෙ ගතමනාව හොයාගන්නවා. පොකට් ගැහිලි, පොලිකාරයොත් මේවයෙ බහුලය. ඔතන නම් ඉන්නෙ බ්‍රෝකර්ල සෙට් එකක්. නාගරත්න පැහැදිලි කරයි.   


පිට පළාත්වලින් රැගෙන එන ඇනවුම් සහිත පුද්ගලයන් තමන් දන්නා හඳුනන තොග කඩවලට අල්ලා දී ගතමනාවක් ලබා ගැනීම මේ බ්‍රෝකර්වරුන්ගේ රැකියාවයි. ‘හොරුත් ඉන්නවා අල, පරිප්පු කෑලි උස්සලා කොහාට හරි විකුණ ගන්නවා. හැබැයි ඒක වැඩිකල් කරගෙන යන්න බැහැ. කොහෙන් හරි මාට්ටු වෙනවා. හුඟක්ම මේකෙ ඉන්න කඩකාරයො හොර බඩු ගන්නෙ නෑ. මේ වයෙ අයිතිකාරයො හුඟ දෙනෙක් මුස්ලිම්, ද්‍රවිඩ මේ අය එකමුතුයි. නාටාමිලා වුණත් එහෙමයි.   


හොරකම් කරල අහුවුණු එකෙකුට ආයෙත් ජීවිතේට මේකෙ පස් පාගන්න හම්බුවෙන්නෙ නෑ.   


හැමදාමත් මේ රස්සාව කරගෙන ඉන්න ද කල්පනාව?   


දැන් ඉතින් වෙන රස්සාවක් කරන්න කාලයක් ඉතුරුවෙලා නැහැනේ. මට තේරෙනවා. දැනෙනව වැඩ කරන කොට ඉස්සර වගේ නෙමෙයි දවසින් දවස දැනෙන මහන්සිය වැඩියි. ළමයි දෙන්න තරුණ වුණත් තවම රස්සා නැහැ. මුළු පවුලම රැකෙන්නෙ මම හරිහම්බ කරන මුදලෙන්. ඉතින් කොහොමද දවසක්වත් නිකම් ඉන්නෙ. තාත්තා නාටාමි කෙනෙක් කියල කාටවත් කියන්න දරුවො අකමැති වුණත් මට හයිය තියෙනකම් මේ රස්සාව කරනවා.   


මෑතින් දිස්වෙන පිටකොටුවේ බෝධිරාජයාණන් දෙස බලාගෙන එසේ පැවසූ නාගරත්න පියවි සිහිය ලද්දෙකු මෙන් මා දෙස බැලීය. කියාගන්නම බැරි දහසක් දේ ලියැවී තිබූ මේ වියපත් මිනිසාගේ මුහුණේ ඇස් කෙවෙනි අග කඳුළු ගුළි දෙකක් නලියනු මම දිටිමි.   


කොළඹ අහස වැහි වලාකුළකින් වැසී යමින් තිබේ. කාර්යාල වැහෙන හෝරාව නිසා දෝ ඕල්කොට් මාවත යළිත් කලබලකාරී වී තිබේ. වැස්සට නොතෙමී බිරිඳගේ දරුවන්ගේ සැමියන්ගේ හිනා දැකීමට දිවයන ජනී ජනයා රථවාහන පෙරහරේ සිරවීමට බස්රථ අල්ලා ගැනීමට ලහි ලහියේ දිවයන පිරිස අතරට වැදුණෙමි. මේ කිසිත් ගණනකට නොගෙන දෑත් පටලාගත් පෙම්වතුන් යුවළක් මා ඉදිරියෙන් සෙමෙන් සෙමෙන් ඇවිද යති. ඉවක් බවක් නැතිව පදිකවේදිකාවේ දෙපැත්තට යන පිරිස් මොවුන්ගේ ඇ​ෙඟ් හැපෙති ඔවුන්ට වගේ වගක් නැත. ආදරයේ හැටි ඔහොමමය.   


ඇඟේ වදින අය ඔරවන්නේ හරියට තමන්ට ද ඔවැනි කාලයක් නොතිබූ ගානටය. වැහි මන්දරමේ හිරිකඩ මැදින් එක කුඩේ යටින් යාමට මේ පෙම්වතුන් ද කැමති පාටය.   
යකඩ වැටට හේත්තු වී ගනුදෙනු කරුවෙකු සොයන රෑ මනමාලියක්ගේ උකුසු ඇසට ලක් වූ යුවළ දෙස දෙතොල ඔපකළ හීන් හිනාවකින් යුතුව බලන ඇගේ මුවින් ඊළඟට නික්මෙන්නේ මහා සුසුමකි. ඒ අව් අස්සේ තෙරපෙන රැස් කන සෙනඟ කන්දරාවට තම අත රැඳි හෝ පදික වේදිකාව මත තබාගෙන සිටින දෙයක් විකුණාගැනීමට මාන බලන වෙළෙඳුන් ගිරිය පුප්පාගෙන කෑමොර දෙන්නේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබන අටියෙනි.   


ගුණසේන සාප්පුව ළඟ සෙනග වටවී හිඳිති. ඒ අතරෙන් බෙල්ල දිගු කළෙමි. රබර් සපත්තු (සෙරෙප්පු නොවේ) තොගයක් ගොඩක් අතර හිඳගත් පුද්ගලයෙකු රු 500 කියමින් කෑ මොරදෙති. අපේ අය වැළ කුණක් දුටු කපුටන් රැළක් මෙන් වෙළෙඳාමේ යෙදී සිටින තරුණයාට ඉස්පාසුවක් නැත. බඩු දෙයි මුදල් ගනියි. තොරතෝංචියක් නැතිව කියවයි. ‘කැඩෙන්නේ නෑ බිඳෙන්නෙ නෑ ඕනතරම් කල් පාවිච්චි කරන්න පුළුවන්’ සපත්තු තෝරන ගමන්ම ඔහු හිඳ සිටින තැනින් වාඩිවීම්. මා ගැන ඔහුට වගේ වගක් නැත.   
‘‘අයියා සයිස් 9 නැති ද? අවධානය යොමු කරගන්නා අදහසින් මා පිළිවිසියෙමි. පිළිතුරක් නැති නමුත් අසල තිබූ කාඩ්බෝඩ් පෙට්ටියකින් අතට ගත් සපත්තු ජෝඩුවක් මා වෙත දිගු කළේය. දැන් ඉතින් නොගෙනත් බැරිය. සතියකටම සරිලන්නට මගේ පසුම්බිය මුල්ලේ සැඟව ඇත්තේ රු 500/-ක් විතරය. ‘‘අයියා සමග හෙට්ටුවට ගියහොත් මට දරුණු ඉරණමකට මුහුණ දෙන්න වෙනවා නියතය. ඔහුට මොහොතක ඉස්පාසුවක් ලැබෙන තෙක් මම මා පැලඳ සිටි සපත්තුවක් ගලවා ‘‘සයිස් එක හරිදැයි’’ බැලීමේ බොරු රඟපෑමක යෙදුණෙමි.   
ඔහු වටකරගෙන සිටි මිනිස් පොදිය තත්ත්පරයකට එහෙ මෙහෙ වෙනකම් සිට කතා කළෙමි. මාගේ අවශ්‍යතාව ඉතාම කෙටියෙන් පැහැදිලිකර හුස්මක් ගත්තෙමි. ඊළඟ නිමේශයේ දී ඔහුගේ මුවග හීන් හිනා රැල්ලක් ඇඳී මැකී ගියේය ‘බිස්නස් එක නැගල යනව නේද’ ප්‍රශ්නය මා වෙතිනි.   


‘‘ඔව් මහත්තය ලේසියෙන්ම ‘කෑලි’ 100 ක් විකුණ ගන්න පුළුවන්. ලාබෙ කෑල්ලකින් රු25/- යි. දවසෙ ‘ටාගට්’ එක රු. 2500 යි. මට ඒ හොඳටම ඇති. වැඩි තණ්හාව ඕන නෑ.   
ඔහු ඇන්ටනී සේකර්, වයස අවුරුදු 46කි. අලෙවි කරමින් සිටියේ අච්චුවලින් තනා නිමකරන ලද පිරිමි ෆුල් කවර් රබර් සපත්තුය. ඕනෑම කකුලකට සරිලන සපත්තු තොගයක් ඔහු සතු විය. රු 500/-ට මාසයක් පාවිචි කළත් මදැයි මිල දී ගත්තෙක් කියයි. ඇන්ටනී විවාහකය. දරු දෙදෙනෙකුගේ සෙනෙහෙබර පියෙකි. කොටහේන ප්‍රදේශයේ පිහිටි කැදැල්ලක බිරිඳ හා දරුවන් සමග කූඩු වී සිටි. පිළිවෙළින් අවු 8-4 දරු දෙදෙනා එම ප්‍රදේශයේම පාසලක අකුරු කරති. තම ව්‍යාපාරය කරගෙන යන අතරතුරදීම මා හා කතා කරයි.   
‘‘මම අවුරුදු 9 ඉඳන් පේමන්ට් එකේ තමයි. එක එක කාලෙට එක එක බිස්නස් කළා. මම ඉපදුණේ හැදුණේ වැඩුණෙ කොටහේනෙමයි. පාසල් අධ්‍යාපනය අතරමගදි නතර වුණා. ඉන්පස්සෙ පිටකොටුවට බැස්සා. වැඩිපුරම විකුණන්නෙ බෙල්ට් (ඉණපටි) සපත්තු වගේ දේවල් වැඩි ලාබයක් තියාගෙන නෙමෙයි දරු පවුලට කන්න දෙන්න රටට ණය නොවී දරුවන්ට උගන්වන්න මගේ එකම අරමුණත් ඒකමයි. පේමන්ට් එකේ දහදුක් වින්දට ගාණක් නෑ.   


මට සිද්ධවුණු දේ මගේ දරුවන්ට වෙන්න ඉඩ තියන්නෙ නෑ. පිටකොටුවෙ පේමන්ට් බිස්නස් කියල ගමම දන්නව. ඒක මටවත් පවුලෙ අයටවත් නින්ද‌ාවක් නෙමෙයි. හැබැයි මගේ දරුවන්ට මෙහෙම වෙන්න ඉඩ තියන්නෙ නෑ. මේව ලංකාවෙ හදන බඩු සල්ලි දීලයි ගන්න ඕන.  


‘‘කෝල් එකක් දුන්නාම ළඟටම ගෙනත් දෙනවා’’ ඔහු කතා කරමින්ම වැඩෙහි යෙදේ.   


‘‘කැඩුණොත් ගෙනත් දෙන්න තව එකක් නිකම් දෙනව’’ මම ඔහු ළඟින් ඉඳගතිමි. කලිසම් සපත්තු දාගෙන පේමන්ට් එකේ බිස්නස් අත් දිගට කමිසෙකුත් ඇඳල එතැන නතරවෙන ඇතැමෙකුගේ විමසිලිමත් දෑස මා අසල නතර වේ. ‘මහත්තය මෙතන පොඩ්ඩකට බලාගන්න’ ඔහුට මාව ඒ තරමටම විශ්වාස සේය. සැණින් නොපෙනී ගොස් ඒ සැණින් නැවත මතු වූයේ වතුර බෝතලයක් හා රසපානයක් රැගෙනය.   


මේක තමයි ජීවි​ෙත්. සල්ලි හොයනව කෑගහල උගුර ලේ රස වෙනකොට එකම පිහිට වතුර. දවසෙ කෑමට බීමට කොහොමටත් රු. 400 ක් යනවා. අතරැඳි කුඩා බීම බෝතලය මා වෙත දිගුකරමින් පැවසීය. මේ අව්‍යාජ මිතුරාගේ හිත ​ෙහාඳකමට ගරු කළ යුතුය. මා එය අතට ගතිමි.   


දැන් ඉස්සර වගේ නෙමෙයි පොලිසියෙන් පනිනව. ඇයි පසුගිය ආණ්ඩුව කාලෙ පේමන්ට් වෙළෙඳ‌ාම තහනම් කළානේ. ඒ තහනම තවමත් එහෙමමයි. අහුවුණොත් දඩය රු. 5000 යි.   
‘ඉතින් මොකද කරන්නෙ’ මම විමසීමි.   


මොනව කරන්නද බඩු ටිකත් උස්සගෙන දුවනවා. පිළිතුර සැහැල්ලුය. අව්‍යාජය. කවුරුත් ‘වින’ කරන්නේ දුප්පතාට මය. මහා පරිමානයෙන් දූෂණ වංචා සිදු කරන මහජන මුදල් ගසාකන උන් දේශපාලන රැකවරණ යටතේ නිදැල්ලේය. සියලු නීති හා දඬුවම් එදාවේල සොයාගන්නට අව්වේ කරවෙමින් වැස්සට තෙමෙන පොඩි මිනිහාටය.   


අපි රජයේ සේවකයො නෙමෙයි. ලොකු පෝසත්තු නෙමෙයි. හැබැයි අපි රටට ණය නෑ. නීති විරෝධී වැඩ කරන්නෙත් නෑ. මම හොඳට කන බොන කෙනෙක්. පාරෙදි නෙමෙයි ගෙදරදි. හවසට ගෙදරට වෙලා පොඩි උන්ගෙ හුරතල් බල බල හීනියට අඩියක් ගහනවා. අහල පහළවත් කිසි කෙනෙකුට කරදරයක් නෑ නිදාගන්නව.   


මගේ දරුවො දෙන්න ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් කොලේජ් එකක (ජාත්‍යන්තර පාසල). පේමන්ට් කාරයෙක් වෙච්ච මට එච්චර හරියක් කරගන්න පුළුවන් වුණු එක ගැන දැනෙන්නෙ අප්‍රමාණ සන්තෝසයක්. මොන දුකක් විඳගෙන හරි දරුවො දෙන්නව උසස් තත්ත්වයකට ගේනවා. මට සතුටුවෙන්න තියෙන එකම දේත් එ්කයි. ඔහු යළිත් බෙරිහන් දෙයි.   


‘ආ ගන්න 500යි’ සන්තකව තිබුණු රු. 500 දී සපත්තු ජෝඩුවක් ගත්තේ මේ දිරිය මිනිසාට මට කළ හැකි ගෞරවය එය වූ නිසාවෙනි. ‘මහත්තයා ඕනම වෙලාවක එන්න මම මේ හරියෙ ඉන්නවා’   


එතැනින් නැගිටිනවිට ඔහු දයාබරිත හඬින් කීය.   


අප හැමටම යම් අරමුණක් තිබේ. අරමුණු බලාපොරොත්තු නොමැති ජීවිතයක් නැත. එහෙත් ස්වභාව ධර්මයේත් මේ සමාජයේ නිලධාරි හා දේශපාලන පැලැන්තියේ නීතිරීති දේශපාලුවන්ගේ අනේක විධ අතවර හමුවේ නොසැලෙමින් නොදුවමින් තමන්ට නොලැබුණු ‘ජීවිතය’ දරුවන්ට ලබා දීමට වෙහෙසෙන මේ ධෛර්යවන්ත මිනිසුන් හමුවේ අප වැන්නවුන් කවුරුන්දැයි මම මගෙන්ම විමසීමි.   

 


සටහන හා ඡායාරූප   
තිලක් පුෂ්පකුමාර