(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණා නායක)
 
විවිධ නඩු සම්බන්ධයෙන්  ඇප ලබාදී මහර රක්ෂිත  බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් නිදහස් නොකිරීමට විරෝධය පළ කරමින් අද (18) පෙරවරුවේ ගම්පහ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී එම සැකකරුවන්ගේ ඥාතීන් නිහඬ විරෝධතාවයක නිරත වූහ.  
 
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය  කර  තිබිණි. 
 
විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය ඉදිරිපිට  විරෝධතාවයේ නිරතව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල, "රැඳවියන් කොවිඩ් 19 න් බේරනු " , රැඳවියන්ට  වධ හිංසා කිරීම වහා නවතනු " , "ආහාර පාන බෙහෙත් සහ සනීපාරක්ෂක පහසුකම් කප්පාදුව නවතනු " ආදී වශයෙන් සදහන් කොට තිබිණි. 
 
 
මෙම අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා සහ එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් සිල්වා යන මහත්වරුන්ද එක්ව සිටියහ.