දශක තුනකට ආසන්න කාලයක් උතුරේ ත්‍රස්තවාදී අරගලය පැවතුණි. එහිදී ඇතිවුණු බිහිසුණු තත්ත්වය කෙතරම් වන්නට ඇත්දැයි ඉතිරිව ඇති නටබුන් දෙස බැලීමෙන් වටහා ගත හැක. විනාශයට පත් ගෙවල් දොරවල්, ගොඩනැගිලිවල ඉතිරිව ඇත්තේ ගරාවැටුණු බිත්ති කොටස් පමණි. කරටිය නොමැති දැවැන්ත තල් ගස් අහසට එල්ල කරන ලද යකාගේ කාලතුවක්කු හා සමානය. අදද ඒවා දැකීමෙන් සිතට ඇතිවන්නේ බියමුසු හැඟීමකි. කිසිදු හැලහොල්මනක් නොමැති අද දවසේ තත්ත්වය එය නම් සටන් පැවති මොහොතේ තිබෙන්නට ඇත්තාවූ බිහිසුණුකම කෙතරම් වන්නට ඇත්ද? මෙවන් අති භයංකර වාතාවරණයක් තුළ මරණ සහතිකය දෝතින් දරාගෙන සිටින සෙබළෙකුගේ මානසික තත්ත්වය කෙසේ වෙනනට ඇත්ද? තමන්ගේත් තම මිතුරු පාර්ශ්වයේත් ජීවිත රැකගෙන සතුරාට ප්‍රහාර එල්ල කරමින් සටන් කර ජයග්‍රහණය සඳහා උපරිම වෙහෙස දරමින් යුද පෙරමුණේ සිටින සෙබළෙකුට අත්විඳින්නට සිදුවන තත්ත්වය කෙබඳුද? කුසගින්නට යමක් කන්නට, තිබහට දිය උගුරක් බොන්නට, අධික මහන්සියට මඳක් විඩා හැර ගන්නට පුංචි ඉසිබුවක් හෝ ලබා දීම තීරණය කරනු ලබන්නේ සතුරාය. මම අවුරුදු 23ක සේවා කාලයක් තුළ මේ සියල්ල අත්විඳ ඇත්තෙමි. 
 
සෙබළා යැයි හැඳින්වීමේදී කෙනෙකුගේ සිතෙහි ජනිතවන්නේ එතරම් මටසිළුටු චිත්‍ර රූපයක් නොවේ. ඒ සෙබළ ජීවිතය අති කටුක වන බැවිනි. එහෙත් ඒ නිල ඇඳුමට යටින් අති දක්ෂ කලාකරුවන් සිටිනවා යැයි කිවහොත් ඔබ පුදුමයට පත් වනු ඇත. ඒවා විවිධ පැතිකඩ ඔස්සේ පැතිරී ඇති සහජ හැකියාවන්ය. විශේෂයෙන් හමුදා දිවියෙහි ඇති දහසකුත් එකක් පීඩනයන් හමුවේ එයට යම් පිටුවහලක් හෝ සහනයක් ලබා ගැනීම සඳහා කවි පද ගෙතීමට බහුතරයක් යොමුවන බැව් නම් මම දනිමි. අම්මාට, බිරිඳට, සිය පෙම්වතියට යවන ලිපි කවියෙන්ම පමණක් ලියන හමුදා සාමාජිකයින් මම අනන්තවත් දැක ඇත්තෙමි. ඒ කෙසේ වෙතත් දැඩි ව්‍යාකූලත්වයෙන් යුද පෙරමුණේ සිටින සෙබළෙකුට ඒ සියල්ල අමතක කරපියා කවියක පද ගළපන්නට හැක්කේ වී නම් ඔවුන් ඇත්තටම උපන් හපන්කම් ඇත්තන් විය යුතුය. 
 
කාව්‍ය නිර්මාණයකට පද හතරක් ගැළපීම මහ ලොකු කජ්ජක් නොවේ යැයි කෙනෙකු සිතන්නට පිළිවන. එය එසේ නොවේ යැයි මමද තර්ක නොකරමි. එහෙත් ඒවා කාව්‍ය නිර්මාණද එසේ නොමැතිව වචන ගොඩක් පමණක් දැයි දන්නෝ දනිති. උතුරුකරයේ දැවැන්ත ගොඩනැගිලිවල වහලවල් නොමැති අතර ඉතිරිව ඇත්තේ බිත්ති පමණි. එම බිත්තිවලත් තාප්පවලත් සෙබළුන් විසින් ලියා තබන ලද කාව්‍ය නිර්මාණ කීපයකි මේ.
 
කො යනු ටි යනු කොටි සිටියේ හතර වට
අ යනු පි යනු අපි නැග යුද ටැංකි යට
ක යනු ඩි යනු කඩි මුඩියේ ගොස් ඉස්සරහට
වෙ යනු ඩි යනු වෙඩි තැබුවේ සතුරනට
 
යුද ටැංකියක නැගී නොසිතු මොහොතක ඉදිරි ආරක්‍ෂක වළල්ල බිඳගෙන කොටි පාලන පෙදෙසට ගොස් ක්ෂණික ප්‍රහාරයක් එල්ල කළ ආකාරය මෙම කවෙන් ලියා තබා තිබුණේ එලෙසිනි. මෙයින් කියැවෙන්නේ තමනට කියන්නට අවශ්‍ය දේම පමණක් නොවේ. පද ගළපා ඇති ආකාරය සාමාන්‍ය කවියකට මෙන් නොව අමුතුම විලාසිතාවකටය. මෙහි පද ගැළපීම අපූරුය.
 
මේ තවත් සාමාන්‍ය කාව්‍ය නිර්මාණයකට වඩා එහා ගිය එවැනිම වූ කවකි. අවි අත දරනවාට වඩා මෙවන් වූ සාහිත්‍ය නිර්මාණයන්ට උපන් හපන්කම් දක්වන්නා වූ සෙබළුන් පෑන අතට ගත්තේ නම් ඉන් කලා ලොවට ගෙනදෙන්නාවූ ආලෝකය කෙබඳු වන්නට තිබුණේද? ඔවුන් සිය හැකියාවන් ඔස්සේ කලාකෙත අස්වැද්ද වූයේ නම් සියල්ලෙන් පරිපූර්ණ කලා නිර්මාණයන් බිහි වන්නට තිබුණේ නොවන්නේද?
 
බට්ටන්  අපේ දෙකකුල් කෙරුවත් මට්ටන්
මට්ටන්  කරමු කොටි පරපුර දැං නට්ටන්
නට්ටන්  වෙනවාට ඇයි මොනවද ඔට්ටන්
ඔට්ටන්  මගේ නිලතල ඔක්කොම පට්ටන්
 
සෙබළෙකු සාමාන්‍ය කෙනෙකු තරම් තම ජීවිතය පිළිබඳව ඉහළ තක්සේරුවක් නොකරන අතර පමණට වඩා බලාපොරොත්තු තබා නොගැනීම කවදා කොතැනක කුමන සිද්ධාන්තයක් මත ඔවුන් සිත්තුළ කිඳා බැස ඇත්දැයි මේ සබැඳිව අත්දැකීම් ඇති මා හට ද තවමත් ගැටලුවකි. තැනෙක මරණය තඹ දොයිතුවකටවත් මායිම් නොකොට ලියා තිබුණු කවකින් මේ බව මනාව ඔප්පුවන අතර මෙය ඊට කදිම නිදසුනකි.
 
යුද්දෙදි අම්මෙ මා මැරුණට නොහඬන්න
එඩිතර සිහළ මවකගෙ ගති පෙන්වන්න
මා මෙහි නැතත් ඒ හිස්තැන පුරවන්න
මගෙ ගිනි අවිය මල්ලිට හුරු කරවන්න
 
ආධුනිකයින් වශයෙන් යුද ඇඳුම ඇඟලා ගිනි අවිය අතට ගත් පළමු දිනය මට අද මෙන් මතකය. පෙට්ටි හැඩයට අප සරඹ පිටියේ පෙළගැස්වූ උපදේශකවරයා එල්ල කළා වූ ප්‍රශ්නයෙන් නාඹර වයසෙහි සිටි කවුරුත් වික්ෂිප්ත විය.
 
 “ඔබලාට පෙම්වතියන් සිටිනවාද?”
 
තිස් දෙනෙකු සිටි අප ඛණ්ඩයෙන් එක් අයෙක් හෝ දෙදෙනකු  “ඔව්” යැයි සඳහන් කළද අති බහුතරයක් වැට උඩ විය.
 
 “කමක් නැහැ. සිටියත් නැතත් හැම දෙනාටම ඔන්න යුද හමුදාවෙන් තමන්ටම කියල පෙම්වතියක් ලබල දීල තියෙනවා. හැමෝම එයාට තමන්ගේ පණ වගේ ආදරය කරන්න ඕනෑ. ආරක්ෂා කරන්න ඕනෑ. කිසිම අවස්ථාවක මෙයා කුමන හේතුවක් මත හෝ වෙනත් අයෙකු අතට පත්කිරීම සම්පූර්ණ තහනම්. ඒක අකුරට පිළිපදින්න ඕනෑ.”
 
යුද බිමේ සටන් පෙරමුණේ සිටියත් එක් සෙබළෙකුට තම බිරිඳ මෙනෙහි වීමත් ගිනි අවියෙන් ජීවිතයට නිරන්තරයෙන් ලැබෙන ආරක්‍ෂාවත් අසීමිත විශ්වාසයත් පදනම් කොටගෙන තම නිර්මාණශීලීත්වය මෙසේ පද හතරකට ගොනු කරන්නට ඇති බව පහත සඳහන් කවෙන් සහසුද්දෙන්ම පැහැදිලි වේ.
 
 
සොඳුරක් සිටී කඳවුර තුළ නැත තනිය
මම පෙම් කරමි ඇය හට ඔබටත් වැඩිය
කවුදැයි කියා එය ඔබ දැන ගත යුතුය
ඒ ප්‍රිය සොඳුර මා අත රැඳි ගිනි අවිය
 
තරුණ වයස ලේ රජකරන අවධිය යැයි කටකතාවක් මම අසා ඇත්තෙමි. ඒ නිසාමදෝ තරුණයෙකු යුද සෙබළෙකු වන්නට යම් කෑදරකමක් දක්වනවා ඇතැයි සිතන්නට පිළිවන. එහෙත් විරැකියාව දුප්පත්කම නිසා ඇතිවූ ආර්ථික ගැටලු හා මානුෂීය හේතූන් මතද බොහෝ පිරිසක් සිය ජීවන වෘත්තිය වශයෙන් හමුදාවට එක්වීම ප්‍රසිද්ධ රහසකි.
 
පිය උරුමයෙන් මාගේ ගත සිත දැඩිය
ජන්මෙන් ලැබුණු දස්කම් ඊටත් වැඩිය
වරමක් තිබුණමුත් යන්නට සරසවිය
දුප්පත්කමටමයි ගත්තේ ගිනි අවිය
 
මෙයට කදිම නිදසුන් අපගේ සේවා කාලය තුළ ඕනෑ තරම් අත්විඳින්නට අපට හැකි විය. වරක් සටනේදී මියගිය සෙබ‍ළෙකුගේ දේහය නිවස තුළට ගැනීම සඳහා ප්‍රධාන උළුවස්ස ගලවා අවැසි පහසුකම් සලසා ගැනීමට අපට සිදු විය. පියා අහිමි එම කුඩා නිවසේ ජීවත්වී තිබුණේ අම්මාත් කුඩා නැගණියත් ඔහුත් පමණි. තවත් සෙබළෙකුගේ දේහය තැන්පත් කරන්නට සිදු වූයේ අසල්වාසී වෙනත් නිවසකය. තවත් අයෙකුගේ ගමේ පන්සලේය. මෙවන් වූ ඉතාමත් දුක්ඛිත අවස්ථාවන්වලට අපි කොතෙකුත් මුහුණ පා ඇත්තෙමු.
හිට්ලර් දැවැන්ත යුද නායකයෙකි. ඔහුගේ ආඥාදායකත්වය ඉතාමත් කුරිරුය. වරක් ඔහු තම සෙබළුනට අණ කළේ රාත්‍රී කාලයට කඳවුර තුළ කිසිම ආලෝකයක් නොදල්වන ලෙසයි. මේ සබැඳිව දැඩි අවධානයෙන් සිටි ඔහු දිනක් රාත්‍රී නිරීක්‍ෂණ චාරිකාවක් කළේය. ඒ අතර ඔහු දුටුවේ කූඩාරමක් තුළ මුල්ලකට වෙන්නට ඉටිපන්දමක් දල්වාගෙන එහි ආලෝකය සිය හිස්වැස්මෙන් වසාගෙන ලිපියක් ලියමින් සිටින සෙබළෙකි. සෙබළාගේ පිටුපසට වී ලිපිය ලියා අවසන් වනතෙක් හොරෙන් බලා සිටි හිට්ලර් ඉන් අනතුරුව ඔහු ඇමතීය.
 
 
 
 
 
 “ඔය ලියුමෙ යටින් ලියනව, “මෙම ලිපිය ඔබට ලැබෙන විට මා ජීවතුන් අතර නොමැති වන්නට පිළිවන” කියලා”.
සෙබළා අණ අකුරටම පිළිපැද්ද අතර අවසන ඔහුට සිදුවූයේ හිට්ලර්ගෙන් වෙඩි කා මිය යන්නටය.
 
මෙම සිද්ධාන්තයෙහි බැලූ බැල්මට කුරිරු බවක් පෙනෙන්නට තිබුණද ඉහළින් ලැබෙන්නාවූ අණට එරෙහි වන්නට, වපර ඇසින් බැලීමට හෝ අභියෝගයට ලක් කරන්නට පහළ නිලයන් හට කිසිසේත්ම වෙනත් විකල්පයන් නොමැත. හිට්ලර්ගේ කඳවුර තුළ දැල්වුණ ආලෝකය සතුරාට නිරීක්ෂණය වූයේ නම් එක් සෙබළෙකුට නොව මුළු කඳවුරම මොහොතකින් සුන්නද්දූලි වන බව හිට්ලර් අවබෝධයෙන් සිටියද සෙබළාට ඒ ගැන වැටහීමක් තිබුණේද යන්න සැක සහිතය. කෙසේ වෙතත් එක් සෙබළෙක් පමණක් මිය ගොස් කඳවුර ආරක්‍ෂා වන්නට මෙය හේතු පාදක වූවා වන්නට විය හැක. මෙම සිදුවීම ගැන අසා දැනගන්නා කිසිවකු ඉන් මත්තට ඔහුගෙන් ලැබෙන අණක් දශමයකින් හෝ කඩ කරනවා ඇතැයි සිතිය නොහැක. මේ එම සිද්ධාන්තයට නෑකම් කියන්නාවූ නිර්මාණයකි.
 
රාජකාරි හැමදින මා යෙදවෙව්වා
රෑ මැදියමේ නිදිමත ඇස් පියවෙව්වා
දුරලනු පිණිස එය සිගරට් එක බිව්වා
දැක O.C., C.B. දෙන්නට කිව්වා
(C.B. යනු හමුදාවේ දැඩි දඬුවමකි)
 
මේ තවත් මෙවැනිම වූ රාජකාරි පැහැර හැරීමක් හෝ අත්වැරැද්දක් සිදුවීමෙන් ඇතිවූ අලකලංචියක් ඉතාමත් මටසිළුටු ආකාරයට බිත්තියක සටහන්ව තිබූ ආකාරයයි.
 
නාවට සීරුවට
O.C. ළඟින් යනවිට
බැණල වගෙ බල්ලට
දැම්මා ගාඩ් තුනක් පිට පිට
 
හමුදාවේ උසස් නිලධාරීන්ගෙන් ලැබුණ වැරදි තීන්දු තීරණ හේතුකොට ගෙන ඇතිවූ අනිටු ප්‍රතිඵල අතිශයින්ම බරපතළය. සමහරවිට ජීවිත සිය දහස් ගණනක් හෝ දේපළ විනාශ වන්නට තරම් මේවා අසීමිතය. තක්සේරුව මෙතෙකැයි කිව නොහැක. ඒවායෙහි භයානකකම තව තවත් වැඩිවන්නේ එම තීන්දු තීරණ එකහෙළාම මිනිස් ජීවිත හා බද්ධානුගතව පැවතීම නිසාවෙනි. තමන් ගත් තීරණයෙහි වැරැද්ද ගැන අවබෝධවන විට පෙරහැර ගොස් හමාරය. මෙයට කදිම එමෙන්ම ආසන්නතම උදාහරණයක් ලෙස පාස්කු ප්‍රහාරය හැඳින්විය හැක. ප්‍රහාරයක් ඇති වන බවට කල්තියා තොරතුරු ලැබී තිබියදීත් නිවැරදි තීන්දු තීරණ ගත්තේ නම් එම ව්‍යසනය සම්පූර්ණයෙන්ම වළක්වා ගන්නට තිබිණ. මේ නිසාමදෝ උසස් නිලධාරීන් සබැඳිව ද කාව්‍ය නිර්මාණ මෙන්ම කාටුන් චිත්‍රද ගරාවැටුණු බිත්තිවල බහුලව දැකිය හැක. මේ එවන් වූ ලොකු ලොක්කන් ගැන සටහන්ව තිබූ කාව්‍ය නිර්මාණයකි.
 
ලොක්කො කියන්නේ නිතරම අපි බූරුවො කියලා
ඒ උනාට අපි හිතන්නෙ උන් බූරුවො කියලා
අපිත් ඉතිං මී හරක්ට සර් සර් කියලා
අපි දන්නව අං තියෙන්නෙ මොළයක් නෑ කියලා
 
සමහර නිලධාරීන් අතර මෙවැනි අසාමාන්‍ය තත්ත්වයක් තිබුණද අති පූජනීයත්වයෙන් සලකන්නා වූ හමුදා නායකයන්ද නැත්තේම නොවේ. එමෙන්ම ජෙනරල් කොබ්බෑකඩුව ගැන යුද හමුදාවේ පමණක් නොව ත්‍රිවිධ හමුදාවේම සියලු කරාතිරමේ සාමාජිකයින් තුළ අත්ත පාත් කරගත්තාක් මෙන්  පැළපැදියම් වී තිබුණේ අසීමිත ගෞරවයකි. ඒ ඕනෑම බරපතළ අවස්ථාවක ඔහු ගත් නිවැරදිම තීන්දු තීරණ නිසාවෙනි.
 
බේරාගන්න බැරිවන විට කොටියගෙ මළ පුඩුව
දැනෙනව පොඩි මිනිහට නිතරම එතුමගෙ අඩුව
කාට කියන්නද අප හට සිදුවන අව නඩුව
යුද්ධෙට තිබු එකම කඩුව අපෙ කොබ්බෑකඩුව
 
යුද ජයග්‍රහණයන් ලබා ගැනීම සඳහා වඩාත්ම ජීවිත අවදානම තබාගෙන බිහිසුණු කාර්යභාරය කරපින්නා ගනු ලබන්නේ සෙසු නිලයන්ය. යුද පෙරමුණේ පළමුවන ඉලක්කය වන්නේ ඔවුන්ය. ඔවුනට නියෝග දෙමින් අණ දෙන්නන් සිටින්නේ පිටුපසිනි. එබැවින් වඩාත්ම ප්‍රහාරයන්ට ලක්වන්නේ පෙරමුණේ සිටින සෙසු නිලයන්ය. එහෙත් කිසි දිනෙක යුද ජයග්‍රහණයන්වල අයිතිකරුවන් බවට පත්වන්නේ අණදුන් නිලධාරීන් මිස සෙසු නිලයන් නොවේ. එහි පූර්ණ ගෞරවය ලබා ගන්නේද නිලධාරීන්ය. අස්වැන්න භුක්ති විඳින්නේද ඔවුන්මය. මේ ඒ ගැන ලියා තැබුණු කාව්‍ය නිර්මාණ කීපයකි.
 
යුද්ධෙ කෙරුවේ අපි උනාට හිස් මස් ලේ පුදලා
කොතැනද මුල් අසුන ලැබුණෙ අපිව අගේ කරලා
යුධ පිටියේ ඔළුව ගහන් බංකරයක ඉඳලා
කියන්න මට සටන් කෙරුවෙ තරු, ඔටුනුද කියලා
 
සෙසු නිලයන් නිලධාරීන් ගැන කුමන ආකල්පය දැරුවද අණ හා පාලනයකින් තොරව ආරක්‍ෂක හමුදාවන් තුළ කිසිවක් කළ නොහැක. එහෙත් අවැසි තැන වඩාත්ම නිවැරදි තීන්දු තීරණ ගැනීම නිලධාරීන්ගේ වගකීමම වන්නේය. එම වගකීම ඔවුන් ඉටු කරන්නට අපොහොසත්කම් දක්වන කල්හි ඇතිවන තත්ත්වය එසේ මෙසේ නොවේ. මේ එයට සාක්‍ෂි දරන්නාවූ තවත් කාව්‍ය නිර්මාණයකි.
 
වීරයෝ වාගේ ගහගෙන පට්ටන්
ඇතිවනතුරු මුන් නිලතල එල්ලන්
වෙඩි හඬ ඇහුනම බංකර ඇතුළේ
රිංගන් ඔක්කොම බැහැලා පල්ලන්
 
වෙල්ඩන් වෙල්ඩන් කියනව ලොක්කන්
සටනක් දිනුවම C.O. (අණදෙන නිලධාරි) අල්ලන්
අතපය ජීවිත පූජා කරලා
අපි ගුටි කෑවේ පැනලා ඉල්ලන්
 
යුද ජයග්‍රහණයක සින්නක්කර අයිතිකරුවන් තමන් යැයි ඒවායේ සියලු ගෞරවයන් සිය ගිණුමටම පමණක් බැර කර නොගෙන එහි කොටසක් හෝ ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපෙළ සටන් කළා වූ සෙසු නිලයන් හට පවරාදීමට නිලධාරීන් සදාචාරාත්මක වන්නේ නම් මෙවන් අපවාදයන්ට ඔවුන් ගොදුරු නොවනු ඇත.
 
පහළ මිසක ඉහළ බලන්නට නොහැකි විනය නමැති කඩතුරාවෙන් දෑස් බැඳ ඇති සෙසු නිලයින්ගේ දැඩි පීඩනය හමුවේ මෙවන් වූ නිර්මාණයකින් හෝ සංඥාවක් ලබා දීමට ගත් දෝෂාරෝපණයකි මේ.
 
පස්ස රත්වන තුරු - නිදි යහනෙ ඉඳ සැපට
නිදි නැතිව බන්කරේ - මදුරුවන් තැලු අපට 
එළිවෙලා ඇවිදින් - නිකරුණේ බණින කොට
අම්මප හිතෙනවා - කොටි ගහල මදි තොපිට
 
මෙවන් වූ අපවාද අතර අතිශයින් සංවේදී කාව්‍ය නිර්මාණද නැත්තේම නොවේ. යුධ පෙරමුණේ සිටියා වූ එක් සෙබළෙකුගේ බිරිඳට දරු ප්‍රසූතිය සඳහා ආසන්නව සිටියද ඒ මහඟු අවස්ථාවට පවා ඔහුට සහභාගීවීමට නොහැකි වීම කෙතරම් දුක්ඛදායකදැයි මනසට අභියෝග කරන අතර ඒ සබැඳිව ඔහු හදවතින් කම්පා වුවද  සිත දැඩි කරගෙන සිය සිතුවිලි කවියට නඟා තිබුණේ සංවේදී හදවත්වලට කඳුළක් එක් කරමිනි. 
 
 “මගේ රත්තරන් මේ යුද පෙරමුණ දාලා මට එන්න විදියක් නැහැ. මම දන්නවා මේ වෙලාවේ ඔයා ළඟ සිටිය යුතුමයි කියලා. ඒත් බයවෙන්න එපා මම මේ ගනුදෙනුව බේරගෙන කොල්ලට රටක් දිනාගෙන එන්නම්. එතෙක් ඔයා හොඳ කොලු පැටියෙක් වදන්න.”
 
බිරිඳට පළමු දරු පැටියා ලැබෙන කොට
මා ළඟ නොමැති අඩුපාඩුව දැනෙන කොට
බෑ වාවන්න හිත කඳුළින් තෙමෙන කොට
මොනවා කරන්නද යුද පෙරමුණේ කොට
 
මගෙ රත්තරනෙ කොලු පැටියෙක් වදාපන්
එඩිතර නුඹේ තනකිරි ටික පොවාපන්
හොඳ සිංහල නමක් කොල්ලට තියාපන්
යුද්ධය දිනන් මං එන බව කියාපන්
 
සෙබළා දුක් කම්කටුළු කප්පරක් මැද වුවද ඒ සියල්ල මතින් ලැබෙන පුංචි දෙයකින් සිතට යම් සැහැල්ලුවක් සතුටක් ලබා ගැනීමට යත්න දරණ බව මම අත්දැකීමෙන් දනිමි. ආත්මාර්ථකාමීව එම සතුට භුක්ති විඳින්නට හේ අකැමැතිය. එය සියල්ලන් හා බෙදා හදා ගැනීම ඔවුනටම ආවේණිකය. එබැවින් යුද බිමේ කුරුටු ගී අතර හාස්‍ය උත්පාදන නිර්මාණයන්ද එමටය. මේ එවන් වූ නිර්මාණ කිහිපයකි.
 
විරැකියාවෙන් - නොපෙළුනානම්
මේ දුකක් අද නෑ
එදා සිළුමිණ නොබැලුවානම්
මෙදා කඳුළක් නෑ............//
තිත් පෙළක් ඉරි දෙකක්
මෙදා කඳුළක් නෑ
 
 
යුද හමුදාවට ආධුනිකයින් බඳවා ගැනීමේ අයදුම්පත පළවී තිබෙන්නට ඇත්තේ සිළුමිණ පත්තරේ වන්නට ඇත.
 
කොටි පාලනයට නතුව තිබූ පෙදෙස් මුදවා ගැනීමෙන් අනතුරුව ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව රඳවනු ලැබ තිබිණ. එවන් පෙදෙසක ගුවන් හෝ නාවික සාමාජිකයෙකු බිත්තියක මෙසේ සටහන් කොට තිබිණ.
 
අතන මෙතන කොතන උනත්
යන යන තැන ජයයි
ලස්සන - වස්සන දැක්කම
නේවි, ගුවන් එකයි
 
කෙසේ වෙතත් යුද හමුදා සෙබළෙකුට මෙය දැකීමෙන් ඔවුන් මෙම භූමිය දිනා ගැනීමේ මෙහෙයුම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ හැටි මෙනෙහි වන්නට ඇත. එබැවින් ඒ ගැන ඇති වූ ක්‍ෂණික ද්වේෂයෙන් ඊට යටින් මෙසේ ලියන්නට ඇතැයි උපකල්පනය කළ හැකියි. 
 
බම්බුව නම්බුව තිබුණට
ආමි එකට බයයි
අනං මනං කිව්වට තොපි
අපි නැත්තං.........
 
කෙසේ වෙතත් පිළිතුර සම්පූර්ණ කර ගැනීමට තරම් ඔබ බුද්ධිමත් යැයි මම සිතමි.
 
 
 
පියසිරි අජිත් ලියනගේ
වත්තෙගම – දික්වැල්ල.