මාටින් අයියා මාගේ අයියා කෙනෙකු නොවේ. මාගේ ඥාතියකු ද නොවේ. එකල සිරිත වූයේ ළාබලයකු වැඩිහිටියනට ආමන්ත්‍රණය කිරීමේ දී කුලභේදයකින් තොරව ඔවුන්ගේ නමින් කතා නොකිරීමයි. එහෙත් මාටින් අයියා මාගේ යහළුවකු විය. ඔහු ජීවත් වූයේ අප සතු කුඹුරක කමතේ කුඩා පැලක් අටවාගෙන, තම අඹුදරුවන් සමග ය. රැකියාව වශයෙන් කළේ අසල කුඹුරුවල වැඩට සහයවීමෙන් ලබාගන්නා ලද කුලී මුදලෙනි. එයට අමතරව, වැඩි ආද‌ායමක් වශයෙන් කුඩා වළං පෝරනුවක් පවත්වා ගෙන යන ලදී. නමුත් ඉන් ලැබූ ආද‌ායම ද සොච්චමකි. ඔහු මගේ හිතවතකු නොවුවත් මා ඔහුව හඳුනා ගන්නා විට ඔහුගේ වයස මාගේ වයස මෙන් තුන් ගුණයක් විය. පෙනුමෙන් ඔහු කරුණාවන්ත ප්‍රසන්න මිනිසෙකි. එම නිසාම ඔහු මා සිත් ගති. නිතර මා ඔහු සමග වෙල්යායේ ඇවිද ගියා පමණක් නොව සමහර අවස්ථාවල දී කමතේ වාඩිවී සිට ඔහු මා හට පැරැණි කතන්දර ද කියාදෙන ලදී. ඒවා ඇසීමට මම වඩාත් ප්‍රිය කළෙමි.   


දිනක් මා ඔහුගෙන් ඇසුවේ ‘මාටින් අයියාට පුංචි කාලයේදි සිද්ධ වූ අමතක නොවන සිද්ධීන් නැද්ද?’ කියාය.   


‘ඇයි මහත්තයෝ නැත්තේ එක සිද්ධියක් නම් මට අද මෙන් මතකයි, අපේ තාත්තාට සිටිය එකම පුතා මම අනෙක් දෙදෙනා මගේ නංගිලා. ඒ කාලේ අපට ඉස්කෝලේ යෑමට තරම් වත්කමක් තිබුණේ නැහැ. මා දහවල් කාලයේ තාත්තගේ වැඩට උදව් කළා. අපේ බරබාගෙ කරත්තයක් තිබුණා. ඒක ලැබිලා තිබුණේ අපට අපේ මුත්තාගෙන්.   


සමහර දවස්වලදි තාත්තා කඩමණ්ඩියට වී කුලී බඩු ඇද්ද‌ා. හන්දිය සිට මුහුදු වෙරළට තිබුණේ සැතැක්ම හතරක් විතර. නමුත් වැලිපාර. එම නිසා වාහනයක් යෑමට නුපුළුවන් වූ මේ පාරේ වාහනයක් එලෙසට යෑමට පුළුවන් වූයේ කරත්තවලට පමණයි. තාත්තා කළේත්, වැල්ලේ මාදැල්වලින් ගොඩ අදින බලයන්, කෙලවල්ලන් වැනි ලොකු මාළු නගරයට ගෙන ඒමයි. නගරයේ සිට මෙම මාළු කොළඹට ගෙන ගියේ හන්දියේ තිබූ ලොරි බාගවලිනි. මෙයට අමතරව තාත්තා අවුරුද්දට වරක් දෙවරක් විතර අප පවුලේ සියලු දෙනා එකතුවී සාදන ලද මැටි හැළිවලං රැගෙන පන්සල්, පල්ලි, උත්සවවලට ගොස් විකුණා තවත් කීයක් හරි හොයා ගැනීමයි.   


මේ සෑම ගමනකදීම මාවත් රැගෙන යෑම තාත්තාගේ සිරිතයි. මාත් මෙම ගමන්වලට සහභාගි වූයේ ඉතාමත්ම සතුටිනි. එලෙස සෑම වසරකම නවගමුව දේවාලයේ උත්සවයට වළං වෙළෙඳ‌ාමේ යෑමෙන් අපි වැඩිපුර මුදලක් සොයා ගත්තා. ගෙදරට මාස කීපයකට සෑහෙන අඩුම කුඩුම රෙදිපිළි වැනි දෑ මිලදී ගත්තේ මින් ලැබූ ආද‌ායමෙනි. අපේ ගමේ සිට නවගමුව ඇත්තේ සැතපුම් පනහක් පමණ දුරින්. සුමානයක සිට අපි මේ ගමන ලෑස්ති වුණා. මුළු කරත්තයෙම වළං පටවාගත් අපි දෙදෙනා කලින් නියම කරගත් දිනයක දී පාන්දර හතරට පමණ පිටත් වුණා. අපගේ රාත්‍රී ආහාරය අම්මා විසින් පිළියෙල කර දී තිබුණා.   


‘මහත්තයාට කියන්න ඒ කාලයේ පාරවල්වල මෙතරම් තදබදයක් තිබුණේ නැහැ. පාරත් පටුයි වාහනයක් එහාට මෙහාට ගියේ ඉඳ හිට. කොටින්ම කීවොත් පාරෙ වාහන අඩුකමින් ගස්වලින් වැටුණ කොළ රොඩුත් පාරේ හැම තැනම විසිරිලා. කරත්ත රෝදයට ඒවා යට වී ඇතිවන ශබ්දය අදත් මට ඇහෙනවා වාගේ. අපි මෙලෙස මීගමුවට ළඟා වන විට හොඳටම හවස්වෙලා. ගොනාට ඇති තරම් පිදුරු අපි එනවිට ගෙනාවා, මොකද? අපගේ ගමන් කාලය දින හතරක් පහක් වන නිසා. අපි මෙසේ දඬුගම පාලම ළඟට ළඟාවනවිට සවස හයට විතර ඇති.   


තාත්තා පාලම බැස්මේ පාමුල තාත්තාට පුරුදු ඉඩමක කරත්තය ලිහා ගොනාට පිදුරු ළංකර වතුර ද බොන්නට දී උෟට සැහැල්ලුවක් කළා. ඉන්පසු අපි දෙදෙනා බත්මුල් ලිහාගෙන කාලා ගෝනිපඩංගු එළාගෙන කරත්තය අසලම නිදා ගත්තා. නමුත් එළිවෙන තුරු ලන්තෑරුම දල්වා තිබුණා. ඒ කාලයේ සොර සතුරො නැත්තේ ද නෑ. අපි මුදල් අතේ නැති අහිංසක මිනිසුන් නිසා අපිට ඔවුන්ගෙන් කිසිම හිරිහැරයක් වුණේ නැහැ. බස්සකුගේ හඬට කන්දී සිටි මට ඉබේටම නින්ද ගියා.   


උදේ හතට පමණ නැගිට ගත් අපි ගොනාට පුන්නක්කු ද බොන්නට දී ඊළඟ ගමන් මඟට සූදානම් වුණා. උදේ ආහාරය අසල කඩයකින් සප්පායම් වුණා. ඒ කාලයේ සුදු අාප්පයක් සත පහයි. නිකං තේකක් සත තුනයි. පනං හැටකින් ඒ කියන්නේ සත පනහකින් පමණ අපගේ උදේ වේල පිරිමහගන්න පුළුවන් වුණා. අපි උදේ දහයට පමණ නැවත කරත්තයට නැග්ගා, ගමේ වැලි පාරේ බඩු ඇදපු අපේ ගොනාට තාර ද‌ාපු මහ පාරේ ගමන් කිරීම ඉතා සුළු දෙයක් විය. අපි මෙලෙස කොළඹට සෙමින් සෙමින් ළඟා වුණා.   


රාත්‍රී හතරට පමණ ඔලියමුල්ලේ බෝක්කුව ළඟට කිට්ටු වුණා. ඔලියමුල්ල බෝක්කුව කියන්නේ ඒ කාලයේ හොරුන්ගේ තිප්පොළක්. එය පිහිටා තිබුණේ අද තිබෙන වත්තල පොලිසියට ඉතා ආසන්නවයි. මේ ප්‍රදේශයේ තිබුණේ අන්දිරිස් ගොයියාගේ පාලනයේ යටතේ බව තාත්තා කිව්වා. එයා එම ප්‍රදේශය එනම් පෑලියගොඩ දක්වා තම අණසක පැතිරවූ ගණන්කාරයෙකි. තාත්තා කලක සිට ඔහුව දැන හැඳින සිටිය කෙනෙක්. ඒ කාලයේ මේ වාගේ ගණන්කාරයෝ හැම හන්දියකම රජකරා.   


මේ වනවිට අප දහවල් ආහාරය ද නොගෙන සිටි නිසා හැඳල හන්දියේ කරත්තය නවතා කුඩා බත් කඩයකින් ආහාර ගෙන ටිකක් ගිමන් හැර නැවත ගමනට පිටත් වුණා. අපි මෙසේ පෑලියගොඩ වික්ටෝරියා පාලම ළඟට කිට්ටු වනවිට ඇඳිරි වැටී තිබුණා. එකල කොළඹ විදුලි පහන් තිබුණේ නැත. වික්ටෝරියා පාලම උඩ දැල්වුණේ ගෑස් ලාම්පුයි. මට මතක හැටියට පාලම දෙපැත්තේ ගරාදි උඩ ගෑස් ලාම්පු දහයක් පමණ දැල්වුණා.   


අපි පාලම පසුකොට මාදම්පිටිය හන්දියෙන් සේදවත්ත දෙසට හැරුණා. කොළඹ, කොළොන්නාව මායිම් වන දේදුනු පාලම ළඟට සේන්දු වනවිට රාත්‍රි හතට කිට්ටු කර තිබුණා. අපට ඉතිරිව තිබුණේ ගමනාන්තයට තවත් සැතපුම් දහයක් පමණ බව තාත්තා කීවා.   


පාලම අසල රේන්ද කුටියේ සිටියේ තාත්තා කලක් සිට දැන හැඳිනගෙන සිටි බෙලේනිස් ආතාය. එකල ඔහු තොටළඟ ගණන්කාරයා වූ අතර සේදවත්තේ සිට වැල්ලම්පිටිය දක්වා අණසක පවත්වාගෙන ගොස් ඇත්තේ සේද වත්තේ අමාරිස් බව තාත්තා පැවැසුවා. නමුත් මා ඔහුව කිසි දිනක දැක තිබුණේ නැහැ.   


මාටින් අයියලාට මෙතැන් සිට නවගමුව දක්වා ඇති ගමන්මග අති දුෂ්කර එකක් විය.   


අප ගමන් ගත් මගෙහි වම් පෙදෙස කැලණි ගං තීරුවයි. අප කරත්තයේ ලන්තෑරුමේ එළිය හැරෙන්නට පාරේ වෙනත් කිසිදු ආලෝකයක් නැහැ. මූසල අඳුරු රැයේ ඉඳහිට බල්ලෙකු උඩුබුරන ශබ්දය පමණක් ඇහුණා. අපි පසුකර යන සේදවත්ත වලව්වේ දැල්වූ විදුලි පහන් ආලෝකය පමණක් පාරට වැටී තිබුණා. එය විදුලි යන්ත්‍රයකින් ක්‍රියාත්මක වූවක් බව පසුව දැනගත්තා. පාරේ අපගේ කරත්තය හැරුණ විට කිසිදු වාහනයක් දක්නට තිබුණේ නෑ. ගෙවල් තිබුණේ ද ඈතින් ඈතට වන්නටයි. වෙල්යායවල් දක්නට නොතිබූ අතර වැඩි වශයෙන් දිස්වූයේ මඩගොහොරු සහිත වගුරු බිම්. මෙලෙස අපි කිත්තංපහුවට ළඟා වනවිට අඹතලේට යන අවසාන බස් රථය ද මුණගැහුණා. කඩමංඩියක් වත් නොතිබූ මෙම අවදියේ වැඩි වශයෙන් දක්නට ලැබුණේ අතහැර දමාගිය පාළු ගඩොල් පෝරනු පමණි. තාත්තා කී​ෙව් අපට රාත්‍රී දහය පමණ වන විට නවගමුව දේවාලය අසලට පැමිණිය හැකි බවයි. නවගමුව දේවාලයේ උත්සවය පටන් ගන්නේ​ හෙට උදේ පාන්දරයි.   


මා හට අමක නොවන එම මූසල රාත්‍රිය අමාවක දිනයක් වුණා. කරත්තය කඩතොලු පාර දිගේ නිදැල්ලේ ගමන් කරයි. තොරතෝංචියක් නැති මහවවුලන්ගේ කෑමොර ගැසීම හිතට බය ගෙනදෙන සුලුයි. කරත්තය දක්කන අඩ අඳුරේ තාත්තාව මට මද වශයෙන් පෙනුණා. මා නිදිබර ගතියකින් පසුවූවා. කිත්තංපහුව පසුකර මෙසේ පැමිණෙන අපට අතරමග දී අමු සොහොනක් පසුකර යෑමට සිදුවුණා. එදා අමු සොහොනේ මළ මිනියක් පිච්චෙමින් තිබුණා. ඉන් පැතිරුණු ආලෝකය හාත්පස ආලෝකමත් කළා. සො​ෙහානේ පිච්චෙමින් තිබුණේ එදා සිදුකළ මිනියකි. කළුවරේ ගමන්කරන අපට එම දර්ශනය ඍජුවම පෙනුණා. මා​ෙග් හිතට මහත් බියක් දැනුණා. යහළුවන් පවසා තිබූ ​ෙහාල්මන් කතා ද සිහියට ආවා. අපගේ ගොනා ද තරමක ​නොසන්සුන් තත්ත්වයක සිටි බව තාත්තාට දැනී තිබුණා. එහෙත් තාත්තා ළඟ සිටි නිසා මාගේ බය තරමක් පහව ගියා. ඈතින් ඇසෙන්නේ බල්ලෙකු​ෙග් උඩුබුරන හඬයි. දැල්වෙමින් තිබුණු සො​ෙහානේ අසල යමෙකු ගැවසෙනවා අපට පෙනුණා. එම රූපය දිස් වූයේ ද අඩ නිරුවතින්. කරත්තය නතර වුණා.   
තාත්තා ඒරියා කඳෙන් බැස කරත්තයේ ලණුව ​ෙරා්දයේ ගැට ගසන ලදී. මා එ​වේලේ ඇසුවේ ‘‘තාත්තේ ​හොල්මනක් ද?’’ කියාය. ‘‘නැහැ කොලුවෝ අපි බලමු මොකටද එන්නේ කියලා’’ තාත්තා කිව්වා. තාත්තා හීන්දෑරී කෙසඟ පුද්ගලයෙකු වුවත්, ඔහු නිර්භීත අයෙකු බව මම ​හොඳින් දැන සිටියා. අපට ආයුධයක් වශයෙන් තිබුණේ තාත්තාගේ ඉණේ ගසාගෙන සිටි දුනු පිහිය පමණයි.   


හොන්මනක් සේ පෙනුණු එම රූපය වරෙක හිඳ ගනී. වරෙක හිට ගනියි. මාගේ දෙපා වෙවුලන්නට වුණා. මා තාත්තාගේ අත තදින් අල්ලා ගතිමි. එවේලේ තාත්තා කීවේ ‘‘බයවෙන්න එපා කොල්ලෝ අපි ළඟට ගිහින් බලමු මොකාද කියලා’’ කරත්තය නැවැත්වූ තැන සිට ගිනි ඇවිළෙන ​සොහොනට ඇත්තේ තවත් යාර විස්සක් පමණයි. අපි දෙදෙනා සෙමින් සෙමින් එදෙසට කිට්ටු කළා.   


අඩ නිරුවත් හොල්මන වරෙක සිටගත් අතර, වරෙක හිඳ​ෙගන අපි දෙස බලා විරිත්තුවා. ඇඳිරි රාත්‍රියේ ගිනි එළියෙන් ඔහුගේ දත් හෑල්ල පමණක් පොල් කෑල්ලක් මෙන් දිස් විය. තාත්තා උස් හඬින් ‘‘කවුද යකෝ, උඹ’’ කියමින් වැරෙන් ශබ්ද නැගුවා. දැන් හොල්මනත් අපිත් අතර වූයේ අඩි දහයක පමණ පරතරයකි.   


හොල්මන අප දෙස බලා විරිත්තුවා පමණි. කතා කළේ නෑ. ඒ වෙනුවට අතින් පමණක් සංඥා කළා.   


තාත්තා ‘‘මූ ගොළුවෙක්’’ යැයි කියමින් මා ​ෙදස බැලුවා. ඔහුගේ නොපීරූ කොණ්ඩය යකෙකුගේ මෙනි. තිබුණේ ඉණේ රෙදි කඩක් පමණි. ඇත්තෙන්ම ​ෙහාන්මන ​​​​​​ෙහාල්මනක් නොවීය. ඔහු උස වයෝවෘද්ධ මිනිහෙකි. මින් මා සතුව තිබූ බිය ටිකෙන් ටික පහව ගියා. දැවී අවසන් වී තිබූ සො​ෙහානේ අඟුරු අතරින් ඔහු යමක් එළියට ඇද්දේය. එය භාගයට පිච්චුණ මඤ්​ෙඤාක්කා අලයකි.   


ඔහු එය අමාරුවෙන් ​පොතු ගසා කන්නට විය. ඒ දෙස බැලූ අපට පෙනී ගියේ ඔහු දින තුන හතරක් කුස ගින්නේ සිටිය අයෙකු බවයි. ඇත්තෙන්ම ඔහු පිස්සෙකි. අපිරිසිදුකම නිසා ඔහුගේ මුළු ඇඟපතම ජරාවාස වී තිබුණා. උඩු කය පුරාම අළු තවරාගෙනය. ඔහු ඉතා ආශාවෙන් මඤ්ඤොක්කා කන අතර අප දෙස අහිංසකව බැලුවා. ඔහු කර ඇත්තේ කිට්ටුව තිබූ ඉඩමකින් මඤ්ඤොක්කා අල කිහිපයක් ගලවාගෙන ගිනි අඟුරු ගොඩට දමා තම්බා ගැනීමයි. අල එහාට මෙහාට කරද්දී ඇවිස්සුණු ගිනිදැල් තමයි අපට ඈතට දිස්වුණේ.   
තාත්තා පැවසුවේ සමහර විට ඔහු පිස්සන් කොටුවෙන් පැන ආ පිස්සෙකු බවයි. මන්ද? මුල්ලේරියාවේ පිස්සන් කොටුව ද වැඩි ඈතක නොවේ. තාත්තා මට කීවේ ‘‘මේ මිනිහා අහිංසක මිනිහෙක් පුතේ, දින ගණනකින් ඔහුට ආහාරයක් ලැබිලා නැහැ. ඒකයි මේ. අපි කාටත් බඩගින්න පොදුයි. දැන් බලන්න, පුතයි මමයි ගෙදරින් ​ෙකාච්චර දුරක් ඇවිල්ලද කියලා’’ තාත්තාගේ මෙම දෙබස් අද මෙන් මගේ මතකයට නැගෙනවා.   


අපි මෙසේ නවගමුව දේවාලය අසලට පැමිණෙන විට පාන්දර පහට පමණ වී තිබුණා. දේවාලය අසල සෙනඟ පිරිලා. බැතිමතුන් පාන්දර ඇවිල්ලා. වෙළෙන්දෝ ද බොහොමයක් ඇවිත් තිබුණා. මන්ද දේවාලයේ උත්සවය හෙට නිසා. තාත්තා පාර අයිනේ කරත්තය ගාල් කර ගැනීමට සුදුසු ස්ථානයක් විපරන් කරා. තාත්තා තවත් වළං කරත්තයකට යාබදව අපේ කරත්තය නතර කර සියලුම වළං බාලා පිළිවෙළකට ගොඩ ගැසුවා. එළිවේගෙන එනවා. දැන් මගේ සිතට තරමක සැහැල්ලුවක් දැනුණා. නමුත් එදා හොල්මන මතක් කරන විට ඇඟේ රෝම කූප පවා ඉස්සෙනවා’’ කියා මාටින් අයියා ඔහුගේ දෑත් මට පෙන්නුවා.   

 


මහවැව බුද්ධි මහානාද