ඔස්ට්‍රියාවේ ජෝන් උඩරට රජකමට පත්වුණේ මෙහෙමයි-2 

 

 

 

දන්තුරේ සටනින් පරාජය වුවද උඩරට අල්ලාගැනීමේ උත්සාහය පෘතුගීසීන් අතහැරියේ නැත. ඔවුහු 1594 දෙසැ. 31 දින අසවේදු සෙනවියා ගෝවේ සිට මෙරටට ගෙන්වා ගන්නේ ආණ්ඩුකරුට සහායවීමට පමණක් නොව උඩරට ආක්‍රමණයේ අණදෙන්නා ලෙස නම් කිරීමෙනි.   


අසවේදු යනු කෲරතම යුද සෙනවියෙකු විය. ඔහුටම සරිලන කපිතාන්වරු කීපදෙනෙක්ද ඔහු සමග පැමිණියහ. සීමන් පිංහෝ සහ සැල්වදෝර් පෙරයිරාද ඒ අතර වූහ. පෘතුගාල වැසියෙකුට කඩුවකින් කොටා මුහුණ තුවාල සිදුකිරීමේ වරදකට පිංහෝ ඉන්දියාවට පිටුවහල් කර ඇත්තේ සිරකාරයෙකු ලෙසටය. ඉන්දියාවේදී බී ලූනු නැවක බඩු සොරකම් කර බෝට්ටුවකින් ගෙනයමින් සිටියදී අසුවීම නිසා ඔහු ලංකාවට පිටුවහල් කර ඇත. අසවේදුගේ දෙවැන්නා ඔහු විය. අසවේදුගෙන් පසු එම තනතුරට ඔහු පත්විය.   


යාපන පාලකයා වූ පරරාජසේකරන් බිම දමා පාගාගෙන කඩුවකින් කොටා මරා දමන ලද්දේ ඔහුය. ඒ පිළිබඳ මූර්තියක් පසු කාලයේදී රත්නපුර සමන් වෙහෙර කඩා පෘතුගීසි බලකොටුවක් ඉදිකළ පසු එහි තැන්පත් කරන ලද්දේ ඔහුගේ ගාම්භීරත්වය සෙස්සන්ට පෙන්නුම් කිරීම සඳහාය.   


දොං සීමන් හෙවත් දොන් සීමන් පිංහෝ මීගමුවේ ක්‍රිස්තියානි පවුලක දෝන මරියානා පෙරේරා සමග විවාහ විය. ඔවුන් දෙපොළගේ දියණියක් විවාහ වූයේ සීතාවක රාජසිංහ යුගයේදී මෙරටට පැමිණ කඩුවෙල පත්තිනි දේවාලයේ ප්‍රථම දෙමළ පූසාරියා වූ නීලපෙරුමාල්ගේ පුත්‍රයා සමගය. එම පුත්‍රයාගේ බෞතිෂ්ම නාමය දොන් ප්‍රැන්සිස්කෝ විජේතුංග ඩයස් බණ්ඩාරනායක විය. ආර්නෝල්ඩ් වයිට් සඳහන් කරන පරිදි ඔහු ක්‍රි.ව. 1720 දී උපත ලද්දෙකි. පසුව ඔහු හේවාගම් කෝරළයේ මුදලි තනතුරකට පත්විය.   


දන්තුරේ සටන උඩරැටියන් විසින් ජයග්‍රහණය කිරීම නිසා පහතරට සිංහලයින් සහ පෘතුගීසී විරෝධී පිරිස් පෘතුගීසි විරෝධී කැරලිකෝලාහල ඇතිකළහ. ඔවුන් අතරින් අකරගනේ අප්පුහාමි සහ එදිරිල්ලේ රාල වැනි දේශප්‍රේමි නායකයෝ බිහිවූහ. මෙම වාතාවරණය නිසා අසවේදු හට උඩරට ආක්‍රමණය පමා කිරීමටත් සිය පාලන පෙදෙස් ස්ථාවර කරගැනීමටත් සිදුවිය. ඒ සඳහා කුඩා බළකොටු රාශියක් ඉදිකිරීමටද සෙසු බළකොටු පුළුල් කිරීමටද ඔහුට සිදුවිය.   


මෙම බළකොටු තුළ පෘතුගීසි භටයින් ටික දෙනෙකු බැගින්ද ලස්කිරිඤ්ඤා භටයින් වැඩි වශයෙන්ද රඳවා තැබීය. ඔවුන් විසින් අදාළ පෙදෙස්වල කැරැලිකරුවන් අත්අඩංගුවට ගැනීම, සිරගත කිරීම, මරාදැමීම සහ ගෙවල් දොරවල් සහ ගම්බිම් ගිනිතබා විනාශ කිරීමද සිදුකරන ලදී.   


මන්දාරම්පුර සටන   


පහත රට පෙදෙස්වල පෘතුගීසි විරෝධී සටන් ඇතිවුවද උඩරට රජුට ඒවාට සහායදීමට නොහැකි විය. උඩරට පෙදෙස් වෙළාගෙන සිටි ආඩි (අාන්ද්‍රයන්) හෙවත් සන්නාසීන් විමලධර්මසූරිය රජුට විරුද්ධව ගෙනගිය සටන් ව්‍යාපාරය නිසාය ඒ. සීතාවක රාජසිංහ විසින් බැරැන්ඩි කෝවිල මෙන්ම ශ්‍රීපාදය වැනි පූජ්‍ය ස්ථානවල ආඬින්ට පවරා දී තිබුණි. එම ස්ථානවලට ලැබෙන අය පඬුරු සියල්ලම එකතු කිරීමේ බලය පවරා තිබුණේ අරිට්ඨ කීවෙණ්ඩු හෙවත් මනප්පෙරුම මොහොට්ටියා හටය. ඔහුගේ මරණයත් සීතාවක පෙදෙස් පෘතුගීසීන්ගේ ප්‍රහාරවලට ලක්වීමත් නිසා එම පෙදෙස්වල සිටි ආඬිහුද උඩරටට ගාල් වූහ.   


ශ්‍රීපාදය අවට පිහිටි ගල්ලෙන්වල සිටි ආරණ්‍යවාසී භික්ෂූන් ඒවායින් පළවාහැර ඒවා ආඬින්ගේ නිවස්නයන් බවට පත්කරගෙන තිබුණි. ශ්‍රී පාදයට අයත් ගොදුරු ගම්වලින් අයවිය යුතු බදු මුදල් අය කරන ලද්දේ මෙම ආඬින් විසිනි. බදු අය කිරීමට ආඬින් පැමිණෙන විට කිසියම් නිවසක දොරවල් වසා තිබුණහොත් එම දොරවල් කඩාදමා බදු මුදලට සරිලන භාණ්ඩයක් ගෙනයාමේ බලයද ආඬින් සතුවිය. මන්දාරම්පුර පුවත ග්‍රන්ථයේ සඳහන්වන පරිදි ආඬින් විසින් සමනොළ සීගිරිය දියතලාපව්ව ගිංතොට ගල්මඩු මුතුගම සහ මන්දාරම්පුරය යන තැන්වල ප්‍රධාන බළකොටු හතක් ඉදිකර තිබුණි. ප්‍රධාන කඳවුර වූ මන්දාරම්පුර කඳවුරේ සිටි දෙමළ සේනාව 17000 ක් විය.   


දකුණු ඉන්දියාවේ පහත් කුලවලට අයත් මෙම ආඬින් තෙලිඟු බස කතා කරන ශිව භක්තික යාචක පූජක පිරිසකි. එරට මොවුන්ගේ උපකුල 105 කි. මොවුන්ගෙන් මෙරටට පැමිණි ආඬි පිරිස් අතර ජංගම් ආඬි යනු සම්මාදම් එකතු කිරීම සඳහා ගමින් ගමට ගිය සංචාරක පිරිසකි. කෝවිල් ආඬි යනු ඔවුන්ගේ ශිව දේවාලවල ආවතේවකරුවන්ය. කොර ආඬි හෙවත් මුණ්ඩවාන්ඩිවරු (මුනියන්ඩිවරු) නැටුම් ගැයුම් පවත්වමින් සිඟමනේ යෙදුණන් සහ කෝවිල්වල නැටුම් දක්වන්නන්ය. තවත් පිරිසක් වූයේ තුන්නාඩි හෙවත් නයිදෙමළු හෙවත් නයිආඬිය. නයි නැටවීම සහ රිළවුන් ලවා රැඟුම් දක්වමින් සිඟමනේ යෙදුණු පිරිසක් විය.   


විමලධර්මසූරිය රජතුමා මෙම ආඬින්ට රටින් පිටව යන ලෙස අණ කළේය. එහෙත් ගිරි නම් තවුසා පරදෙසින් බලය ලබාගෙන ශිව පූජා දෙගුණ කරන ලද බව මන්දාරම්පුර පුවතේ සඳහන් වෙයි.   


විමලධර්මසූරිය රජතුමා සිය හමුදා යවා ආඬි කඳවුරු වනසා අවසානයේ මන්දාරම්පුර කඳවුර අල්ලාගැනීම සඳහා නායකත්වය දුන්නේය. රජුගේ මෙහෙයවීම මත සෙනවියන් දහසය දෙනෙකු සහ හේවායින් 24000 ක් ඒ සඳහා යොදවන ලදී. සටන සිදුවූ අයුරු මන්දාරම්පුර පුවත ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.   


ඉක්බිති කඩු දුනු පළි හා සන්නද්ධ වූ සෙනඟ මන්දාරම්පුරය වටකොට බෙලිහුල දෙතෙර කඳු මුදුන්හි සිට රණබෙර නාද කරවා වෙඩිසැර යැවීය. ගිරි තවුසාද සන්නාහ ලාගෙන සිව සෙනඟ හා සිංහල සෙනඟද පිරිවරා යුද වැදුණේය. එඩිතර වූ සිංහල සේනාව හාත්පසින් මංමාවත් අවුරා සතුරාට ලංවී ඊසැර යවමින් ඔවුන් වනසන්නට විය. රජතුමාද සුදු අසෙකු පිට නැගී ඇමැතියන් පිරිවරා සපුවින්න, බැලුම්ගොඩ නම් තැන යුද කෙළි බලමින් සිටියේය.   


සිව බළකොටු අටලු බිඳ හෙළමින් ඔවුන්ගේ විසිතුරු දේවාලද බිඳ අලංකාර වූ මන්දාරම්පුරය ගිනිලා සමතලා කළේය. බොහෝ සිව සෙනඟ නසා ගිරි තවුසා ජීවග්‍රහයෙන් ගත්තේය. සැඟවී සිටි සෙනඟද අල්වා ඔවුන් හැඳිවතින්ම පිට අත්ගසා බැඳ රජු සමීපයට පැමිණවීය. රජතෙමේ ගිරි තවුසා සමග සතුරු සෙනඟ ගිරියේ වැලිලා නසන ලෙස විධාන කළේය. රාජ සේවකයෝ ඔවුන් බෙලිහුල් තෙරට ගෙනගොස් ගිරියේ වැලි බොරලුලා නැසූහ.   


ආඬි තවුසන් ගොදුරු ගම්වලින් බදු අයකිරීමේ සිරිත බොහෝ කාලයක් උඩරට පෙදෙස්වල පවත්වාගෙන ගිය අතර ගම්පොළ දොළොස්බාගේ වැසියන් ආඬින්ට පහරදී එළවා දැමීමෙන් පසු එම උවදුර අවසන් වූ බව රොබට් නොක්ස් සඳහන් කරයි. සීතාවක රාජසිංහ රජතුමා බලන සටනේදී ලත් බරපතළ තුවාල නිසා මරණාසන්නව සිටියදී තම එකම දියණියගේ පුත් නිකපිටියේ බණ්ඩාර හෙවත් රාජසූරිය කුමරුට සීතාවක රාජ්‍යය පවරා දුන් අතර තම හමුදාපතිවරයා වූ මනප්පෙරුම මොහොට්ටියාට සතර කෝරළයේ හල්බොඩ කෝරළය සහ පරණකුරු කෝරළය පවරා දුන්නේය.   


අනතුරුව මනප්පෙරුම මොහොට්ටියා විසින් ගල්බොඩ කෝරළයෙහි කදුරුගස්කපල්ල කඳවුර පිහිටුවන ලද අතර පරණකූරු කෝරළයේ ඉදිකළ බළකොටුව ආඬියාකොටුව විය. එය පිහිටා තිබුණේ අරනායක නගරයට ආසන්නයේය. 

 
ආඬියා කොටුවේ සිටි ආඬින් විසින් ප්‍රදේශ​යේ පිහිටා තිබූ රජමහා විහාරවල දේපොළ කොල්ල කෑ අතර මහජනයා තළා පෙළුෑහ. අරනායක, හොරේවල සහ පැලව හරහා වැටී තිබුණු ශ්‍රීපාද මාර්ගයේ ගමන් කළ වන්දනාකරුවන්ගේ අතමිට කොල්ලකමින් ඔවුන්ට හිරිහැර කළහ. විමලධර්මසූරිය රජු විසින් ආඬින් පරාජය කිරීමත් සමග මෙම පෙදෙසේ සිංහල වැසියන් ආඬියා කොටුවට පහරදුනි. සිංහලයින් සතු බලගතු බළකොටුවක් ඒ වනවිට ස්ථානගත වී තිබුණේ දුල්දෙණිය (දුරදෙණිය) අසළ කලඔටුවාගල ආශ්‍රිතවය. එය ගල්ගුහා සහිත ස්වභාවික බළකොටුවක් විය. එය වටා කුඩා බලකොටු කීපයක්ද විය. දෙළංකාවල මෙඩේරියන් කොටුව සහ පොහොන්කෙළිය ඒවා විය.   


ආඬියා කොටුව වනසා එහි සිටි ආඬින් අල්ලා හිරකර තබන ලද ස්ථානය දෙමළහීරිය විය. සිංහල රණවිරුවන්ගේ ගම්මානයක් වූ දුල්දෙණිය ග්‍රාමය මහදුරයින් හෙවත් කුලිංග කුලීකයන්ගේ කඳවුරු ගමක් විය. ඔවුන්ගේ ලාංඡනය වූ කඩු දෙකක් මත නීල කොබෙයියා ලාංඡනය කඳවුරු ගම්මානය මායිම් වන මහඔය ඉවුර සමීක්ෂණයේ ගලක් මත කොටා ඇත. වර්තමානයේද එය හැඳින්වෙන්නේ කොබේකඩුව යන නමිනි. 

 
ගිරිතවුසා ප්‍රමුඛ පිරිස මරාදැමුවද ආඬි කඳවුරුවල සිට ජීවග්‍රහයෙන් අල්ලාගත් සෙසු පිරිස් දෙදෙනා බැගින් එකට බැඳ හරකුන් මෙන් සිංහලේ ලෙස හැඳින්වූ උඩරටින් නෙරපා හැරීමට විමලධර්මසූරිය රජතුමා නියෝග කළේය. ඔවුනට නිෂ්පාදන කටයුතුවල නියුක්ත වීම තහනම් වූ අතර සිඟමන් යදිමින් ජීවිතය ගෙනයාමට ඉඩ හරින ලදී. මිදෙල්ලව තෝරාළගේ කිරළ සංදේශයේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


බඳිමින් දෙයත පිටිකර බැම්ම රළුකොට   
කරමින් වෙන වෙනත් නිසි නිසරු දුදනට   
බෙහෙවින් සිටි දෙමළු ගොන් මෙන් ගැලතුකොට   
හරිමින් සිඟමනට සිංහල රටින් පිට   


වර්තමානයේදී අහිගුණ්ඨිකයින් ලෙස ශේෂ වී ඇත්තේ පිටුවහල් කරන ලද මෙවැනි පිරිස්ය. ඔවුහු රජුගේ ආක්‍රමණ හමුවේ පළාගොස් වනයේ සැඟවී වැදි ජීවිතයට හුරුවූ තවද මෙවැනි පිරිස් කාලයක් යන තෙක් වනයේම සිටියහ. පානබොක්කේ මහතාගේ නීති නිඝණ්ඩුවේ බණ්ඩාර වැද්දන් ලෙස සඳහන් කර ඇත්තේ මොවුන්ය. සිංහල රාජවංශය අහෝසි වී වඩුගයන් අතට උඩරට රාජ්‍යය හිමි වූ පසු නැවත වරක් සැඟ වී සිටි ආඬින්ට ඉඩකඩම් මෙන්ම තාන්න මාන්න ආදියද ලැබුණි.   


දකුණු ඉන්දියාවේ තෙලිඟු බස කතා කරන ආන්ද්‍රා වැසියන් විජය නගර් අධිරාජයා විසින් දක්ෂිණ දෙසට පලවා හරින ලදී. අනාථයන් ලෙස දකුණු ඉන්දියාවට පැමිණි ඔවුහු ක්‍රමයෙන් දෙමළ බසට හුරුවූහ. පෘතුගීසීන් විසින් බඩග නමින්ද ලන්දේසීන් විසින් බඩ්ඩෙග (බද්දගේ) නමින්ද දෙමළ බසින් වඩුක්කන් නමින්ද හඳුන්වන ලද මෙම පිරිස් සෙසු ද්‍රවිඩ පිරිස් සමග ලන්දේසීන් විසින් මෙරටට වහල් සේවය සඳහා ගෙන ආහ. යාපනයට ගෙන ආ මෙවැනි පිරිස් දුම්කොළ වැවීම සඳහා යොදවන ලදී. උඩරටට ගෙන ආ පිරිස් වඩුග රජවරු යටතේ විවිධ සේවාවන් සඳහා යොදවා ගත්හ. වඩුක්කන් යන්න සිංහලයේදී වඩක්කර හෙවත් වඩුග ලෙස ව්‍යවහාරයට පත්වූහ.   


බොදු සසුන පිරිහී පැවති මෙම යුගයේදී මෙවැනි පිරිස්වල ඇතැම්හු බොදු සසුනට ඇතුළු වී මහණදම් පිරූහ. ගණින්නාන්සේලා ලෙස ප්‍රකට වූ මෙවැන්නෝ බලි - තොවිල් ආදී ශාන්තිකර්මවලට යෙදෙමින් රෑ එළිමහනතුරු ගිහි නිවෙස්වල රෝගී මිනිසුනට ආ වැඩීමෙහි නිරතව සිටියහ. සමහරෙක් වෙදකම් කළහ. මුංකොටුවේ රාල එය මෙසේ සඳහන් කර ඇත.   


දහම් ලෙස නොහැසිර   
කුල දූසනම කරකර   
බණ නො උගෙන පවර   
නැකත් වෙදකම් පුරුදු කර කර   
එයින් ලොව සිත්ගෙණ   
වස්තුව උපදවා ගෙණ   
අඹු දරුවන් රකිණ   
පමණමයි උන් පුරණ සිල් ගුණ   


වඩුග රජවරු සිංහලයින් සතු හේවාගම් අහෝසි කොට මෙවැනි දෙමළ පිරිස් වෙත බෙදාදෙන ලදී. රජුන්ගේ පයිඩ පේරුව හෙවත් පණිවිඩ පණත් ගෙනයාමේ තනතුරු ආදියද ඔවුන් වෙත පවරන ලදී. නීති නිඝණ්ඩුවට අනුව මොවුන් සුළු පයිඩ කරගෙන පැවත එන අයට පයිඩ පේරුව යයි නොහොත් රටේ ඇත්තෝ යැයි කියති. ලෙසට ඳහන් කර ඇත.   
වර්තමානය වන විට මෙම ආඬි පිරිස් වෙතින් සිංහල සමාජයට විවිධ සංස්කෘතික අංගයන් දායාද කොට ඇත. නිවාස සහ ඉදිකිරීම් කටයුතුවලදී බහිරව පූජා පැවැත්වීම එවැන්නකි. ශිව දෙවියන් භෛරණ්ඩි හෙවත් බහිරව වේශය ගන්නා විට උමයංගනා කාලි වෙස් ගන්නා බව ද්‍රවිඩ පූසාරි මතයයි. කාලි දේවිය සඳහා බලිබිලි පූජා පවත්වන්නේ ඒ නිසාය. මොවුන්ගේ කෝවිල්වල කප් සිටුවීම මගින් කෙරෙන්නේ ශිව ලිංගය නිර්මාණය කොට එයට වැඳුම් පිදුම් කිරීමයි.   


යාගහෝම වලදී නයි ආඬි නටන නර්තනය නයිඅඩි නැටුම් වේ. දේවාල ආශ්‍රිතව මෙම නැටුම් නටන පිරිස් වෙත ද්‍රවිඩ රජවරු ඉඩකඩම් ආදිය ලබාදී ඇත. ඔවුන්ට පිරිනමා ඇති තනතුරු නය්‍යඅඩිකාරි තනතුරු වේ. මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සබරගමු ලේකම් මිටියේ සඳහන් වෙයි. නයිඅඩි වන්නමද ඔවුන්ගේ තවත් එක් නර්තනයකි. වන්නම් යනු දෙමළ බසේ වර්ණම් වේ. එනම් වර්ණනා කිරීමයි.   


අසවේදු විසින් උඩරට ආක්‍රමණය කිරීමට පෙරාතුව උඩරටට පිවිසිය හැකි මාර්ගයක් වූ බලන දුර්ගය, ගලගෙදර දුර්ගය සහ ඉදල්ගස්හින්න දුර්ගය ආවරණය වන පරිදි බළකොටු වළල්ලක් ඉදිකරන ලදී. ඔහුගේ අරමුණ වූයේ මෙම මාර්ග ඔස්සේ උඩරට සෙබළු පහතරට පෙදෙස් කරා පැමිණීම අවහිර කිරීම සහ උඩරට හමුදා උඩරට කොටුකර තැබීම හා එමගින් සිංහල ජනයා නොසන්සුන් කිරීමය.   


මෙසේ වුවද අසවේදු බළකොටු ඉදිකිරීමේදී රජුගේ සිංහල හමුදාවල නිරන්තර ප්‍රහාරයන්ට ලක්වීමට සිදුවිය. කෙසේවුවද අසවේදු රුවන්වැල්ල, බටුගෙදර, අලව්ව, රඹුක්කන මොට්ටැප්පුලිය සහ අත්තනගල්ල වැනි පෙදෙස්වලද කුඩා බළකොටු පිහිටුවීය. විමලධර්මසූරිය රජු විසින් පිහිටුවන ලද බළකොටු වලින් දැදිගම සහ කටුවාන බළකොටු දෙකද සටන්වලින් පෘතුගීසීන් අතට පත්විය.   


පෘතුගීසීන් අරමුණු කළේ බලන දුර්ගය හරහා ගොස් උඩරට අල්ලාගැනීමයි. ඒ සඳහා මුලින්ම සතර කෝරළය යටත්කර ගතයුතු විය. විනාශකාරී ආක්‍රමණ ගණනාවකින් ගම්බිම් ගිනි තබමින් හා දේපොළ කොල්ලකමින් එය සිදුකළ පෘතුගීසීන් මහඔය ඉවුරු දෙපස අට්ටාපිටිය, අැත්ගාල්තොට, දමුණුගස්හින්න සහ හතළිස්පහුව යන ස්ථානවල බළකොටු ඉදිකළහ.   


මෙම කඳවුරුවලට අවශ්‍ය සැපයුම් සිදුකිරීම, භටයින් පුහුණු කිරීම, ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය වැනි කටයුතු සඳහා දැදිගමට නුදුරු මැණික්කඩවර විශාල බළකොටුවක් ඉදිකරන ලදී. මෙම බළකොටුව පිළිබඳ මනා විස්තරයක් බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන පරිදි මෙම බළකොටුව පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1598 දීය.   


ගිරිශිඛර වලින් වටවූ තැනිතලා බිමක මෙය පිහිටුවා ඇත. සිංහලයින් විසින් ගලින් සහ ගඩොලින් බඳින ලද සේ සැළකෙන හොළොම්බුව බළකොටුව යාබද පෘතුගීසීහු මැටියෙන් සහ ගඩොල්වලින් මැණික්කඩවර බළකොටුව ඉදිකර ඇත. විශාල කම්කරු පිරිසක් යොදවා මාස හතරක් තිස්සේ බළකොටුව ඉදිකර ඇත. උස්ගොඩැල්ලක ඉදිකර ඇති එය දිගින් අඩි 242 ක් හා පළලින් අඩි 231 කි. අඩි 8 සිට 10 දක්වා වූ බෑවුමකින්ද යුක්තය. බළකොටුව මධ්‍යයේ අඩි 58840 ප්‍රමාණයේ ගඩොලින් නිම කළ නිවහනකි. එය කුටි වලට බෙදා ඇත. එම ගොඩනැගිල්ලට අවශ්‍ය ගඩොල් ලබාගෙන ඇත්තේ අවට​ වෙහෙර විහාර වලිනි. එම ගොඩනැගිල්ලේ බිම හාරා අවිආයුධ සහ වෙඩි බෙහෙත් ගබඩාකොට තබා ඇත. බ්‍රිතාන්‍ය යුගයේදී කරන ලද කැණීම්වලදී මෙහි තිබී කාලතුවක්කු සඳහා භාවිත කෙරෙන යකඩ බෝල 100 ක්ද, වෙඩි බෙහෙත් හා අඟුරු සොයාගෙන ඇත. ඝන මැටියෙන් නිමකර ඇති මෙම බළකොටුවේ සතර පැත්තේ යුද අට්ටාල හතරක්ද, බළකොටුව මැද දෙමහල් කුලුනක්ද තිබූ බව බෙල් මහතා සඳහන් කර ඇත. බළකොටුවේ සිටි යුද භටයින් පිළිබඳ විස්තරයක් රිබෙයිරෝ සඳහන් කර ඇත්තේ මෙසේය.   


කන්ද උඩරට රජුට එරෙහිවූ ප්‍රධාන කඳවුර පිහිටි තැන මෙයයි. එහි සිට සත් කෝරළයද රැකගන්නා ලද්දේය. පෘතුගීසී සොල්දාදුවන් 350 දෙනෙකුගෙන් සමන්විත සේනාංක දොළසක් එහි වූ අතර ඔවුනට අණ දෙන ලද්දේ කප්පින්තාමෝරු ද කැම්පෝ විසිනි. සාජන්ට් මේජර් වරයෙක්ද, සහකාර මුලාදෑනීන් දෙදෙනෙක්ද, වෙඩි බෙහෙත් ආදීය භාර කපිතාන් වරයෙක්ද, ශාන්ත ප්‍රැන්සිස්කානු දේවගැතිවරයෙක්ද එයට අයත් වූහ. ස්වදේශිකයන් අතර වූ පළාතක ජනරාල්වරයා (Governandor das armas) සමග සහසම්බන්ධතා ඇති දිසාවේ කෙනෙක්ද එහි වාසය කරයි. ඔහු යටතේ නිරන්තරයෙන් ක්‍රියාකාරී වූ ලැස්කිරිඤ්ඤා භටයෝ තුන්හාර දහසක්ද ඔවුන්ගේ ප්‍රධානීහුද වූහ. මේ සාමකාමී අවධිවලය. එහෙත් සංග්‍රාමයක් එළැඹි කල්හි හේ වැඩිපුර ජනයා රැගෙන ආවේය.   


වසර සියයකට පමණ පසුව වැලන්ටයින් නම් වූ පෘතුගීසි ලේඛකයා මෙම බළකොටුව පිළිබඳව තබා ඇති සටහනක් මෙසේය.   


ස්වදේශිකයන්ගේ සාක්ෂිමත මැණික්කඩවර නගරය එළිමහන් ප්‍රදේශයකි. එය සැබවින්ම දැකුම්කලු විශාල ප්‍රදේශයකි. එහි වූයේ උණගස් යෙදූ දුගී නිවෙස්ය. ඒ හැරෙන්නට ඉඳහිට තැනක දාගැබක් හෝ පන්සලක් දිසෙයි. එහි විශාල වෙ​ෙළඳ පොළක්ද වේ.

   
උඩරටට පිවිසීම සඳහා වූ අවසන් පෘතුගීසි බළකොටුව ඉදිකරන ලද්දේ මාවනැල්ලට නුදුරු අට්ටාපිටියේය. මහඔය අසල පිහිටවූ මෙම බළකොටුව ඉදිකිරීමේදී උඩරට රජුගේ සහාය මත සතර කෝරළ වැසියෝ දැඩි සටනක නියුක්ත වූහ. එහිදී පරංගීන් සිංහලයාට කරන ලද විනාශය අතිමහත්ය. මිනීමැරීම්" ස්ත්‍රී දූෂණ ගස්කොළන් විනාශ කිරීම් මෙන්ම දෙනලද වධ බන්ධනයන්ද දරුණු ඒවා විය. අල්ලාගත් කැරැලිකරුවන් හට නාසයේ අළු හා ජලය වත්කර දඬුවම් දෙනලද බව පෘතුගීසි පූජකයකු සඳහන් කර ඇත. ප්‍රදේශයේ ගේදොර ගිනිතබා විනාශ කළ අතර ජනශූන්‍ය වීමෙන් ඒවා කලක් යනතුරුම වනයෙන් වැසීගිය බව සඳහන් වෙයි.


අසවේදුගේ උඩරට ආක්‍රමණය


අසවේදුගේ උඩරට ආක්‍රමණය ආරම්භ කර ඇත්තේ 1602 පෙබරවාරියේදීය. ඔවුන් මැණික්කඩවර සිට දීවෙල හරහා අට්ටාපිටියට පැමිණ ඇත. විමලධර්මසූරිය රජුගේ ශක්තිමත් බළකොටුව පිහිටුවා තිබුණේ ගනේතැන්නේය. එහි ඉදිරි ආරක්ෂක ස්ථානයක් බුදදස්ගොඩ පිහිටුවා තිබුණි. පෘතුගීසී හමුදා අට්ටාපිටියෙන් අලුත්නුවර හරහා ගනේතැන්නට ළඟාවූහ. පෘතුගීසී හමුදා බළකොටුව වටලා දින විස්සක් තිස්සේ ප්‍රහාර එල්ලකොට ඇත. විසිඑක් වැනි දින උදය වන විට සිංහල සෙබළු එය අත්හැර ගොස් තිබුණි.   


පෘතුගීසීහු ගනේතැන්න වැටලූ විට උඩරට රජුගේ හමුදා දෙනවක, ඕපනායක, මාතර සහ හලාවත පරංගි කඳවුරුවලට පහරදුන්හ. ඒ අතරතුර විමලධර්මසූරිය රජු තමා සමග රහස් සාකච්ඡාවකට පැමිණෙන ලෙස සීමන් සිං​ෙඤා් වෙත රහස් ලිපියක් යවන ලදී. ඒ සඳහා දන්තුරේ සටනේදී අල්ලාගත් පෘතුගීසි සොල්දාදුවෙකු උප​යෝගී කරගති. කපටි නුවණක් ඇති පරංගීන් මෙම සාකච්ඡාව රජතුමා මරාදැමීමට සුදුසු යැයි සිතා එයට උපායක් යෙදීය. ඝාතකයන් අතරමග රඳවා සෙස්සෝ අදාළ වේලාවට අදාළ ස්ථානයට පැමිණියෝය. එහෙත් හසල නුවණක් ඇති රජතුමා උපක්‍රමශීලීව සතුරන් කොටුකර ගති. මරණින් බේරුණු පරංගි කීපදෙනෙකු පමණක් කඳවුර වෙත පැමිණියහ.   


පෘතුගීසි සෙබළු 1100 ක්ද ලැස්කිරිඤ්ඤ භටයින් 12000 ක්ද සමග අසවේදු ගනේතැන්නේ සිට බලන වෙත පිටත්වූයේ මෙයින් මාස අටකට පසුවය. සිංහල සෙබළුන්ගේ පහරදීම්, ගස් කපා මාර්ග හරස්කිරීම, ගල් පෙරළීම, කුඩා ජල පහරවල් හරස්කර ජලය පුරවා එකවරම ඒවා කඩාහැරීම වැනි බාධක නිසා බලන වෙත යාමට මාර්ගයක් සකස් කරගැනීමට පරංගීන්ට මසක පමණ කාලයක් ගතවී ඇත.   


බලන බළකොටුව පෙනෙන තෙක් මානයට පැමිණි සතුරු හමුදා දින තුනක් තිස්සේ කඳවුරට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළහ. තවත් මසක පමණ කාලයක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ. එහෙත් බළකොටුව අල්ලා ගැනීමට නොහැකිවිය. පෘතුගීසීන්ට ප්‍රහාර එල්ල කරන සිංහල හමුදා බළඇණියේ පසුපස වෙත වෙනත් මඟකින් ගමන් කළ පිංහෝගේ බළඇණිය ප්‍රහාර එල්ල කළද පරාජිතව පසුබැසීමට ඔහුට සිදුවිය. මේ අතරතුර බලන කඳවුර වෙත පිවිසිය හැකි කෙටි මගක් පෙන්වාදීමට සිංහලයෙක් ඉදිරිපත් විය.   


ඔහු රජුගේ රහස් චරපුරුෂයෙකු විය. ඔහුගේ මග පෙන්වීම යටතේ පෘතුගීසිහු බලන කොටුවට ඇතුළුවූහ. එහෙත් සිංහල හමුදාව බළකොටුව අතහැර ගොස් තිබුණි. ඒ අනුව පෘතුගීසී හමුදා 1603 පෙබරවාරි මාසයේදී කොටුව තුළට ඇතුළු වී එහි කඳවුරු බැඳගත්හ.   


මේ අතරතුර අසවේදුගේ හමුදා දෙකඩ කිරීමට උඩරට රජු උපායක් යෙදීය. ඔහුගේ සේනාවෝ හත් කෝරළයේ තලම්පිටිය පෘතුගීසි බළකොටුවට ප්‍රහාර එල්ල කළහ. එම ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා පෘතුගීසි බළඇණි දෙකක් සහ ලැස්කිරිඤ්ඤ භටයින් 1000ක් සීමන් සිං​ඤා් යටතේ තලම්පිටියට යැවීමට අසවේදුට සිදුවිය.   


බලන කඳවුරේ සිටි ආක්‍රමණිකයින් පස් වැනි දින උදය වරුවේ මහනුවර අල්ලාගැනීම සඳහා ලැස්කිරිඤ්ඤ භට පිරිසක් යැවීය. එහෙත් ඔවුන් ආපසු පැමිණියේ නැත. ඔවුහු උඩරට රජුට එකතු වූහ. කඳවුර තුළ සිටි ලැස්කිරිඤ්ඤ භට පිරිසක් කාංගරආරච්චි යටතේ පිටත්ව ගොස් රජුට එකතු වූ බව අසවේදුට දැනගන්නට ලැබුණේ මේ අතරතුරය. එදා රාත්‍රියේම පටන් නවතා පසුබැසීමට අසවේදු තීරණය කළේය.   


පසුදා උදෑසන අසවේදුට දක්නට ලැබුණේ කඳු මුදුන්වල සිට සිංහල හමුදා තමන් වටකර ඇති බවය. අසවේදු විසින් එක් සෙනෙවියෙකු යටතේ කඳවුර ඇතුළේ සිටිමින් සතුරාට පහරදීම සඳහා හමුදා පිරිසක් නවතා අසවේදු සහ පිරිස බලන කඳු පාමුලට පසුබැස්සාහ. එහෙත් සිංහලයින්ගේ විවිධ පහරදීම් සහ බාධා කිරීම් වලට මුහුණදීමට ඔහුට සිදුවිය. මේ වන විට බලන කඳු පාමුලට පැමිණ සිටි සීමන් පිංහෝගේ සේනාව පසුබසින්නන් හට අවශ්‍ය රැකවරණය දුන්හ. බලන කඳවුරේ සිට සෙස්සෝද සටන් කරමින්ම පසුබැස්සාහ.   
වේගයෙන් පසුබැස ආ පෘතුගීසිහු ගනේතැන්නේ කඳවුර තුළ රාත්‍රිය ගතකළහ. පසුදා රැය පහන් කළේ අලුත්නුවර කඳවුරේය. ඔවුන් එහි සිට අට්ටාපිටිය කඳවුර කරා පැමිණියේ සිංහලයින්ගේ දැඩි ප්‍රහාර මධ්‍යයේය. අට්ටාපිටියේ දින තුනක් ගත කළ ඔවුන් එහි සිට කොළඹට ඒමට ගතකළ කාලය දින පහළොවක් බව සඳහන් කිරීමෙන් පෙනී යන්නේ පසුබැසීමේ කාර්යයේ තිබූ දැඩි දුෂ්කරතාවයි. 

 
රට පුරා පෘතුගීසී විරෝධී අරගලයන් පැනනැගී තිබුණි. රුවන්වැල්ල, මල්වාන ඇතුළු සියලු පෘතුගීසි බළකොටු සිංහලයින් විසින් විනාශ කර දමා තිබුණි. කොළඹට පැමිණි පෘතුගීසීන් මෙම පරාජය හඳුන්වන ලද්දේ විශිෂ්ට පසුබැසීමක් වශයෙනි. එයටද හේතුවක් තිබුණි. එනම් තව දින තුනක් පමාවූයේ නම් ලංකාව තුළ එක පෘතුගීසි ජාතිකයෙකු ඉතිරි වීමට ඉඩක් නොතිබුණ බැවිණි.   


කොළඹට ළඟාවන විට ඔවුන් දින හතරක් තිස්සේ කිසිදු ආහාරයක් නොමැතිව කුසගින්නේ පසුබැස තිබුණි. එම නිසා ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවූයේ දෙවියන් වහන්සේගේ පිහිට නිසා බව ඔවුන් විශ්වාස කළහ. කෙසේ වුවද විමලධර්මසූරිය කෙනෙක් නොසිටින්නට එකද සිංහලයෙකු හෝ උඩරට රාජ්‍යයක් හෝ ඉතිරි නොවීමටද ඉඩ තිබුණි. එහෙත් රටේ අවාසනාවට රජතුමා ක්‍රි.ව. 1604 දී මරණයට පත්විය. ඒ ගුර්ජර් රෝගයකිනි. එනම් අතීසාරය වැලඳීමෙනි.   

 

 


එම්. කේ. ජයසේන   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය