මග වැරදුණු ජීවිතය යළි යහ මගට

තමන්ගේ ආහාර වේල තමන් විසින්ම සකසා ගන්නා කන්දකාඩුව රැඳවියන්  

 

 

“මම පුංචි කාලේ ඉඳලම දැක්කේ මැරවරකමින් තමන්ගේ වැඩේ කරගන්න මිනිස්සු. අපේ අම්මාගේ පවුලේ මාමලා වැඩකරන්නේ ඒ විදිහට. ඉතිං මමත් හිතුවා ඒක තමයි ලොකුම දේ කියලා. ඉතිං මමත් චණ්ඩිපාට් එකෙන් ගොඩයන්නයි හැමදාම, හැම වෙලාවෙම උත්සාහ කළේ”   


ඒ සුරාජ්ගේ කතාවයි. මීගමුව පැත්තේ වෙරළබඩ ප්‍රදේශයක තමයි සුරාජ් ජීවත්වුණේ. ඔහු මේ වනවිට දරුවන් දෙදෙනෙක් සිටින තිස් හතර හැවිරිදි පියෙක්. බිරිඳ ගුරුවරියක්. අපිට ඔහු මුණගැසුණේ වැලිකන්ද, කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී. සුරාජ්ගේ කතාව ආරම්භ වෙන්නේ බොහොම ඈත අතීතයෙන්. ඒ කියන්නේ ඔහුගේම පුංචි කාලයෙන්. මතකයේ රැඳී තිබෙන පුංචි කාලයෙන්.   


“මගේ තාත්තා ආරක්ෂක අංශයේ සේවයේ නියුතු කෙනෙක්. එයා ගොඩක් මත්පැන්වලට ඇබ්බැහි වුණ කෙනෙක්. හැමදාම වගේ අපේ ගෙදර රෑට රණ්ඩු. තාත්තා රෑට බීගෙන ඇවිත් අම්මත් සමග රණ්ඩු කරලා රෑට අම්මව ගෙදරින් එළියට දානවා. අපි දෙන්නා රෑට වැඩිපුරම හිටියේ ළඟපාත ගෙදරක නැත්නම් අම්මලාගේ මහ ගෙදර.   


අම්මලාගේ අයියලා, මල්ලිලා ඒ කියන්නේ මගේ මාමලා ගමේ ඉන්න චණ්ඩි වගේ. පොඩ්ඩ එහාමෙහා වෙච්ච ගමන් එයාලා ඇවිත් බයි​ෆෝස් එකෙන් තමයි ප්‍රශ්න විසඳන්නේ. කොහොම හරි හැමදාම එයාලා දිනනවා. ඉතිං මටත් ඒ උණ ටිකක් තිබුණා. තාත්තා නිසා වගේම මාමලා නිසාත් මට ගමේ බය පක්ෂපාතකමක් දක්වනවා වගේ තේරුණා. ඒ නිසා මමත් මට යමක්කමක් තේරෙන කාලේ ඉඳලම කළේ චණ්ඩි වැඩ තමයි. අපේ ගමේ අපේ වටේ ඉන්න හැමෝම වගේ, පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා හැමෝම වගේ සිගරැට් එක කටේ ගහගත්තු ගමන්ම තමයි ඉන්නේ. ඉතිං මාත් පොඩි කාලෙදිම සිගරැට් උරන්න ගත්තා. ඒ කොල්ලෝ රෑනේ ඉන්නකොට ඒකේ ඉන්න අනෙක් අයට පේන්න තමයි එහෙම කළේ.   


සාමාන්‍ය පෙළ ලියන කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයා තමයි මාව ඉගෙන ගන්න උනන්දු කළේ. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතිං එයාගේ උනන්දුව නිසා මම සාමාන්‍ය පෙළ විභාගය ඩී හයයි සී දෙකක් එක්ක පාස් වුණා. ඒ කාලේ තිබුණේ ඒ, බී නෙවෙයිනේ. ඩී තමයි හොඳම. ඉතිං මම හොඳට පාස් වුණා. ඊට පස්සේ උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. ඒත් උසස් පෙළ විභාගයට ආසන්නම කාලේ මගේ පෙම්වතිය මාව අත්ඇරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඒකට මගේ හැසිරීම් බලපාන්න ඇති කියලා දැන් හිතෙනවා. මොකද ඒ වෙනකොට මම ගංජාවලට පුරුදු වෙලා හිටියා. ඒ වගේම මාමලාගේ අඩි පාරේ යමින් චණ්ඩි වැඩවලටත් සම්බන්ධවෙන්න පටන් අරන් තිබුණා.   

 

සංගීත පුහුණුව ලබන රැඳවියන්   

 

 


ඒ හැමදේකින්ම වුණේ මම උසස් පෙළ ඇන ගත්ත එකයි. ඊට පස්සේ මම ගමේ බජාර් එකට සෙට් වුණා. සිගරැට්, ගංජා වගේ දේවල්වලට පුරුදු වුණා. චණ්ඩි තමයි මම ඇසුරු කළේ. ඒ නිසා ගමේ කොතැනක හරි වලියක් ගියොත් මම එතන ඉන්නවා. ඔය අතරේ තමයි මට දෙවැනි පෙම්වතිය හම්බ වුණේ. එයා හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. මට මුණගැහෙන කාලේ වෙනකොට එයා විද්‍යා පීඨ තේරිලා හිටියේ. ඒත් අපේ සම්බන්ධයට අපේ ගෙවල් දෙකෙන්ම කැමති වුණේ නැහැ. එයාලගේ ගෙදරට තිබුණ ප්‍රශ්නය මම රස්සාවක් කරන්නේ නැතිකම. අපේ ගෙදරට ඉතිං විශේෂ හේතුවක් නැහැ, මම හොයාගත්ත එක නිසා විරුද්ධ වෙනවා වගේ තමයි මට තේරුණේ. එයා විද්‍යාපීඨ ගියොත් මට නැතිවෙයිද කියලා බය හිතුණ නිසා මම ඒකට ටිකක් විරුද්ධ වුණාම එයා ගියේ නැහැ.   


ඊට පස්සේ අපි දෙන්නම එකතුවෙලා ඉඳිආප්ප තම්බලා කඩවලට දැම්මා. එතකොට මම එයාව බැඳලා නැහැ. ඒ නිසා මම එයාලගේ ගෙවල් කිට්ටුවෙන් කාමරයක් කුලියට අරන් නැවතිලා උදේ පාන්දරම එයාගේ ගෙදර යනවා. එහෙම තමයි ඉඳිආප්ප රස්සාව කරගෙන ගියේ. අපිට ටිකින් ටික ඕඩර් වැඩි වුණා. බිස්නස් එක දියුණු වුණා. අපි හම්බකරපු මුදල් ඉතිරි කරලා ගෙයක් කුලියට ගත්තා. ඊට පස්සේ අපි දෙන්නගේ වෙඩිං එක ගත්තා. අපි බොහොම සතුටින් කාලය ගත කළා. දැන් මගේ ළඟ අර ජරා පුරුදු මොනවත් නැහැ. ගෑනියෙකුට මිනිහෙක් නැති කරනවා වගේම හදන්නත් පුළුවන් කියන එකට හොඳ උදාහරණයක්.   

 

සාමාන්‍ය පෙළ ලියන කාලේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා. එයා තමයි මාව ඉගෙන ගන්න උනන්දු කළේ. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතිං එයාගේ උනන්දුව නිසා මම සාමාන්‍ය පෙළ විභාගය ඩී හයයි සී දෙකක් එක්ක පාස් වුණා. ඒ කාලේ තිබුණේ ඒ, බී නෙවෙයිනේ. ඩී තමයි හොඳම. ඉතිං මම හොඳට පාස් වුණා. ඊට පස්සේ උසස් පෙළ වාණිජ අංශයෙන් ඉගෙන ගත්තා. ඒත් උසස් පෙළ විභාගයට ආසන්නම කාලේ මගේ පෙම්වතිය මාව අත්ඇරලා වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තා. ඒකට මගේ හැසිරීම් බලපාන්න ඇති කියලා දැන් හිතෙනවා. මොකද ඒ වෙනකොට මම ගංජාවලට පුරුදු වෙලා හිටියා. ඒ වගේම මාමලාගේ අඩි පාරේ යමින් චණ්ඩි වැඩවලටත් සම්බන්ධවෙන්න පටන් අරන් තිබුණා. 


අපිට දරුවෙක් ලැබුණා. ඔය අතරේ අපි කඩයක් දාගත්තා. එතන අපි හදන කෑම දැම්මා. ඔය අතරේ මට මුණගැහුණ කෙනෙක් පොල් බිස්නස් එකක් කරන්න කතා කළා. අපි ලොරියක් ෆිනෑන්ස් කරලා අරගෙන හලාවත පුත්තලම පැත්තේ ගිහින් පොල් ගේනවා. ගෙනත් අපේ කඩේ දැම්මා. මේ කඩෙත් හොඳටම දියුණු වුණා. කඩේට බඩු දාන්න එන රෙප් කෙනෙක් මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. මගේ ව්‍යාපාරය දවසින් දවසම දියුණු වෙන හැටි දැකලා මිනිහා මාත් එක්ක සතුටින් කතා කළා. මට සුබපැතුවා. මිනිහා මගේ හොඳ යාලුවෙක් බවට පත්වුණා. මගේ ජීවිතයේ අභාග්‍යය උදාවෙන්නේ එතනින් පස්සේ.   


දවසක් මේ යාලුවා (සේල්ස් රෙප්) මට කතා කළා රෑකට පොඩ්ඩක් සෙට් වෙමු කියලා. මටත් කාලෙකින් ඒවාගේ අවස්ථාවක් ලැබුණේ නැති නිසා ඒ කියන්නේ ඉඳහිට පාටියකදී බිව්වාට යාලුවෙක් එක්ක සෙට්වීමක් බැන්දට පස්සේ සිදුවුණේ නැති නිසා වයිෆ්ටත් බොරුවක් කියලා මම යාලුවා එක්ක ගියා. එදා ගියේ කැසිනෝ සෙල්ලම් කරන්න. මේ සෙල්ලමට ගියාට පස්සේ මාව නැති වුණා. අර යාලුවා මාව කුඩුවලටක් සෙට් කරගත්තා. මට බඩු ගෙනත් දීලා මිනිහත් ඒ කොමිස් එකෙන් කුඩු ගහපු එක තමයි කළේ කියලා මට දැන් තේරෙනවා.   


මේවාට සෙට් වුණාට පස්සේ බිස්නස් සම්පූර්ණයෙන්ම වැටුණා. වයිෆ් මාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට දැම්මා. ඒකෙන් වැඩක් වුණේ නැහැ. ආපහු ආවට පස්සේ ආයෙමත් පුරුදු දේ කළා. සල්ලි හිඟපාඩු ආවම හොරකම් කරන්නත් පටන් ගත්තා. මැරකම් කළා. අන්තිමට මම මාසෙකට සැරයක් දෙකක් අත්අඩංගුවට පත්වෙන, බන්ධනාගාර ගත වෙන තත්ත්වයක් ඇති වුණා. මේ වෙනකොට වයිෆ්ට දෙවැනි බබාත් හම්බ වෙලා. ජීවත් වෙන්න විදිහක් ඇත්තේම නැහැ. මම මොනවා කළත් ළමයින්ටයි වයිෆ්ටයි හරිම ආදරෙයි. ඒත් මුදල් නැති වෙනකොට එයාලගේ දේවල් වුණත් උගස් තියලා මුදල් කරගන්න පෙළඹුණා. කුඩු නැති සික් එක ආවම කරන්නේ මොනවද කියලා හිතා බැලීමක් නැහැ. හිතුණා කළා. පාරේ යන මිනිහගේ අතේ තියෙන දේ වුණත් උදුරගෙන දුවන්න හිතුණොත් ඒක කරනවා. පොලිසියට අහුවෙලා ගුටි කෑවත් කුඩු ගහන්න තියෙනවා නම් ඒ ඔක්කොම අමතක වෙනවා.   

 

කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දර්ශනයක්   

 

කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දර්ශනයක්   

 

කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දර්ශනයක්   

 

 


ජීවත්වෙන්න වි    දිහක් නැති තැන ප්‍රදේශයේ හිටපු දේශපාලනඥයෙක් අල්ලගෙන වයිෆ්ට ගුරුපත්වීමක් හදාගත්තා. මේ වෙනකොට අපේ ගෙදර එක්කත් සම්බන්ධතා නැවත ගොඩනැගිලා තිබුණේ. මගේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙද්දි තාත්තාගේ සහය ඇතිව මගේ වයිෆ් මාව අත්අඩංගුවට පත් කරලා කන්දකාඩුවට එව්වා. ඒක කරපු එක ගැන මුලින් නම් මට තිබුණේ පුදුම තරහක්. මට ගෙදර මිනිස්සු පෙන්නන්න බැරුව ගියා. මෙතනට ආවට පස්සේ පළවෙනි මාස තුනේම අපිට ගෙදරට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ කාලය තුළ අපේ ඔළුව භාවනාවෙන් හා උපදේශනයෙන් හැදුවා. ඒක මාරයි.   


මම මෙතනට එන්න කලින් අවස්ථා ගණනාවකදී බන්ධනාගාරගතවෙලා තියෙනවා. කුඩු ගහන මිනිස්සු බන්ධනාගාර ගත කරනවා කියන්නේ නම් කිසිම තේරුමක් නැති වැඩක්. එතන තරම් කුඩු නැහැ එළියෙවත්. සල්ලි තියෙනවා නම් ඇතුලේ බඩු ඕනෑ තරම්. එළියෙදි වගේ බයකුත් නැහැ බොනකොට පොලිසියෙන් අරන් යයි කියලා. ආරක්ෂාව ඇතුවම කුඩු ගහන්න පහසුකම් තියෙන එකම තැන තමයි බන්ධනාගාරය. පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකකත් ඉඳලා තියෙනවා. හැබැයි ඒවායින් ලොකු වෙනසක් වුණේ නැහැ. ඒ සමහර තැන්වලදීත් අපිට ගෙදර අය ලවා කුඩු ගෙන්න ගන්න පුළුවන් ක්‍රම තිබුණා. ඒත් මෙතන ඒ කිසිම දෙයක් නැතිව අපි අවුරුද්දක් ඉන්නවා. ඒ කියන්නේ අපේ හිතට හයිය තියෙනවා නම් කුඩු නැතිව ඉන්න පුළුවන්. කුඩු නැතිව බෑ කියන එක බොරුවක්.   


කුඩුවලින් හරි ගංජාවලින් හරි මුදවා ගන්න බේත්වලින් පුළුවන් කියලා සමහරු විශ්වාස කරනවා. ඒකත් බොරුවක්. අපිට මෙතනදී කිසිම බේතක් ලැබෙන්නේ නැහැ. අපට ලැබෙන එකම ප්‍රතිකාරය තමයි මානසික සුවය ඇති කිරිම. දැන් මට ගෙදර අය ගැන කිසිම තරහක් නැහැ. තාත්තාත් දැන් මා ගැන හොයා බලනවා. ඇත්තටම තාත්තා අද මං ගැන හොයා බලන විදිහට මම පොඩි කාලෙත් හොයා බැලුවා නම් අම්මටයි මටයි කාරුණික වුණා නම් අපේ ජීවිත මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුණා. සමාජයෙන් කුඩු කාරයෝ බිහිවීම වළක්වන්න නම් කුඩු සමාජයට එන එක වළක්වන්න වැඩපිළිවෙලක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි පුනරුත්ථාපනය වුණත් තවත් පිරිසක් හෙට මෙතනට එන එක වළකින්නේ නැහැ.   


සුරාජ් සමග අපට විරුද්ධ වෙන්න අපට නොහැකිය. ඒක සම්පූර්ණයෙන්ම සත්‍ය කතාවකි. එසේම බලධාරින්ගේ අවධානය යොමු විය යුතු කාරණා කීපයක්ම අපි සුරාජ්ගේ කතාවෙන් දුටුවෙමු. එනම් බන්ධනාගාරය යනු ආරක්ෂා ඇතිව කුඩු භාවිතා කළ හැකි තැනක් බව. ඒ බව දැනටමත් කවුරුත් දන්නා රහසකි. එහෙත් තවමත් බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුව ඇතැයි නොපෙනේ. එසේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට විවිධ මධ්‍යස්ථාන තිබුණද ඒවායින් නිසි පුනරුත්ථාපනයක් සිදුනොවන බවද මෙහිදි පැහැදිලි විය. එවැනි තැන්වලට කෙනෙක් තම දරුවන් යොමු කරන්නේ අතේ තිබෙන මුදලද වැය කරගෙනය. එසේ වුවද එයින් ප්‍රයෝජනයක් ​ෙවන්නේ නැත්නම් එය ඔවුන්ගේ මුදල් නාස්තියක් වගේම රටටද පාඩුවකි. ඒ නිසා මේ ආයතන රජයේ කිසියම් ආයතනයක් මගින් නියාමනයකට ලක් කරන්නට බලධාරින්ගේ අවධානය යොමු විය යුතුව ඇත. එසේ නොවන්නට එකම පුද්ගලයා තුන් හතර වතාව පුනරුත්ථාපනය කරමින් රටේ මුදල් ජනතාවගේ මුදල් නාස්තියකට ලක් වෙනවා හැර, රටේ අනාගතය විනාශ වනවා හැර අන් යමක් සිදුනොවනු ඇත.   
(මෙහි එන නම් ගම් මන:කල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න.)   


විශේෂ ස්තුතිය - පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශන ලියනගේ, අධ්‍යක්ෂ පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන කර්නල් එම්. අසාද් ඉසඩීන්, කන්දකාඩුව හා සේනපුර මධ්‍යස්ථාන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් වන කර්නල් චමින්ද පැස්කුවල් හා ලුතිනන් කර්නල් විරාජ් විමලසේන මහත්වරුන්ට.   

 


සටහන හා ඡායාරූප
මුදිතා දයානන්ද