කුමාර ඉපදුණේ වාද්දුව ප්‍රදේශයේය. ඉගෙනීමට දක්ෂතා දක්වන කුමාර මේ වනවිට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ද සමත් වී අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිටීමට සූදානමින් පසුවෙයි. පවුලේ එකම දරුවා කුමාරය. කුමාරගේ අම්මාත් තාත්තාත් කුමාරට කිසිම අඩුපාඩුවක් නොකර ඔහුට අවශ්‍ය හැමදේම ලබා දෙන්නේ කුමාර පවුලේ එකම දරුවා නිසාය.   


කුමාර බොහෝ අහිංසක, නිහතමානී ගතිපැවතුම්වලින් හෙබි දරුවකු වූවේය. අම්මාගේ සහ තාත්තාගේ සේම පවුලේ සියලු‍ ඥාතීන්ගේද, පාසලේ ගුරු භවතුන්ගේ සේම පාසලේ මිතුරු මිතුරියන්ගේද ආදරය සෙනෙහස ඔහු නොඅඩුවම ලැබුවේ ඔහුගේ අහිංසකකම සහ නිහතමානීකම නිසාමය. කාගෙවත් හිත රිදෙන වචනයක්වත් නොකියන ඔහු කිසිම හේතුවක් මත කිසිවකුගේවත් හිත නොරිදෙන පරිද්දෙන් කටයුතු කළේය. එසේම අධ්‍යාපන කටයුතුවලද නියැළුණේ කිසිම අලසකමක් නොමැතිවය.   


කුමාර අමතර පංතියේදී පවා තම මේසය කිහිප වතාවක්ම පිහදමන්නේය. දැන් දැන් ඔහුට අපිරිසිදුකම පෙනෙන්නට බැරිය. පොත් ටික මේසය මත තබන ඔහු නැවත එම පොත්වල දූවිලි ගෑවී ඇත්දැයි පිරික්සයි. නැවත මේසය පිසදමා පොත් ටික තබා බීමට ගෙනා වතුර බෝතලයෙන් අත් දෙක සෝදා ගනී. වාඩිවන පුටුවද කීපවරක්ම පිසදමයි. ඔහු යහළු යෙහෙළියන්ද ඇසුරු කළේ බොහෝ ප්‍රවේශම් සහිතවය.   


එහෙත් ඉස්සර පාසලේදී වාගේ කෑම බීම හුවමාරු කරගත්තේවත් වතුර තිබහ හැදුණ විට මිතුරකුගේ වතුර බෝතලයක් ගෙන පිපාසය නැති කරගත්තේවත් නැත. තමන් වාගේ අන් අය පිරිසිදු නැතැයි ඔහු සිතුවේය. වැසිකිළියට යාමට අවශ්‍ය වූ වේලාවන් හිදී පවා ඔහු නිවසට පැමිණෙන තෙක්ම අපහසුවෙන් හිඳියි. පාසලේවත් අමතර පංතිවලදීවත් ඒවායේ ඇති වැසිකිළි කැසිකිළි ද පරිහරණය කළේ නැත.   


දිනක් කුමාරගේ පියාට හදිසියේ නිවසින් බැහැරට යාමට අවශ්‍යව තිබුණු අතර, ඔහු මුහුණ කට සෝදා ගැනීමට නාන කාමරයට යාමට පෙර කුමාර නාන කාමරයට ගොස් සිටියේය.   


“අනේ පුතේ ඉක්මනට එන්න මට පරක්කු වෙනවා” කුමාරගේ පියා කුමාරට කතා කළේ බොහෝ වේලාවක් කුමාර නාන කාමරය තුළ ගත කළ නිසායි. පැයකටත් ආසන්න කාලයක් නාන කාමරය තුළ සිටි කුමාර ඉන් පිටතට ආපසු කුමාරගේ තාත්තා ඔහුට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තේය.   


“මොකක්ද පුතා ඔයා පුදුම වෙලාවක් ගන්නවනේ බාත්රූම් එකට ගියාම. මොනාද ඔච්චර වෙලා කරන්නේ. නාලා ඉක්මනට එන්නකො”   


කුමාර පංති යාමට සූදානම් වනවිටද බොහෝ වේලාවක් ඒ සඳහා සූදානම් වීමට කාලය ගනී.   


දිනක් කුමාරගේ අම්මා ඔහුට තේ දුන් විට, තේ වීදුරුව අතට ගත් කුමාර “මේ මගේ වීදුරුව නෙමෙයි. මගේ වීදුරුවට මට තේ එකක් දාලා දෙන්න අම්මා” කුමාරට දුන් තේ වීදුරුව පාවිච්චි කරන්නේ කුමාරගේ අම්මාය.   


“ඇයි පුතා ඕක මගේ වීදුරුවනේ. ඕකෙන් බීවම මක් වෙනවද...?” අම්මා ඇසුවාය. 

 
“මට එපා කාගෙවත් ඒවායේ බොන්න බෑ මට අප්පිරියයි අම්මා” කුමාර කීවේ නෝක්කාඩුවෙනි.   


කුමාරගේ ක්‍රියාකලාපය එන්න එන්නම වෙනස් වීගෙන එන බව මාපියන්ට වැටහුණි. “මේ දරුවගේ පුදුම පිරිසිදුකමක්නෙ තියෙන්නේ. කෑම කෑවත් පිඟාන හෝදලා ඉවර වෙලා අත් දෙක සබන් දාලා හෝදලා කරාමය වැහුවට පස්සේ ආයෙත් කරාමය ඇරලා කරාමයත් හෝදලා ඊට පස්සේ අත් දෙකත් හෝදලායි කරාමය වහන්නේ. පොත් මේසේ හැමවෙලේම පිහදානවා. ඊට පස්සේ ආයෙත් අත් දෙක හෝදගන්නවා. පුටුවේ ඇන්දක් ඇල්ලු‍වත් අත හෝදනවා. මොන හේදිල්ලක්ද මන්දා මේක”

   
කුමාරගේ අම්මා විසින් කුමාරගේ තාත්තාට කීවේ ඉවසාගත නොහැකි තැනය.   


“ටික කාලෙක ඉඳලා මාත් බලාගෙන තමයි ඉන්නේ. මොකක්ද ඉතිං මේකට කරන්නේ අපි” කුමාරගේ තාත්තා විමසීය. “අනේ මන්දා දරුවට මොකක් හරි දෝෂයක්ද දන්නෙ නෑ. මං කෝකටත් කපු මහත්තයාව මුණගැහිලා එන්නම් හවස දේවාලය පැත්තෙ ගිහින්” කුමාරගේ අම්මා කීය.   


එදින සවස කුමාරගේ අම්මා කුමාරවද කැටුව ගමේ දේවාලය වෙත ගියාය. ඉන්පසු කපු මහතාට සියලු‍ විස්තර පවසා “දරුවාට මොකක්ද වෙලා තියෙන්නෙ කියලා බලව ගන්න ආවේ” යනුවෙන් පැවසීය. “ඔය බුලත් කොළයක් ඔතනින් අරගෙන ඒකට රුපියල් තුන්සිය එකක් පඬුරු තියන්න” කපු මහතා කීය. කපු මහතා දේව රූපය ඉදිරියේ අත් දෙක ඉහළට කර වැඳගෙන දෙවියන්ට කන්නලව් කළේ නොතේරෙන භාෂාවකිනි. ඉන්පසු හිස ඉහළටත් පහළටත් වනමින් “ආ...ආ...ආ..” යනුවෙන් කියමින් යමක් දැනගත් විලසින් නැවත හිස සොලවමින් “මේ දරුවට පෙරේත දෝෂයක්. පෙරේත දෝෂයක්. අයින් කරන්න වෙයි. ඔව්... ඉක්මනටම මේක අයින් කරලා දාන්න ඕනේ... තව ඉස්සරහට වැඩි වෙනවා. මේ දෝෂය බොහෝම බලගතු පෙරේත දෝෂයක්” කපු මහතා කුමාරටත් අම්මාටත් ආරූඪයෙන් කියා සිටියේය.   


ආරූඪය අවසන් වූ පසු කපු මහතා තමා කුමක් කීවේදැයි ඇසීය. කුමාරට පෙරේත දෝෂයක් තිබෙන බවත් එය ඉක්මනින්ම අයින් කළ යුතු බවත් පැවසූ බව කුමාරගේ අම්මා කපු මහතාට කීවාය. “එහෙනම් පෙරේත තටුවක් හදන්න වෙයි. ටිකක් වියදම් කරන්න වෙයි. පෙරේත තටුව සඳහා අවශ්‍ය කරන සියලු‍ දේවල් කපු මහතා විසින් කුමාරගේ අම්මාට කොළයක ලියා දුණි. පුළුටු ජාති සහ පණ තිබෙන කුකුළෙකුද සූදානම් කර ගන්නා ලෙසත් කපු මහතා කීවේය.   


පෙරේත දෝෂය ඉවත් කිරීම සඳහා කපු මහතා රුපියල් විසිපන්දහසක මුදලක් ඉල්ලා සිටියේය. එය ලබාදෙන බවටත් ඉක්මනින්ම පෙරේත තටුව සඳහා අවශ්‍ය දෑ සකස් කරන බවත් කුමාරගේ අම්මා කපු මහතාට පවසා කුමාර සමඟ දේවාලයෙන් නික්ම නිවසට පැමිණියාය.   


කුමාරගේ මාපියෝ පෙරේත තටුව සඳහා අවශ්‍ය දෑ සූදානම් කළෝය. කපු මහතා සවස හය පමණ වනවිට කුමාරගේ නිවසට පැමිණියේ තවත් සහයකයෙකුද කැටුවය. ඉන්පසු කුමාරගේ පෙරේත දෝෂය අයින් කරන්න අවශ්‍ය යාගය පටන් ගත්තේය. පැය කිහිපයක කාලයකින් අනතුරුව කුමාරගේ ශරීරයේ තිබූ පෙරේත දෝෂය ඉවත් කෙරිණි. කපු මහතාට පොරොන්දු වූ මුදල කුමාරගේ පියා ලබාදුණි.   


“දැන් හරි.. දරුවගේ තිබුණු පෙරේත දෝෂය අයින් කළා. දැන් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ” කපු මහතා පොරොන්දු විය.   


පෙරේත දෝෂය ඉවත් කිරීම නියමාකාරයෙන් සිදුවී නොමැති බව කුමාරගේ මාපියන්ට වැටහුණේ කුමාරගේ ක්‍රියාකලාපයේ කිසිදු වෙනසක් දක්නට නොමැති බව දුටු පසුවය. “දැන් මොකද කරන්නෙ. කපු මහත්තයාව ආයෙත් මුණගැහෙන්න යන්න වෙයි” කුමාරගේ මව පැවසීය.   


“නෑ.. කලබල නොවී ටිකක් ඉන්න. මගේ යහළුවෙක් ඉන්නවා එයාට පුතාගේ ප්‍රශ්නය කියලා හරියටම මොකක්ද කරන්න ඕන කියලා දැනගන්නම්කෝ” කුමාරගේ පියා කල්පනා බරව කීවේය.   


කුමාරගේ පියාගේ මිතුරා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. ඔහු මුණගැසීමට ගිය කුමාරගේ පියා සියලු‍ විස්තර නොවලහා තම විශ්වවිද්‍යාල මිතුරාට පවසා සිටියේය.   
“ඕකට තොවිල් පවිල් කරලා හරියන්නෙ නෑ. අපරාදෙ ලොකු ගාණක් වියදම් කරලානේ.. පුතාට ඇති පෙරේත දෝෂයක් නෑ. දරුවව Psycho Therapist කෙනෙක්ට පෙන්නන්නයි තියෙන්නේ. මගේ හිතවත් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා. මං එයාට විස්තරේ කියන්නම්. මේනක දරුවව ඒ ඩොක්ටර් ළඟට එක්ක යන්නකො”   


කථිකාචාර්යවරයා කුමාරගේ පියාට කීවේය. ඒ අනුව තම මිතුරාගේ උපදෙස් පරිදි මේනක තම බිරිඳත් සමඟ කුමාරව කැටුව ගියේ ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවටය.   


වෛද්‍යවරයා කුමාරට ප්‍රතිකාර කිරීම භාරගත්තේය. මාස කීපයක ප්‍රතිකාරවලින් අනතුරුව කුමාර සම්පූර්ණයෙන්ම සුව වුණේය. වෛද්‍යවරයා මෙහි විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කළේ මෙසේය.   


මෙම රෝගී තත්ත්වය මනෝ විද්‍යාවේදී හඳුන්වන්නේ OCD (Obsessive Compulsive Disorder). එනම්, ග්‍රස්ථිය පෞරුෂය යනුවෙනුයි. මෙම තත්ත්වයෙන් පෙළෙන්නන් තුළ නිතරම අප්‍රියජනක සහ කරදරකාරී සිතුවිලි පහළ වේ. සෑම අවස්ථාවකම එකම දේ නිතර නිතර කිරීම, දවසකට වැඩි වාර ගණනක් දෑත් සේදීම, යම් අසාධ්‍ය අසනීප තත්ත්වයකින් පෙළෙන රෝගියෙකු දුටුවිට එම අසනීපය තමාටත් හැදෙයි යන සිතුවිලි ඇතිවීම, අහේතුක සිතුවිලි නිසා නිවසේ උළුවස්ස යටින් කීපවරක් එහා මෙහා යාම වැනි තව බොහෝ ලක්ෂණ දැකිය හැකියි.   


මානසික ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකියි. එසේ නොමැතිව මෙය අමනුස්ස දෝෂයක් හෝ නොපෙනෙන බලවේගයක් මත සිදුවන්නක් යැයි පැවසීම සම්පූර්ණයෙන්ම මිථ්‍යාවක් පමණයි.   

 

 


හබරාදුව නිමල් අල්ගෙවත්ත