(රොමේෂ් මධුෂංඛ)
 
මන්නාරම තිරුකේතීෂ්වරම් හින්දු කෝවිලට ඇතුළු වන මාර්ගයේ ඉදිකර තිබූ පිළිගැනීමේ තොරණ කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හින්දු පූජකවරුන් ඇතුළු සිවිල් සංවිධාන අද (28) මන්නාරමේ සහ වව්නියාවේදී සත්‍යග්‍රහ හා විරෝධතාවයන් සංවිධානය කර තිබිණි.

මන්නාරම් නගර මධ්‍යයේ  මන්නාරමේ හින්දු පූජකවරුන් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද (28) විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර විරෝධතාවය පාගමනකින් ගමන් කර විරෝධතාකරුවන් විසින් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන ලද සංදේශයක් මන්නාරම් දිසාපති සී.ඒ.මෝහන්රාජ් මහතා වෙතට බාර දෙනු ලැබීය.

මේ අතර වව්නියාව කන්දසාමි කෝවිල ඉදිරිපිට වව්නියාවේ හින්දු පූජකවරුන් හා සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයින් විසින් ද ඊයේ (27) සත්‍යග්‍රහය ආරම්භ කර ඇති අතර එය අද දිනයේ ද ක්‍රියාත්මක වේ.

උතුරු පළාතේ ජීවත්වන ජනතාවගේ සාමය සංහිඳියාව බිඳ දැමීමේ චේතනාවෙන් සිදුකර ඇති අතර වරදකරුවන් අත්අඩංගුවට නොගැනීම හා නීතිය ක‍්‍රියාත්මක නොවීම පිළිබඳ විශාල සැකයක් මතුවන බව සත්‍යග්‍රහයේ නිරත වූ හින්දු පූජකවරු කීහ.