(සරණාගමනය සතරවන ලිපිය)   

මේ ඝෝර සසර ගමනෙහි යන්තමින්වත් අස්වැසිල්ලක් ලද්දේ නම් ඒ බුද්ධ රතනයෙන්, ධම්ම රතනයෙන්, සංඝ රතනයෙන් ලද අස්වැසිල්ල පමණෙකි. ඉන් මෙහා පැමිණි අතිදීර්ඝ සසරෙහි දෙමාපිය සහෝදර සහෝදරියන් වෙතින් යම් පමණකට හෝ අස්වැසිල්ලක් ලැබුණේ යැයි යමෙක් පවසන්නේ නම් ඒ අස්වැසිල්ල කවර ආකාරයේ අස්වැසිල්ලක්දැයි නැවත නැවතත් පරීක්‍ෂා කර බැලිය යුතුය. ඒ වෙනත් හේතුවක් නිසා නොව අතරමංව ඒ මේ අත යන සසර ගමනක අතරමං වූවෙකුට මාර්ගය දර්ශනය කළ නොහැකි බැවිනි.   


දෙමාපියෝ අප ලෝකයට බිහිකොට සුදුසු අවස්ථාවේදී සිප්සතර ලබාගැනීමට උපකාර කරති. යම් පමණකට හෝ ධර්මය දන්නා දෙමාපියෝ හමුවුවහොත් ඔවුන්ගේ දැනුමට අවැසි පරිද්දෙන් ධර්ම මාර්ගය තුළ සංවර කරවති. ඔවුන්ගේ අවබෝධයට අනුකූලව ලෝකයෙහි මග නොමග පෙන්වාලති. නමුත් එම දර්ශනය ලෝක සත්‍යයට කොතරම් අනුකූල වන්නේදැයි නුවණින් පරීක්‍ෂාකර බැලීම වටී. ඒ වෙනත් කරුණක් නිසා නොව මිත්‍යා දෘෂ්ටික දෙමාපියන්හට මාර්ගය පෙන්වීම කිසි ලෙසකින්වත් කළ නොහැකි බැවිනි. තුනුරුවන් නොහඳුනන තුනුරුවන් සරණාගමනයට පත් නොවූවෙකු විසින් පෙන්වන මාර්ගය සසර ගමනෙහි ඔබව කොතැනින් කොතැනකට ගෙනගොස් නවතන්නේදැයි බුද්ධිමත් ඔබ විසින් පරීක්‍ෂාකාරීව බැලිය යුතුය.   
තමන්ද ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේවයන්ගෙන් අනේක වාරයක් අනේක ප්‍රකාරව බැටකමින් සිටියත් තමන්ද ඉන් මිදෙන මාර්ගය සොයමින් තම දරුවන්ද එම මාර්ගයෙහි පිහිටුවන්නට උත්සාහවත් වන දෙමාපියන් සමාජයේ කොතරම් විරලද? එවැනි දෙමාපියන් හමුවීමද සසරේ මහත් භාග්‍යයක්ම වන්නේය. බොහෝ දෙමාපියන්ගේ එකම සිහිනය ලෞකිකව දරුවන්ගේ දියුණුව සාර්ථකත්වය දැකීම මිස ඔවුන්ට සංසාර ගමනෙන් ජයග්‍රහණය සඳහා මාර්ගය පෙන්වීම නොවේ. ඒ සසර ගමනේ සත්‍යය ස්වභාවය පිළිබඳව ඔවුන්ද අතිශය මුළාවීමට පත්ව ඇති නිසාය.   
තමන්ගේ දරුවන් ධර්මයට යොමුවනවාට අකමැති දෙමාපියන් ඇති සමාජයක එය කොතරම් විරල වනු ඇත්ද? අපි අපේ අතීතය පිළිබඳව මදක් විමසා බලමු. එවිට ඔබට අප මේ කියන කාරණය පිළිබඳව මනා වැටහීමක් ඇතිකරගත හැකිවනු ඇත.  


 අපත් අපගේ දෙමාපියනුත් ජීවිතයේ දුක නැතිකිරීම පිළිබඳව කොපමණ සාර්ථක දැක්මකින් යුක්ත වූවාදැයි එවිට ඔබට පැහැදිලි වනු ඇත. මේ කාරණය දක්වන්නේ කිසිම ආකාරයකින් දෙමාපියන්ට හෝ ඔබට දෝෂාරෝපණය කිරීමේ අදහසින්ද නොවේ. අධ්‍යාපනය හමාර කිරීමෙන් දුකින් අතමිදෙනු ඇතැයි සිතූ උසස් රැකියාවක් ලබාගැනීමෙන් යහපත් ආවාහ විවාහයන්ට පත්වීමෙන් ගුණ යහපත් දූ දරුවන් ලෝකයට බිහි කිරීමෙන් හා අනෙකුත් ලොකු කුඩා විවිධ කටයුතු සාර්ථකව සිදුකර ගැනීමෙන් දුකක් නැතිව වාසය කළ හැකියැයි සිතූ අපට මේ වන විට දුකෙන් යම් පමණකට හෝ මිදෙන්නට අවස්ථාවක් ලැබී තිබේද? එසේ නම් දුක පිළිබඳව හා එම දුක නැති කිරීම පිළිබඳව අපටත් අපගේ දෙමාපියන්ටත් තිබූ අවබෝධය සත්‍යය වශයෙන්ම නිවැරදි වූවක්ද යන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මෙනෙහි කර බැලිය යුතුය. නමුත් සැප වෙනුවට සැපයක් යැයි සිතා දුක් විඳිනා තරම පිළිබඳව අපට ඇත්තේ නොවැටහීමක්ම පමණක්මය.   


එසේ නම් කොතැනක හෝ අපට වැරදී ඇත්තේය. මේ වරද තථාගත ශ්‍රී සද්ධර්මය නොදන්නා දෙමාපියන්ට තමන්ගේ දූ දරුවන්ට පෙන්වාදිය නොහැක. දෙමාපියන් අප වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළද ධර්ම මාර්ගයෙහි පිහිටවීමට ඔවුන් අසමත් වුවහොත් එම පිහිට ඒකාන්තයෙන් අහිත පිණිසම පවතින බව ඒකාන්තය. දුරාචාරී රැකියාවන්හි යෙදෙන ඇතැම් දෙමාපියන් කොපමණ ප්‍රමාණයක් තමන් විසින් කරන ලද දුරාචාරී රැකියාවම තමන්ගේ දූ දරුවන්ට උරුම කර දී ඇත්ද? මත්පැන් වෙළෙඳ‌ාමෙහි යෙදෙන දෙමාපියන්ගෙන් තමන්ගෙන් පසුව එයම තමන්ගේ දූ දරුවන්ගේ රැකියාව බවට පත්කර ගැනීමට අවවාද අනුශාසනා සපයන සමාජයක එම දරුවන්ට නිසි මග පෙන්වීමක් ලැබීම පවා දුෂ්කර වේ. දුරාචාරයේ යෙදෙන ඇතැමෙක් තමන්ගේ දරුවන් එම දුරාචාර අඳුරෙහිම අතරමං කොට ඇත. මේ නිසා ධර්මානුකූල නොවන පවුල් සංස්ථාවක දෙමාපියන්ට දිය හැකි පිහිට සත්‍යය වශයෙන්ම පිහිටක් නොවන්නේය.   
මේ පිළිබඳව ඉතා වටිනා උදාහරණයක් සුත්ත නිපාතයේ අට්ඨක වර්ගයේ එන අත්ත දණ්ඩ සූත්‍ර දේශනාවෙහිදී සපයා ඇත. එනම් මහා බෝධිසත්ත්වයින් වහන්සේ ප්‍රථමයෙන්ම සතර පෙරනිමිති දැකීමෙන් අනතුරුව ලෝක සත්ත්වයා පිළිබඳව නුවණින් විමසා බැලූ ආකාරය විස්තර කරන අවස්ථාවේදීය.   
එහිදී කායික වාචසික මානසික දුසිරිත හේතුවෙන් තම තමන්ගේ ආත්මභාවය දණ්ඩනයට ලක් කරන්නා වූ ලෝක සත්ත්වයින් දිය සිඳී ගිය මඩ සහිත දිය කඩිත්තක ඒ මේ අත දඟලන මත්ස්‍යයන් සේ සිද්ධාර්ථ මහා බෝධිසත්ත්වයින් වහන්සේ දුටු බවත් නිරන්තරයෙන් අනිත්‍යාදී ලක්‍ෂණයන්ගෙන් යුක්ත බැවින් මේ ලෝකය හාත්පසින් නිසරු වන බවත් ආරක්‍ෂාව පිණිස කිසිම ස්ථානයක් නොමැති බැවින් තමන්හට සසර පිළිබඳව මහත් විරාගයක් ඇති වූ බවත් වැඩිදුරටත් විස්තර කර තිබේ.   


 බුදුරජාණන් වහන්සේලාට තරම් සසර ගමන පිළිබඳව වැටහීමක් පෘථග්ජන සත්ත්වයාට නැත. එම නිසා උන්වහන්සේලා අප කෙරෙහි මහා කරුණාවෙන් සරණාගමනයෙහි පවත්නා වටිනාකම පිළිබඳව නිතර නිතර වර්ණනා කරති. සරණාගමනයට පත්වීම තබා බුදුරජාණන් වහන්සේ දැකීමම හේතුවෙන් සසර සුවපත්කර ගත්තවුන් පිළිබඳව බොහෝ කතා ධර්මයෙහි විස්තර කර දී ඇත. බුදුරජාණන් වහන්සේ දැකීමෙන් උන්වහන්සේගේ අෂ්ටාකාර බ්‍රහ්මස්වරයෙන් යුතු මනෝහර හඬ ශ්‍රවණය කිරීමෙන් උන්වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධය පිළිබඳව අසා දැනගැනීමෙන් පවා සුගතිගාමීවූත් ධර්මය අවබෝධකර ගත්තාවූත් සත්ත්වයින්ගේ ප්‍රමාණය නිමක් නැත. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ එන වේසාලික උග්ග සූත්‍ර දේශනාව මේ සඳහා තවත් කදිම උදාහරණයෙකි.   


විශාලා මහනුවර වාසය කරන උග්ග ගෘහපතිතුමා දිනක් යම් කටයුත්තක් සඳහා තමන්ගේ නිවසින් බැහැරට ගමන් කරන්නට විය. එසේ ගමන් කරන ගෘහපතිතුමාට තමන් ගමන්කරන මාර්ගයේ තමන්ට බොහෝ ඉදිරියෙන් වැඩම කරන භාග්‍යවතුන් වහන්සේ දකින්නට ලැබුණේය. එසේ බුදුරජාණන් වහන්සේ දුටු උග්ග ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ දැකීම් මාත්‍රයෙන්ම පැහැදීමට පත්විය. එසේ පැහැදීමට පත්වූයේ බුදුරජාණන් වහන්සේගේ කායික සමාචාරයන්ගේ පාරිශුද්ධත්වය දැකීමෙන්ය.


 බුදුරජාණන් වහන්සේගේ කායික සමාචාර වාචසික සමාචාර මානසික සමාචාර දකින මිනිසුන් පමණක් නොව දෙවි බඹුන් පවා මහත් සේ චිත්ත ප්‍රසාදයට පත්ව තුනුරුවන් සරණ ගොස් ලෞකික ලෝකෝත්තර ශාන්තියට පත් වූහ. බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය දුටු උග්ග ගෘහපතිතුමාට කවදා මම බුදුරජාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ස්වර්ග මෝක්‍ෂපරායන ශ්‍රී සද්ධර්ම පදයක් අසන්නේදැයි මහත් ආශාවක් ඇති විය. නොබෝ දිනයකදීම එම අවස්ථාව ලද උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමෙන් මෙම ශාසනයෙහි ස්ථීර භාවයට පත් අනාගාමී ආර්ය්‍ය ශ්‍රාවකයෙකු බවට පත් විය. බුදුරජාණන් වහන්සේ දැකීම් මාත්‍රයෙන්ම ඇතිකරගත් ශ්‍රද්ධාව උග්ග ගෘහපතිතුමාට සසර විමුක්තිය සඳහා මහත් උපකාරයක් විය.   
සියලු‍ම පාපමලයන් ප්‍රහාණය කළ බැවින් ලෝකයේ දෙවි බඹුන්ට පිහිට විය නොහැකි ආකාරයෙන් ලෝක සත්ත්වයාට පිහිට වීමේ පුදුමාකාර හැකියාවක් තථාගතයින් වහන්සේට ඇත. මේ බව අපදාන පාළියෙහි සුභූති වර්ගයෙහි එන සරණගමනීය තෙරුන්ගේ අපදානයෙහි වඩාත් හොඳින් විස්තර කර ඇත. මෙයින් මහා කල්ප අනූඑකකට පෙර ලෝක සත්ත්වයා කෙරෙහි මහා අනුකම්පාවෙන් ලෝකයෙහි වැඩ වදාරන ළද විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝකයෙහි බබළන අවධියෙහි බන්ධුමතී නගරයෙහි දෙමාපියන්ට උපස්ථාන කරන ශ්‍රද්ධාවන්ත තරුණයෙකු විය. මේ තරුණයාගේ දෙමාපියන් අන්ධ වූ බැවින් පැවිදි වීමේ බලාපොරොත්තුවක් ඇතත් එය සම්පූර්ණකර ගැනීමට මහත් බාධාවක් විය. පැවිදි වීමේ අාශාවත් එසේ පැවිදි වුවහොත් අන්ධ දෙමාපියන් අසරණ වන බවත් දුටු ඔහු මහත් ගැටලු‍වකට පත් විය. එමනිසා මවිසින් තෙරුවන් සරණ යා යුතුයැයි කල්පනා කළ ඔහු විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දක්‍ෂිණ මහා ශ්‍රාවකයන් වහන්සේ වන නිසභ මහරහතන් වහන්සේ සම්මුඛව පංචසීලය සහිත තුනුරුවන් සරණාගමනයට පත්විය. මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව සමාදන් වූ සරණාගමනය වසර ලක්‍ෂයක් පමණ අතිගෞරවයෙන් ආරක්‍ෂා කළේය. මරණාසන්න මොහොතෙහි වසර ලක්‍ෂයක් මහත් උවමනාවෙන් ආරක්ෂාකළ සරණාගමනය සිහිපත් කරන්නට විය. තමන් විසින් කරන ලද මෙම පින්කමෙහි ආනිසංස වශයෙන් මිනිස් ලොවෙන් මරණයට පත්වනවාත් සමගම තව්තිසා දෙව් ලොව මහත් ආනුභාව සම්පන්න මහේශාක්‍ය දේවතාවෙකු ලෙස උපත ලැබීය. එසේ දිව්‍ය සම්පත් ලද මෙම දේවතාවුන් වහන්සේ අන්‍ය දේවතාවුන් අභිභවනය කළ හැකි විශේෂ බලයන් අටකින් සමන්විත විය. එම විශේෂ බලයන් ආනිසංස අට නම් දිසාසු පූජිතෝ හොමි (සියලු‍ දිශාවන්හි නිරන්තරයෙන් පූජෝපහාරයන්ට ලක් වීමි), තික්ඛපඤ්ඤෝ භාවාමි (තියුණු ප්‍රඥාවෙන් යුක්ත වීම), සබ්බේ දේවානුවත්තති (සියලු‍ දෙවියෝ මා අනුවම සිටියේය), අමිත භෝගං ලභාමි (අනන්ත අප්‍රමාණ භෝග සම්පත් ලැබුවෙමි) සුවණ්ණ වණ්ණෝ (ශරීරය ස්වර්ණ වර්ණ විය) සබ්බත්ථ පටිකන්තෝ භවාමි (සියලු‍ තැන්හිදී සියල්ලන්ට මනාලෙස ප්‍රිය වූයෙමි) මිත්තානං අචලෝ හෝමි (සියල්ලන්ට ස්ථිර ස්වභාව ඇති මිත්‍රයෙකු විම) යසෝ අච්චුග්ගතෝ මම (මා හට මහත් වූ පිරිවර සම්පත් විය) යන්නය.  


 එසේම දෙදෙව් ලෝකයෙහි අධිපති සක් දෙව් රජව අසූ වරක් උත්පත්තිය ලැබුවේය. හැත්තෑපස් වතාවක් සක්විති රජව උත්පත්තිය ලැබුවේය. ප්‍රදේශ පාලක රජව උත්පත්තිය ලැබූ වාර ගණන අනන්තය. මෙසේ දෙව් මිනිස් සම්පත් වින්දනය කරමින් පැමිණෙන අතර පශ්චිම භවිකව අප බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයෙහි සැවත් නුවර මහාසාර කුලයෙහි උත්පත්තිය ලැබුවේය.  


 වයස අවුරුදු සතක් පමණ වනවිට යහළු කුමාරවරුන් සමග සෙල්ලම් කරමින් සිටියදීම සැවැත් නුවර ජේතවනාරාමයට ගියෙමි. එහිදී මට එක්තරා රහතුන් වහන්සේ කෙනෙකුන් විසින් පංචසීලය සහිත සරණාගමනයද තථාගත සද්ධර්මයද දේශනා කරන ලදී. පෙර ජාතියෙහි සරණාගමනය සිහිපත් කළ මම එම ධර්මදේශනාව අවසන් වන විටම අරහත්වයට පත්ව ලොවුතුරු සුවයෙන් සුවපත් වීමි. දසබලධාරී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මා ගැන මනාව දැන වයස අවුරුදු හතක්වන මා උතුම් පැවිදි උපසම්පදාවට පත්කළ සේක. මෙයින් කල්ප අනූ එකකට පෙර සරණාගමනයට පත්වූ මම ගෞතම බුද්ධ ශාසනයෙහි එහි අග්‍ර ඵලය ලබාගත්තෙමි. 

 
 විපස්සී බුද්ධ ශාසනයෙහි සරණාගමනයට පත්වූ බැවින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණගමනීය තෙරුන් ලෙස මා නම් කරනු ලැබූහ.   
මෙසේ අප ඔබට ධර්ම ගවේෂී ලිපි පෙළ ඔස්සේ ලිපි තුනකින් මේ වනවිට මනුෂ්‍ය ජිවිතයේ වටිනාකම පිළිබඳවත් සරණාගමනයේ ආනිසංස පිළිබඳවත් සැකෙවින් අවබෝධයක් ලබා දුන්නෙමු. සරණාගමනයෙහි ආනිසංස තව බොහෝ ඇතත් මෙතැන් සිට ඉදිරි ලිපි පෙළින් සරණාගමනය කා විසින් කා හට දේශනා කරන ලද්දක්ද? කෙසේ කවර අරමුණක් නිමිතිකොටගෙන දේශනා කළේද යන්න පිළිබඳවත් විස්තර වශයෙන් කියාදෙන්නට බලාපොරොත්තු වන අදහසින් මෙතෙක් ධර්මය ඉගෙන ගැනීමෙන් ඔබ සැමගේ මෙලොවත් පරලොවත් නිවන් සුවය සඳහාත් මෙම පින් උපනිශ්‍රය වේවා ! යි මෙත් සිතින් ප්‍රාර්ථනා කර සිටිමු.