සමනල රක්ෂිතය යනු වචනයේ අර්ථයෙන්ම නම කියූ සැණින් ලංකාවේ ඕනෑම කෙනෙකු හඳුනන ඉසව්වක ඓතිහාසික වශයෙන් සේම ආගමික වශයෙන් දැඩි භක්තියක් වැදගත්කමකින් හෙබි සමනල රක්ෂිතයේ උසම කන්ද වනුයේ බුදුරජාණන් විසින් සිරිපතුල පිහිටවනු ලැබූ සමනළ කන්දය. මීටර 2243 ක් පමණ උස සමනල කන්දට පමණක් දෙවන වන මීටර 2040 කට ආසන්න උසින් යුත් රක්ෂිතයේ දෙවැනි උසම කන්ද සොයා පසුගිය වියළි සමයේදී අපි රක්ෂිතයට අවතීර්ණ වුණෙමු. නමක් නොමැති මෙම කන්දට අප විසින් නම් තැබුවේ මහමුණි කන්ද යනුවෙනි. මන්ද කන්ද පාමුල පිහිටි මහමුණි කෝවිල නිසාවෙනි.   


අදටත් ගුප්ත දෑ සිදුවන සමනල රක්ෂිතය පූජනීයත්වයෙන් සලකනු ලැබීමට අතීත මතක සේම වර්තමාන තාක්ෂණයට සොයා ගත නොහැකි අබිරහස් පිරී ඇති හෙයිනි. ගූගල් චන්ද්‍රිකා සිතියම් සතු භූගෝලීය සිතියම් (Satellite and Terrian Maps) මගින් අප නිර්ණය කර ගත් පරිදි සමස්ත රක්ෂිතය තුළම මීටර් 2000 ට වැඩි කඳු 4 ක් පවතී. එ්වා නම් සමනල (2243m), මහමුණි (2050m), ක්ලෙව්ලෑන්ඩ් (2040m) සහ බෑන සමනළ (2012m) වේ. ඊට අමතරව මීටර් 1900 ත් 2000 ත් අතර පවතින කඳු 6 කි. ඒවා නම් මහා නවරවිල (1980m) ගාළුමෝර් කන්ද (1960m), ගවර විලකන්ද (1960m) යකා ඇඬූ ගල (1940m) බල්ලන් බැඳිගල (1920) කුඩා බෑන සමනළ (1920m) වේ. 

 
මීට අමතරව මීටර් 1400 ක් මීටර් 1900 ත් අතර පවතින කඳු ගණන 15 කි. මේ සියල්ල බලන කල පැහැදිලිව වෙන් කර දැක්විය හැකි කඳු 25 ක් පමණ සමනල රක්ෂිතය තුළ පවතියි. සමනළ රක්ෂිතය පිළිබඳ අප අසා තිබෙන සහ කියවා තිබෙන කරුණු කාරනා හේතුවෙන්ම එහි පවතින කඳු, දිය ඇලි සහ ගුහා සේම තැනිතලා බිම් සොයා යාමට සොබාසිරි නඩය ලෙස අප තුළ ඇත්තේ අතිශය කුතුහලයකි. මේ නිසාම පසුගිය වියළි සමයේදී අප සමනල කන්දේ දෙවන උසම කන්ද ලෙස හඳුනාගත් කන්ද සොයා රාත්‍රියේම කොළඹින් පිටත් වූයේ අප තිදෙනෙකු පමණි.   

 

 


ඉතාමත් හොඳින් නිවැරදිව සහ පහසුවෙන්ම අපට යා හැකි මාර්ගය ගූගල් සිතියමේ (Google Offline Map) ලකුණු කරගත් අතර පාන්දර වන විට මස්කෙළියට පැමිණි අපි ගවරවිල විදුහල පිහිටා තිබෙන මාර්ගය සොයා ගියෙමු. එතැනින් එහාට අප යා යුතු මග තීරණය කළේ ගූගල් සිතියමට අනුවය. ඉතා සුන්දර පරිසර පද්ධති සහ ගම්මාන අතරින්ද අබලන් මාර්ග ඔස්සේ පැමිණ අප ළඟාවූයේ ස්ට්‍රැක්ස්පී වතුයායටය.   


චිරි චිරියේ ගලායන දොළ පහරවල් දකිමින් තේ වතුයායේ හරිත පැහැ අතර ඔච්චම් කරමින් අප අතිශය අබලන් අඩි පාරවල්වල පවා යතුරු පැදියේ ගමන්කළේ ගූගල් සිතියමට අනුව ගමන පටන්ගත යුතු ස්ථානයටම ළඟා වීමේ අටියෙනි. අපට හැරවිය යුතු අවසාන වංගුව අසල සඳහන් වූයේ ‘මහමුණ කෝවිල්’’ යනුවෙනි. එම මගේ මඳ දුරක් ගිය අපි කිසිවෙකුත් නොමැති හුදෙකලා තේ වතුයාය ඉහළම පිහිටි කුඩා කෝවිලක් අසලට පැමිණියෙමු.   


පෙර හමු වූ මංසන්ධියේ තිබූ නාම පුවරුවේ සඳහන් නම වූ ‘මහමුරු කෝවිල’ මෙය වූ බැවින් ඊට මීටර 100 ක දුරින් අප යා යුතු යටතේ ආරම්භය ඇති හෙයින් අපගේ යතුරුපැදි කෝවිල අසලින් නවතා හිස් වැසුම් රැගෙන අපි ගමන පිටත් වුණෙමු. සිතියමට අනුව අප යා යුතු කන්ද අප ඉදිරියෙන් තිබූ අතර ඊට පසෙකින් මරිය කන්දත් ගවරවිල තැන්නේ කෙළවර කඳු ගැටයත් දක්නට ලැබුණි. අප ගමන ආරම්භ කළ යුතුව තිබුණේ නිම්නයක් මැදින් ගලා එන දිය පහරක් ඔස්සේය. දිය පහර ගම් වාසින් හොඳහැටි ප්‍රයෝජනයට ගන්නා බව අප දුටු අතර ම අසලම පිළිගැනීමේ කියමනක් සහිතව එම ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1450 ක් පමණ ලෙස ගලේ කොටපු සටහනක් විය.   


වර්ෂාව නොමැති වුවද සමනල කැලයේ පස සහ කුඩැල්ලන්ව හොඳ හැටි දන්නා බැවින් කූඩැල්ලන්ට සර්පයන්ටත් පිළියම් ලෙස පත්තු පැලඳ දිගු කලිසම් හා ආවරණ මගින් දෙපා හොඳ හැටි වසා ගත්තේ මෙම ගමනේ වැදගත්ම ශරීරාංගය වන්නේ දෙපා බැවින් සේම අනතුරුවලින් ආරක්ෂා විය යුතු හෙයිනි. තවද අත් දිග කමිස හැඳගත් අප දෑතටද අාවරණ දමා ගත්තේ මෙම පරිසරයේ ශාක ව්‍යාප්තිය තරමක් වෙනස් බව අපට පෙනුනු නිසාවෙනි.   


කෙසේ හෝ වර්ෂාව නොමැති වූ හෙයින් අප ඉදිරියෙන් ගලා එන දියවර තරමක් අවම ධාරිතාවක පැවතීම යතුරු පැදි නැවත් වූ ස්ථානයේ ඒ බව දැන්වීමට හෝ පෙනෙන තෙක් මානයක කිසිවෙකුත් නොසිටි නිසාවෙන් අප හිස් ආවරණ රැගෙන පැමිණියේ දිය පහර ආශ්‍රිතව සඟවා යන අටියෙනි. ඒ අනුව වතු මාර්ගයේ සිට දිය පහරට අවතීර්ණ වූ අප මීටර සියයක් පමණ ගොස් ගල්කුට්ටි කිහිපයක් අසලින් අපගේ හිස් වැසුම් ත්‍රිත්වය සඟවා තබා ඉදිරියටම යාමට පටන් ගත්තෙමු.   


මෙතැන්සිට සෘජුවම මීටර 600ක් පමණ උසක් අපට කිලෝමීටර කිහිපයක් පුරාවට නැගීමට ඇති බැවින් අපි ගඟ දිගේම ඉදිරියට යාමට පටන් ගත්තෙමු. මඳ දුරක් ගිය පසු වතු මාර්ගයට පෙනන විශාල ගල් බිත්තිය අසලට අප පැමිණියේ එම ගල් බිත්තිය වැසි සමයට එකම විසල් ඇල්ලක් වන බව සිතමිනි. මන්ද ගලේ ඉහළ සිට පහළට ස්ථාන කිහිපයකින්ම දිය සීරා රාශියක් කාඩාවැටුණු අතර වියළි සමය වූ බැවින් එ්වා එතරම පිරිපුන්ව නොතිබුණි. තව දුරටත් ඉදිරියට යන විට අපට දිය පහර දිගේ නැගීමට අපහසු ස්ථානයක් හමුවිය. එම නිසාම අපි වම් පස වන රොදට රිංගා ඉදිරියට ගමන් කරන්නට පටන් ගත්තෙමු.   


වන රොදට රිංගා මඳ දුරක් ගමන් කළද ඉන්පසු අපට ඉදිරියට යාම තරමක් අපහසු විය. මන්ද අප සිතූ පරිදි කටු අකුල් සහිත පඳුරු වැඩි වීමයි. කෙතරම් කටුද කිවහොත් එක යායට පිරුණ කටුවැල් පඳුරු මහ රූස්ස ගස් යට සෙවණේ හොඳින් වර්ධනය වී තිබුණු හෙයින් ගල් පර්වත දිගේ නැගීමේදී අපට ඉහළින් අල්ලා ගැනීමට කිසිදු ආධාරකයක් නොතිබුණි. දිය පහරින් මීටර කිහිපයක් ඈත් වී වනය තුළට ඉදිරියට යන්නට සිතූ අපට දැඩි අපහසුවක පැටලෙන්නට සිදුවිය. කෙසේ හෝ කටු කිහිපයක් ඇන ගනිමින් අපි ඉදිරියට ගමන් කරන්නට පටන් ගත්තෙමු.   


පෙර තිබූ වියළි පරිසරය මේ වන විට නොමැති බවත් පස තරමක් තෙත්ව ඇති බවත් අපට වැටහුණේ කලිසම දිගේ කූඩැල්ලන් දෙදෙනෙකු නඟින විටය. කටු ගස් වර්ග බොහෝමයක් මෙම ඉසව්වේ තිබුන හෙයින් නැවතත් අප දිය පහර දෙසට ගොස් ඉදිරියට නගින්නට වීමු. එක්තරා අවස්ථාවක මාගේ දෑතේ කුඩා කටු රාශියක් ඇනුනේ වැටෙන්නට යන විට අල්ලා ගත් අත්තක තිබියදීය.   


කෙසේ හෝ ​ෙහා්රා දෙකක පමණ කාලයක් තුළ අප මහ වන පියස සිසාරා කිලෝමීටර එකහමාරක දුරක් ඇවිද තිබුණේ මීටර 1800 පමණ උසට පැමිණෙමිනි. මෙම ස්ථානය අසලදී අපට ඉතාමත් ඈතින් ගවරවිල වතුයාය ආශ්‍රිත තේවතු සහ ගම්මාන දැක ගැනීමට ලැබුණ අතර සෙසු අවට තුළම තිබුණේ දැඩි නිහඬතාවකි. කොළ පැහැයෙන් යුත් රූස්ස ගස්වලින් වසා ගත් කඳු පමණක් අපට දක්නට ලැබුණි. 

 
නැවත ගමන් ඇරඹූ අපට හමුවුනේ ගඟ දෙකට බෙදෙන ස්ථානයකි. ඉන් වම් පසට පිහිටි දියවර දිගේ ඉහළට නැගීමට පටන්ගත් අපට මීටර කිහිපයක් ගත විට දකුණු පස දියවර නිර්මාණය කරන දිය ඇල්ලක ශබ්දය අපට ඇසීමට ලැබුණි. නමුත් අප සිටි ස්ථානයට පසෙකින් දැඩි බෑවුමක් හා අනෙක් පස තවත් කන්දක් වූ හෙයින් අපි එහි නොගොස් අපගේ ගමනාන්තය පිහිටි මාර්ගය දිගේ ගමන් කරන්නට විමු. තවත් දුර ගිය පසු අප ළඟාවූයේ ඉතාමත් අලංකාර විශාල දිය ඇල්ලක් පිහිටි ස්ථානයකටයි. වැටි කිහිපයකින් ඇදහැලෙන එහි උස මීටර 50 කට වැඩි නමුත් ජල පරිමාව ඉතා අල්ප වූ හෙයින් එහි නියම සුන්දරත්වය අපට දැක ගැනීමට නොලැබුණි.   


එම දිය ඇල්ල අසල මද විවේකයක් ගත් අප නැවතත් ගමන් ආරම්භ කර දිය සීරාවෙන් ඇත් වී වනයට යමිනි. එහිදී අපට බොහෝ කූඩැල්ලන් හමු වූ අතර තෙත් වූ බුරුල් පස ලිස්සනසුළු විය. කටු කිතුල් ගස් බොහෝමයක් තිබුණ එම ඉසව්වේ මීටර 500 ක් පමණ ගිය පසු අප ළඟාවූයේ තවත් දිය පහරකටයි. අපේ ගමනේ ප්‍රධානතම ස්ථානයක් මෙම දිය පහර මුදුනේ ඇති බැවින් අපි එම පටු දිය දහරාව දිගේ ඉහළට නැග ගත්තෙමු.   


බොහෝ දෙනෙක් දන්නා පරිදි සිරිපා තරණයට ප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් සහ අප්‍රසිද්ධ මාර්ග ත්‍රිත්වයක් පවතියි. ඒ හැරුණු විට ඔය දිගේ යා හැකි තවත් අප්‍රසිද්ධ මාර්ග දෙකක් පවතින අතර සෘජුවම දියපාර දිගේ යන බැවින් එම මාර්ග අතිශය භයානකය. ඒ අනුව මෙම මාර්ග 8 ට අමතරව තවත් මාර්ගයක් ඇති අතර සමස්තයක් ලෙස එය සිරිපා යන දිගම මාර්ගය ලෙස හැඳින්විය හැක. එය නම් ලඳුයාය බළගොඩ මාර්ගයයි.   


බැලූ බැල්මට පින්නවල බගවන්තලාව හරහා බලංගොඩ යන මාර්ගයේ සිට සමනල කන්දට පැමිණෙනවා යැයි සිතීමම ඉතා බරපතළ ගමනකි. මන්ද එය විශාල දුරක් සේම විශාල දුර්ග ගණනාවකි. නමුත් මෑතකදී අප මේ පිළිබඳ තොරතුරු රැස් කරන විට අපට දැකගැනීමට ලැබුණේ එම මාර්ගය මාරතැන්නේ සිට රාවණාකන්ද ආශ්‍රිතව සිට ඇරඹී මරියකොටේ සහ මෙම මහමුණි කන්ද හරහා ගවරවිලට පැමිණ එතැන් සිට දෙහෙනකන්ද මාර්ගයට එකතු වී ගමන් කරන බවයි. ආසන්න වශයෙන් මෙම මාර්ගයේ දුර කි.මී. 30 කට වැඩි සේම මෙහි ගමන් කිරීමට දින කිහිපයක් අවශ්‍ය වේ. මන්ද මෙම මාර්ගය වැටී පවතින්නේ මඩ වගුරු සහ මීටර 1800 ට වැඩි උසින් යුතු කඳු හරහා වන හෙයිනි.   
රාවණාකන්ද යනු රත්නපුර දිස්ත්‍රික්කට අයත් බලංගොඩ සීමාවේ කෙළවර පිහිටි ඉසව්වක වලවේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක උපත සමග ගලා යන දියවර මෙහි ඇති අතර බලංගොඩ සිට වේවැල්වත්ත මාර්ගය හරහා එන විට මෙම ඉසව් හොඳින් දැක ගැනීමට හැකි වේ. සිරිපාදේ යන මෙම 9 වන මාර්ගය හැරුණුවිට තවත් මාර්ග දෙකක් ගැන අප දන්නෙමු. එනම් රත්ගඟ පන්සලේ සිට වනගත රහසිගත මාර්ග සහ සප්තකන්‍යා සිට විත් පිදුරුතලාව හරහා උඩමාල මාර්ගයට එකතු වී පැමිණෙන මාර්ගය. මේවා උදක්ම වනගත පැරණි අතුරු මාර්ග කිහිපයකි.   

 

 


මේ ආදී ලෙස රක්ෂිතයේ විවිධ පැතිවලින් ගොඩනැගුනු මාර්ග දුසිමකට ආසන්න ගණනක් මෙහි පවතියි. කෙසේ හෝ අප මෙම දුරම මාර්ගය වැටී තිබෙන මහමුණි කන්දේ අවසන් මීටර කිහිපය අසලට ගොඩවැදුණේ තමන් සිටි රූස්ස කැලය වුවද තරමක් තැනිතලාමය ඉසව්වකින් ගමන් කරන නිසාවෙනි. අප දැන් සිටින ස්ථානයට පසෙකින් ඇත්තේ ගවරවිල තැන්නේ දකුණු කෙළවර පිහිටි දික්තැන්නය. එහිදී බලංගොඩ රාවණාකන්ද ප්‍රදේශයට ඇදහැලෙන දියවර වලවේ ගඟේ අතු ගංගාවක් පෝෂණය කරයි.   


ඉර මුදුන් වන නිසා අපි පය ඉක්මන් කොට මහමුණි කන්දේ මුදුන දක්වා ගමන් කළෙමු. විනාඩි කිහිපයකින් අප ගූගල් සිතියමට අනුව උසම ස්ථානයට පැමිණියද එහි කිසිදු ආකාරයකින් අපට පරිසරය දැකිය හැකි ස්ථානයක් නොවුණි. අපගේ සහයක වන නිරෝෂ් අසල වූ ගසකට නැග බැලුවද එහි කිසිදු ලෙස අවට දැකීමට නොලැබුණි. එසේම කුරුගස් නොතිබුණ නමුත් මෙම වටපිටාව අපට ගෙන ආවේ අප කරදියපව්වට නැගගත් විට තිබූ පරිසරයමය. කෙසේ හෝ අප මෙහි මද වේලාවක් ගත කොට නැවතත් ආ මගේම බසින්නට විය.   


සෘජුවම දිය පහර දිගේ බසින්නට වූ අපට බාධක බොහොමයක් හමුවුණි. විටෙක මීටර 10-15 ගල දිගේ බසින්නට විය. කරමතින් බසින්ට වය. කෙසේ හෝ බොහෝ දුෂ්කරතා මැද අපි සවස 5 පමණ වන විට හිස්වැසුම් රැඳවූ ස්ථානයට ළඟා වී අසල වූ කුඩා ඇල්ලෙන් ගත දොවා ගන්නට වීමු. මෙම කන්දට කිසිදු නමක් මෙම ප්‍රදේශවාසීන් පවා යොදා තිබුනේ නැත. ඔවුනට මෙය තවත් එක් කන්දක් පමණක් විය. එහෙයින් අප ගමන පටන් ගත් ස්ථානයේ තිබූ කෝවිල පදනම් කරගෙන මෙම කන්ද මහමුණි කන්ද ලෙස හඳුන්වන්නට විය. මෙම කන්ද හැටන් පාරෙන් යන විට ගවරවල තැන්නට ඉහළින් දකුණු පසින් ඉහළ එස වූ කොටුවක් ලෙස දැක ගත හැකිය.   


එකතු වන්න මුහුණුපොතේ ‘සමනළ කන්ද රසික එකමුතුව’’ සමගින්.   

 

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු