ජන අරගලය

අහංගම අක්කා

දෙල් අම්මා.

ලිලාවති අම්මා

 

 

මේ කියන අම්මලා කණ්ඩායම 5000කට වැඩියි කියලා තමයි ලංකාවේ සංඛ්‍යා ලේඛන සඳහන් කරන්නේ. මේ වට්ටි-පෙට්ට් අම්මලාගේ කතාන්දරවල කියවෙන ජීවන අරගලය සත්තකින්ම අරගලයක සැබෑ කතාන්දරයයි. ජීවිතයේ අරුත ඇතුළත් කතාන්දරයි. 


කීර වෙ​ෙළඳ‌ාම කියලා කොළඹ පැත්තේ කියන්නේ විවිධ පලා වර්ග විකුණන වට්ටි-පෙට්ටි අම්මලා පිළිබඳවයි. කීර වෙ​ෙළඳාම් කරන කාන්තාවන් ගම් නගරවල දැකිය හැකිය. එක් කාන්තාවක් ලොතරැයි පත් විකුණන්නීය.   


පලා විකුණන තවත් කාන්තාවකි. “කෙසෙල් මුව ලාභයි” කියමින් තවත් කාන්තාවක් කෑ ගසන්නීය. කිරල විකුණන කිරල අම්මා කිරිල්ලියක් වැනි ය. ජම්බු, කෙසෙල්, අල, පුවක් විවිධ වර්ගයේ වෙ​ෙළඳාම් කරන වට්ටි අම්මලා දිගින් දිගටම මහ අව්වේ රාජකාරි කරති. කොස් පළුවක්. කොස් ඉරුවක්, කොස් මදුළු, කොස් පොළොස් ගෙඩි විකුණන වට්ටි අම්මාවරුන්ද තවත් තැන නැන තැනින් තැන දැකිය හැකිය. වැස්ස කොස් අම්මලාගේ සිහිනය බොඳ කරයි. කොස් මදුළු සියල්ලම වැස්සට තෙමී ගිය විට අද රස්සාවට මහ වැස්ස තිත තැබුවායයි. කොස් අම්මා කියන්නීය.   


කඩ පොළ සති පොළවල මේ වට්ටි අම්මලා බහුලව දැකිය හැකිය. නැතිනම් නගරයේ පදික වේදිකාවල ලද ඉඩ ඇති තැනක සිට වෙ​ෙළඳාම් කරන වට්ටි වෙළෙන්දියෝය. ඒ අය පිරිමින්ට නොදෙවෙනි ආකාරයට තම ජීවන අරගලය ජය ගන්නට මඟ තොටේ කඩපොළේ මහ විථියේ වෙළෙඳම් කරති. ගෑනුන්ගේ නුවණ හැඳි මිටේ දිගට සමාන කළද සමහර පිරිමින්ට වඩා ගැහැනුන් ජීවන අරගලයක නිතරව සිටින බැව් පෙනේ.   


දේශපාලනයට කාන්තාවන් ආදා සිට වට්ටි අම්මලාගේ භූමිකාව ඒ මැති ඇමැති කාන්තාවන් උසුලන නිසා වට්ටි අම්මලාට අද වැඩක් නැත. නමුත් අදත් එදත් අතීතයේ ද කාන්තාවන් යහපත් වූ වෙ​ෙළඳාම් කරගෙන ජීවන අරගලය ජය ගන්නා සෙයක් දැකිය හැකිය. වතුර කරත්තය චිත්‍රපටියේ ඒ කාන්තාව විකුණන්නේ වතුරයි. මල් විකුණනා කාන්තාවන් ද එදා ඈත අතීතයේ සිටිය බව කියති.   


රජුට මල් ගෙන ආ කාන්තාවන් පිළිබඳව පත පොතේ සඳහන් වේ. අන්ධ භූත ජාතකයේ මහලු බමුණාට ටොක්කක් අනින්නට සිය බිරිඳ අනියම් පුරුෂයා මන්දිරයට ගෙන එන්නේ මල් කූඩයක සඟවාගෙනය. ඒ මල් කූඩය ගෙන එන්නේ මහලු බමුණාගේ නව යොවුන් බිරිඳයි. මේ ආකාරයට මල් කූඩයක සැඟව පිරිමියකුට එන්නට හැකි නම් ඒ මල් පැස කොතරම් විශාල ද යන්න සිතා ගත හැකිය. මේ අනුව ඈත අතීතයේ ද මල් වෙ​ෙළඳාම් කළ කාන්තාවන් සිටි බව පෙනේ.   


ජීවත් වන්නට මලු පැදුරු වියන්නා වූ අම්මලා එකල නම් ගෙන් ගෙට ගොස් එ්වා විකුණා තම ජීවන අරගලයට පණ පෙව්වෝය. මාළු විකුණන කාන්තාවෝ අදටත් සමහර ස්ථානවල දැකිය හැකිය. බුලත් විට විකුණන කාන්තාවන් සුලභය. කිරි විකුණන කිරි අම්මලාද, බත් විකුණන බත් අම්මලාද දැකිය හැකිය. දී කිරි දී කිරි ගෙනාවා දී කිරි යන ගීතය ද මට ඈතින් ඇසේ.   


“අනේ ගන්න අපෙනුත් ගන්න” ඒ මල් විකුණන කතුන්ගේ හඬේ නින්නාදයයි. හැම තැනම අම්මලාගේ නංගිලාගේ අක්කලාගේ වට්ටි අම්මලාගේ දසුන්ය. වට්ටියක මල් මිටි තියාගෙන විකුණන වට්ටි අම්මලා. “පොඩි කඩේ හිටිය ළඳේ” ගීතය අනුව වළං විකුණන කාන්තාවෝද දැකිය හැකිය. පාන් බනිස්, එළවළු පලතුරු විකුණන කාන්තාවන්ගේ කතාන්දර ද කොතරම් සුදු ද, කළු ද කියා කිව හැකිය.   


“රස පලතුරු තරමට අපේ ජීවිත රසවත් නෑ මහත්තයෝ” අපට මහා විදියේ දී හමු වූ පලතුරු විකුණන සීතා කියන්නීය.   


පවුලේ 08 දෙනෙක් නඩත්තු කරන්නේ මම. දවසේ වැඩ පටන් ගන්නේ උදේ 7ට විතර. වැඩ අවසන් වෙන වෙලාවක් කියන්න බැහැ. මොකද ගත්තු බඩු ටික විකුණන්න රෑ 7, 8 වෙනකම් වුණත් වෙළෙඳාම කරන්න ඕන. පැය අටේ කතාව අපට අදාළ නැහැ. බෝනස් නෑ. අතිකාල නෑ. වැඩ, වැඩ, වැඩ තමයි ඉතින්. අපි මහන්සි වෙන තරමට තමයි අපේ බඩකට පිරෙන තරම තීරණය වෙන්නේ.   


“නිවාඩු තියනවා ද” මම සීතාගෙන් අසුවෙමි. “නෑ මොන නිවාඩු ද? රජයේ නිවාඩු දින, කම්කරුවන්ගේ දිනය ලෙස කතා කරන මැයි පළමු වැනි දිනත් අපට විශේෂ දවසක් නෙවෙයි. කෙනෙකුට මම පලතුරු විකුණන එක විතරයි කරන්නේ. ඒත් මම විකුණන පලතුරු හදන ගොවියාට මේ තුළින් සේවාවක් වෙනවා. ගොවියාගෙන් පලතුරු අරගෙන පලතුරු ගෙනත් අපට විකුණන කෙනාටත් මේ තුළින් සේවාවක් වෙනවා. මම පලතුරු විකුණන තරම අනුව තමයි අනෙක් අයගේ ආදායම තීරණය වෙන්නේ. ඒ වගේම පලතුරු වගාකරුවා ළඟ කම්කරුවන් වැඩ කරනවා නම් ඔවුන්ගේ ආදායම කොතරම්ද කියලත් මේ තුළින් තීරණය වෙනවා. ඒත් අපි කරන සේවාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.   


කතරගම කිරි වෙහෙර පූජනීය වගේම ආත්මීය භාවනාවක් වගේ. ජීවිතය ගැන මෙනෙහි කරන්න පුළුවන් පින්බර තැනක්. කිරි වෙහෙරට යන එන දහසකුත් සැදැහැවතුන්ට ඒ මග දෙපස ඉන්න මල් විකුණන වෙළෙන්දියන් ගැන අමතක වෙන්න හේතුවක් නෑ.   


“අනේ අපෙනුත් ගන්න මල්, පූජා කරන්න නෙළුම් මලක් අරන් යන්න මහත්තය..” නොනවත්වා එක දිගට ඇහෙන මල් කෙල්ලන්ගේ වදන් හදවත කීරි ගස්සයි. හරි “ලස්සන රුවැත්තියන් තමා ඉතිං මක් කරන්නද? අපි ඔවුන් දෙස නොබලා සුවඳවත් වූ මල් දෝතක් ගෙන බුදුන්ට පුදන්නට පා එසවීමු.   


ඒක පැහැදිළිවම වෙ​ෙළඳාමක්. ඒත් ඒ වෙ​ෙළඳාම ඇතුළේ ති​ෙයනව වෙනස්ම ජීවිත කතා. සුන්දර ඒවා ද අසුන්දර ඒවාද දුක් සැප ඒවාද අනුවේදනීය ඒවාද? ඒ සියලුම අන්දර අතර ජීවන අන්දර ගෙතී ඇත. මේ මල් වට්ටි අම්මලාගේ කතා හඬය.   


මල් පොහොට්ටුව පරිස්සමට අරගෙන වතුර බින්දුවලින් තෙත මාත්තු කරලා සීරුවට අගේට ඒ මල් පූදින්නේ මේ මල් කෙල්ලන්ගේ සියුමැලි අත්වලින්. කාසි පනම්වලට ඒ මල් විකුණන්නේ ඒ වෙළෙඳ‌ාම කරන්නෙත් හරිම මැදිහත් හිතකින්. කාගේ හරි සැදැහැවතකුගේ දෝතින් ඒ මල් මහ සෑ රදුන්ට පූජා කරන වාරයක් වාරයක් පාසා ඒ පිනෙන් එක අංශු මාත්‍රයක් ඔවුන්ට ලැබේවා කියලයි මම පතන්නේ.   


හිමිදිරි පාන්දර ළඟ පාත වැවකින් තමයි මේ පොහොට්ටු නෙළා ගන්නේ. වැස්ස අඩු වැඩි වෙනකොට මල් පිපෙන ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරය තනිකරම සොබාදහමේ ආශිර්වාදය එක්ක තමයි පවතින්නේ. වැස්ස වලාහක දෙවියෝ මේ ජීවිතවල දුක දන්නා නිසාද මන්ද මොන තරම් නියං සමයක වුණත් කාටත් හොරා මැදියමේ වැටෙන පොදයකින් හරි මේ මල්වලට ජීවය දෙනවා. ඒවා මේ අයගේ විශ්වාස. පින් අතේ වැඩක් කරද්දී නරකක් වෙන්නේ නෑ කියන දේ මේ මල් කෙල්ලෝ අදහනවා.   


ඒ කාලේ ගායකයොත් මේ අය ගැන සින්දු කිව්වා. සිදාදියේ තරුණයන්ගේ දඟකාර ඇස්වලින් මේ මල් කෙල්ලන්ට පරිස්සම් වෙන්න කියල ඒ සිංදුවලින් ආයාචනා කළා. නිවාඩු පාඩුවේ ඉන්න ගමන් ඒ සින්දුවක් අහල ඒකෙ තියන රසය විඳගන්න. ආයෙමත් කතරගම ගියොත් මේ අයගේ ජීවිත දිහා පොඩ්ඩක් බලන්න. මල් පෙත්තක් වගේ ඒ ජීවිත සිනිදු සියුමැලි නෑ කියලා ඔබට දැනේවි.   


හොර අරක්කු, කුඩු, ගංජා, රා, විකුණන අම්මලාද දැකිය හැකිය. ඒ අය සිදුකරන්නේ වැරදි වැඩක් වුවත් ඒ සිදුකරන්නේ ජීවත් වීමේ අරගලයේ නිරත වන්නටය.   


කොළඹ කොටුවේ ගම්පහ, ගාල්ල, කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයේ දෙපස ද රඹුටන් වෙ​ෙළඳුන් සුලභ දර්ශනයකි. වෙළෙන්දියෝ ද බහුලය. රඹුටන් මලු අතින් ගත් අය ද දකින්නට ලැබේ. ​කාර්, වෑන්, පැජරෝවල යන ඇත්තෝ ද කඩිමුඩියේ රඹුටන් මිලදී ගනිති. සමහරුන් රඹුටන් කමින්ම ගමන් කරති. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා රඹුටන්වලට දක්වන කැමැත්ත හොඳින් දැක ගත හැකිය. අලුත් රඹුටන් ගෙඩි 12ක් රුපියල් 100 කි. පෙර දින විකුණා ඉතිරි වූ රඹුටන් 15ක් රුපියල් 100කි. “අපි දිනකට රු. 1000ත් 3000ත් අතර ලාභයක් ලබනවා. අපට පදිකවේදිකාවේ වෙ​ෙළඳාම් කරන්න දෙනවා නම් තව ලොකු ලාභයක් උපයන්න පුළුවන්. රඹුටන් විකුණන රඹුටන් අම්මලා කියති. ඔවුන් බොහෝ දෙනා රඹුටන් මෙන් රුවත්තියන් නොවූවත් දිරිමත් වට්ටි අම්මලාය.   


අහංගම කඩපොළේ දී හමු වූ අක්කාට කියන්නේ අහංගම අක්කා කියාය. අක්කාගේ වයස 63යි ලු.   


මම ශත විසිපහටත් පොළේ ගමේ නගරයේ වෙෙළඳම් කර තියනවා. දරු දෙන්නත් රැක ගන්න එපාය. දුවිලි කාගෙන මිනිස්සුන්ට කන්න දෙන්න අපි වෙ​ෙළඳ‌ාම් කරනවා. පලා මිටියක් අරගෙන මෙතෙන්න එන්න අපි කොතරම් දුකක් විඳිනවා ද? හේනට ගිහිල්ලා කුඹුරට ගාටලා බුලත් ටිකක්. කොමඩු ගෙඩියක්, පලා ටිකක්. කෙසෙල් මුව, දෙහි දොඩං වගේ අතට අහුවුණු විකුණන්න හැකි ඕන දෙයක් අරගෙන කර තියාගෙන එනවා.   
ට්‍රැක්ටරයෙන්. නැති නම් පොළට එන පා පැදියක, නැතිනම් යතුරු පැදියක ගෙනැවිත් බසයේ ද‌ාගෙන කාගේ හරි උදව්වෙන් කඩ පොළට අරන් එනවා. ඉතිං කොන්දොස්තර හොඳ නම් අපටත් හොඳයි. සමහර කොන්දොස්තරලා අපි පාරේ ඉන්නවා දැක්කොත් අනෙක් කෑලි ගන්නෙත් නැතුව නැතුව සුටුස් ගාලා පිඹගෙන යනවා. සමහරු නම් එහෙම නෑ. මල්ල උස්සලා බස් එකට දමන්නට උදව් කරනවා. බා ගන්නත් උපකාර කරනවා. අපිත් මල්ලිට බුදු සරණයි කියලා බස් එකෙන් බහිනවා. බඩු මල්ලත් අරගෙන එහෙම තමයි අපි කඩ පොළට බඩු ගේන්නේ එන්නේ... ඇය කීවාය.   


ගාල්ලේ ලීලාවති මාතාව දැන් වයස අවුරුදු 75ක පමණ වන වෙළෙන්දියකි. මේ ඇගේ කතාවයි.   

 

තැඹිලි බොමු ද සර්.ඇත්තටම තිබහක් දැනේ....

පොල් ගස් කොස් ගස් කිරල ගස් ඕන ගහක යන්නම්...

කිඹුල්ලු නෑ කැරැන් කොළ කොහිල, නෙළුමි දඩු ....

කැරැන් කොකු කොළ කිරල ද තියනවා

 


සමහරු පලා මිටි තුනක් අරගෙන දෙකයි කියනවා මම කියනවා මිටි දෙකට නම් රුපියල් හතළිහයයි. හංග ගත්ත මිටියටත් එක්ක හැටක් දෙන්න කියලා. මම නාකි වුණාට පුතා මගේ ඇස් පේනවා. සමහරු හිතන්නේ මම නාකියි කියල. ‘බඩු හරි නෑ අම්මා කියනවා. අඩු නැද්ද අද පලා සවුත්තුයි කියනවා’ එහෙම කියලා හෙට්ටු කරනවා. මම කියනවා අහනවා නෝනට ඕන නම් ගන්න නැතිනම් මම මළවන් කනවා කළවම් පලා කියලා මේ පලා ඔක්කොම කියලා.   


ඇයි පුතේ මේ කාන්තාවෝ මෙහෙම හෙට්ටු කරන්නේ? පිරිමි නම් දුන්න විදියට පලා මිටියක් අරගෙන යනවා. අන්න එකට කලිසම් ගහගෙන එන නෝනල තමයි හෙට්ටු කරන්නේ. අඩු නැද්ද අම්මා කියනවා. මම කියනවා වැඩි දේවල් තමයි තියෙන්නේ කියලා. ඒ ගොල්ලෝ සුපර් මාකට් එකට ගිහිල්ලා වැඩිද අඩුද අහනවාද නෑනේ පුතේ. අපෙන් තමයි බඩු අඩු ද කියන්නේ. ඇය කියාගෙන ගියාය.   


මම පින්තූරයක් ගන්නවා යැයි මම පැවසුවෙම්. මොකටද පුතේ මගේ පිංතූරේ ගන්නේ? ඇය ඇසුවාය පත්තරේ පළ කරන්න යැයි මම කීවෙමි.   


හා හොඳයි මෙහෙම ගන්න. මැරෙන්න කලින් මගේ පොටෝ එක හරි පත්තරේ තියේවි නේ මම පුතේ.... ඇය සිනාසුණාය. වැටුණු දත් අතර ඉඳහිට කිහිපයක් දකින්නට හැකි විය. මට මගේ අම්මා සිහිපත් විය. එන්නම් අම්මා කියමින් මම අැයට සමු දුන්නෙමි.   


ජලජ පරිසරයක් තුළ දැකිය හැක්කේ සුන්දරත්වයකි. නමුත්, ඒ සුන්දරත්වයට වඩා ජීවන අරගලය සඳහා නිසල ජලයේ වගුරු බිම්වල පොර බැස්සේ අම්මලාය. වට්ටි අම්මලා ය.   


ජලජ පරිසරයේ හට ගන්නා වූ නෙළුම් අල, නෙළුම් මල්, කිරල, කැරන් කොළ, වෙරළු, කොහිල කොළ, කොහිල අල නෙළා ඔවුන් පාරට ගෙනවිත් කඩපොළට අරගෙන ගොස් විකුණති.   


රුපියල් 30 යි, 40, 50 ආදී වශයෙන් මේ පලා වර්ග, කිරල කරල්, නෙළුම් අල, කොහිල අල, කොහිල මිටි, කැරැන් කොල, කතුරුමුරුංගා ආදිය පොළට රැගෙන යන්නේ වට්ටියක පෙට්ටියක මල්ලක දමාගෙනය.   
ජලජ පරිසරයක් ඇති යාපනේ කලපුව, පුත්තලම් කලපුව, මඩකලපුව, කොක්කිලායි කලපුව, මීගමු කලපුව, මුන්දල් කලපුව, නන්තිකඩාල් කලපුව, උපාර් කලපුව, පෙරිය කලපුව, උලාක්කාලි කලපුව, නයාරු කලපුව, හලාවත කලපුව, පෙරියකරච්චි කලපුව, මලාල කලපුව, බුන්දල ලේවාය කලපුව, රේඛාව කලපුව, කරගන් ලේවාය කලපුව, ඇඩ්ලිකල ලේවාය, මහ ලේවාය, ලුනාව කලපුව, කලමැටිය කලපුව, කොග්ගල ආදී වශයෙන් කලපුවල හට ගන්නා වූ ජලජ පරිසරවල මේ ආකාරයට එහි වැවෙන දෑ වෙළෙඳපොළට ගෙන එති. ඇය ජීවිත අනතුරුද පසකට ද‌ා හබලත් ඔරුවත් අතර වට්ටියක් පෙට්ටියක් තබාගෙන ඈත දියඹට ගමන් කරන්නීය.   
කොයි මෙහොතක හෝ හැලි කිඹුලාට ගොදුරුවිය හැකියි. ඔරුව පෙරළෙන්න බැරි නෑ මගේ පුතේ. මොකද කරන්නේ. එව්වා ගැන හිත හිතා ඉන්න බෑනේ. දරුවන්ට කන්න දෙන්න එපාය. කොග්ගල ඔයේ ඔරු පදින සෝමක්කා කීවාය.   


සමහරු නිවෙස්වලට හා ගාල්ල නගරයේ කාර්යාලවලටද ගොස් විකුණුම් කරති. පිරිසිදු ඉරටුවක අමුනන ලද කිරල ගෙඩි පහක හයක මිල රුපියල් පනහක් වේ. රසට සකස් කළ පිරිසිදු කිරල කෝප්පයක් රුපියල් විසිපහට තිහට ගත හැකිය.   

 

සිතම්මා

වතුර කරදරයිද නෑ...

 


කිරල කිරිලියන් කී විගසම අපට මතකයට එන්නේ රුවැති මුහුණු සහිත රුවැත්තියන්ය. අපේ කතාවේ එන මේ කිරල කිරිල්ලියෝ මිනිසුනට නොදෙ​ෙව​​නි වැඩ කිඩ ශිල්ප දක්වන සම්මතයෙන් එහා හිතන පතන ජීවත්වනන්ට වෙර වීරිය දරන පිරිසකි.   


කැත්ත, පිහිය, වළල්ල, නියවල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස්වල බඩ ගාන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දට දැයි හිතේ. ඒ තරමට මේ කිරල කිරිල්ලියෝ තටු නොමැති වුවද ගස් අතර ගසින් ගසට පනිමින් කිරල කඩන දසුන අපට නම් සුන්දරය.   


පය ලිස්සා ගියහොත් ඔවුනගේ ජීවිත අවද‌ානමේය. ඒ සඳහා කිසිදු රක්ෂණයක් නැත. ගොඩබිමි මෙන්ම ගස්වලද කස්තිරම් ගසන අපේ කාලයේ කිරල කිරිල්ලියෝ ජලයේද ගැඹුරු දියෙහිද ඔරු, පාරු, බෝට්ටු පදවාගෙන කිරල කඩන්නට දියඹට තම යාත්‍රාවෝ පදවති.   


කරක් වට දියේ බැස මලුවලට කඩා ගත් ගෝනිවලට දමා ගත්, නෙළුම් අල ගෝනි, කැරන් කොල මිටි, කිරල ගෙඩි දියඹේ සිට කර තියාගෙන එන්නේ දිය කිඳුරියන් මෙන්ය. කිරල කැලෑවේ ඇවිදින මේ වට්ටි අම්මලා මහ වනාන්තරයේ ඇවිද පලතුරු නෙළන්නට ගිය සම්බුලා කුමරිය සිහිපත් කරන්නේය. ඇයද පලවැල කඩන්නට යන දසුන අප මතකයට එක් කරන්නේ මේ අපේ කාලයේ කිරල කිරිල්ලියන් නැති නිම් වට්ටි අම්මලා ගැන අසනා දකිනා විටකදීය.   


ඩී.ජී සුමනාවතී, යු.එස්. සිසිල් නෝනා, ඩී. ජයවතී. කොග්ගල කුමාරි, ගොවියාපාන සිරිමලී, ගාල්ලේ එස්. සිරියලතා, වතවනගේ කුසුමාවතී, ඩී.ඒ. අමරලතා ආදී පිරිස් මේ ආකාරයට පවසන්නේ ජීවන අරගලවල නිරත වෙමිනි.   


ඔයේ කිඹුලන් සිටිය ද, විෂ කටු ඇති විෂ වූ දේ, මී උණ හෝ පල් වූ ජලය, මේ සියල්ලම මැදින් මේ වනිතාවෝ වට්ටි අම්මලා වූ කාන්තාවෝ සිරි ලියන් අරගල කරනුයේ සිරි ජීවන අරගලයට මුහුණ දෙමින් ජීවත්වන්නටය.   

 


සටහන හා ඡායාරූප - 

හබරාදූව නිමල් අල්ගෙවත්ත