ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේ දළදා මාලිගාවේ බව අප කවුරුත් දන්නා කරුණකි. පසුගියදා පැවති දළදා පෙරහර පවා පැවැත් වූයේ ඒ වෙනුවෙනි. එහෙත් එම පෙරහරට වැඩමවනු ලබන්නේ දන්ත ධාතුන් වහන්සේ නොව පෙරහර කරඬුවයි. දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ නවරත්නයෙන් ගල් බැඳි රන් කරඬුවකය. එම කරඬුව රන්මය පියුමක වැඩ සිටී. සාමාන්‍ය ජනතාවට එය දැකගත හැකි වන්නේ වසර කිහිපයකට වරකි.   


ඒ ආකාරයෙන් දන්ත ධාතුන් වහන්සේ ගැන සියලු තොරතුරු අප දැන ගෙන සිටිය ද, කරඬුව වැඩ සිටින රන්මය පියුම නිර්මාණය කළේ කවුරුන්ද, කුමන හේතුවක් නිසාද, කුමන කාලයේද, කුමන රජතුමාද යන්න ගැන කිසිවෙකු දන්නේ නැත. එහෙත් ඒ ගැන තොරතුරු රැසක්ම සන්නසක සඳහන්ව පවතී. එය “පාලාගම සන්නස” යනුවෙන් හඳුන්වනු ලැබේ. සීට්ටුවක ස්වරූපයෙන් යුක්ත මෙම සන්නස දිගින් අඩි 35 කි. තල් පතෙහි දෙපසම භාවිත කරමින් රචිත මෙම සන්නස සුරක්ෂිත තත්ත්වයක පවතින බව මේ සම්බන්ධයෙන් ගවේෂණයක යෙදෙන චාමිකර පිලපිටිය මහතා පවසයි.   


පිලපිටිය මහතා පවසන ආකාරයට පාලාගම සන්නසෙහි අන්තර්ගත තොරතුරු, මහා වංශයෙහි හෝ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ රචිත වෙනත් කිසිදු සාහිත්‍ය මූලාශ්‍රයක ඇතුළත්ව නැත. එහි දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධ තොරතුරු මෙන්ම මහනුවර රාජධානිය පාලනය කළ රජවරුන්ගේ රාජ්‍ය කාලයන්හිදී සිදු වූ විශේෂිත කර්තව්‍යයන් පිළිබඳ තොරතුරු ද ඇතුළත්ව තිබේ. එපමණක් ද නොව කෝට්ටේ සහ මහනුවර රාජධානිවලට සේවය සපයන ලද කලා කුසලතාවයන්ගෙන් සහ ලෝහ කර්මාන්තයෙහි නිපුණත්වයකින් හෙබි ආචාරි පරපුරක් ගැන ද මෙම සන්නසෙන් අනාවරණය වේ.   


දැන් ඔබට පැන නගින ප්‍රශ්නය වන්නේ මේ තරම් වටිනා සන්නසක හිමිකරුවා කවුරුද යන්න ගැනය. ඔහු යටිනුවර පිලපිටිය ග්‍රාමයේ “පාලාගම ගෙදර” යනුවෙන් හඳුන්වනු ලබන නිවසේ පදිංචි තිලකරත්න මහතා ය. ඔහු ගේ පරපුර හා දන්ත ධාතුන් වහන්සේ අතර කොතරම් සමීප සම්බන්ධතාවක් පවතිනවාද යන්න ගැන, “ශ්‍රී දන්ත ධාතු මකරාජජ අසරණසරණ සච්තරිය ස්වර්ණතිලක නවරත්න දවුඬ පටබැඳි පිලපිටියේ පාලාගම“ යන වාසගමෙන් ද සනාථ වේ.   


පාලාගම සන්නසට අනුව දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින රන් කරඬුව හා නවරත්නයෙන් ගල් බැඳ රනින් නිමකළ මල් පියුම නිර්මාණය කර ඇත්තේ කෝට්ටේ රජ කළ හය වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ය.   


එදවස දළදා වහන්සේ ප්‍රාතිහාර්ය දක්වමින් සිටි කාලයක් වුවද, දළදා වහන්සේ වැඩ සිටියේ මල් ආසනයක් මතය. ඊට සුදුසු ආසනයක් තිබුණේ නැත. එය දළදා වහන්සේගේ ආරක්ෂාවටත් තර්ජනයක් විය. මේ ගැන අවධානය යොමු කළ හයවන පරාක්‍රමබාහු රජතුමා නවරත්නයෙන් ගල් බැඳි රන් කරඬුවක් හා රන්මය පියුමක් නිර්මාණය කිරීමට සමත් ආචාරීවරුන් කැඳවා ඇත. ඒ අනුව ඔවුන් අතුරින් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වා තෝරනු ලබන ආචාර්යවරයා ලවා මෙම නිර්මාණය කිරීමට තීරණය කළේය.   
ආචාරීවරුන් කැඳවා “පලාපෙත්ත” නිර්මාණය සිදු කිරීමට පියවර ගත් ආකාරය පිළිබඳව පාලාගම සන්නසෙහි සඳහන් කර ඇත්තේ මෙසේය.   


“රජ වාසලට කැඳවන ලද දක්ෂ ආචාරීවරුන් පළමුව ස්නානය කර පිරිසිදු විය. ඉන්පසු පිරුවට හැඳ පේවී සතර දෙවොලේ දෙවියන් වහන්සේලාට වන්දනා මාන සිදු කිරීමෙන් පසු, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ට එකිනෙකා බැගින් ගොස් වන්දනාමාන කර ඇත. ඒ අතර පොන්පරප්පු නමැති ආචාරියා ද සිටියේය ය. ඔහු දන්ත ධාතුන් වහන්සේට වන්දනා කරන අවස්ථාවේදී, දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටිනා මහ රන් කරඬුවෙන් හඬක් නගමින් ප්‍රාතිහාර්ය දක්වා ඇත.   


ඒ අනුව දළදා වහන්සේ වැඩ සිටින ගල් බැඳි කරඬුව සහිත රන්මය පියුම නිර්මාණය කිරීමට ඔහුට අවසර ලැබිණි. අවසානයේ ඔහු අතින් බිහි වූයේ ඉතාමත් අනර්ඝ නිර්මාණයකි. ඒ ගැන පැහැදුණු පරාක්‍රමබාහු රජතුමා, මෙම කර්තව්‍ය සිදු කළ පොන්පරප්පු ආචාරියා හට සහ ඔහුගේ පරපුරට “ශ්‍රී දන්තධාතු මකරඬවඡ පරාක්‍රමපාඬි ආචාරියා” යන නාමය ලබා දී ඇති අතර, ඔවුන් ජීවත් වූ ග්‍රාමය “පාලාගම” ලෙස නම් කර තිබේ. තවද මහවාසලින් ගම්බිම්, පනම්, පිවර, හරකබාන, දළ ඇතෙක් ආදී වූ වරප්‍රසාද රැසක් ලබා දී ඇත.   
පිලපිටිය ගමේ පාලාගම ගෙදර තිලරත්නගේ පරපුරේ පළමු සාමාජිකයා වන පොන්පරප්පු ආචාරියා බිහි වන්නේ ඒ ආකාරයෙනි. තිලකරත්න එම පරපුරේ හත් වන නැතිනම් අවසන් සාමාජිකයා ය.   


අදටත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ එදා පොන්පරප්පු ආචාරියා විසින් නිර්මාණය කරන ලද, පලාපෙත්ත නැතිනම් රන්මය පියුම මතය. හයවන පරාක්‍රමබාහු රජදවස එය හඳුන්වනු ලැබුවේ “පාලාපෙත්තේ ” යන නමිනි.   


මහනුවර ලේවැල්ල ගංගාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ මඩාටුගම සෝරත හිමි   


දන්ත ධාතුන් වහන්සේ වැඩසිටීමට පලාපෙත්තෙක් තෝරා ගත්තේ ඇයිද යන්න ගැන විමසා බැලිය යුතු වැදගත් කරුණකි. අපට පෙනී යන්නේ පලාපෙත්ත සහ බුදු දහම අතර මනා සම්බන්ධතාවක් තිබූ බවය. භික්ෂූන්වහන්සේලා වැඩ සිටින වාසස්ථානවල මල්කම්, ලියකම්, පලාපෙතිවලින් අලංකාර කර ගන්නා මෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන බව චුල්ලවග්ගපාලියේ සේනාසනස්කන්ධකයේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව පලාපෙත්ත නිර්මාණය කර තිබෙන්නේ නෙළුම් මලක හැඩයක ආකාරයෙන්. බුදු දහමේ බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් නෙළුම් මල සම්බන්ධ කර ගෙන තිබෙනවා. සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, සත් පියුම් මතින් ගමන් කිරීම ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකියි.   


එපමණක් ද නොව බෞද්ධ සාහිත්‍යයේ තේරීගාථා අටුවාවේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය සිතුවම් කිරීමේදී පලාපෙති යොදාගෙන තිබෙනවා.   
රුවන්වැලි සෑයේ ධාතු ගර්භයේ මල්කම්, ලියකම්, පලාපෙතිවලින් අලංකාර කර තිබෙන බව මහා වංශයේ සඳහන් වෙනවා.   


මීට අමතරව පාහියන් භික්ෂුවගේ වාර්තාවලත් පලාපෙති ගැන සඳහන් කර තිබෙනවා. එනම් උන් වහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් පසු අභයගිරි සම්ප්‍රදාය කේන්ද්‍රකරගෙන දළදා පෙරහර පැවැත් වූ බවත්. එම දළදා පෙරහර පවත්වන මොහොතේ මල්කම්, ලියකම්, පලාපෙතිවලින් ජාතක කතා තෙල් සායමෙන් සිතුවම් කර ප්‍රදර්ශනය කළ බවත්, ක්‍රි.පූ 5 සියවසේ දී බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පසු අරන්දක ලෙනේදී සත් බුදුවරුන් ගේ රූප සහිත චිත්‍ර අතර පලාපෙති ද සිතුවම් කර තිබූ බව සඳහන් වෙනවා.   
පළමුවෙනි පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ, ගල් විහාර ඉදි කිරීමෙන් පසු, එහි ඇතුළත බිත්ති වල පලාපෙති සිතුවම් කර තිබෙනවා. මෙම රජතුමාගේ කාලයේ පමණක් නොව පළමුවන විමලධර්මසූරිය, සෙනරත් යන රජ දරුවන් ගේ සමයේ ද මෙම පරපුරේ සාමාජිකයන් විසින් විවිධ නිර්මාණ සිදු කිරීම සම්බන්ධයෙන් තෑගි බෝග, ගම්වර, අලි ඇතුන්, ලබාගත් බව මෙම සන්නසේ සඳහන්ව පවතිනවා.   


ඒ අනුව පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් රන් කැබැල්ලකින් ලබාගත් රන් භාවිතා කර රන් කොතක් සකස් කිරීමට, පොන්පරප්පු ආචාරියාගේ දෙටු පුත් ලොකු ඉලන්දාරියා නැතහොත් දවුඬ ආචාරියා වෙත පවරා ඇත. මහියංගණය දාගැබ් වහන්සේට රන් කොතක් නිර්මාණය වන්නේ ද ඒ ආකාරයෙනි. සීතාවක රාජසිංහ රජතුමා උදෙසා ද මෙම තැනැත්තා සේවය සපයා ඇති බැවින් එහිදී ඔහුව හඳුන්වා ඇත්තේ දවුඬ ආචාරියා යනුවෙනි.   


පාලාගම සන්නසෙහි සඳහන් රන්කොතක් හමුවීම පිළිබඳ සිදුවීම ජනප්‍රවාදගත තොරතුරු අනුව ද අනාවරණය වේ. එනම් ගම්පොළ යුගයේදී රජුගේ ආරාධනාව පරිදි බ්‍රාහ්මණගේ සහ සීලංගේ නම් වූ බ්‍රාහ්මණයින් දෙදෙනෙක් ඔරුවක නැග පැමිණ තිබෙන්නේ ගන්නෝරුවටය. ඉන්පසු සෙංකඩගලපුර රජවාසලට පැමිණ අනාවැකියක් පළ කර තිබේ. ඉන් කියවී තිබෙන්නේ වැසි දිනයක අහසින් රන් කැබැල්ලක් පොළොවට පතිතව බඳුනක රැඳෙන බවය. එය සත්‍යයක් බවට පත් කරමින් රන් කැබැල්ලක් පැමිණ ඇති අතර, එහි හිමිකාරිත්වය පිළිබඳව ඔවුන් දෙදෙන අතර මතබේදයක් හට ගෙන තිබේ. මේ ගැන පළමුවන විමලධර්මසූරිය රජතුමාට දැනුම් දීමෙන්, පසු බ්‍රාහ්මණයන් දෙදෙනාගේ ද එකඟතාවය මත මහියංගණ දාගැබ් වහන්සේට රන් කොතක් නිර්මාණය කිරීමට ලොකු ඉලන්දාරියාට භාරදී ඇත.   


රන්කොත නිර්මාණය කිරීමෙන් පැහැදීමට පත් විමලධර්මසූරිය රජතුමා පාලාගම ග්‍රාමය ඔහුට පිරිනමා ඇත. ඊට අමතරව රජතුමා විසින් ගම්බිම්, තාන්නමාන්න සහ වරප්‍රසාද පමණක් ලබා දීමෙන් නොනැවතී, බුළුමුල්ලෙන් ඉඩම් ද ලබා දී ඇති බව සඳහන් කර තිබේ. බුළුමුල්ල යනු පිලපිටියට නුදුරුව පිහිටි ගමකි. 

 

 

ඒ අනුව යටිනුවර, තිලකරත්න මහතා පදිංචි නිවස ඔහුගේ පරම්පරාවෙන් ලැබුණු දායාදයක් වන අතර, ඔහු ගේ නිවස හඳුන්වා ඇත්තේ “පාලාගම ගෙදර” යනුවෙනි.   
පාලාගම, සීලංගේ සහ බ්‍රාහ්මණගේ යන පරපුරවල් පිළිබඳව ක්‍රි.ව. 1839 ට අදාළ යටිනුවර ලේකම්මිටියේ ද සටහනක් දක්නට ලැබේ. එම සටහනට (අංක එන් 18/693 සහ එන්18/694) අයත් ලේකම් මිටිය, කොළඹ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇත. මෙම බ්‍රාහ්මණ පරම්පරාවන් ගෙන් පැවත එන පිරිස් වර්තමානයේ ගන්නෝරුව ප්‍රදේශයේ ජීවත් වේ. බ්‍රාහ්මණගේ පරපුරට අයත් කාන්තාවක් පිලපිටිය පරපුරට විවාහ කර දී ඇති අතර, ඔවුන් ජීවත් වූ පිලපිටිය ග්‍රාමයේ පිහිටි නිවෙස බ්‍රාහ්මණගේ යනුවෙන් හඳුන්වනු ලබයි.   


සෙනරත් රජතුමා හඟුරන්කෙත නුවර රජ මාලිගයේ වැඩ සිටින අවස්ථාවේදී පාලාගම පොන්නයිදේ ලවා මහ කණ්ණාඩියට රිදියෙන් කැටයම් කරන ලද නිර්මාණයක් සිදු කරවා ගෙන තිබේ. එහි යටි පැත්ත සඳහා මල්ලවපූට්ටුව කැටයමත් උඩු පැත්ත සඳහා නිල් මැණිකක් ඔබ්බවු කැටයමක් ද සහිතය. එම නිර්මාණයෙන් සතුටට පත් සෙනරත් රජතුමා ඔහු ලවා බුලත් හෙප්පුවක් ද නිර්මාණය කරවනු ලැබීය. මෙම නිර්මාණයන් උදෙසා රජතුමා විසින් තොටිල්ලදෙණිය ගමත් ඇතින්නියකුත් පිරිනමා ඇත. එහිදී පාලාගම පොන්නයිදේ විසින් ඌවේ සිටි උලගොඩ ආචාරියා, වන්නිනයිදේ සහ අරුමනයිදේ වෙත තොටිල්ලදෙණියේ ඉඩම් බෙදා දී ඔහු බුළුමුල්ල ගමේ පදිංචි කර විය. තවද දන්ත ධාතුන් වහන්සේ උදෙසා රිදී පන්සීයකින් මල් රුකක් සාදවා ඇත. ඒ වෙනුවෙන් නැවතත් ඇතින්නියක පිරිනමා ඇති බවත් පාලාගම සන්නසේ සඳහන් වේ.   


ක්‍රි.ව. 1611 පාතුගීසි ජාතික කපිතන් අසුවේදු පැමිණ සිංහලයන් සතුව පැවති බලන කොටුව යටත් කර ගැනීමෙන් අනතුරුව තවදුරටත් ඔවුහු එය ශක්තිමත් කර තිබේ. පසුව යටිනුවර සහ උඩුනුවර වාසය කළ ජනතාවට හිරිහැර සිදු කරමින් පාලනය කර තිබෙන බවද එහි සදහන් වේ. එසේම සන්නසේ සඳහන් තොරතුරු අනුව පෘතුගීසින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් දෙනුවර (උඩුනුවර හා යටිනුවර) පාළු වී ඇති හෙයින් හේවාහැට දෙහිපේ ග්‍රාමයෙන් වගා කටයුතු සඳහා ඉඩම් ලබාදුන් බවත් එහි තවදුරටත් සඳහන් වේ. ඒ අනුව පාලාගම පොන්නයිදේට මෙම ප්‍රදේශයෙන් ඉඩම් ලැබී ඇත.   


කෙසේ වෙතත් බලන කොටුව පෘතුගීසින් අත්පත් කර ගැනීමෙන් අනතුරුව වසර පහකට පසු මහනුවර සිංහල සේනාව පැමිණ නැවත එය අල්ලා ගන්නා ලදී.   


පාලාගම ගෙදර තිලකරත්න මහතා   


මම විවාහකයි. මගේ බිරිඳ මීට වසර අටකට පෙර මියගියා. එක දියණියක් හා පුතුන් දෙදෙනෙක් සිටිනවා. මා දැනට ජීවත් වන මෙම පිලපිටිය වත්ත, ඉඩම අපට ලැබුණේ පළමුවන විමලධර්මසූරිය රජතුමාගෙන්..   


එදවස දන්ත ධාතුන් වහන්සේ කිණිහිරයක දමා තලා ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් උන් වහන්සේ වැඩ සිටින ලද්දේ අහසේ. දළදා වහන්සේ පෙන්වීමට පවා හැකියාවක් ලැබී නැහැ. මේ නිසා හය වන පරාක්‍රමබාහු රජතුමා ගේ අණ පරිදි අපේ පරපුරේ පළමු සාමාජිකයා පාලාපෙත්ත සාදා රන් කෙන්දක් බැඳ එහි දන්ත ධාතුන් වහන්සේ රඳවා තිබෙනවා. ඊට රජතුමාගෙන් ගන්නෝරුව රණ බිම, උක්වත්ත නැතිනම් පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමිය ඇතුළු බොහෝ ඉඩම් අපට අයත්ව තිබූ බව ද පාලාගම සන්නසේ සඳහන්ව තිබෙනවා.   


පෙර සිටි දියවඩනේ නිලමේවරුන් අපේ පරම්පරාවේ අයට දළදා කරඬුව ළඟට ගොස් වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා. එය විශේෂ වරප්‍රසාදයක්. එහෙත් වත්මන් දියවඩන නිලමේ තුමා අප ගැන නොදන්නා නිසාත්, අප ඔහුගෙන් ඉල්ලීමක් සිදු නොකළ නිසාත් ඒ අවස්ථාව මෙතෙක් ලබා ගත්තේ නැහැ. නුදුරේදීම ඒ ගැන ඉල්ලීමක් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.   


ස්තුතිය - ලේවැල්ල පුරාණ රජමහා විහාරයේ මඩාඩුගම සෝරත හිමිට සහ ලේඛක සහ ගවේෂක චාමිකර පිලපිටිය මහතාට.   

 

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර