සත් සර

 

කලාවට කිසිසේත් සම්බන්ධයක් නැති ගම්බද ගොවි පවුලක ඉපැදුණු පුංචි කොලු පැටියෙක් කැලේ ඇවිද උණ පදුරු පීරමින් බටනළාවක් හදාගැනීමට ගැළපෙන උණ බටයක් සොයා ගත්තේය. පුංචි කාලේ බටනළාවක් දැක තිබුණත් එවැනි බටනළාවක් තමා අතින්ම හදා ගැනීමයි මේ ළමයාගේ අදිටන වූයේ. කුඹුරේ ගොයම් කවි, පැල් කවි කියමින් සීසාන විට අඬහැරය කියමින් වැඩිහිටියන්ට සහාය වූ මේ ළමයාගේ ගායන කුසලතාව දැක්කේ ගමේ විසූ නිර්ව්‍යාජ මිනිස්සුය. ගමේ සිංහල අවුරුදු සමය මේ දරුවාගේ කලා රසය පෝෂණය කළේය. මේ කාලේ ගමේ හැමොගේම මුහුණුවල ප්‍ර ීතිය දෝර ගලා යයි. තම වයසේ කුඩා ගැහැණු දරුවන් සමඟ එළු කොටු බැදී ක්‍රීඩාවට හවුල් වූ පුංචි පැටියා එහි අත්වැල් ගායනයට ද එක් විය.   


“ගේ ගොම ගාලා ගත් මගේ එළුවා !   
තොපට කොයින්දෝ අපගේ එළුවා !”   


කුඩා දරුවාගේ හඬ දෝංකාර දෙමින් ගමට අලුත් ආලෝකයක් එක් කළේය.   


මේ දරුවාගේ නම බැද්දගේ රෝහණය. අද කලා ලෝකය හඳුනන්නේ රෝහණ බැද්දගේ නමිනි.   


රෝහණ බැද්දගේ උපන්නේ 1935 ඔක්තෝබර් 27 වැනි දා හොරණ මහඋඩුවේය. ඔහුගේ පියා වූ බැද්දගේ නෝමිස් සිංඤ්ඤෝ ගොවියෙකි. ඒ කාලේ ගමේ වඩු බාස්සුන්නැහේද, ගුරුවරයා ද, ගම්මුලාදැනියා ද, කට්ටඬිරාළ ද, වෙද මහත්තයාද ගොවිතැන් කළේය. ඒ නිසා උප්පැන්නේ තියෙන්නේ රැකියාවට ගොවිතැන කියාය. රෝහණ ද බහ තෝරණ කාලයේ සිටම ගොවිතැනට උදව් කළ ගැමි දරුවෙකි.   
ඔහුගේ මව වූ හපුආච්චිගේ එළිසාහාමි මීවලපලානේ ගැමි කන්තාවකි. රෝහණ පවුලේ හතර වැනියාය. ලොකු අක්කා සුබලින්ය. පොඩි අක්කා මැගිලින්ය. ද‌ාවිත් අයියා තුන්වැන්නාය. මල්ලී පුංචි සිංඤ්ඤෝය.   


“ඒ කාලේ අපේ ගම්වල මිනිස්සුන්ට දැම්මේ පුරුතුගීසි නම්. මම මුලින්ම ඉගෙන ගත්තේ ගමේ ඉස්කෝලේ. පස්සේ හොරණ තක්ෂිලා විද්‍යාලයේ. මේ පාසලේ හිටියා ජේමිස් කියලා ඉස්කෝලේ මහත්තයෙක්.   
උන්නැහෙට රවිකිඤ්ඤාව හොඳට වාදනය කරන්න පුළුවන්. පස්සේ රවිකිඤ්ඤාව වයලීනය බවට පත් වුණා. මේ කාලයේ මම ඉගෙන ගත්තේ පස් වැනි ප්‍රමාණයේ. මට මුලින්ම හිත ගියේ වායලීනය වාදනයට. මට කලාව කොහොම පිහිටියා ද කියලා මමවත් දන්නේ නෑ. මගේ පවුල්වලට ගෑවෙච්චි තැනක කලාකාරයෙක් හිටියේ නැහැ.   
මම හිතුව කොහොම හරි බටනළාව වාදනය කරන්න ඕනෑ කියලා. යාළුවොත් එක්ක කැලේට ගිහින් උණ බට ගෙනත් බටනළාවක් තනිවම හදා ගන්න ඕනෑ කියලා හිතුවට දෙතුන් හතර වාරයක් එය අසාර්ථක වුණා. හීන් බට හොයාගෙන යකඩ ඇණයකින් සිදුරු හදා ගෙන, අව්වේ දාලා වේළලා වැරදුණු බටනළා කිහිපයක් වීසි කරලා හදා ගත්ත බටනළාවකින් මම කිසිම ගුරුවරයෙකු නැතිව බටනළා වාදනය මෙන්ම තබ්ලා වාදනය ඉගෙන ගත්තේ. රයිගම් කෝරළයේම මම බටනළා වාදනයට හපන් වාදකයෙක් ලෙස ප්‍රසිද්ධ වුණා. කොච්චර ඒ ප්‍රසිද්ධිය පැතිරිලා ගියා ද කිව්වොත් සරච්චන්ද්‍ර මහාචාර්යතුමා මාව සොයාගෙන හොරණ මගේ මහගෙදර ඇවිත් මෙහෙම කිව්වා. මේ මම කියන්නේ 1956 වසරේදී.   
‘බැද්ද​ගේ, අපි විශ්වවිද්‍යාලයෙන් ‘මනමේ’ කියලා නාට්‍යයක් කරනවා. බටනළා වාදකයෙක් හැටියට නාට්‍යයට සම්බන්ධවෙන්න පුළුවන් ද?’   
මේ ආරාධනය මම සතුටින් ගෞවයෙන් භාර ගත්තේ. මනමේ නාටකයේ මුල්ම බටනළා වාදකයා මම.”


රෝහණ බැද්දගේ අතීත කතාව අපට විස්තර කළේය.   


රෝහණ, තක්ෂිලා විද්‍යාලයේ පූර්ව ජ්‍යෙෂ්ඨයේ ඉන්න කාලේ මුලින්ම ඉගෙන ඇත්තේ නැටුම්ය. සුබන්චි ලාල් කියන ගුරුතුමාගෙන්. එතුමා නැටුම් පන්ති මධ්‍යම රාත්‍රී වනතුරුම පවත්වා ඇත. ඒ කාලේ පාසලේ රෝහණලා ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. රෝහණ සංගීතය ඉගෙන ගත්තේ උඩරටින් අාව සුමිත්‍ර ​නේරංගම මහත්තයා වෙතිනි. නැටුම් ඉගෙන ගෙන ඇත්තේ සමරනායක මහතාගෙනි. රෝහණ සංගීතයත් නැටුම් විෂයයත් මාරුවෙන් මාරුවට ඉගෙන කොළඹ හේවුඩ් විද්‍යාලයට (අද සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය) ඇතුළත් විය.   
“මම මුලින්ම හේවුඩ් එකට ගියේ නැටුම් ඉගෙන ගන්න. පරීක්‍ෂණ මණ්ඩලයේ හිටියේ ලයනල් එදිරිසිංහ සහ ඇස්.බී. කපුකොටුව මහත්වරු.   
‘නැටුම් පුළුවන් නම් ගායනයත් පුළුවන් ඇති. කියන්න බලන්න ගීතයක්.’ ලයනල් එදිරිසිංහ මහත්තයා කිව්වා. මම ගීතයක් කිව්වා. ඒක පාරම්පරික ජන ගීතයක්. ‘අගෙයි අගෙයි නැටුම් වගේම ගායනයත් ඉගෙන ගන්න.’   


මේ අනුව මම ගුණසේන මහත්තයාගෙන් වයලීන් වාදනයත් එදිරිසිංහ මහතාගෙන් සංගීතයත් ඉගෙන ගත්තා.” රෝහණ බැද්දගේ කීය.   
හේවුඩ් විද්‍යාලයෙන් ඉගෙන ගත් පසු නැටුම් ගුරුවරයකු ලෙස 1959 මාර්තු 3 වෙනිදා හොරණ කුළුපන විද්‍යාලයට සේවයට පැමිණි රෝහණ බැද්දගේ පාසලේ ළමයින් සම්බන්ධ කරගෙන ‘විචිත්‍ර රංග’ නම් ප්‍රසංගයක් පැවැත්විය.   
එම ප්‍රසංගයේ එන දැල් ඇදීම යුනෙස්කෝ ආයතනය සංවිධානය කළ තරගයට ඉදිරිපත් ​කොට මුල් තැන දිනා ගත්තේය. ගුවන් විදුලියේ සරල ගී පරීක්‍ෂණයෙන් සමත්ව ඔහු ගීත කිහිපයක්ම ගැයුවත් ඒවා ජනප්‍රිය වී නැත.   


රෝහණ බැද්දගේ නම් ගායකයා මුලින්ම ගුවන්විදුලියෙන් රටම හඳුනා ගත්තේ ‘මගේ රත්තරං හෙලේනා’ ගීතයෙනි. හරියටම මීට වසර 45කට පෙර එනම් 1974 වසරේදීය.   
“මම හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ නැටුම් ගුරුවරයා හැටියට සේවය කරන කාලේ ‘අලකලංචිය’ හා ‘ගල් වැහි’ කියලා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කළා. ඊළඟ නාට්‍යය වේදිකාගත කරන්න හිතලා ඉන්නකොට මට මෙහෙම අදහසක් හිතට ආවා. පෝසත් ගෙදරක වැඩකාරකමට ඇවිත් හිටිය ගමේ තරුණයෙක් ඒ ගෙදර හිටිය ලස්සන තරුණිය එක්ක හාද වෙලා ගෙදරින් පැනලා ගියා. ඔහු තමාගේ සහකාරිය කැඳවාගෙන හඳපානේ ආ හැටි විස්තර කරමින් තමයි නාට්‍ය ආරම්භ කරන්නේ. ඒ ලස්සන තරුණිය තමයි හෙලේනා. හෙලේනා කැඳවාගෙන ආ හැටි ඔහු කියන්නේ ගීතයකින්. මේ ආරම්භක ගීතය නිර්මාණය කරන්නේ කොහොමද කියලා හිත හිතා දවසක් මම මෝටර්සයිකලයෙන් කොළඹ යන්න පිටත් වුණා. යන අතරමඟ කෝරළේඉම කියන හරිය පහු කරගෙන යද්දී හරිම අපූරු රිද්මයකට මෝටර්සයිකලය ඉහළ පහළ පැදෙන බව මට දැනුණා.   
ඒ එක්කම මට මතක් වුණා මීට පෙර දැක තිබූ බිමල් රෝයිගේ ‘බන්දනී’ කියන චිත්‍රපටයේ දුටු හිරකාරියන් කුරහන් අඹරමින් ගයන ගීතයේ රිද්මය. ‘ටටක් ටොකක් ටටක් ටොකක්’ යන ආකාරයටයි ඒ ගීතයේ රිද්මය මට මතක් වුණේ.   


ඒ මොහොතේදී මා පසුකරමින් හිටියේද රබර් වතු හා බඩවැටි සහිත ලස්සන පරිසරයක්. ඒ සමඟම ‘මගෙ රත්තරං හෙලේනා’ පසු කරමින් මහ කඳු වැටි ඕවිටි පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි යන වචන අර රිද්මයට අනුව මගේ මතකයට නැගුනා.   


ටික වේලාවකට නැවතිලා බයිසිකලය උඩ ඉඳගෙනම සාක්කුවේ තිබුණ කොළ කෑල්ලක් අරගෙන වචන ටික සටහන් කරගත්තා. නාට්‍ය පටන් ගත්තට පස්සේ මට මාරුවක් ලැබුණා වෙනත් පාසලකට. වැඩේ නතර වෙලා මකුළොළුව මහත්තයාගේ ​‘දෙපානෝ’ නාට්‍යයට මම සම්බන්ධව සිටි කාලයේ විවේක අවස්ථාවක මම මේ ගීතය ගැයුවා. එහිදී ‘කවුද?’ කියන කොටස කිව්වේ ටී.එම්. ජයරත්නයි.   
මේ ගීතය ගුවන් විදුලියේ ලූෂන් බුලත්සිංහලගේ ‘සඳැල්ල’ වැඩසටහනින් හා සී. ද ඇස්. කුලතිලක හා සේන ගුණසේකරගේ ‘පර්යේෂණ ගී’ වලින් ප්‍රචාරය ලැබී ඉතා ජනප්‍රිය ගීයක් වුණා. ඒ ගීතයේ සංගීත රචනය හා ගීත රචනය මගේ. මේ ඒ ගීතය.”


“දැසමන් මලක් වගෙයි - පියංකරයි සුකෝමළයි   
සුරංගනාවියක් වගේයි - අහිංසකයි රටක් වටියි   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා...  
රාජ භෝජන නැත මට දෙන්නට   
සීන් සිනිදු සළු නැත මට දෙන්නට   
ගේ දොර වතුපිටි නැත ගරු සරුවට   
යාන්තමට ඇත දිවි රැක ගන්නට   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා...   
පසු කරමින් මහ කඳු වැටි ඕවිටි   
පාළු සොහොන් පිටි රබර් වතු බඩවැටි   
ගල් මුල්වල පය පැටලී වැටි වැටි   
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි   
කවුද...   
මගෙ රත්තරං හෙලේනා...”


මේ ගීතය මුලින්ම ගුවන්විදුලියෙන් ගැයෙන විට ගුවන්විදුලි අධ්‍යක්‍ෂ ජනරාල් රිජ්වේ තිලකරත්න මහතාට පෙත්සමක් ලැබී ඇත්තේ එය එවකට සිටි අගමැතිනියට අපහාස කරන ගීතයක් ලෙසය. ගීත ගැන පරීක්‍ෂණයක් කළ තිලකරත්න මහතා ගීතය අසා කියා ඇත්තේ එය උසස් ගීතයක් බවත් දිනකට තුන්වරක්වත් වාදනය කරන ලෙසත්ය.   


රෝහණ තම ගමේ සුන්දරත්වය ගැන අපූරු ගීතයක් රචනා කොට ගයා ඇත. 

 
“අපේ ගමට කියන්නේ උඩුව කියලා. හොරණ නගරයේ ඉඳලා මහ පාර දිගේ ආවොත් හැතැප්ම හතරක් විතර තියෙනවා. උඩුව කියන්නේ විශාල ගමක්. මහඋඩුව, කුඩාඋඩුව දෙකට බෙදිලා තියෙනවා. දකුණු උඩුව, උඩුව කියලා තවත් විදිහකින් බෙදිලා තියෙනවා. අපි ඉන්නේ මහ උඩුවේ. මගේ ලිපිනය උඩු ගොඩක් තියෙන නිසා මම ලියන්නේ කුඩා උඩුව කියලා.   
ගම මැදින් වැටී තියෙන කඳු වැටියක කෙළවර තමයි අපේ වත්ත තියෙන්නේ. දවසක් දා හැන්දාවේ මට හිතුණා ටිකක් විවේක ගන්න වත්ත උඩහ ගල්තලාවට යන්න. වටින් ගොඩින් ඇඳිරි වැටිල තියෙන බව දැක්කට පස්සේ තමයි ගල්තලාවෙන් පහළට බැහැලා ගෙදර යන්න හිතුණේ. එදා පුංචි කාලෙ ගමේ සුන්දරත්වයෙන් බිඳක් ගීතයට නැගුවා.   


ඒ සුන්දරත්වය තුළම සැඟවුණු වේදනාවෙන් යුතුව රචනා කළ ගීතයක් මේ.”   


“කන්දේ ලන්දේ ගඟුලැල්ලේ ​පේනා තෙක් මානේ   
මන - බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ   
වෙල් යායේ දොළ පාරේ නිල්වන් ජලයේ   
ගං තීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ   
ඒ මවු තුරුල්ලේ සුරූපී යොවුන් ලාලනී   
සංකේත වූ වාසනාවේ... ගම්මානේ   
ඇල්හේනේ රුක් සෙවණේ ගෙපැලේ විහාරේ   
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ   
මං පුංචි කාලේ ලැබු ආදරේ සුන්දරත්වේ   
යයි දෝ නවොදෙන් මැකීලා... ගම්මානේ”


රෝහණ බැද්දගේ ගීත රචනයක් හා සංගීතය රචනය කළ ‘මල්සරා බැල්ම හෙළා’ නිර්මාණයෙන් තමාගේ ආදරවන්තිය දකිනකොට ගැමි තරුණයකුට හිතට නැගෙන සිතුවිලි විස්තර වෙයි. අත් රබන් ශිල්පය, ශාන්ති කර්ම, කවි නාඩගම් ආදී නොයෙකුත් තැන්වලින් ආ නාද රටා ඒ වගේම ඒවායේ රචනාවල පද විරිත් මල්සරා ගීතයට එකතු වූ බවයි.   


“මල්සරා බැල්ම හෙළා මගේ හිතට කොඳුරනවා   
රන්මලී දැක්කා ගමන් මල් වාරම් කියවෙනවා   
හිත බැන්ද සෙනේ මම් පවසන්නෙම් ද කොයි ලෙසින් රන්මලී   
තිස්සෙම ගම සුවඳ කරන් පිපුනා කිණිහිරිය මලී   
විස්තර දුටුවද බඹරුනි පිපිලා දොඹ මුතු කැකුළී   
ලස්සන හුරු බුහුටිකමට දිලෙනා දෑතින් ළකළී   
ඉස්සර කළ පිනට මගේ පිපුණා බල ලඳ කොමළී”


හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ රෝහණ බැද්දගේ ඉගෙන ගන්නා කාලෙ 1953 අවුරුද්දේ යුනෙස්කෝ ආයතනය මගින් පැවැත් වූ සමස්ත ලංකා පාඨශාලාන්තර ගායන වාදන හා නැටුම් තරගයේ මුල් තැන දිනූ මේ ගීතයට අමතරව ඔළිඳ කෙළියේ එන කොස්වතුකන්දයි, ​අපේ රොසලින් නැන්දයි පොල්ගහවෙල රබන් කණ්ඩායමක් ගැයූ රබන් ගීතයේ නාද රටාවට එකතු කරලා ගීතයක් හැදුවේය. ඒ මේ ගීතයයි. 

 
“කොස් වතු කන්දේ රොසලින් නැන්දගෙ   
ඉහේ මලක් පිපිලා හරි ඉහළයි   
මද්දුම දෝණිට ගැළපෙන පන්නෙට   
බෑණ කෙනෙක් ලැබිලා...”


රෝහණ බැද්දගේ විසින් ගීත රචනය කර සංගීතවත් කළ ගං වතුර ගලා උතුරා යයි දෙගොඩ තළා ගීතය එඩ්වඩ් ජයකොඩි ගැයූ අතර, එඩ්වඩ් විසින් තනු නිර්මාණය කළ ගී දෙකක් බැද්දගේ ගයනා කර ඇත. ඉන් එකක් ‘නගේ නුඹට දැන ගන්නයි කියන්නේ’ ගීතය. අනික් ගීතය ගැන බැද්දගේ මේ කතාව මතක් කළේය.   


“එක්තරා දෝණියන්දෑ කෙනකුට කරකාර බඳින වයස ඇවිත් තියෙනවා. කටයුත්තට කැමැති වෙච්ච තරුණයෙකුත් ඉන්නවා. තරුණ බෑණට සිද්ධ වෙනවා මේ කටයුත්තට නැන්ද මාම දෙන්න කැමැති කරවා ගන්න. එත් දෙන්නගෙන්ම එක වගේ මනාපේ ගන්න එක තමයි අමාරු. බෑණට වෙන කටයුත්තක් කර ගන්න හැටියකුත් නෑ. දෝණියන්දෑ මනමාලියක් වෙලා ජයට මගුලකුත් කාල කැන්දන් යනකන් ඇඟිලි ගණිනවා. මේ පළහිලව්ව ගීතයක් හැටියට රචනා කරල එඩ්වඩ්ට දුන්නා තනුවක් යොදන්න.” රෝහණ බැද්දගේ කීවේය.   


“නැන්ද මාම දෙන්නා   
එක බහක් නොදී ළත වෙන්නා
දෙන්න දෙපැත්තේ දවසින් දවස ගෙවන්නා   
කරකාර බැඳන් යන්න ඉඩක් නෑ   
දූගෙ කැමැත්තේ...”


බන්දුල විජේවීර තනුව නිර්මාණය කළ මා ලියූ ගීතයක් බන්දුලයි මමයි ගැයුවා.   


බැද්දගේ හා බන්දුල සුසංයෝගය තුළින් අපූරු උපහාස රසයකින් පිරි ගීතයක් බිහි වූයේ මේ දෙදෙනාට මාමයි බෑණයි යන අන්වර්ථ නාමයක් පටබැඳෙමිනි. ‘මගේ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි’ ගීතයෙන් මේ දෙදෙනා අතිශයින් ජනප්‍රිය වූහ.   


“මාමා - මගේ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි   
බෑණා - මගේ බුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි   
මාමා - මගේ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි   
දෙදෙනා - අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ සරණයි”
මාමයි බෑණයි ගැයූ තව ගීතයක් මේ.   
“කලියුග කාලෙට උපන්න නුවණක්කාරයෝ දෙන්නෙක්   
අතර මගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉඳ ගත්​තේ   
එකෙක් රයිගම පැත්තේ අනිකා ගම්පොළ පැත්තේ   
කොහොමද ඒ පැත්තේ ​තොරතුරු   
හරි ගිරිස්මෙ ඒ පැත්තේ   
එහෙට තදින් වැස්ස වහිනවා   
අපේ පැත්තෙ මහ කකුළුවෝ
පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා...”


බෑණා මාමාට කියනවා අලුතින් පදයක් උගන්වන්න කියලා. මාමා ඒ බෙර පදය නටමින් බෑණාට උගන්වනවා. ගීතය ගායනා කරනකොට අතුරු වාදනය හැටියට යෙදෙන්නේ බෙර පදය පමණයි. ගීතය ලියලා ඇවිත් මම බන්දුලට දුන්නා තනුවක් නිර්මාණය කරන්න කියලා. බන්දුල විජේවීර අගේට ඒකට තනුවක් යෙදුවා.   


“දන්නා තරම් පද කස්තිරම් - නටලා මට දැන් එපාවෙලා   
මාමේ ඉතිං කියලා දියන් - අලුතින් පදයක් හරිගස්සලා   
දන්නා තරම් පද කස්තිරම් - තවමත් මට නෑ එපා වෙලා   
බෑණෝ ඉතිං ඕනෑ නම් - දෙඤ්ඤංකො පදයක් හරි ගස්සලා...”


“පුංචි කාලේ ඉඳලම දරුවන්ට ගුණ යහපත්කම් කියා දෙන්න දරුවන් තමන්ගේ බහට කීකරුව හැඩ ගස්සා ගන්න දෙමාපියෝ දැන ගන්න ඕන. එහෙම නැතිව යහපත් ගති පැවැතුම් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන එක වැරැදියි.   


ගෙදර දොරේ සියලු වැඩපළත් කරගෙන අරපරිස්සමෙන් සියලු දේ රැක බලාගෙන, ඉස්සර සතුටින් සාමයෙන් පවත්වාගෙන ආ ජීවන රටාව ක්‍රමයෙන් වෙනස්, ගුණ යහපත්කම් අඩු වී දරු මල්ලෝ පවා අද අඩු වී, දරු මල්ලෝ පවා අද කී දේ නාහන තැනට පත් වු​ණේ අපේම වරදින් නොවේ ද කියා ටිකක් කල්පනා කර බලන ලෙස හාමිනේට කියන කීමක් හැටියටයි මේ ගීතය රචනා වෙලා තියෙන්නේ. ගැමි වහරේ එන කතාබහ ඒ ආකාරයෙන්ම කිසියම් රිද්මයක් තුළ පෙළගස්වා ගායනා කිරීමෙන් නිර්මාණය වූ ගීතයක් හැටියට මේ ගීතය හඳුන්වන්ට පුළුවන්.” බැද්දගේ තවත් ගීතයක සුලමුල කීවේය. 

 
“ඔන්න නොකිව්වයි කියන්නෙපා හාමිනේ   
මම තෝරා බේරා දෙන්නම්කො මේ කාරණේ   
ඉස්සර නම් දරු මල්ලොත් බලාගෙන   
ගේ දොර වැඩ පළ ඔක්කොම කරගෙන   
ඉවුම් පිහුම් තව මැහුම් ගෙතුම් වැඩ
මෙකී නොකී හැම දේමත් කරගෙන   
කොච්චර සතුටින් උන්නද හාමිනේ...”


රෝහණ බැද්දගේ ගීතාවලියේ එන මේ ගීත අතර කම්මලේ යකඩ තැළෙන්නේ’, ‘අප සේම ඉපදී මැරෙනා උරුමේ’, ‘රා බී වෙරි වූ මියා සේ’, ‘නගේ නුඹට දැන ගන්නයි කියන්නේ’, ‘ටං ටිං හඬදී කටු මිටි පහරින් කළුගල් විද ගනිතෙයි’, ‘ගොම රිටි ගිලී තිරුවානා උඩ එනවා’, ‘හා යමන් පුතා හෙමින් හෙමින් හපුතලේ කන්ද අදිනවා’, ‘අපට සමාවෙන්න හාමු අපේ රිවස් එකක් නෑ’, ‘කුක්කු කූ.. කූ..’, ‘මේ ගම්මානේ කඳු වැටි සීමාවේ’ කැපී පෙනෙයි.   


මෙම ගීතාවලියේ එන ‘සස්සඳ සසඳ’ ගීතය ද ඉතා ජනප්‍රියය.   


රෝහණ බැද්දගේ කලා ජීවිතයේ අමතක නොවන අවස්ථාවකි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යයේ බටනළා වාදකයකු ලෙස සහාය වීම බව ඔහු කියයි.  


“‘මනමේ’ කුමාරිය වේදිකාවට එනකොට ඒ ගමන් තාලයට අනුව බටනළාවෙන් වාදනය කරන්න කියලා සංගීත කොටසක් චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ මට කියලා දුන්නා.   
‘නන, නන් නානේ නා.. නන, නා න නා.. නාන, නන් නානේ නා.. නන නා න නා..’ කිය කියා එතුමා ගායනය කරමින් ඒ හඬට අනුව බටනළාවෙන් වාදනය කරන්න කියා දුන් කොටස එදා මනමේ කුමරියගේ ගමනට අනුව මම වාදනය කළා. එදා මනමේ කුමරිය හැටියට රඟ පෑ ට්‍රිලිෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන) මෙනවිය හැඩ වැඩ දමමින් කළ ඒ ගමන් තාලය මට තවමත් මතකයි.”   
රෝහණ බැද්දගේ සංගීත නිර්මාණය කළ වේදිකා නාට්‍ය අතර දයානන්ද ගුණවර්ධනගේ ‘ජසයා හා ලෙන්චිනා, ආනන්ද ජවනිකා, මධුර ජවනිකා, ගජමන් පුවත, රෝහණ දන්දෙනියගේ ‘පරාස්ස’, ජයලත් මනෝරත්නගේ ‘තල මල පිපිලා’, තිලක් ගුණවර්ධනගේ ‘කොන්ත නෝනා’ ද වෙයි. ටෙලිනාට්‍ය නළුවකු ලෙස පළිඟු මැණිකේ, කන්දේ ගෙදර, ටෙලිනාට්‍ය හා ‘බවදුක’ හා ‘බවකර්ම’ චිත්‍රපටවල ද රඟපෑ රෝහණ බැද්දගේ විසින් රචනා කළ ග්‍රන්ථ අතර ‘සිංහල සංගීත ශෛලිය, අන්දර වැටිය, ලොකු අයට පුංචි කතන්දර, අලකලංචිය, ගමේ රාළහාමි, ගම්මානේ උපන් ගීත’ කැපී පෙනෙයි.   


“මගේ බිරියගේ නම පද්මතිලකා. කැස්බෑව ඇගේ ගම. ඇය සංගීත ගුරුවරියක්. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු දුව තුෂාරා බැද්දගේ ගුවන්විදුලියේ සංගීත නිෂ්පාදකවරියක්. මගේ බාල පුතා තාරක බැද්දගේ වීඩියෝ තාක්ෂණයට සම්බන්ධ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යනවා. එම ආයතනයේ නම වයිල්ඩ් හවුස් (බැද්දගේ එහි අරුත). 1992 වසරේ මම රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන ටිකක් විවේක ගන්න හිතුවා. එළිමහන් සංදර්ශනවල සින්දු කීම නැවත්තුවා. මම දැන් පොත් ලියන්න කැප වෙලා ඉන්නේ.” රෝහණ බැද්දගේ කීවේය. ඔහු හොරණ දකුණු උඩුවේ කපුමුල්ල ගමේ නිස්කාන්සුව ජීවත් වෙයි.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර