දුම්බර අඩවියේ අතහැර දැමූ ඉසව් සොයා-4

නකල්ස් කඳු වැටිය

 

  • රක්ෂිතයේ දෙවැනි උසම කන්ද මෙම කඳුවැටියයි 
  • දුම්බර ප්‍රධානතම නිල සංචරණ මාර්ගය ​ෙවන්නේ මෙයයි 
  • බඹරැල්ල සහ තංගප්පුවෙන් ඇරැඹෙන සම්මත වන පෙතයි 

 

 

දුම්බර වන පෙතේ සංචාරක ආකර්ෂණය දිනාගත් සුන්දරතම සංචරණ මාර්ගය වනුයේ දුම්බර කඳුවැටිය තරණය කිරීමය. නකල්ස් රක්ෂිතය යන නාමය තුළට ගැබ්ව ඇත්තේ අතැඟිලි මිට මෙළවූ හැඩයක් සහිත නකල්ස් (Knuckles) කඳුවැටිය නිසාවෙනි. බැලූ බැල්මට මෙහි ප්‍රධාන වශයෙන් කඳුවැටි පහක් පවතියි. තනි කඳුවැටියක් ලෙස තිබුණ ද මෙම කන්දට පසෙකින් අලුගල් කන්දත් අනෙක් පසින් රිළාගල හෙවත් ගෝණ්ණ කන්දත් සම්බන්ධ වී ඇත. දුම්බර තතිකාවත තුළ ජන ජීවිතයට වඩාත් සමීප වූ කන්දක් ලෙස මෙය ප්‍රචලිතය. 


උසින් මීටර් 1865ක් පමණ වන මෙම කඳුවැටිය දවටගල ස්වභාවික මංපෙත ලෙස හඳුන්වයි. මෙම මංපෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිත නීත්‍යනුකූල මාර්ගයකි. මෙම මංපෙත ඉසව් දෙකක් ඔස්සේ තනා ඇති අතර එය නකල්ස්හි සුන්දරතම ගම්මාන දෙකක් වන බඹරැල්ල සහ තංගප්පුව යාකරනු ලබයි. 
මහනුවර සිට කටුගස්තොට හරහා මඩවලට පැමිණ පසුව පන්විල, හුළුගඟ හරහා බඹරැල්ලට ළඟා විය හැකි අතර බඹරැල්ලේ සිට එම මාර්ගය තවදුරටත් ගෝමරය හරහා රංගලට යාවෙනු ලබයි. රංගල සිට තංගප්පුවට යා හැකි අතර ප්‍රධාන වශයෙන් කි.මී. 30කට වැඩි දුරක් මහාමාර්ග ඔස්සේ පවතින නමුත් බඹරැල්ල හා තංගප්පුව වෙන් කරන ප්‍රධාන කඳුවැටිය ලෙස නකල්ස් කඳුවැටිය පවතියි. 
නකල්ස් කඳුවැටිය යනු පොකුරු කඳු පන්ති පවතින දුම්බර වන පෙතේ වඩාත් සුවිශේෂී කන්දකි. මෙහි දැඩි ජෛව විවිධත්වයක් සහ ශාක විවිධත්වයක් ඇති අතර අනෙක් පසින් අධික සුළං ප්‍රවාහයක් සහ මීදුම් පතනයක් ද පවතියි. බඹරැල්ලේ සිට ගමන් කරන ප්‍රධාන සංචරණ මාර්ගය කි.මී. 8කට පමණ ආසන්න වන අතර මෙය ක්‍රමවත් ලෙස නිර්මාණය කරන ලද මාර්ගයකි. එය තැනිතලා පල්ලම් සහ අඳුරු වන පෙත මැදින් කඳුකරය ඉහළට ඇදෙයි. 
 එම මාර්ගයේ යන විට පළමු කඳුවැටියට ප්‍රථම හමුවන එකම මාර්ගය බෙදෙන ස්ථානය යනු දකුණු පසින් තංගප්පුව සිට පැමිණෙන මාර්ගයයි. මාර්ග ද්විත්වයම මෙහි එකතු වන බැවින් වම් පැත්තට ගමන් කිරීමෙන් නකල්ස් ප්‍රථම කන්ද කරා ළඟා විය හැකිය. 


කෙසේ හෝ අප එදින උදෑසනම බඹරැල්ල වෙත පැමිණියේ යතුරුපැදි මගිනි. හිමිදිරි චිරි චිරිය තිබුණ ද නොනවත්වාම අප පැමිණියේ එය එතරම් තද වරුසාවක් නොවුණු හෙයිනි. හුළු ගඟ පසුකරන විට අලංකාර හුළු ගඟ ඇල්ල ද නැරැඹූ අපි ඉදිරියට ඇදෙත්ම රිළාගල කන්දෙන් ගලන කුඩා දියවරක් දුටුවෙමු. තවමත් නකල්ස් යෝධයා සුව නින්දේය. ඒ මිහිදුම් සළු පොරවගෙනය. 


බඹරැල්ලේ තිලකා වෙළෙඳසල පසුකරගෙන ගෝමරේ ගම්මානයට දිවෙන ගල් බොරලු පිරි දුෂ්කර මගේ සෙමින් සෙමින් ඉදිරියට ඇදුණ අපි ක්‍රමයෙන් ජනාවාස අතරින් ඈතට යන්නට වීමු. ඉන්පසු අප ළඟා වූයේ මාර්ගයේ කෙළවර පිහිටි අවසාන නිවස වෙතය. කඳු වළල්ලකින් වටවුණු මෙම නිවස පිහිටියේ හුදෙකලාවය. එහි කුකුළන් හා එළුවන් සත්ව පාලනය වශයෙන් කරගෙන යන අහිංසක ගැමි පවුලක් විසූ අතර අහළ පහළ පිහිටියේ ඔවුන්ට අයත් කුඩා තේ වතු යායක් බව අපට පවසන ලදී. 
එහි සිටි තරුණයකු සමග අප කතාවට වැටුණේ අප නොදන්නා පැරැණි විස්තර හෝ විශේෂ සිදුවීම් පිළිබඳ දැනගැනීමටය.  
“ඉස්සර වගේ නෙවෙයි මහත්තයා, දැන් නම් මේ පැත්තෙන් ගොඩක් ලෝකල් අයයි ෆොරිනස්ලයි එනවා. සමහර වෙලාවට තනියම එන කට්ටියට මග පෙන්නලා අපිත් හොඳ ආද‌ායමක් ගන්නවා. සමහරු වැඩියෙනුත් දීලා යනවා. මොකද මෙතන ඉඳන් පස්වෙනි කන්දට පාර තිබ්බට මේ පැත්තෙන් දිවියා එහෙම ඉන්න පුළුවන්. ඒ හින්ද‌ා අපි සංචාරකයින්ව ආරක්ෂා සහිතව එක්කරගෙන යනවා. 


අනික මම වගේම අහළ පහළ ගම්වල අය වන සංරක්ෂණයේ මහත්වරු යටතේ මගපෙන්වන්නන් විදියට ලියාපදිංචි වෙලා ඉන්නේ. මොකද මේක නිල මාර්ගයක් හින්ද‌ා, නීතියේ විදිහට ටිකට් එකක් අරන් යන්න ඕනෑ. ගොඩක් සුදු නෝනා මහත්වරු අපෙන් ඉල්ලල ටිකට් ගත්තත් ලංකාවේ මිනිස්සු නම් එනවා ටිකට් ගන්නේ මුකුත් නෑ ඔහේ යනවා. කෑම බීම වතුර හොඳට ගෙනියන්න ඕනෑ. මොකද උඩ වතුර නැහැ. 
 අනික නිතරම මීදුමෙන් මේ පැත්තම වැහිල තියෙන්නේ. පොඩි පොදයක් යන කාලෙට එහෙම සෑහෙන්න කූඩැල්ලෝ ඉන්නවා. ඉස්සර අපේ ආතලා නම් ඔය අඩි පාර තියෙන ඉසව්වෙන් ගොඩක් දුරට යනකන් එක එක වගාවන් කළා. එනසාල් වගේම තේ වගාවත් කරලා තියෙනවා. පස්සේ රජයෙන් ද‌ාපු නීතියත් එක්ක එයාලා කැලෙන් පිටවෙලා ගෝමරේ, බඹරැල්ල වගේ පැතිවලට ගිහින්. අපේ මේ ගේ තමයි වන සංරක්ෂණ මායිමේ තියෙන අන්තිම ගේ. ඉස්සර වාඩි එහෙම තිබ්බා කියනවා. ඒත් ඒ මොනවත් දැන් නැහැ. අයින් වෙන්න කිව්වට පස්සේ ඔක්කොම අය බඩුමුට්ටු ගෙවල් දෙ‌ාරවල් එක්කම අයින් වුණේ.”

 

ස්වාභාවික ගිමන් හල්

 


ඔහුගේ කතාවත් අසාගෙනම අප තිදෙනා පිටත් වූයේ නකල්ස් කඳුවැටිය වෙතය. එම මාර්ගය අසල ගලක කෙටූ සටහනක් සහ හොඳින් හඳුනාගත හැකි ලෙස පිවිසුම තිබුණි. ක්‍රමයෙන් අප අඩි පාර දිගේ ඉදිරියට යන්නට විය. මාන කැලය දෙපසම තිබූ අතර ඒවා අඩි 5ක් පමණ උස විය. මීටර තුන්සියයක් පමණ ඉදිරියට යත්ම අපට මුණගැසුණේ නකල්ස් ඇල්ලයි. මීටර 10ක් පමණ උසැති එම ඇල්ල මෙම ගමනේදී හමුවන එකම ඇල්ල වන අතර එම දියවර හරහා යන්නේ ද අප එක් වතාවක් පමණි. 
ඇල්ලෙන් මුහුණ කට දොවාගත් පසු අප වතුරවලින් අප ගෙනා හිස් බෝතල් ද පුරවා ඉදිරියට ඇදුණේ හිමිදිරි හිරු නැගෙන විටදීය. ක්‍රමයෙන් අප විවෘත එළිමහන් ඉසව්වට පැමිණි අතර එහිදී අපට සුවිසල් නකල්ස් කඳුවැටිය හොඳින් දක්නට ලැබුණි. ඊට අමතරව අප නකල්ස් කඳුවැටිය එම කෙළවරේ සිට පටන් ගන්නා ගෝණ්ණ කන්ද හෙවත් රිලාගල කන්ද දුටු අතර එය ඉතා හොඳින් අපට දැකගන්නට ලැබුණි. මෙම ඉසව්වේ දිවියා හෙවත් කොටියා ගැවැසුණු බවට අපට සාක්ෂියක් හමු වූ අතර ඉතා ඈතින් අපට තංගප්පුව වෙන් කරන කඳුවැටියත් ගෝමරේ දෙසට යන කඳුවැටියත් දක්නට ලැබුණි. 


අවට කඳුවල අසිරිය විඳගෙන අපි ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට ඇදෙන්නට වීමු. විවෘත එළිමහන් අඩවිය ක්‍රමයෙන් අවසානවත්ම අප සේන්දු වූයේ වන පියසටයි. වන පියස අන්ධකාරය කෙළවරක් නොපෙනෙන තරම්ය. නකල්ස් වන පෙතේ පරිසරය ශාක ගහනයෙන් අධිකය. එලෙසම මෙම ඉසව්ව දල වශයෙන් මීටර 1500ට වඩා ඉහළින් පිහිටි නිසාවෙන් මෙහි මීදුම් ඝනත්වය වැඩිය. සුළං ප්‍රවාහයේ අධික බව නිසාම මෙම ශාක ඊට උචිත ලෙස අනුවර්තනය වී ඇත. 
මෙහි විශාල රූස්ස ගස් බොහෝමයක් ඇති අතර සමස්ත වන පියසම ශාකවලින් වැසී ඇත. නකල්ස් කඳුවල පවතින පොකුරු කඳු පන්ති ස්වභාවය නිසාම මෙම කඳුවැටි සියල්ල එකිනෙකට යාවී ඇත. ඒ නිසාම එහි පිහිටි ශාක වැස්ම පරිසරයට උචිත ලෙස හැඩගැසී ඇත. වන පියස මැදින් වැටී ඇති අඩි පාර ඉතා පැහැදිලිය. එම මාර්ගය දුඹුරු වර්ණයෙන් යුක්ත නිසාවෙන් අඳුරු තද කොළ පැහැ ගැන්වූ වන පෙත මැදින් දිස්වන ආකාරය අතිශය සුන්දරය. 


මෙතැන් සිට අපට ඇත්තේ ක්‍රම ක්‍රමයෙන් කන්ද තරණය කිරීමටයි. ඒ අතරම අපේ තනි නොතනියට ලේ සුවඳට වහ වැටුණු කූඩැල්ලන් කිහිපදෙනෙක් කොළ අතු අස්සෙන් ඉහළට එසවෙන්නට වූහ. කෙසේ හෝ අඩ හෝරාවක් පමණ ගතවන විට තංගප්පුවට යන මාර්ගය මුණගැසෙන ස්ථානය අපට හමුවුණි. ඉන් වම් පසට හැරුණු අප ශීඝ්‍ර කඳු නැගීමකින් පසු ළඟා වූයේ නකල්ස් කඳුවැටියේ ප්‍රථම කඳු මුදුනටයි. එය නිශ්චිත ලෙස හඳුනාගත නොහැකි නමුත් එහි පිහිටි විශාල ගල් පර්වතය හේතුවෙන් එම ස්ථානය හඳුනා ගැනීමට පහසුය. 
එතැන් සිට දෙවන කන්දට සුළු නැග්මකින් පසු අප ළඟා වූයේ අනවසරයෙන් සූද‌ානම් කර තිබූ කඳවුරු භූමියටයි. සතිපතා බොහෝ පිරිස් නකල්ස් හි කඳවුරු බඳින්නට පැමිණෙන හෙයින් ඉතාමත් සුදුසු කඳවුරු භූමියක් ලෙස මෙම ස්ථානය ඔවුන් විසින්ම සාද‌ාගෙන ඇත. මෙය තුරු හැර යට සමතලා බිමක් ලෙස සකස් කර ඇත. මෙහි කොළ අතරට පැහැදිලිව කඳවුරු යුගලයක් බැඳිය හැකි තරමේ ඉඩක් තනවා ඇත. නමුත් මෙය නීතියෙන් තහනම් කඳවුරු භූමියකි. 

 

 


 මෙතැන් සිට අප නකල්ස් හි දෙවැනියට උසම කඳු මුදුන වන නකල්ස් කඳුවැටියේ දෙවැනි වැටියට ළඟා වූයේ අධික සුළං ප්‍රවාහය මැදය. එය කොතරම් ප්‍රචණ්ඩ සුළං ප්‍රවාහයක් ද කිවහොත් අපට ඉදිරියට යාමටවත් නොහැකි විය. එය ඉතා ප්‍රබල සුළඟකි. කන්දේ අනෙක් පසින් හමා යන මීදුම දැඩි සුළඟට හසුව කන්දේ අනෙක් පසට ගලාගෙන යන්නේ අධික වේගයකිනි. අප දෙවැනි කන්දේ ගලක කොටා තිබූ මිනින්දෝරු සලකුණ දුටු අතර එහි උසම ගල මුදුනේ GPS හා උස මැනීමේ මෘදුකාංගයට අනුව උස මීටර 1865ක් ලෙස දක්නට ලැබුණි. 


ඉන්පසු අපි එහි නැවතී අවට පරිසරය මඳක් පැහැදිලි වන තුරු සිටියෙමු. එහිදී අපට කන්දසාමි ගල ඉතා පැහැදිලි ලෙස දක්නට ලැබුණි. ඊට අමතරව ගෝමරේ, බඹරැල්ල ආදී ගම්මාන සේම මහනුවර හා මාතලේ ආශ්‍රිත කඳු දක්නට ලැබුණි. කෙසේ හෝ පැය භාගයකට අධික වේලාවක් අප නකල්ස් දෙවැනි කන්දේ ගත කළ පසු සුළඟේ වේගය තරමක් අඩු වුණි. එනමුත් මෙතැන් සිට තෙවැනි කඳුවැටියට අපට හිටගෙන යාමට නොහැකි විය. මන්ද කඳුවැටි දෙක අතර පිහිටි කපොල්ල හරහා ප්‍රචණ්ඩ සුළඟ අධික වේගයෙන් හමන හෙයිනි. 


 එම නිසා අප මඳක් පහත්ව ගමන් කළේ සුළඟට ගසා ගෙන යතැයි චකිතයෙනි. අඩි මාර්ගය තරමක් අපැහැදිලි වුවත් ඉදිරියෙන් තෙවැනි කන්ද පෙනෙන නිසා අපි ඒ වෙත ගමන් කළෙමු. පසුව අප තෙවැනි කන්දට ළඟා වූ අතර එහි එතරම්ම පැහැදිලි දර්ශනයක් නොවුණේ මීදුම නිසාවෙනි. 
 කෙසේ හෝ තෙවැනි කන්දේ සිට සිව්වැනි කන්දට තිබූ දුර තරමක් වැඩි වූ අතර එය සොයාගත නොහැකි තරම් මීදුමට වැසී තිබුණි. ඒ යන අතරමග අප පස්වැනි කන්දේ විශාල ගල් බිත්ති සහ මීටර් දෙසීයක් පමණ වූ ප්‍රමාණය දක්නට ලැබුණි. නකල්ස් සිව් වැනි කන්දේ සිට පස්වැනි කන්දට අප ළඟා වූ අතර බැලූ බැල්මට පස්වැනි කන්ද ගස්වලින් වැසී ඇති ස්ථානයකි. නමුත් අප එහි පිටුපසට ගිය විට අප දුටුවේ නෙත් අදහාගත නොහැකි දසුනකි. 

 

 


 එනම් නකල්ස් විශාලතම කඳු කිහිපයක් එක පොකුරට හිස් අවකාශය තුළ දිස්වීමයි. එනම් තුන්හිස්ගල, වමරපුගල, උඩවන්නිමාන, නාරංගමුව ,කොමලෑවේ ගල, මීරියගොල්ල හා මීමුරේ ලකේගලයි. ඊට අමතරව පසෙකින් අලුගල් කන්ද ද අපට දක්නට ලැබුණි. නකල්ස් පස්වැනි කන්දෙන් වම්පසට බැස ගත් පසු අලුගල් කන්දට යා හැකි අතර එය වනපෙතේ සිව් වැනි උසම කන්ද විය. 


 නකල්ස් කඳුවැටිය තුළ අප එනසාල් වගාව නුදුටු තරම්ය. පහළ අවසාන නිවාස අසල හා ඒ අවට අප එනසාල් වගාව තරමක් දුටු අතර ඒ විනා අප එනසාල් දුටුවේ නැත. මෙම කඳුවැටිය හා පරිසරය පිහිටියේ ඉතා සුන්දර හා ආකර්ෂණීය වන අතර විවිධ ඕකිඩ් මල් වර්, පාසි හා ඇල්ගී වර්ග, කටුස්සන් හා ගෙම්බන් වර්ග සේම විවිධ වර්ණයෙන් හැඩගැසුණු ශාක පත්‍ර පිරි තුරු ලතා බොහෝමයක් සහ ගස් මත වැඩුණු අපිශාක සහ වැල් වර්ග රාශියක් දක්නට ලැබුණි. 


 කෙසේ හෝ අපි සාර්ථක ලෙස පැය 6ක් පමණ ගතවන නකල්ස් කඳුවැටිය තරණය කර නැවත යතුරුපැදි නැවතූ ස්ථානයට ළඟා වුණෙමු. පසුව සවස් යාමයේම ගත දොවාගෙන පිටත් වූයේ අඳුරට කලින් ප්‍රධාන මාර්ගයකට යා යුතුව තිබූ හෙයිනි. අප යන විට මීදුම මගින් මුළු කඳු පන්තියම වසාගෙන සිටියේ අපෙන් සැඟවෙන්නාක් මෙනි. 


ඊළඟ සතියේ - රටට අහිමි වූ ආසියාවේ කුඩාම ගම්මානය සොයා 
සංචාරක සටහන හා ඡායාරූප
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු