වසර 75 කට පමණ පෙර අපේ රටේ ප්‍රදර්ශනය වු “සීරියල්” (Serial) සහ Full Serial චිත්‍රපට ගැනත්, විශේෂයෙන් Cowboy Films (ඇමරිකානු ගොපලු චිත්‍රපට) ගැන අපුරු තොරතුරු “ඉරිදා ලංකාදීප” පත්‍රයෙන් එහි කර්තෘ මාණ්ඩලික ඩී.වී. සෙනෙවිරත්න විසින් විටින් විට ලියා තිබුණි. “සත 5 ට චිත්‍රපටි බැලු කාලය” නමින් ඔහු විසින් ලියු ලිපියේ එදා (1936) සිනමා හල්වල තිරගත වු කැලිගර් ස්ටෑම්ෆීඞ් නමැති ගව රැලක් සහිත ගොපල්ලන් (කව් බෝයිස්ලා) පෙනී සිටි චිත්‍රපටයක් නැරඹු බවත්, Douglas Fairbanks රඟපෑ The Thief of Bagdad නම් චිත්‍රපටය ගැනත් තොරතුරු අනාවරණය වෙයි. මේ චිත්‍රපටවල වෙඩි තබා ගැනීම්, මුහුණට මුහුණ දී සටන් කිරීම්, අශ්වයන් පිට ගොස් වෙඩි තබා ගැනීම් එක දිගට තිබී ඇත. 

මේවා Killer Films ලෙසද හැඳින් වු බව ප්‍රවීණ ලේඛක හිටපු පරිපාලන නිලධාරී එඞ්මන්ඞ් ජයසූරිය අප සමග පැවසීය. ඔහු කියන ආකාරයට ීැරස්ක යන වචනයේ 'Serial” යන ඉංග්‍රීසි වචනයට 'Seri” යන ප්‍රංශ වචනය එකතු වීමෙන් එම වචනය සැදී ඇත. එහි තේරුම “එක දිගට නොනවත්වා මීනී මරන” යන්නය. 


ලාංකේය කථා නාද සිනමාවට 70 වසක් පිරී ඇති මේ සමයේ මුල් යුගයේ සිංහල චිත්‍රපටවල ආ සටන් දර්ශන ගැන අපට විමසා බැලීමට සිතිණි. පහහ දශකයේ තිරගත වු සුජාතා, සරදියෙල්, අසෝකා, සැඩ සුළං, දොස්තර, සුර්යා, සුකුමලී, සුරසේන, සරදම්, සුනීතා, වනමෝහිනී, නළඟන ආදී චිත්‍රපටවල වීරයා හා දුෂ්ටයා අතර ඇති වන සටන්වල තත්ත්වය ප්‍රාථමික මට්ටමක තිබුණි. කොපමණ සටන් කළත් ප්‍රේමවන්තයාගේ (වීරයාගේ) රැලි කොණ්ඩය සෙලවෙන්නේ වත් නැත. ප්‍රේම් ජයන්ත, ස්ටැන්ලි පෙරේරා, හර්බි සෙනෙවිරත්න, ආනන්ද වීරකෝන් මීට නිදසුන්ය. 

රවීන්ද්‍ර හා රොබින් සිරිපාල සහ රන් මැණිකා චිත්‍රපටයේ දුම්රියක් උඩින් පනී.

 


හැටේ දසකගේ සටන් දර්ශනවල නව ප්‍රවණතාවක් දක්නට ලැබිණ. 


“රන්මුතු දූව” චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා (බන්දු) හා හෙක්ටර් ඒකනායක (රෙංගා) අතර සටන ස්වභාවිකව රූගත වී ඇත. ගාමිණී හා හෙක්ටර් බොක්සිං ප්‍රගුණ කර තිබුණි. කායවර්ධනය ගැන ගාමිණී ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට යන කාලයේ සිට උනන්දුව දැක් වු අතර බොක්සිං ක්‍රීඩකයකු ද විය. කොල්ලුපිටියේ ශාන්ත මයිකල් විද්‍යාලයේ ඉගෙන ගත් හෙක්ටර් පාසලේ පමණක් නොව අන්තර් පාසල් බොක්සිං තරගවලද ශූරයෙකි. 


දිය යට කිමිදීමේ ද ප්‍රවීණයකු වු ඔහු ටෙරන්ස් යං අධ්‍යක්ෂණය කළ “—Thunderball˜” ජේම්ස් බොන්ඞ් චිත්‍රපටයේ ද දිය යට දර්ශන සඳහා සහාය වු ශිල්පියෙකි. 


“රන්මුතු දූවේ” (1962) ගාමිණි හා රෙංගාගේ සටන් දර්ශනය රූගතව ඇත්තේ ත්‍රිකුණාමලේ මුහුදු අයිනේ ස්ථානයකය. 
තම පෙම්වතිය වු කුමාරි (ජීවරාණි කුරුකුලසූරිය) සමග ඇවිද එන බන්දුලට (ගාමිණි) රෙංගා (හෙක්ටර්) පාර හරස් කරයි. ඔවුන් අතර  ඇති වු සටන කිසිවෙකු පුහුණු නොකළ බවත් තරුණ මදයෙන් සිටි ඔවුන් ස්වභාවිකවම තමන්ට ආවේණික ශෛලියෙන් ගහගත් බව “රන්මුතු දුවේ” සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය කියයි. ඔවුන් ඇතැම් අවස්ථාවක වැල්ලේ බිම වැටී කළ සටනේදී ඇත්තටම එකිනෙකා පරයා ගහගෙන ඇත. අතේ වැලමිට වැලිවලට සීරිමෙන් ද ගුටි කෑමෙන් තොල පැලී ඇත්තටම ලේ ගලා ඇත. මේ දර්ශනය එක කැමරාවකින් රූ ගත වී ඇති අතර අධ්‍යක්ෂ හා කැමරා ශිල්පී මයික් විල්සන් කැමරාව Tripod එකෙන් ගලවා එය අතේ තබා ගෙන (Hand Held) සටන්කරුවන් වටේ යමින් රූප ගත කර ඇත. නොනවත්වා “නවත්වන” ලෙස අණ ලැබෙන තුරු ඔවුන් ගහගත් බව ලියනසූරිය පවසයි. දෙදෙනාම තුවාල ලැබුවද ඔවුන් තුළ තිබූ දැඩි මිත්‍රත්වයට එයින් අබ මල් රේණුවක හානියක් වී නැතිලු. එය නැරඹු ළමා වියේ සිටි අප ඉන් අසීමිත සතුටක් වින්දනයක්, ලැබු බව අමුතුවෙන් කිව යුතු නැත.

ගාමිණී හා රොබින් සංඛපාලි චිත්‍රපටයේ කඩු සටනක 

 


ගාමිණී හා හෙක්ටර් “ගැටවරයෝ” (1964) චිත්‍රපටයේ රඟපාන බව කියවෙන පුර්ව ප්‍රචාරය නිසා ප්‍රේක්ෂකයෝ එහෙනං හොඳ ෆයිට් එකක් බලා ගන්න පුළුවන් බව කියනු ඇසිණ. චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය කියන ආකාරයට එම සටන නැරඹීමට බොල්ගොඩ දුපතේ සමාජ ශාලාවට ආරංචිය ලැබී පැමිණි ප්‍රේක්ෂකයින් මෙල්ල කිරීමට ආරක්ෂකයන් ද යොදා ඇත. ඒ අතර චිත්‍රපටයේ සටන් නළුවන් වූ බන්දු මුණසිංහ හා දයානන්ද ජයවර්ධන වූහ. චිත්‍රපටයේ ඒ දර්ශනය එන හැටියට ගාමිණී (ජයසේන) සිටියේ හොඳමට බීමත්වය. පසුදාට පැවැත්වෙන බෝට්ටු තරගයේ තරගකරුවෙකි ඔහු. බෝට්ටු සමාගමේ අයිතිකරුගේ දියණිය (සුරංගනී) ජයසේනට රහසේ පෙම් කළාය. ඇය විවාහ වීමට ගිවිස ගත් ලලිත් (කාල් ගුණසේන) ද ඔහුගේ මිතුරු ඩග්ලස් (හෙක්ටර් ඒකනායක) සිටි තැනට ජයසේන බීමත්ව පැමිණ සුරංගනීට “ඩාන්ස්”  කරන්න ඇරැයුම් කරයි. ගැටුම ඇති වෙන්නේ එහි දීය. 
අයිසේ ඩගී, මේ මාළුකාරයාව එළියට ඇදලා දානවා. ලලිත් ඩග්ලස්ට කියයි. 


ඩග්ලස්ගේ ප්‍රථම පහරින්ම ජයසේන බිම ඇද වැටෙයි. බීමත්ව සිටි නැවත ආයාසයෙන් නැඟිට ගත් විට තව පහරක් ජයසේනට එල්ල වෙයි. එවර ද ඔහු කලින් වතාවට වඩා ඈත විසි වී වැටෙයි. මේ දර්ශනය දකින ප්‍රේක්ෂකයන් මීයට පිම්බා සේ බලා සිටින්නේ ගාමිණී ගුටි කන විලාසය නොකැමත්තෙන් හා විස්මයෙන් බලමිනි. ගාමිණී තොල පැලී ලේ ගලමින් ලේන්සුවෙන් එය පිස දමමින් සුරංගනී අසලට පැමිණෙයි. 


“ජයා මෙතැනින් යන්න” සුරංගනී කීවාය. 


මෙතැන ඉන්න ආවේ නැහැ. එහෙත් යන්න ඉස්සෙල්ලා තව පොඩි වැඩක් තියෙනවා කියන ජයසේන තමා ඇඳ සිටි කෝට් එක ගලවා ඉවතට වීසි කොට, ටයි පටිය බුරුල් කරයි. (එවිටම සිනමා හල්වල සිටින ප්‍රේක්ෂකයෝ “විසිල්” ගසමින් ඔල්වරසන් දෙයි) ගාමිණී (ජයසේන) එතැන් සිට හෙක්ටර් (ඩග්ලස්) අතර ඇති වන්නේ ද්වන්ධ සටනකි. මේ සටන ද නළුවන් දෙදෙනා කරට කර ගහගෙන ඉදිරියට යාම ස්වභාවිකව සිදු වු බව තිස්ස ලියනසූරිය පවසයි. චිත්‍රපටයේ වීරයා සටනින් ජය ගැනීම අවසානයේ සිදු වීම අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වෙතත් මේ චිත්‍රපට දර්ශනය අපේ ප්‍රේක්ෂකයින්ට අමතක නොවන සංසිද්ධියකි. 


“චණ්ඩියා” චිත්‍රපටයෙන් අපූරු සටන් නළුවෙක් සිනමාවට එක්වන්නේ 1965 වසරේය. ඒ රොබින් ප්‍රනාන්දුය. මේ චිත්‍රපටයේ රොබින් ගාමිණී සමග පිහිනුම් තටාකයේ කරන සටන අපට අමතක නොවන අවස්ථාවකි. එය රූ ගත වුයේ කොටහේනේ නගර සභා පිහිනුම් තටාංකාගණයේදීය. ඔවුන්ගේ සටන ස්වභාවිකව හා සාර්ථකව රූ ගත කිරීමට අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තට අවශ්‍ය විය. මේ සටන සිංහල සිනමාවේ එතෙක් නුදුටු, බටහිර චිත්‍රපටයකට සමීපව මේ දර්ශනය රූගත කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ දර්ශනය අප එතෙක් දුටු නවමු අත්දැකීමකි. අවසානයේ ගාමිණි එල්ල කළ පහරකින් රොබින් අඩි 40 ක් උඩින් පිහිනුම් තටාකයට වැටෙයි. මෙවැනි දර්ශනයකදී පිටරටක නම් වෙනත් “ඩුප්ලිකේට්” (Duplicate) ආදේශක නළුවකු යොදා ගනී. එහෙත් ජිම්නාස්ටික් සූරයකු වූ රොබින් මේ සටන් ජවනිකාවට අභීතව මුහුණ දුන්නා පමණක් නොව මේ සඳහා ඔහුට රු. 300 ක් ලැබී ඇත. ඔහු දක්ෂ සටන් නළුවෙකු, සටන් අධ්‍යක්ෂවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද නියත විවරණ ලැබුවේය. 


“කපටිකම” (1966) චිත්‍රපටයෙන් ද රොබින්ව අමුතු විදිහේ සටන් දර්ශනයක් සඳහා අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා තෝරා ගත්තේය. චිත්‍රපටයේ පෙම්වතා (ඔස්වල්ඞ් ජයසිංහ) සමග රොබින් කරන්නේ කරාටේ සටනකි. මුල් වරට “කපටිකමෙන්” රොබින් සටන් අධ්‍යක්ෂවරයෙකු වෙයි. බටහිර හා ඉන්දියානු සිනමාවේ අවදානම් අවස්ථාවලට වීරයා වෙනුවට යොදා ගත්තේ එවැනි දේ සඳහා පුහුණු වු ආදේශක නළුවෙකි. ඔවුන් හඳුන්වන්නේ Stunt Man  ඵ්බ නමිනි. එය Oxford Dictionary යෙහි හඳුන්වා ඇත්තේ Man Employed to Take Actor's Place in Performing Dangerous Stunts Some Thing unusual Done to Attract Attention, Perform Stunt කියාය.

මාලිනිී හා විල්සන් කරු සසර චේතනා චිත්‍රපටයේ ත්‍රාසජනක සටනක

 


 රොබින් ප්‍රනාන්දු ඉන් පසු බයිසිකල් හොරා, රුහුණු කුමාරි, හතර කේන්දරය, චිත්‍රපට තුළින් කරාටේ, ජුඩෝ, ජිම්නාස්ටික් සටන් ක්‍රමය හඳුන්වා දුන්නේය. ඔහු සටන් අධ්‍යක්ෂවරයකු ලෙසද දශක 50 ක් පුරා සිනමාවට විශාල සේවයක් කළේය. තමා රඟපෑ සියලු චිත්‍රපටවල සටන් අධ්‍යක්ෂ ඔහුමය. මාලිනී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපෑ සසර චේතනා චිත්‍රපටයේ ක්‍රියාදාම ත්‍රාසජනක සටන් දර්ශන මෙහෙය වුයේ ඔහුය. ඔහු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සමග කරන හාර ලක්සෙ (1971) චිත්‍රපටයේ සටන් දර්ශනය බටහිර හොලිවුඞ් චිත්‍රපටයකට නොදෙවෙනිය. 


රොබින් කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ ඔහු පාසලේ ජිම්නාස්ටික් සූරයා විය. එකල ඔහු විද්‍යාලයේ ගිනි වළලු හතකින් පැනීම බැලීමට සමකාලීන සිසුන් වු විජය කුමාරතුංග හා රවීන්ද්‍ර රන්දෙණිය ආසාවෙන් බලා සිටි බව අපට කියා තිබේ. පසු කලෙක මෙසේ බලා සිටි විජය හා රවීන්ද්‍ර සමග සටන් දර්ශනවලට සහභාගී වෙතැයි එදා රොබින් නොසිතන්නට ඇත. 


ඕනෑම නළුවෙකුට ගහගන්න පුළුවන්. කලාවකට ගහගන්න එකයි චිත්‍රපට සටත් දර්ශනයකට අවශ්‍ය. මම සටන් අධ්‍යක්ෂණය කරන කොට ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කරනවා. පුහුණුව සහ ආරක්ෂාව. නළුවකුට තුවාල නොවී සටත් කිරීමට මම හැම නළුවෙකුටම කියා දෙනවා. සටන් අධ්‍යක්ෂකට චිත්‍රපට සංස්කරණය ගැන දැනීමක් තිබිම අත්‍යවශ්‍ය දෙයක්. ඔබම අධ්‍යක්ෂණය කළ “සුරදූතියෝ” (1985) “නින්ජා ශ්‍රී ලංකා” (1997) චිත්‍රපටවල රෝසි සේනානායක, අකුෂලා චෙල්ලයියා, විශාඛා සිරිවර්ධන යන නිළියන්ගේ නිවස්වලටම ගොස් මම සටන් පුහුණු කළා රොබින් කීවේය. 

 

 


සිරිපාල සහ රන් මැණිකා (1977) චිත්‍රපටයේ රවීන්ද්‍ර රන්දෙණිය හා රොබින් රඟපෑ අතිබිහිසුණු හා ත්‍රාසජනක දර්ශනයක් තිබිණ. ස්ථානය කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගය, මුන්දලම මහා මාර්ගයත්, දුම්රිය මාර්ගයත්, එක ළඟින්ම සමාන්තරව දිවයන හරියකි. සිරිපාල හා ඔහුගේ මිතුරා (ලයනල්) සොයා පොලිස් පිරිස දුම්රියට ගොඩ වෙයි. මේ දෙදෙනා දුම්රිය වහල මතට නගී. දුම්රියේ වේගය එන්න එන්නම වැඩි වෙයි. දුම්රිය වහල උඩින් (පෙට්ටියෙන්) වරක් මේ දෙදෙනා දුම්රියේ අන්තිම පෙට්ටියෙන් පහළට බැස දුම්රිය යටට රිංගයි. දුම්රිය යට උඩුබැලි අතට දිගා වී සැඟවෙයි. දුම්රිය වේගයෙන් දිව යයි. එදා මේ ත්‍රාසජනක දර්ශන සඳහා උපදෙස් දුන්නේ රොබින්ය. අපට සිටි අතිදක්ෂ සටන් නළුවන් ජීවිතය පරදුවට තබා රඟපෑහ. ඒ අතර ජෝ මයිකල්, ටිරෝන් මයිකල්, සරත් ද සිල්වා, ගාමිණී කුමාර, සුමිත් මුදන්නායක, සිසිර කුමාරතුංග, ගීතාල් පෙරේරා, දේවින්ද මාකස්, නිමල් ජයවර්ධන ඉතා උසස් තත්ත්වයක සිටියහ. 


රොබින්, බන්දු, ඇලෙක්සැන්ඩර් යන සටන් නළුවන් තිදෙනා එකට රඟ පෑ ඩොමී ජයවර්ධන අධ්‍යක්ෂණය කළ “සිංගප්පූරු චාලි” (1972) චිත්‍රපටයේදී ඔහු උත්සාහ කළේ ඔවුන්ට හැම නිදහසක් දී “උඹට ඕනෑ විදිහට බැලන්ස් කරගෙන ෆයිට් කරපල්ලා. එකෙක් පරදින්නෙත් එකෙක් දිනන්නෙත් නැතිව වැඬේ කර ගනිල්ලා. මට ඕනෑ “වෙස්ටර්න් වැඩක්” කියාය. සටන් නළුවන් තිදෙනා එය අකුරටම ඉටු කළහ. ඉතා විශිෂ්ට සටන් එහි ඇතුළත් වුයේ ඒ අනුවය. 


සටන් නළු බන්දු මුණසිංහ කොළම නාලන්දයට යන කාලේ සිටම බොක්සිං, ජිම්නාස්ටික් වල දස්කම් දැක්වීය. මා ආලය කළ තරුණිය (1959) චිත්‍රපටයෙන් දුෂ්ට චරිත රංගනයෙන් සිනමාවට පිවිසි ඔහුගේ නම ලංකාවේ ප්‍රථම චිත්‍රපට සටන් අධ්‍යක්ෂ ලෙස නාමාවලියේ සටහන් වන්නේ එම්.එස්. ආනන්දගේ සිතක මහිම (1964) චිත්‍රපටයෙනි. ඔහු කඩු සටන් ශිල්පය ඉගෙන ගෙන ඇත්තේ ගාමිණී ෆොන්සේකා හා එච්.ඩී. කුලතුංග වෙතිනි. 


සටන් නළුවෙකුට හොඳ ඉවසීමක්, හොඳ ඔළුවක් තිබිය යුතුයි. සටන් ප්‍රගුණ කළාට මදි. බන්දු වරක් කියා තිබුණි. බන්දුගේ පා පහර ඉතාම වේගවත් හා භයානක බව දුටු ඇලෙක්සැන්ඩර් මෙසේ කියා ඇත. “මචං උඹ පයින් ගහන කොට පරෙස්සමින් ගහපන්” මිත්‍රශීලීව කී බව පවසා තිබුණි. 


1965 තිරගත වු චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී චුට්ටේය. එච්.ඩී. කුලංතුග කළු මහත්තයාය. එහි එක් දර්ශනයකදී මේ දෙදෙනාගේ සටනක් තිබුණි. සටන අවසන් අවස්ථාවේ අත් කරත්තයකත් සටනක් සිදු වෙයි. කවුරුත් “ඩබ්ල්” කළෙත් නැත. හැඳල විජය චිත්‍රාගාරයේ සාදන ලද මුඩුක්කු, කඩ පේළියක් අතරින් මේ සටන විකාශනය වෙන එක අවස්ථාවක කරත්ත රෝදයක් ගැල වී අධික වේගයෙන් පෙරළී විත් කුලතුංගගේ කකුල උඩට පෙරළෙයි. ඔහු හුඟ දවසක් එයින් පීඩා විඳ ඒ වන විට තමා රැකියාව කළ පිටකොටුවේ මැනිං වෙළඳ පොළේ කළමනාකාර ධුරයෙන් අස් වී, එයට ප්‍රතිකාර ගත් බව කුලතුංගගේ බිරිඳ අයිරිෂ් කියා තිබුණි. කුලතුංග කඩු සටන් ප්‍රගුණ කර ඇත්තේ දකුණු ඉන්දියානු ස්ටන්ට් මාස්ටර් කෙනෙකුගෙනි. “ආත්ම පූජා” (1970) චිත්‍රපටයේ ගාමිණි හා හරි හරියට කඩු සටන් කළේය. කඩු සටන් ගැන ඉන්දියාවේදී පුහුණුව ලැබූ ගාමිණී “ආත්ම පූජා” කෙටි චිත්‍රපටයේ අවසාන භාගය අධ්‍යක්ෂණය කළේ අධ්‍යක්ෂ එම්. මස්තාන් හදිසියේ ඉන්දියාවට ගිය නිසාය. 


එතැන් සිට ගාමිණී චිත්‍රපටයේ අධ්‍යක්ෂ මෙන්ම සටන් අධ්‍යක්ෂවරයාද විය. ගාමිණී හා රොබින්ගේ කඩු සටනක් “සංඛපාලි” චිත්‍රපටයදට ඇතුළත් විය. 


රෙක්ස් කොඩිප්පිලි වේගයෙන් මෝටර් සයිකල් ධාවනයට ශූරයෙකි. බදුල්ලේ ශාන්ත බි්‍රජට් හා ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලවලින් ඉගෙනුම ලබන කාලයේ ත්‍රාසජනක, ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට ප්‍රිය කොට ඇත. ඔහු මුලින් නැරඹුවේ දකුණු ඉන්දියානු චිත්‍රපටය. ත්‍රාසජනක ක්‍රියා රඟන රන්ජන් නම් ද්‍රවිඩ නළුවා ප්‍රිය කළ ඔහු “කව්බෝයි” චිත්‍රපටවල ජෝන් වේන්, ෆ්‍රෑන්ක් සිනාට්රා, ඩීන් මාටින්ට ඇලුම් කර ඇත. සිනාට්රා හා මාටින් මෙන් ගී ගයමින් සටන් අවස්ථා තනිවම කරමින් සිටි ගැටයා පසුව හමුදා පොලිසියෙත් සේවය කළේය. කතුරු මුවාත් චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු හතර දෙනාම සූරයෝ (1971) චිත්‍රපටයේ රඟ පෑ සේනාධීර රූපසිංහට ඩබල් කළේය. කොටහේනේ ශාන්ත ලුසියා දේවස්ථානය අසල ඇති පඩි 24 දිගේ රෙක්ස් මෝටර් බයිසිකලය වේගයෙන් ධාවනය කළේ පිටු පසින් එන පොලිස් නිලධාරීන්ගෙන් බේරීමටය. 


එදා ඔහු සේනාධීර වෙනුවට රඟපෑවේ ඔහුගේ කමිසය කලිසම ඇඳ ගෙනය. එකල සේනාධීර චිත්‍රපට රැසක රඟපාමින් සිටි අතර ඔහු එයට සූදානම් වුවත් ඒ අවදානම නොගන්නා ලෙස අධ්‍යක්ෂ නීල් රූපසිංහ අවවාද කළේය. පසු කලෙක ප්‍රධාන චරිත රඟපාමින් සටන් නළුවෙකු ලෙසද දස්කම් පෑ සේනාධීර හාරලක්සෙ, දැන් මතකද, හතරදෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, වීදුරු ගෙවල්, හරිම බඩු තුනක් චිත්‍රපට වල ගාමිණී හා ඇලෙක්සැන්ඩර් සමග කරට කර සටන් කළේය. 


රෙක්ස් කොඩිප්පිලි වරක් අප සමග මෙසේ පැවසීය. 


“මම කරන්න ආස බිහිසුණු වැඩමයි. චිත්‍රපටවලත් ඒ වැඩ කරන අභියෝග භාරගත්තා”


එසේ කිව්වද රෙක්ස් අවදානම කරට ගෙන කරන ලද “ලොකුම හිනාව” (1972) චිත්‍රපටයේ මෝටර් සයිකලයක් ධාවනයක යෙදෙමින් සටන්කාමී “මාරාන්තික” රංගනයක යෙදී හොම්බ බිම ඇණගත් අවස්ථාවක් තිබුණි. අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා ද රෙක්ස්ට දුන් අවවාද තුට්ටුවකට ගනන් නොගත්තේය. මේ චිත්‍රපටයේ එක් දර්ශනයක දී උණ ලී පටවා ගෙන එන කරත්තයකට උඩින් පන්නවා මෝටර් සයිකලය පදවා යාමට රෙක්ස් අවදානම බාර ගත්තේය. 


 මෙය බෙල්ල කැඩෙන වැඩකි. නමුත් කිසිම කලබලයක් නැතිව රෙක්ස් මෝටර් සයිකලය වේගයෙන් පදවා ගෙන ගියේය.
මේ දර්ශනය කිසිම සංස්කරණයකින් තොරව “ලොකුම හිනාව” චිත්‍රපටයේ සටහන්ව ඇත. එහෙත් රෙක්ස්ට වැඩි දුර යා නොහැකි විය. ඔහුට සිහිය ආවේ පසුදා රෝහලේදීය. 


උණ බම්ටු කරත්තය දිගේ ගිහින් මගේ කකුලක් කැඩිලා තිබුණා. උණ බම්බු දිගේ යන කොට බයිසිකලය ලෙස්සුවා. බයිසිකලය ලිස්සලා පාර පැත්තට විසි වෙනවා මට දැනුණා. මම හැඩලය තද කරලා අල්ල ගත්තා. බයිසිකලය පැත්තක. මම තව පැත්තක. මම බිමට වැටෙන කොට බයිසිකලය මගේ කකුල උඩ. කුකුල කැඩිලා තිබුණා. අවුරුද්දක්  විතර බෙහෙත් කළා. රෙක්ස් අපට කියා ඇත. 


ශ්‍රී ලංකාවේ වැඩිම සටන් නළුවන් සංඛ්‍යාවක් ක්‍රියාදාම, ත්‍රාසජනක, ක්‍රියාවල යෙදුණු අසාමාන්‍ය චිත්‍රපටයකි. දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණයක 1995 තිර ගත වු දෙමෝදර පාලම මෙහි එන එක දිග දර්ශනයක් සඳහා දියතලාව හා බදුල්ල මාර්ගයේ වේගයෙන් ධාවනය වන දුම්රියක් දින 15 ක් යොදා ගත් අතර හෙලිකොප්ටර් 4 ක් ද යොදා ගෙන ඇත. මේ චිත්‍රපටයේ මාරක පිමි සහ සටන් අධ්‍යක්ෂණය කළේ ටෙඩී විද්‍යාලංකාරය. ඒ අතරම ඔහු තෙන්නකෝන් නම් රහස් පරීක්ෂකයා ලෙසද රඟපෑවේය. ජයලත් ප්‍රනාන්දු, රාජු ගමගේ, කුමාර තිලකරත්න, සුනිල් බමුණුආරච්චි, ඇලෙක් අතපත්තු, මොහොමඞ් අලී, ජැකී චෑන්, ජගත් මල්දෙණිය, සැන්ඩෝ හැරිස්, ලයනල් ගොස්ට්, දයානන්ද විද්‍යාලංකාර, ටයිටස් පෙරේරා (කොළඹ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති) එරික් රෝලන්ඞ්, මලික් බටවල, චන්න රණසිංහ යන සටන් නළුවන් ද එක්ව ටෙඩී මේ දැවැන්ත මාරක  ක්‍රියා මෙහෙය විය. 


චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ ගාමිණී ෆොන්සේකාගේ ආරක්ෂාව ගැන සිතූ අධ්‍යක්ෂවරයා ඉදිරියේදී ක්‍රියාදාම දර්ශනවලට “ඩබ්ල්” කිරීමට සටන් නළුවෙකු යෙදීමට සිතුවේය. 


මම ගාමිණී අයියා ලවා දුම්රියේ යන ගමන් තොප්පියක් අහුලන්න උපදෙස් දුන්නේ තොප්පිය දාගෙන වෙනත් නළුවකු මාරක දර්ශන වලට යොදා ගන්නා අදහසින්. ඒත් ඔහු තොප්පිය දා ගත්තත් එයට කැමති වුයේ නැහැ. සටන් නළුවෙකු තමා වෙනුවට ආදේශ කරනවාට අකමැති වුණා. චිත්‍රපටයේ හෙලිකොප්ටරයක එල්ලී යන දර්ශනයක ගාමිණී ත්‍රාසජනක අවස්ථාවන්ට මුහුණ දුන්නේ අර තොප්පියක් දාගෙන. දර්ශනයට මුහුණ දී පහළට ඇවිත් ඔහු මගෙන් “හරිද මල්ලී?” ඇසුවා. මම කිව්වා. “ගාමිණී අයියා ඔයා තොප්පිය දාගෙන හෙලිකොප්ටරයේ එල්ලුනාට හිතන්නේ ඒක ස්ටන්ට් ඇක්ටර් කෙනෙක් කරනවා කියලා, මට ඕනෑ ඔයාගේ මුහුණ ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න කියලා.” “ඕකේ, ඒ. සීන් එක ආපහු ගමු.” කියලා ගාමිණී තොප්පිය නැතුව කළා. එකෙන් ප්‍රේක්ෂකයෝ දැක්කා මේ ගාමිණීමයි කියලා දිනේෂ් කීවේය. 


“දෙමෝදර පාලම” චිත්‍රපටයේ ගාමිණී දුම්රියක් උඩ දී තමා සමග සටන් කරන සුනිල් බමුණුආරච්චිව පහළට තල්ලු කරයි. මේ දර්ශනය ගෙන ඇත්තේ බදුල්ල ඇල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයට කිට්ටුවෙන් වේගයෙන් දුම්රිය ධාවනය වන අවස්ථාවේය. 
ගාමිණී සුනිල්ව කෝච්චි පෙට්ටියෙන් පහළට තල්ලු කරයි. සුනිල් බෝක්කුවක් ගාවදී එළියට විසි වී පාරේ ගමන් ගන්නා ලොරියක් උඩට වැටෙයි. පොඞ්ඩක් වැරදුණා නම් ඉතිං සොරිම තමයි. මේ චිත්‍රපටයේ මුහුණට මුණ හරි හරියට සටන් කළේ ගාමිණී හා විල්සන් කරුණාරත්නය. මර්වින් ජයතුංගත් සටන් දර්ශන වල පෙනී සිටියේය. 


ගාමිණී තම සටන් දර්ශන වලදී වෙනත් නළුවකු ආදේශ කරනවාට මුල සිටම කැමති වී නැත. “රන් මුතු දූවේ” දිය යට සටන් දර්ශන වලදී ඔහුම පෙනී සිටියේය. දිය යට කිමිදීමේ ප්‍රවීණයන් වු මයික් විල්සන්, රොඞ්නි ජොන් ක්ලාස් හා හෙක්ටර් ඒකනායක යටතේ පුහුණුව ලැබු ගාමිණී, රොඞ්නි හා හෙක්ටර් සමග දිය යට දී සටන් කළේ බටහිර චිත්‍රපටයකට නොදෙවෙනි ලෙසය. 


මේ ලිපියෙන් සිංහල සිනමාවේ සටන් දර්ශන, ත්‍රාසජනක අවස්ථා, මාරක පිමි කිහිපයක් ගැන ලිව්වත් මට මඟ හැරුණු අවස්ථා ඒමට ඇත. ඒවා මෙවැනි කුඩා ලිපියකින් කළ නොහැකි දුෂ්කර කාර්යයකි. යම් අයුරකින් එවැනි දෙයක් මඟ ඇරුණේ නම් සටන් නළුවකුගේ නමක් අතපහසු වී නම් අපට කමත්වා!