සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම්, මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායමේ නායක හිටපු ඇමැති

රංජිත් මද්දුම බණ්ඩාර 

  • කොරෝනා මර්දන වැඩසටහන දේශපාලන කාලසටහනක් අනුව ගිය නිසා අසාර්ථක වෙලා තියෙනවා
  • අපි මේකෙන් දේශපාලන වාසි ගන්න ගියේ නෑ. ඇඳිරි නීතියේ නීත්‍යානුකූල භාවය ගැනවත් අපි ප්‍රශ්න කළේ නෑ. මේ හැම ව්‍යසනයකින්ම වාසිගත්තේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණයි.  

රටේ අලුත් දේශපාලන තත්ත්වය හා පෙළගැසීම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය - ආණ්ඩුව සාර්ථක ලෙස කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බව කියනවා. ඔබ එකඟද ඒ ප්‍රකාශය සමග.  


පිළිතුර - කොරෝනා මර්දන මෙහෙයුම දේශපාලන කාලසටහනක් අනුව ගිය නිසා අසාර්ථක වෙලා තියෙනවා. අපි දන්නවා ගොඩාක් දූපත් රාජ්‍යවල කොරෝනා මර්දනය සාර්ථකව කරලා තියෙනවා. අපි වරද්දා ගත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් උපදෙස් දෙද්දි මට මතකයි ජනවාරි 27 ත් පෙබරවාරි 4 ත් අපේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ ගැන පාර්ලිමේන්තුවට කතා කරද්දි ආණ්ඩුව ඒක විහිළුවට ගත්තා. මේගොල්ලෝ 7 - 8 - 9 වැනිදා වෙනකොට පාසල් වැහුවා. රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කළා. නමුත් එයාර්පෝර්ට් එක වැහුවේ නැහැ. රට ‘ලොක්ඩවුන්’ කළේ නෑ. ඡන්ද න්‍යාය පත්‍රය නිසා 20 වැනිදා ඉඳලා තමයි සියල්ල කළේ. 19 වැනිදා නාමයෝජනා බාරදුන්නා. ප්‍රශ්නයෙ බැරෑරුම්කම දන්න නිසානේ පාසල් වැහුවේ. රජය නිවාඩු දුන්නේ නමුත් ‘ලොක්ඩවුන්’ කළේ නෑ. ඒක තමයි ප්‍රශ්නය. එයාර්පෝර්ට් එක ගැන අපි කියද්දි ඒකට දිනේෂ් ගුණවර්ධන කිව්වා ‘මැෂින් තියෙනවා. ඒකට බයවෙන්න එපා’ කියලා.

ජනාධිපතිවරයා කිව්වා ‘28 දෙනයි ඉන්නේ. ඕකත් කජ්ජක්ද’ කියලා. දැන් රෝගීන් දාහට කිට්ටු වෙන්න ඇවිත් තියෙනවා. සාර්ථක නෑ ආණ්ඩුවේ වැඩපිළිවෙල.  


ප්‍රශ්නය - මේක පක්ෂ බේද බලන්න පුළුවන් අවස්ථාවක් නොවෙයි. නමුත් විපක්ෂය බලාගෙන ඉන්නෙත් බොරදියේ මාළු බාන්න.  


පිළිතුර - නෑ. අපි හැමවෙලාවෙම මේ වැඩේට දායකවුණා. ආණ්ඩුව මොන තීරණය ගත්තත් අපි විවේචනය කරන්න ගියේ නෑ. ඇඳිරි නීතියෙ නීත්‍යානුකූලභාවය ගැන අපි ප්‍රශ්න කරන්න ගියෙ නෑ. අපි මේකේ දේශපාලන වාසි ගන්න ගියේ නෑ. මේ රටේ හැම ව්‍යසනයකින්ම දේශපාලන වාසි ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. යුද්ධයේ වාසිය ගත්තා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ දේශපාලන වාසිය ගත්තා. අපි මේකේ දේශපාලන වාසි ගන්න ගියෙ නෑ. අපි බොහොම අවංකව මේකට උදව් කරන්න සූදානම්. මේ රටේ විපක්ෂයෙ සියලු දේශපාලන පක්ෂවල නායකයෝ. සමගි ජනබලවේගය එක්සත් ජාතික පක්ෂය දෙමළ සන්ධානය මුස්ලිම් පක්ෂ දෙමළ පක්ෂ ඔක්කොම අත්සන් කරලා ලියුමක් දුන්නා ජනාධිපතිතුමාට අපි මේකට සහාය දෙනවා කියලා.  


ප්‍රශ්නය -මොකද්ද ලැබුණ ප්‍රතිචාරය  


පිළිතුර - හරිම කනගාටුයි කියන්න. ජනාධිපතිතුමා නොවෙයි ඒකට උත්තර එවල තිබුණේ ජනාධිපති ලේකම්. ඒ ලියුමේ කිසිම ආචාරශීලී භාවයක් තිබුණේ නෑ. හරිම කනගාටුයි. විපක්ෂය නැතිවයි ඒගොල්ලෝ මේක කරන්න හිතාගෙන ඉන්නේ. ආණ්ඩුව අද මේ ව්‍යසනය දේශපාලන වාසිගන්න යොදාගෙන තියෙනවා.  


ප්‍රශ්නය - අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ හිටපු 225 දෙනාටම ආරාධනා කළා අරලියගහ මන්දිරයට. ඔබලා ඒක වර්ජනය කළා.  


පිළිතුර - එ්ක දෙබිඩි වැඩක්නේ. ඊට කලින් සතියේ අපි ජනාධිපතිතුමාට ලියුමක් දීලා කිව්වා අපි මේකට සහාය දෙන්න සූදානම්. ඒකට කොන්දේසි දාන්නේ නෑ. පාර්ලිමේන්තුවෙන් මේ සම්බන්ධව මුදල් වෙන් කරගන්න, නීතිරීති අණපනත් වෙනස් කරගන්නවා නම් ඒකට සහාය දෙන්නම් කියල. ඒක සද්භාවයෙන් අපි කළේ. ඒකට ජනාධිපතිගෙන් ලැබුණ ප්‍රතිචාරය බොහොම නරකයි. ඉතින් අපි අහනවා අරලියගහ මන්දිරයට අපි යන්නේ මොකටද කියලා. අපි කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි. පාර්ලිමේන්තුව කැඳවන්න කිව්වම අරලියගහ මන්දිරයට කැඳවලා හරියන්නේ නැහැනේ. අරලියගහ මන්දිරයට කැඳවන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ව අපිට එතැනට ගිහින් කරන්න පුළුවන් සාකච්ඡාව මොකද්ද? සාකච්ඡාවක් කළ යුත්තේ සාකච්ඡාවක් කළ හැකි ආකාරයටනේ. ඒ විතරක් නොවෙයි ඊට පෙර පක්ෂ නායකයො හැටියට අපි අගමැතිතුමා මුණගැහුණා. ආධාරදීම, බඩු බෙදීම දේශපාලන වැඩක් බවට පත්කරගෙන තිබෙනවා. ජනාධිපති කාර්යසාධන බළකායෙ ප්‍රධානියා හැටියට පත්කළේ මෙච්චර ඇමතිවරු සිටියදි මෙච්චර නිලධාරීන් සිටියදී පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂව. ගම් මට්ටමින් පත්කළා ප්‍රාදේශීය සභා මන්ත්‍රීව. කවදාවත් එහෙම කරලා නැහැ. මමත් හිටපු ආපදා කළමනාකරණ ඇමති කෙනෙක්. මේ රටේ ආපදා වෙලා තියෙනවා. ගංවතුරද, සුළිසුළං ද හැම ආපදාවකදීම අපි ක්‍රියාත්මක කළේ දේශපාලන යාන්ත්‍රණය නොවෙයි රාජ්‍ය යාන්ත්‍රණයයි. රජයෙ නිලධාරීන් ඇමතිවරයා අමාත්‍යංශ ලේකම් දිසා ලේකම් ප්‍රාදේශීය ලේකම් ග්‍රාමසේවක එහෙමයි. යාන්ත්‍රණය හදන්නේ. නමුත් මෙතැන බලන්න. රුපියල් පන්දාහ ගන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ ගෙදරට යන්න ඕනෑ. ආණ්ඩුවේ ගොවිපොළෙන් අරගත්ත එළවළු ටික ගිහින් බෙදන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. දේශපාලනය නොවෙයිද මේ කරන්නේ. මේගොල්ලන්ට ඕනෑ විදියට බෙදන්නේ. රුපියල් පන්දාහ ගන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ ගෙදරට යන්න ඕනෑ. ඇයි මේවගේ ව්‍යසනයක් ඉදිරිපිටදී මේ විදියට දේශපාලනය කරන්නේ. අපි විපක්ෂයක් හැටියට මේ විපතෙන් දේශපාලනය කරන්නේ නෑ.  


ප්‍රශ්නය -අරලියගහ මන්දිරයට කැඳවපු වෙලාවේ ගියා නම් මේ ටික මූණටම කියලා එන්න තිබුණා?  


පිළිතුර - අපි මේවා දෙසැරයක් කියලා ආවනේ. දෙසැරයක් කිව්වට පස්සෙත් ආපහු ගිහින් කියන්න ඕනෑද? දෙසැරයක් කියලා ආවම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් ඔබ හිතනවද තුන්වැනි සැරේ කිව්වම ක්‍රියාමාර්ගයක් ගනී කියලා. අරලියගහ මන්දිරේට අපිට එන්න කිව්වේ ලෝකෙට පෙන්වන්න අපි කොච්චර වැරැදි කළත් විපක්ෂය ඉන්නේ අපිත් එක්ක කියලා පෙන්නන්න. ඉතින් පාර්ලිමේන්තුව කැඳෙව්වා නම් ඉවරයිනේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් නම් පාර්ලිමේන්තුවේ කොමිටි ශාලාවක මේ රැස්වීම තියන්න තිබුණනේ. 

 
ප්‍රශ්නය - ඔබලා වර්ජනය කළත් දෙමළ ජතික සන්ධානය සහභාගි වුණා.  


පිළිතුර - දෙමළ සන්ධානයයි අපියි ගන්නේ තීරණ දෙකක්නේ. දෙමළ සන්ධානය කුමන හේතුවක් නිසා ඒ තීරණය ගත්තද කියන්න අපි දන්නේ නැහැනේ.  


ප්‍රශ්නය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නම් කියන්නේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ව්‍යවස්ථාවට අනුව කිසිම ක්‍රමයක් නෑ කියලා.  


පිළිතුර - ජනාධිපතිතුමා අමූලික බොරුවක්නේ කියන්නේ. මේ රටේ හදිසි අවස්ථාවකදී හදිසි නීතිය දාන්න. පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්නේ. ඇයි ජනාධිපතිතුමා හදිසි නීතිය දාන්නේ නැතිව නීත්‍යානුකූල නොවන ඇඳිරි නීතියක් දාගෙන ඉන්නේ.  


ප්‍රශ්නය - නීත්‍යානුකූල නොවන ඇඳිරි නීතියක් කියලා කියන්නේ කොහොමද?  


පිළිතුර - සාමාන්‍යයෙන් රටේ ඇඳිරි නීතියක් දානවා නම් හදිසි නීතිය පණවන්න ඕනෑ. හදිසි නීතිය පණවන්න පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ නිසා ජනාධිපතිතුමාට ඒ අවස්ථාව තියෙනවා ව්‍යවස්ථාවට අනුවම හදිසි නීතිය පණවන්න පාර්ලිමේන්තුව කැඳවන්න. නමුත් එතුමා එහෙම කරන්නේ නෑ. එතුමා කරන්නේ අවුරුදු පහේ ආණ්ඩුව අවුරුදු හතරාමාරකින් විසුරුවලා අද රට අරාජික කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස තුනක් නැතිව රටට ඉදිරියට යන්න බෑ. ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නෑ. ජුනි 2 වැනිදා වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවලා මාස තුන පැනලා. ජුනි 20 මහ මැතිවරණය තියන්න පුළුවන්ද කියලා කිසිම විශ්වාසයක් නෑ. එතුමා මේ ඒකාධිපති විදියට තමයි යන්නේ. ඒ විතරක් නොවෙයි පාර්ලිමේන්තුව කැඳවන්නේ නැතුව විතරක් නොවෙයි ඉතිහාසයෙ පළමු වරට පාර්ලිමේන්තුව වටේ හමුදාව දාලා. කවදාවත් එහෙම දාලා නෑ. විධායකයි, ව්‍යවස්ථාදායකයි, අධිකරණයයි ස්වාධීනව වෙන වෙනම යන්න ඕනෑ. අද මොනවද කළේ මේ ජනාධිපතිවරයා. සියලු දේ හමුදාවට බාරදීලා.

  
ප්‍රශ්නය - ඇයි මේ හමුදාවේ කාර්යභාරය හෑල්ලු කරන්නේ?  


පිළිතුර - නෑ නෑ හෑල්ලු කිරීමක් නොවෙයි. හමුදාව හමුදාපතිතුමා විශාල කාර්යභාරයක් කරනවා. අපි ඒක අගය කරනවා. නමුත් හමුදාව තමයි ඉස්සර කරගෙන ඉන්නේ. පාර්ලිමේන්තුවට දාන්නෙත් හමුදාව. අපිට ආරංචියි දිස්ත්‍රික්කවලටත් හමුදාවේ අය පත්කරන්න යනවා කියල.  


ප්‍රශ්නය -එක පැත්තකින් ඔබ චෝදනා කරනවා මේ කලබල අස්සේ ඡන්ද තියන්න යනවා කියලා. අනික් අතට කියනවා ඒකාධිපති පාලනයකට යනවා කියලා. චෝදනා දෙක පරස්පරයි.  


පිළිතුර - ඡන්ද තියන්න කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඡන්දයක් තියන්න නම් ඡන්දයක් තියන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න එපැයි. දෙන්නෙකුට ළංවෙලා කතා කරන්න පුළුවන්ද? ගෙදරකට යන්න පුළුවන්ද? සාකච්ඡාවක් තියන්න බෑ. රාජ්‍ය මාධ්‍යයත්, රජයට හිතවත් මාධ්‍යයත් රජය සල්ලි දීලා ගත්ත මාධ්‍යත් රජය තමන්ට ඕනෑ විදියට පාවිච්චි කරනවා. එතකොට කොහොමද විපක්ෂය මේක කරන්නේ. එහෙම මැතිවරණයක් තියන එක සාධාරණද? අපේක්ෂකයකුට තමන්ගේ මනාප අංකය ප්‍රදර්ශනය කරන්න බෑ. ලකුණු ප්‍රදර්ශනය කරන්න බෑ. ගෙදරකට යන්න බෑ. මිනිස්සු කැමති නෑ ගෙදරකට එනවට. දැන් බලන්න සමහර තැන්වල ඇඳිරි නීතිය අයින් කළත් මිනිස්සු පාරට එන්නේ නෑ. ඉතින් සාධාරණ මැතිවරණයක් වෙනවද මේක. අපි කියන්නේ මහජනතාවගේ ඡන්දෙන් අවුරුදු පහකට පත්වෙච්ච මන්ත්‍රීවරුන් ඉන්නවා. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි. ඒ බලය තියෙන්නේ ජනාධිපතිවරයට. නමුත් එතුමා යන්නේ ඒකාධිපති ගමනක්. එතුමට වැඩිය පුරුද්ද තියෙන්නේ හමුදා නිලධාරියෙක් විදියට ආරක්ෂක ලේකම් විදියට. දේශපාලනඥයෙක් විදියට නොවෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නම් සමහරවිට මේක මීට වඩා වෙනස් වෙයි. කොහොම වුණත් ඇතුළේ ප්‍රශ්න තියෙන බවත් අපි දන්නවා. ඒවා ගැන අපි කතා කරන්නේ නෑ. ඒක අපිට අදාළ නැහැ. නමුත් අපි කියන්නේ මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් රටේ ඇති කරලා මැතිවරණය තියන්න කියලා.  


ප්‍රශ්නය - පාර්ලිමේන්තුව විසුරුවන්න කලින් අතුරු සම්මත පනතක් ආණ්ඩුව ගෙනාවා. ඔබලා කිව්වා ඒක පරාජය කරනවා කියලා. බහුතර බලය තියෙන්නේ ඔබලාට. නැවත පාර්ලිමේන්තුව කැඳෙව්වත් ප්‍රතිඵලය ඒකමනම්?  


පිළිතුර - අපි අහන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. මේ රටේ මුදල් පිළිබඳ නීතිරීති තියෙනවා. මේ රටේ අතුරු සම්මත ගිණුමක් අපි සම්මත කරලා තියෙන්නේ. අප්‍රේල් 30 වැනිදා වෙනකම් විතරයි. අප්‍රේල් 30 න් පස්සෙ මුදල් පාලනය කරන්න කාටවත් අයිතියක් නෑ. මුදල්වල බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට ජනාධිපතිවරයා කොහොමද මේ නැති බලයක් පාවිච්චි කරන්නේ. අපි පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නේ මුදල් පිළිබඳ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට. අපි කියනවා අපි පඩි ගන්නේ නෑ. අපිට දීමනා ඕනෑ නෑ. අඩු තරමින් අපිට කැන්ටින් එකවත් අරින්න ඕනෑ නෑ. රටක් ව්‍යසනයකට පත්වෙලා තියෙන වෙලාවක පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන පක්ෂය විදියට අපි උදව් කරන්නයි බලාගෙන ඉන්නේ. අපි ඒක කරන්නේ බොහොම සද්භාවයෙන්. නමුත් ජනාධිපතිවරයා ඒකාධිපති විදියට ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.  


ප්‍රශ්නය - බහුතර බලය තියෙන ඔබලාට ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන්. ආණ්ඩුව පෙරළන්න පුළුවන්. ආණ්ඩුව ඒ අනතුර දකිනවා ඇති?  


පිළිතුර - මම මුලිනුත් කිව්වේ හොඳ වැඩට අපි උදව් කරනවා. එදා අතුරු සම්මත ගිණුම අපි පැරැද්දුවේ ඒ අය අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කළේ සංවර්ධනයට මුදල් ගන්න. ඒකට අපි විරුද්ධ වුණේ නෑ. ණය සීමාව ඉක්මවන එකට අපි විරුද්ධ වුණා. ඊට පස්සෙ ආණ්ඩුව ඒක ඉල්ලා අස්කර ගත්තා. සංවර්ධන වැඩට අපිට සල්ලි දෙන්න තිබුණා. ණය සීමාව වැඩි කරනවාටයි අපි විරුද්ධ වුණේ.  


ප්‍රශ්නය - පාර්ලිමේන්තුව යළි කැඳවන්න කියන්නේ අගෝස්තු මාසය වෙනකම් ඇදගෙන යන්න. එහෙම වුණොත් පක්ෂයෙ ප්‍රශ්න විසඳාගන්න යම් කාලයක් ලැබෙනවා.  


පිළිතුර - නෑ. අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ. එක්සත් ජාතික පක්ෂයෙ සියයට 99 ක්ම ඉන්නේ සමගි ජන බලවේගයත් එක්ක. ඒ නිසා අපට කිසිම ප්‍රශ්නයක් නෑ. අපි යම් තීරණයක් අරන් තමයි වෙනම ඉල්ලන්නේ. එම තීරණ අතර සජිත් ප්‍රේමදාස මහත්තය අගමැති අපේක්ෂකයා කළේ එක්සත් ජාතික පක්ෂයෙ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. සන්ධානයක් පිහිටුවීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක්. මාව මහලේකම් හැටියට පත්කළේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයකට අනුවයි. ඒ අනුව තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. අපි පක්ෂයෙ අර්බුදයක් තියෙනව නම් ඒවා විසඳාගන්නම් ඒවා ප්‍රශ්න නොවෙයි.

  
ප්‍රශ්නය - පක්ෂයෙ ප්‍රශ්න විසඳාගන්න කල්ගන්න අවශ්‍යයි?  


පිළිතුර - නෑ එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි කියන්නේ මැතිවරණයක් තියන්න නම් රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්විය යුතුයි. මැතිවරණ ව්‍යාපාරයක් කරන්න පුළුවන් තත්ත්වයට මේ රට පත්විය යුතුයි. ආණ්ඩුවට වාසි සහගතව. මාධ්‍ය තමන්ට අවශ්‍ය විදියට යොදාගෙන රටේ මිනිහට පාරට බහින්න බැරි වෙලාවක ඡන්දයක් තියෙනවා නම් කොහොමද ඒක සාධාරණ වෙන්නේ. ජනාධිපතිවරයම එක වෙලාවක කිව්වා රෝගීන් 28 දෙනයි ඉන්නේ. ඕක මහලොකු කජ්ජක්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමිය කිව්වා අප්‍රේල් 19 වැනිදා වෙනකොට මේක ඉවරයි කියලා. නමුත් එදා හිටපු 19 දෙනා අද දාහකට කිට්ටු වෙලා තියෙනවා. මේක වසංගත පාලනයක්ද? මැතිවරණයක් තියන්න ගිහිල්ලා මේක ව්‍යාප්ත වුණොත් කව්ද වගකීම බාරගන්නේ. අපිට වඩාත් වැදගත් වන්නේ මිනිසුන්ගේ ජීවිත. නමුත් ජනාධිපතිවරයත් ආණ්ඩුවත් මිනිස් ජීවිතවලට වැඩියෙන් බලය ගන්න දඟලනවා.  


ප්‍රශ්නය -ඔබලාට තියෙන්නේ කොරෝනා භීතියද? මැතිවරණ ප්‍රතිඵල භීතියද?  


පිළිතුර - අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මිනිස්සු. ඕනෑම මොහොතක මැතිවරණයකට ලෑස්තියි. අපිට තියෙන්නේ කොරෝනා භීතිය. මැතිවරණ ප්‍රතිඵලයට තියෙන භීතිය නොවෙයි ජනතාවගේ ජීවිත ගැන තියෙන භීතිය. අද වෙනකොට ඔප්පුවෙලා තියෙනවා කොරෝනා ව්‍යසනය මැඩලීමේ මෙහෙයුමේ තිබෙන අසාර්ථකත්වය නිසාම ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයෙක් කියල.  


ප්‍රශ්නය - නමුත් අනෙකුත් රටවල් සමග සංසන්ධනය කරලා බලනකොට අපේ රට ඉහළින් ඉන්න බව තමයි පොදු මතය?  


පිළිතුර - ඔව් ඔව් සමහර රටවල් හිටියා කොරෝනා රෝගීන් ගැන අපේ රටේ ගානට සමානයි. නමුත් අපි එතැනින් ඉදිරියට ඇවිත් දෙගුණයක් වෙලා තියෙනවා. මේ රෝගීන් දාහකට ලංවීම සාර්ථක පාලනය කිරීමක්ද? මේගොල්ලෝ එක එක කරුණු කියනවා. නිරෝධායන කඳවුරුවල සමහර ලෙඩ්ඩු මැරිලා තියෙනවා. සමහර අය මැරිලා තියෙනවා පපුවට සෙම ඇවිත්. නමුත් ඒවා වාර්තා වෙලා නෑ. අපේ රටේ ලෙඩ්ඩුන්ගේ මරණ ගාන හතෙන් නතර වෙලා තිබුණා. මම දන්නෑ ලෙඩ්ඩු මැරුණේ නැද්ද? ඒවා වාර්තා වුණේ නැද්ද කියලා. ලෙඩ්ඩු ගැනත් මැරුණු ගානත් මීට වඩා වැඩිවිය යුතුයි කියලා තමයි පොදු මතය.  


ප්‍රශ්නය - ලෙඩ්ඩු ගාන වැඩිවීමෙන් මරණ ගාන වැඩිවීමෙන් විපක්ෂය කාලකන්නි සතුටක් ලබනවා.?  


පිළිතුර - කිසිම සතුටක් ලබන්නේ නෑ අපි. මම හොඳ බෞද්ධයෙක්. අපි මිනිසුන්ට අනුකම්පා කරනවා. ඒකයි මිනිස්සු අපව තියාගෙන ඉන්නේ. අපි එහෙම කාලකන්නි සතුටක් ලබන්නේ නෑ. නමුත් ඇත්ත හංගන එකට අපි විරුද්ධයි.  


ප්‍රශ්නය - මැතිවරණයක් තිබ්බොත් ප්‍රතිඵලය කුමක් වේවිද?  


පිළිතුර - ආණ්ඩුව අසාර්ථකයි. ජනාධිපතිවරයා අසාර්ථකයි. ඒක ජනතාව පිළිඅරගෙන ඉවරයි. ඒ නිසා කවදා මැතිවරණය තිබ්බත් සමගි ජනබලවේගය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්