අගවිනිසුරුට මරු කැඳවූ නුවරඑළියේ ඉපැරැණි රජයේ තානායම (පැරණි නුවරඑළියේ පොලිස් ගොඩනැගිල්ල)

ගොඩනැගිල්ල ඉපැරැණි බව කියන සලකුණ

 

 

ඉංග්‍රීසීන් ගොඩනැඟූ නුවරඑළිය නගරය එද‌ා සිට මේ දක්වා සංචරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ පුංචි නගරයකි. ගොවීන්ගේ නගරයක් ලෙස කලක් නම් කළ නුවරඑළිය නගරය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ මනස පිනවන තැනක් වී ඇත. අද වෙනවිට සතිඅන්ත නිවාඩු දිනයක් උද‌ාවෙත්ම දේශීය සංචාරකයින්ට නවාතැන් පහසුකම් ලබාදෙමින් තම ආර්ථිකය ශක්තිමත් කරගන්නා වූ පිරිස බොහෝය.  


නගරයේ පවතින ප්‍රධානපෙළේ සංචාරක හෝටල්, නිවාඩු නිකේතන හා නවාතැන් පොළවල් බොහෝය. තම පදිංචි නිවසේ කාමරයක් කුලියට දී ගනුදෙනුවක් සොයා ගන්නා අයද ඒ අතරට එක් වේ. උපරිම පහසුකම් මෙන්ම අවම පහසුකම්ද මේ ක්ෂේත්‍රයේ වේ. වසර කීපයකට පෙරදී තරුණ යුවලක් අවම පහසුකම් සහිත වූ කාමරයක ලැගුම් ගෙන ගල් අඟුරු තිබූ උඳුනක් කාමරය තුළ තබාගෙන සීතල රැය පහන් කරන්නට දැරු උත්සාහය මරණයෙන් කෙළවර වූ බව අපට මතකය. එවැනි පහසුකම් රහිත වූ නිවාඩු නිකේතන ඉංග්‍රීසීන් ගොඩ නැංවූ පුංචි එංගලන්තයේ එද‌ා තිබුණු බවට තොරතුරු කියන තැනකි නුවරඑළිය පැරණි පොලිස් ස්ථාන ගොඩනැගිල්ල.  
ඉංග්‍රීසීන්ගේ පැරණි සොහොන්පොළ තුල අපට හමුවෙන සුවිශේෂ සොහොන් ගල් කීපයකි. 1838 මැයි 19 දින මියගිය ‘ශ්‍රීමත් විලියම් රෝගින්’ අවුරුදු 64ක් වයසැති සොහොන එම සොහොන් ගලේ ‘අගවිනිසුරු’ ලෙස සටහන් වී තිබීමද වැදගත් වේ. නුවරඑළිය නගරය ගැන අධ්‍යයනය කිරීමේදී අවුරුදු 185 කාලයක් ගෙවුණ ද නගරය නිර්මාණය වූ මුල් කාලය තුළදී සෞඛ්‍ය පහසුකම් ඉතා අවම මට්ටමක තිබුණු බව වාර්තා වේ.  


1970 දශකයේ මුල් කාලයේදී මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන් විසින් ලියූ එද‌ා සහ අද යන වාර්තාවකට අනුව පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති නුවරඑළිය පැරණි පොලිස් ස්ථානයට අයත් ගොඩනැගිල්ල එද‌ා 1830 දශකයේ සිට රජයේ තානායමක් ලෙස පවත්වාගෙන පැමිණ ඇත.  


එම තානායමේ ලැගුම් ගෙන ආහාරපාන ගත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයෙකු හා තවත් සිව් දෙනෙකු හදිසියේ මියගොස් ඇති බව කියැවේ. මෙම හදිසි මරණයන් පිළිබඳව බ්‍රිතාන්‍ය ජාතික පාලකයින් විසින් (කොමිසමක්) පත්කර පරීක්ෂණයක් සිදුකර ඇත. එහිදී තානායමේ තිබුණු අවම පහසුකම් හේතු කොටගෙන අගවිනිසුරුවරයා ඇතුළු සිව්දෙනා ‘‘කොළරාව’’ වැළදී මියගොස් ඇති බව තහවුරු කරගත් බව කියැවේ.   

 

මියගිය අගවිනිසුරුගේ සොහොන

 

ඉපැරැණි ගොඩනැගිල්ල තුළ 1907දී ඉදිකළ සලකුණ

 


1877දී ලබාදුන් එම කොමිෂන් වාර්තාව අනුව නිර්දේශ 5ක් ඉදිරිපත් කර ඇත. වළ වැසිකිළි වෙනුවට බාල්දි වැසිකිළි භාවිතය, තලගල ඔයේ දිය නෑම වැළැක්වීම ඒ අතර ප්‍රධාන වේ. ඒ සමඟම නුවරඑළිය නගරය සඳහා ප්‍රථමවරට 1886 නගර පාලක මණ්ඩලයක් පත්කිරීමද ඒ නිර්දේශ අතර වේ. කෙසේ වුවත් ඉංග්‍රීසින් පැරණි සොහොන්පොළේ ඇති අගවිනිසුරු සොහොනක් නුවරඑළිය පැරණි පොලිසියේ පවත්වාගෙන ගිය රජයේ තානායමේදී මියගිය අගවිනිසුරුවරයා එක් අයෙකුද යන්න පැහදිලි නැත. ඊට හේතුව අගවිනිසුරු මියයෑම කොමිෂන් වාර්තාව ප්‍රකාශ වීම අතර වසර 29ක් වෙන නිසාය.  


කෙසේ වුවත් අගවිනිසුරුවරයෙකු ඇතුළු සිව්දෙනෙකු මියයෑම නිසා කොමිසම ක්‍රියාත්මක වී නුවරඑළිය නගරය විධිමත් ලෙස සකස් කිරීමට ඉංග්‍රීසීහු පියවර ගෙන ඇත. ඒ අනුව 1886 නගරය සෑදීම සඳහා ඉඩම් වෙන්කිරීම 1896දී ප්‍රථම පළාත් පාලන ආඥාවක් නිකුත් කිරීම ඒ අතර වේ. ක්‍රමානුකූලව නගරයට අවැසි දේ එතැන් සිට සම්පාදනය වෙමින් ඇති බව නුවරඑළිය ගැන විමසීමේදී පෙනෙන්නට තිබේ. ඒ හේතුව නිසාම 1921 වසරේ නුවරඑළිය සංවර්ධන මණ්ඩලයක් ස්ථාපිත වී 1931 දක්වා එම මණ්ඩලය නුවරඑළිය තුළ ක්‍රියාත්මක වී ඇත. 1932 වසරේදී සුළු නගර සභාවක් බවට පත් වූ නුවරඑළිය සංවර්ධන මණ්ඩලය 1949 වසරේදී මහානගර සභාවක් බවට පරිවර්තනය වී ඇත. එද‌ා අවුරුදු 174කට පෙරදී අගවිනිසුරුවරයකු ඇතුළු සිව්දෙනෙකු කොළරාව වැල ඳී මියගිය නගරය අද ශ්‍රී ලංකාවේ සොඳුරුතම පාරිසරික පාරාදීසය බවට පත්ව ඇත. එයට ඉවහල් වූ නුවරඑළිය පැරණි පොලිස් ගොඩනැගිල්ල අද ද නව පොලිස් ස්ථානය 2000 පෙබරවාරි 16 දින විවෘතවීමෙන් පසු නුවරඑළිය මූලස්ථාන පොලිසිය අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත සංරක්ෂණය කෙරේ.  
මෙම ගොඩනැගිල්ල නුවරඑළියේ සලකුණක්ද වේ.  

 


ඡායාරූප හා සටහන 
නුවරඑළිය - ෂෙල්ටන් හෙට්ටිආරච්චි