• දරුවාගේ කටහඬ අහන්න නැතිව ගෙදර ඉන්නේ අමාරුවෙන් මහත්තයෝ   
  • මරාදැමුණු අහිංසකයන් වෙනුවෙන් සාධාරණය ඉටුකර දෙන්න.   

 

 

අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ලවුණු ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් දිවි අහිමි වුණු දරුවන් අතර මුස්ලිම් ජාතික දරුවකු වන පහළොස් හැවිරිදි මොහොමඩ් රිස්වාන් මොහොමඩ් යාසින් පුතණුවන්ටත් සිය ජීවිතය අහිමි වෙනවා. ඒ අනතුර වූයේ සිය ලොකු අම්මා සමග පාස්කු දේව මෙහෙයට එක්වූ අවස්ථාවේයි.   


මව්පියන්ට දරුවන්ද දරුවන්ට මවුපියන්ද අහිමි කළ ඒ සිදුවීමෙන් මුළු ජීවිත කාලයම දුක් විඳින මේ අහිංසකයන්ගේ කඳුළු කතා අතර අපේ හදවත් ​ෙමහොතකට නතර වුණා. 
 


අපිට ආගම් භේද ප්‍රශ්න නැහැ. අපි කාටවත් වෛර කරන්නේ නැහැ. මම මුස්ලිම් ජාතිකයෙක්. මගේ ආගමේ මිනීමරලා ස්වර්ගයට යන්න පුළුවන් කියලා කොහේවත් කියලා නැහැ. අපි හරි සාමයෙන් ජීවත්වුණු මිනිස්සු. මේ රට විනාශ කළේ රටේ මහඑවුන්. නැති ත්‍රස්තවාදයක් ඇති කරලා අපේ අහිංසක මිනිසුන්ගේ දරුවන් හා අම්මලා තාත්තල මරාගත්ත එවුන්ට අද ඒවා මතක නැහැ. පල්ලියට ගිය, නිවාඩුවට හෝටලයට ගිය අපේ අහිංසක මිනිසුන්ට පණපිටින් ගෙදර එන්න මේ තිරිසන් ජාතිය ඉඩ දුන්නේ නැහැ.   


රටේ ලස්සන බලන්න ආපු විදේශිකයින්ට එයාලගේ රටට යන්න වුණේ ජීවිතේ වටිනාම වස්තූන් මේ රටේම මිහිදන් කරලා. වැරදි කරපු එවුන් නිවැරදිකාරයෝ වෙද්දි අපි උන්ගේ වැරදි නිසා මුළු ජීවිත කාලයම විඳවනවා. අපි සාධාරණයක් ඉල්ලුවා. ඒත් අපි ඉල්ලන සාධාරණය කවදාවත් ලැබෙන්නේ නැති බව පේනවා.   


එදා පාස්කු ප්‍රහාරයෙන් නතර වුණු අපේ ජීවිතවලට හෙටක් ගැන හිතන්නට තරම් මානසික සුවයක් ශක්තියක් තවමත් ලැබී නැහැ.   


මගේ නම මොහොමඩ් රිස්වාන්. මම අවුරුදු දහයක්ම හිටියේ විදේශගත වෙලා. අපි ගොඩක් දුප්පත් මිනිස්සු. අද කෑවොත් හෙට බඩගින්නේ. ඒතරම් ආර්ථික ප්‍රශ්නවල හිටපු නිසා මගේ පුතා පුංචි කාලෙම මම විදේශ රැකියාවකට ගියා. එහෙම මම ගියේ පුතාගේ අනාගතය වෙනුවෙන්. අවුරුදු දහයකට පස්සේ මම ලංකාවට ඇවිල්ලා මගේ දරු පැටියා එක්ක මට ඉන්න ලැබුණේ මාසය 4 යි. කොහෙවත් යන කාලකණ්ණි ටිකක් මගේ දරු පැටියාව අරගෙන ගියා. මට දැන් ජීවත් වෙන්න කිසි බලාපොරොත්තුවක් නෑ. මට මේ දරුව විතරයි හිටියේ. හැම සිකුරාදකම උදේම යන්නේ මගේ දරුවා මිහිදන් කරපු තැනට. මම ජීවත් වෙනවා කියලා දැනෙන්නේ එතැනට ගියහම. මගේ හුස්ම ටික තමයි එතන තියෙන්නේ...   
මේ වගේ තවත් තාත්තලා කොයිතරම් නම් අදටත් මැරි මැරී ජීවත්වෙනවා ඇතිද?   


එදා උදේ 8 ට විතර මම පිටකොටුවට ත්‍රීවිල් එකේ හයර් එකක් ගියා. පිටකොටුවෙදි කොච්චිකඩේ පල්ලියට බෝම්බ ගහලා කියලා ආරංචි වුණාම පුතාලා ඒ පල්ලියට ගියේ කියලා මට කල්පනා වුණේ නැහැ. පිටකොටුවේ ඉඳලා ගෙදර යන ගමන් පොලිසියේ මහත්තුරු දෙන්නෙක් කොච්චිකඩේ පල්ලියට දාන්න කියලා මගේ ත්‍රීවිල් එකට නැග්ගා. පල්ලිය ළඟ සෙනඟ ගොඩක් හිටියත් මම පොලිසියේ මහත්තුරු දෙන්නා පල්ලිය ළඟ බස්සල ටික දුරක් ගිහින් මම නිකමට නෝනට කතා කරලා විස්තරය කියලා දරුවා ගියේ මොන පල්ලියටද කියලා ඇහුවා. කොච්චිකඩේ පල්ලියට කියලා කිව්වම මගේ මුළු ඇඟම ලොක්වුණා වගේ දැනුණා. එහෙමම ගෙදර ගිහින් නෝනවත් දාගෙන පල්ලිය ළඟට ගියාට ඇතුළට යන්න දෙන්න බැහැ කිව්වා.   


ඊට පස්සේ රෝහලට ගියා. සෙව්වා සෙව්වා හොයන්න තියෙන හැමතැනම සෙව්වා. එහෙමම මෝචරියට ගියා. මමයි නෝනයි ගෙදර ගියේම නැහැ. 21 උදේ ඉඳලා 22 රෑ එළිවෙනකම් හොස්පිටල් එකේ වාට්ටුවලයි, මෝචරිවලයි පිස්සු වැටිලා වගේ මගේ පුතාවයි, බිරිඳගේ ලොකු අක්කවයි සෙව්වා. බැරිම තැන රාගමටයි කළුබෝවිල රෝහලටයි ගිහිල්ලත් සෙව්වා.   


22 හවස එකපාරම මෘත ශරීර 36 ක් ජාතික රෝහලේ මෝචරියට ගේනවා කිව්වම එතනට ගියා. අන්තිමටම පල්ලියේ තිබිලා ගෙනාපු මරණ 36යේ තමයි මගේ පුතාගෙයි, බිරිඳගේ අක්කගෙයි සිරුරු දෙක තිබුණේ. පුතාගේ සිරුරට ලොකුවට හානි වෙලා තිබුණේ නැහැ. පුතාගේ ඉණෙන් පහළ තමයි තුවාලවෙලා තිබුණේ. වයි​ෆ්ගේ අක්කාගේ එක කකුලක් තිබුණෙම නැහැ. එයාව අඳුරගත්තේ කරේ තිබුණු රත්තරන් මාලෙන්. මුස්ලිම් ආගමේ විදිහට පුතාගේ කටයුතු එදාම පැය ගාණකදී සිද්ධ කළා. 

 
බිරිඳගේ අක්කාගේ සිරුර අපට ලැබුණේ සීල් කරලා. එයාගේ අවසන් කටයුතු ඊට පහුවෙනිදාම කළා. මට තාමත් මේ දේවල් හීනයක් වගේ. දරුවාගේ කටහඬ, හිනාව කෑගැහිල්ල ඇහෙන්නේ නැතුව මේ ගෙදර ඉන්නේ හරිම අමාරුවෙන්.   


අප්‍රේල් 21 වැනිදායින් පස්සේ මාස තුනක්ම රැකියාව කළේ නැහැ. බිරිඳගේ මානසික මට්ටමට දරුවාගෙයි අක්කාගෙයි වියෝව තදින්ම බලපෑවා. මම දැන් මගේ යාළුවෙකුගේ ත්‍රීවිල් එකක් කුලියට අරගෙන හයර් කරනවා. මට දැන් බිරිඳව විතරක් දාලා නැවත විදේශගත වෙන්න බැහැ. කලින් මගේ බිරිඳ කළේ රෙදි ව්‍යාපාරයක්. නැවත ඒක පටන් අරගන්න තමයි උත්සාහ කරන්නේ. නැත්නම් මට රජයෙන් හරි රැකියාවක් දෙනවනම් ඒක ලොකු පිනක්.   


තවදෙයක් තමයි මට තියෙනවා ඉල්ලීමක් කරන්න. මුස්ලිම් ආගමේ හැටියට මැරිලා කෙනෙක් වළ දැම්මට පස්සේ මාස හයකින් ඒ වළේම තවත් කෙනෙක් තැන්පත් කරන්න පුළුවන්. අපිට ඕන ඒ වළ පුතා වෙනුවෙන් සිමෙන්තිවලින් බැඳලා වෙන්කරන්න. ඉටිපන්දමක් පහනක් මල් ටිකක් තියන්න පුළුවන් විදිහට හදාගන්න. ඒවට අවශ්‍ය අවසරය කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා අපිට අරගෙන දෙනවනම් අනේ ඒක ලොකු පිනක්. අපිට දැන් ඉතිරි වෙලා තියෙන්නේ දරුවාගේ සොහොන් කොත විතරයි.   


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රතිසංස්කරණය කෙරුණු කොච්චිකඩේ දේවස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 54 දෙනෙකුගේ නාම පුවරුවක් එළිදැක්වූ අතර එහිදී එම නාම පුවරුවේ ඇති මෙම මොහොමඩ් රිස්වාන් පුතු පිළිබඳ සමාජයේ දැඩි කතාබහක්ද ඇතිවුණා.   


ඒ එලෙස සඳහන්ව ඇත්තේ බෝම්බකරුගේ නම බව ප්‍රකාශ කරමින්. එහෙත් මොහොමඩ් රිස්වාන් යනු බෝම්බකරු නොව දේව මෙහෙයට සහභාගී වූ පහළොස් හැවිරිදි දරුවකු බවද සමාජ මාධ්‍ය හරහා නිවේදනය කළත් තවමත් බොහෝ පිරිස් සමාජ මාධ්‍යයන්හි එය බෝම්බකරුගේ නම බවට ප්‍රචාරය වනවා.   


2004 තමයි පුතා ලැබුණේ. එයා කාටවත් කරදරයක් නැතුව ජීවත් වුණ දරුවෙක්. මම මුස්ලිම් ආගමේ නිසා පුතා මුස්ලිම් ආගම වැලඳ ගත්තා. මේ ප්‍රහාරයෙන් පස්සේ පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරලා මියගිය අයගේ නාමපුවරුවක් ප්‍රදර්ශනය කළා. ඒකේ මගේ පුතාගේ නම බෝම්බය පුපුරවගත්ත ත්‍රස්තවාදියාගේ කියලා සමාජජාලාවල ගොඩක් විවිධ දේවල් ප්‍රචාරය වුණා.   


මම ඉල්ලන්නේ ටිකක් හොයලා බලලා දේවල් කරන්න. මේ ව්‍යසනයට මුහුණ දීපු අපිව මැරුණු අයව විහිළුවට, හෑල්ලුවට ලක්කරන්න එපා. ඒ අයගේ ආත්මවලට සැනසීමක් දෙන්න. එයාලා දිවි දුන්නේ ජීවත්වෙලා ඉන්න අපි වෙනුවෙන් කියලා හිතන්න.   


මියගිය මොහොමඩ් යාසිත් පුතුගේ මවද තවමත් ජීවත් වෙන්නේ පුතුගේත් වැඩිමහල් සොහොයුරියගේත් වියෝ වේදනාව දරාගත නොහැකිවයි.   
මගේ පුතා ඉගෙනගන්න හරිම දක්ෂයි. අවුරුදු පහළොව වුණාට එයා වැඩ කළේ හරිම වගකීමෙන්. පුතා ​ඉගෙන ගත්තේ දෙමටගොඩ සෙන් ජෝසප් විද්‍යාලයේ දහය ශ්‍රේණියේ.   
අපි හැමෝම වෙනදට පාස්කු පූජාවට පල්ලියට යනවා. ඒත් එදා අපි පූජාවට පල්ලි ගියේ නැහැ. ඊට දවසකට කලින් අපි නැතිවුණ මගේ අක්කයි දරුවායි ඔක්කොමලා අනුරාධපුර, යාපනේ ට්‍රිප් එකක් ගියා. ඇඟට තෙහෙට්ටු නිසා අපි පූජාවට ගියේ නැහැ. ඒත් අක්කායි පුතයි විතරක් පල්ලි යනවා කියලා කිව්වා.   


මගේ අක්කාට පුතා හරිම ආදරෙයි. මගේ අක්කත් එහෙමයි. ලොකු අම්මේ අපි දෙන්නා පල්ලි යමු කියලා වෙනදාට වඩා හරිම ආසාවෙන් එදා දෙන්නම පල්ලි යන්න ලෑස්ති වුණා. දෙන්නම එකම පාටින් ඇඳුම් ඇඳගෙන අම්මේ මම ගිහින් ඉක්මනට එන්නම් කියලා මගේ මූණත් ඉඹලා මගේ පුතා ගියේ. අනේ ඒත් ආයේ ආවේ නෑ.   

 

 


මේ මව්වරුන්ගේ පියවරුන්ගේ ඇස්වලින් පිටවන කඳුළුවල වේදනාව කොච්චරද කියලා අපට වචනයට පෙරළන්න බැහැ. ඕනම දෙයක් දවස් හතෙන් අමතක කරන අපේ මිනිස්සුන්ට මේ වේදනාවන් දැනෙන්නේවත්, පෙනෙන්නේවත් නැහැ. ඒතරම් ඉක්මනට අපේ මිනිස්සුන්ට දැන් මේ සියල්ලම අමතක වෙලා ගිහින්. ඒත් මේ මිනිස්සු ජීවිත කාලයම මේ වේදනාවන් විඳවනවා. පුන පුනා අපි මතක් කරන්නේ දවස් හතෙන් හැමදේම අමතක කරන උන්ට ඒ මහා විනාසයේ බරපතළකම නොතේරෙන නිසා.   


මම ක්‍රිස්තියානි ආගමේ. මගේ මහත්තයා මුස්ලිම්. ඒත් මගේ පුතා බෞද්ධ ආගමට හරිම ලැදියි. ඒ ආගමට හරිම ආදරෙයි. පුතයි ලොකු අක්කයි නැතිවෙන්න කලින් අපි යාපනේ ගිය ට්‍රිප් එකේදි මගේ පුතයි ලොකු අක්කායි හරියට හිනාවෙලා සතුටු වුණා.   


ට්‍රිප් එක ගිහින් ගෙදර එනකොට කුරුණෑගල පන්සලකට යන්න ඕන කිව්වා. පුතා ඉරිදා පල්ලියට යන්න කලින් අන්තිමටම ගියේ පන්සලට. හැම අවුරුද්දෙම පුතා පොසොන් පෝයට භක්ති ගීත ගායනා කරන්න යනවා. ඒ තරම්ම බෞද්ධ ආගමට ලැදි දරුවෙක්.   


බිෂොප් හවුස් එකෙන් ගෙදරට ආවා. අවශ්‍ය දෙයක් ඇත්නම් ඉල්ලන්න කිව්වා. ජීවිතේ එකම වස්තුව නැතිවුණාට පස්සේ මොනවද තවත් ඉල්ලන්න ඉතිරිවෙලා තියෙන්නේ? මම දන්නවා මගේ පුතා කාටවත් ගෙනත් දෙන්න බැහැ. මරාගත්ත අහිංසක කිරිසප්පයන් වෙනුවෙන් සාධාරණයක් විතරයි අපට ඕනෑ. මාස පහක් වෙලත් ඒ සාධාරණය අපට ලැබුණේ නැහැ. 

 
අපේ දරුවන්ගේ වටිනාකමක් මේකට උඩගෙඩි දීපු තිරිසන්නුට දැනෙන්නේ නැහැ. වැරදි කරපු එවුන්ව නිදහස් කරනවා. එතකොට වැරදි එදා පල්ලියට ගිය මේ කිරිසප්පයෝද? ජීවිත කාලෙම උරුම වෙච්ච මේ වේදනාව එක්ක දඬුවම් විඳින්නේ අපි.   


මේ වගේ වේදනාවක් තවත් අම්මලාට දෙන්න එපා. අපිට අන්තවාදය, ත්‍රස්තවාදය ඕනෑ නෑ. මගේ පුතා වෙනුවෙන් මම ඉල්ලන්නේ සාමය විතරයි. මමයි මහත්තයයි ඉල්ලන්නේ මගේ පුතාගේ සොහොන් කොත බැඳලා සකස්​ කරගන්න කොහොම හරි අවසර අරගෙන දෙන්න කියලා. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නේ දරුවගේ සොහොන් කොත විතරයි.   

 

 

 


නදීශා අතුකෝරළ   
ඡායාරූප-චානුක කුලසේකර