ආණ්‍ඩුවට තෙවසරකි. ‘‘හුස්ම ගත්ත තෙවසරක්’’. ඒ අාණ්ඩුව කියන කතාවය. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ මේ ‘‘මව්බිමේ ගෙල සිර කළ තෙවසරක් බවය’’ ඔහු එහෙම කියන්නේ ඇයි? මේ කතාබහ ඒ සම්බන්ධයෙනි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක 
ඩලස් අලහප්පෙරුම

ප්‍රශ්නය - ඔබේ අවසාන සටන අසාර්ථකයි කියලා පිළිගන්නවද?   


පිළිතුර - දේශපාලනඥයකුට හෝ පක්ෂයකට අවසාන සටන කියලා යෙදුමක් තියෙන්න බැහැ. එහෙම තියෙන්න නම් එක්කෝ බෝසත් පාලකයෝ බිහි වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍ය බිහි වෙන්න ඕනෑ.   


ප්‍රශ්නය - මම අදහස් කළේ‍ විපක්ෂ නායක සම්බන්ධන් එළවීමේ සටන ගැනයි?   


පිළිතුර - එ් අර්ථ නිරූපණය ආණ්ඩුව දුන්නේ, හැදුවේ ජාතිවාදය ඇවිස්සීමේ අරමුණින් හා අලෙවි කිරීමේ අරමුණින්. අපට සම්බන්ධන් මැතිතුමා සමග කිසිදු පෞද්ගලික ගැටලුවක් නෑ. එතුමා අපේ රටේ ඉන්න පරිණතම, ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙක්. අපි සටන් කළේ‍ කතානායකවරයාගේ හා ආණ්ඩුවේ තීරණයට එරෙහිවයි. නිල විපක්ෂයේ වගකීම ලබාගැනීම සඳහායි.   


ප්‍රශ්නය - ඒත් ඒක අසාර්ථකයි?   


පිළිතුර - කිසිසේත්ම නැහැ. මේ විදේශ ප්‍රේමී ආණ්‍ඩුව පලවා හැරීමේ සටනේ ඒ මාර්ග සිතියමේ එක් මංසන්ධියක් පමණයි ඒ.   


ප්‍රශ්නය - ඔබ නැහැ කිව්වත් කතානායකවරයා පැහැදිලි භාෂාවෙන් තීන්දුවක් දුන්නා. ඒ විතරක් නොවෙයි ඒ තීරණයට අභියෝග කරන්න කිසිසේත්ම බැහැ. ඒක අවසන් තීරණය කියලනේ කිව්වේ?   


පිළිතුර - කතානායකවරයාගේ එම තීන්දුවට අදාළ ප්‍රකාශයේ සෑම වගන්තියක්ම, සෑම වචනයක්ම විතරක්ම නොවෙයි සෑම විරාම ලකුණක්ම අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒකෙන් වුණ එකම දේ එතුමාගේ නමට ඉදිරියෙන් තබපු ‘ගරු’ කියන නාම විශේෂණ පදය එතුමා විසින්ම ඉවත් කර ගැනීම පමණයි.   


ප්‍රශ්නය - ඔබ එහෙම ප්‍රතික්ෂේප කළත් අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට, ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ඒ වගේම ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව නේද කතානායකවරයා තීන්දුව දුන්නේ?   
පිළිතුර - ඔය ඔබ කියපු කරුණු තුනම, ශුද්ධ වූ බොරු. අපි ඕක නම් කරමු ‘‘කරු බොරු’’ කියලා. එතුමා කතානායක මුද්‍රාව පාවිච්චි කළා ආණ්ඩුවේ නිරුවත වසා ගන්න.   


ප්‍රශ්නය - ඔබ එහෙම කියන්නේ?   


පිළිතුර - දැන් බලන්න අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළම ආණ්ඩුවේ කොටස්කාරයන්වීම හා විපක්ෂ නායකත්ව කියන සංකල්පය එකට ක්‍රියාත්මක කළේ‍ මේ ආණ්ඩුවමයි. 2015 ජනවාරි 8 වැනිදා ඉඳලා අගෝස්තු 17 වැනිදා දක්වා ඒක ක්‍රියාත්මක කළා. මම අභියෝග කරනවා ලෝක සම්ප්‍රදායන් තුළ එක රටක් පෙන්වන්න කියලා විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමට. සංඛ්‍යාත්මකව වැඩි කණ්ඩායම ප්‍රතික්ෂේ‍ප කරලා කුඩා කණ්‍ඩායමකට විපක්ෂ නායකත්වය ලබා දීපු. ඉන්දියාවේ අද විපක්ෂ නායකයෙක් නෑ. හිටපු අගමැති මන් මෝහන් සිං,​ සෝනියා ගාන්ධි, කොංග්‍රස් මන්ත්‍රීවරු. නමුත් විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් සියයට 10ක් නැති නිසා නිල විපක්ෂ නායකයෙක් නෑ. නමුත් අපේ විපක්ෂ මන්ත්‍රීවරුන් 93 දෙනාගෙන් හැත්තෑවක් ඒ කියන්නේ සියයට 75ක් ඉන්න පිරිස ප්‍රතික්ෂේප කරලා සියයට 17ක් ඉන්න කණ්ඩායමට විපක්ෂ නායකත්වයයි සියයට 6ක් ඉන්න කණ්ඩායමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමයි දෙනවා. තුන්වැනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ 19 වැනි සංශෝධනයේ කොතැනකවත් විපක්ෂ නායකත්වය ගැන එක අකුරක් සටහන් වෙලා නෑ. අපේ ඉතිහාසය පුරාම කතානායකවරයාගේ අභිමතය අනුවයි සිදුවුණේ. එහෙම අභිමතයක් කතානායකතුමාට දෙන්නේ ඔහු සර්ව සාධාරණයි කියන පූර්ව නිගමනය තුළ ඉඳගෙනයි.   


ප්‍රශ්නය - ඔබ කොහොම කිව්වත් කතානායකවරයාගේ තර්කය ‘‘ඔබ ආණ්‍ඩුවේ කොටස් කරුවන්’’ බවයි.   


පිළිතුර - ලෝකයේ බොරු වර්ග තුනක් තියෙනවනේ. එක බොරු, දෙක සංඛ්‍යාලේඛන බොරු, තුන පට්ටපල් බොරු. කතානායකතුමා කියන්නේ ඔයින් තුන් වැනි වර්ගයේ බොරුවක්.   


ප්‍රශ්නය - ඒක බොරු වෙන්නේ කොහොමද? ඔබලා.....   


පිළිතුර - පොඩ්ඩක් ඉන්න? අපි අඛණ්ඩව වසර 3ක් විපක්ෂයේ අසුන් අරගෙන ඉන්නේ. ඒ මුළු කාලය පුරාම ජාතික ආණ්ඩුවට එරෙහිව අපි ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා හා විවාද කාලය පවා ලබාදෙන්නේ විපක්ෂය නියෝජනය කරමින්. අඩු ගණනේ විදේශ සංචාර දෙන්නෙත් විපක්ෂය නියෝජනය කරමින්. ඉතින් තවත් මොනවද?   


ප්‍රශ්නය - ඔබ ඔය ව්‍යංගයෙන් කියන්නේ කතානායකවරයා පක්ෂග්‍රාහීයි, මධ්‍යස්ථ නැහැ කියන එකද?   


පිළිතුර - ව්‍යංගයෙන් නොවෙයි. ඉතාම විවෘත භාෂාවෙන්. ළදරුවකුට වුණත් තේරුම් ගන්න පුළුවන් විදියට.   


ප්‍රශ්නය - එහෙම නම් මොකක්ද ​ඔබේ පියවර? ඔබ ඔය කියන විදියට කතානායකවරයාගෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැහැ නේද?   


පිළිතුර - ඔව්. එතුමා ප්‍රජාතන්ත්‍රවාදයෙන් දික්කසාද වෙලා ජාතික ආණ්‍ඩුව කියන ‘නගර සෝභිනිය’ පසුපස යන්න පටන් අරන්.   


ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ ඊළඟ පියවර මොකද්ද කියලයි. ස්වාධීනවීමද?   


පිළිතුර - පියවර රාශියක් අතරින් එක පියවරක් තමයි ස්වාධීනවීම. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ මණ්ඩලයක් පත් කළා සති 2ක් ඇතුළත අපගේ මීළඟ පියවර කුමක් විය යුතුද කියලා නිර්දේශ කරන්න.   


ප්‍රශ්නය - ස්වාධීන වුණොත් මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් තියෙනවා?   


පිළිතුර - එහෙම වෙන්නත් පුළුවන්. නමුත් එක් නිමේෂයකින් පැමිණෙන්න පුළුවන් මන්ත්‍රී ධුරයට වඩා ජනතා වේදිකාව වැදගත් කියලා තේරුම් ගන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසය පුරාම ජනතාවගේ මානයෙන් තීන්දු ගත්තු නායකයෙක්.   


ප්‍රශ්නය - හොඳයි. අභියෝගාත්මකව ස්වාධීනවීමේ තීරණය ගත්තටත් පස්සේ කතානායකවරයා ඔහුගේ ස්ථාවරය වෙනස් නොකළොත්?   


පිළිතුර - මට විශ්‍වාසයි, කතානායකතුමා වෙනස් වෙන්නේ නැහැ. ඔහු අතේ තියෙන්නේ ‘‘සෙට් මෙනු’’ එකක්. නමුත් අපි අපේ දේශපාලන න්‍යාය පත්‍රය සකස් කරන්න ඕනෑ කරු ජයසූරිය මහත්තයා, රනිල් මහත්තයා හෝ මෛත්‍රීපාල මහත්තයාගේ තීන්දු දිහා බලාගෙන නොවෙයි. මේ අය දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ වගකීම පැවරීමේ තීන්දුව ගත්තේ 2015 ජනවාරි 9 වැනිදායි.   


ප්‍රශ්නය - ඔබ කියන කාරණය පැහැදිලි නැහැ?   


පිළිතුර - ඒක තේරුම් ගන්න අමාරු ප්‍රහේළිකාවක් නොවෙයි. පළමුවෙන්ම ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් එකතු වෙලා ‘‘මෛත්‍රී ජනාධිපති - රනිල් අගමැති’’ කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළා. දෙවැනුව අගෝස්තු 17 වැනිදා දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක කමත්, ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කමත් දුන්නා. තුන්වැනුව විශ්‍වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය කර ගහල අගමැතිව හා ආණ්ඩුව බේරා ගත්තා. මේක හරියට ‘‘බතුයි ලබුයි - ලබුයි බතුයි’’ වගේ. විශ්වාසභංගයේදී අගමැතිවරයාට ලැබෙන්නේ ඡන්ද 122යි. ඒකෙන් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද 16 අඩු කළාම අගමැතිවරයාට ඡන්ද 106යි. සරළ බහුතරයවත් නැහැ. ‘‘යක්කුන්ගේ වැඩ ගත්තාම දොළ පිදේනි දෙන්න ඕනෑ’’ කියලා කතාවක් ගමේ තියෙනවා. ඒ අනුව කතානායක කියන කට්ටඩිරාලට පවරලා තියෙන වගකීම තමයි ‘‘විපක්ෂ පිදේනිය’’ දෙන එක. මෙතෙක් ඔහු එය අකුරටම ඉටු කළා. ඒ වගේම ඉදිරියටත් ඉටු කරාවි. ඒ ගැන කිසිම සැකයක් අවිශ්වාසයක් මට නැහැ.   


ප්‍රශ්නය - චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයත් කිව්වා ‘‘කතානායක තීන්දුවට’’ අභියෝග කරන්න බැහැ කියලා.   


පිළිතුර - ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරු තීරණය අවසාන තීරණය කියලා පිළිගන්නේ විනිසුරුවරුන් ‘‘හොර අවුට්’’ දෙන්නේ නෑ කියන පූර්ව නිගමනය උඩයි. ඒත් පසු කාලයක ක්‍රිකට් විනිසුරන් වංචනිකව හැසිරීම නිසා ‘‘තෙවැනි විනිසුරු’’ පත් කරලා ක්‍රීඩකයන්ට උපරිම සාධාරණය කළා. ඒ අනුව අපි මේ අභියෝග කරන්නේ කතානායකතුමාට නොවෙයි ඊට ඉහළින් ඉන්න තෙවැනි විනිසුරුවන මිලියන ගණනක ජනතාවටයි.   


ප්‍රශ්නය- ආණ්‍ඩුවට අවුරුදු තුනයි. මොකද හිතෙන්නේ?   


පිළිතුර - මේ ටික කාලයට පාර්ලිමේන්තුව ඇතුළු සියලු ජනතා ආයතනවල විශ්වාසය වේගයෙන් පලුදු කළා. දේශපාලන ආයතන මේ තරම් පිරිහුණු යුගයක් තවත් නැහැ.   


ප්‍රශ්නය- කවුද ඒකට වගකියන්න ඕනෑ. ඔබලාටත් වරදේ වගකීමෙන් මිදෙන්න බැහැ?   


පිළිතුර - පැහැදිලිවම අපි කාටත් පොදු වගකීමක් තියෙනවා. නමුත් ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය දියාරු කිරීම සඳහා පසුගිය වසර තුන හමාරක කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණ සමස්ත රාජ්‍ය දේහයේම සෞඛ්‍ය පිරිහිලා තියෙන්නේ. මැතිවරණ සිතියම හකුලලා පාර්ලිමේන්තුවේ විපක්ෂය තෝරන්නේ ආණ්‍ඩුව. මාධ්‍යයට කරන ගෙරවීම් දිනපතා වැඩි වෙනවා. පාතාලය නැගිටලා හැමදාම ඝාතන. බදු බරින් ජනතාව පීඩාවට පත් වෙලා. ජීවන වියදම අහස උසට නැගලා. හැමදාම හැමතැනම වර්ජන, උද්ඝෝෂණ රාජ්‍ය සම්පත් විදේශකරණය දිනපතා වේගයෙන් සිදු කරනවා. දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට වෙනම ඒකක. ජාතික ආරක්ෂාව බිඳ වැටිලා. දූෂණය විමධ්‍යගත කරලා. ආණ්ඩුව ඇතුළේ මත ගැටුම්, මේවා තමයි වසර තුන හමාරක ආණ්ඩුවේ ශේෂ පත්‍රය තුළ තිබෙන්නේ. මංගල ඇමැතිවරයා වගේම මමත් මේ වගේ කොන්ද පණ නැති ආණ්ඩුවක් ජීවිත කාලයටම දැකලා නැහැ.   


ප්‍රශ්නය - හැබැයි ඔබේ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ ආණ්ඩුව ඇතුළේ ඉන්නේ.   


පිළිතුර - දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. දැන් තියෙන්නේ ‘‘ශ්‍රී ලංකා නිදහස් එක්සත් ජාතික පක්ෂය’’ කියලා අලුත් පක්ෂයක්. ඒ ගෞරවණීය පැරණි පක්ෂය අද අලියා ගිලපු දිවුල් ගෙඩියක් වගේ හිස් වෙලා. එහෙම නැත්නම් අලියට තියපු හක්ක පටස් කාලා ඇද වැටිච්ච දේශපාලන මෘත දේහයක්.   


ප්‍රශ්නය - ඔබ මොනවා කිව්වත් කිසිම අතුරු ආන්ත්‍රාවක් නැතිව ආණ්ඩුව ඉදිරියට යනවනේ?   


පිළිතුර - ඔව්? ‘‘බදු ගෙවන ඔබට ස්තුතියි’’ කියලා දැන්වීම් පළ කරලා ලබා ගන්නා මුදලින් රුපියල් කෝටි සංඛ්‍යාත මුදලක් වැය කරලා නඩත්තු කරන මන්ත්‍රී කණ්ඩායමක් නිසා දියවන්නාව ඇතුළේ ආණ්ඩුවට අතුරු ආන්තරාවක් නැහැ. හැබැයි දියවන්නාවෙන් එළියේ පාණ්ඩුව විතරයි තියෙන්නේ. මතක තියාගන්න? මේ ආණ්ඩුවේ අවමංගල කතාවේ අවසාන පරිච්ඡේද කිහිපයයි දැන් කියවන්නේ. ඒ කියන්නේ මේ ආණ්‍ඩුවේ යුගාන්තයයි.   


ප්‍රශ්නය - ඔබ යුගාන්තය ගැන කිව්වට එජාපය කියන්නේ ‘‘ගම් පෙරළිය’’ මුළු රටම වෙනස් කරාවි කියලයි. ආසියාවේ හොඳම ආර්ථිකය බවට ලංකාව පත් කරනවා කියලයි කියන්නේ?   


පිළිතුර - ‘‘වොක්ස්වැගන්’’ ආර්ථිකයක් ගැන කතා කරපු වික්‍රමසිංහ මහත්මය ත්‍රීවිලරයට නැග්ගේ බැරිම තැනයි.   


ප්‍රශ්නය - නමුත් ආණ්ඩුව කියන්නේ ‘‘හුස්ම ගත්ත තෙවසරක්’’ කියලයි?   


පිළිතුර - ‘‘මව්බිමේ ගෙල සිර කළ තෙවසරක්’’ යනුවෙන් එය නිවැරදි විය යුතු බවයි මගේ යෝජනාව.   


ප්‍රශ්නය - ඔබ කිව්වා මේ ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලලා කියලා. නමුත් ආණ්ඩුව කියනවා ජනවාරියේදී පළාත් සභා මැතිවරණය තියනවා කියලා?  


පිළිතුර - ආණ්ඩුව වැඩ කරන්නේ වගකීමෙන් නොවෙයි. ලබන සතියට පළාත් සභා තුනක් විසුරුවලා මාස 11ක් සම්පූර්ණ වෙනවා. ඔක්තෝබර් පළමු සතියේ උතුරු සභාව ඇතුළු පළාත් සභා තුනක් විසිරියාමට නියමිතයි. ආණ්ඩුව, අගමැතිවරයා පාර්ලිමේන්තුවට පොරොන්දු වුණේ 2018 මාර්තු මාසෙට පෙර මැතිවරණය පවත්වනවා කියලයි. ආණ්ඩුව කරන්නේ කොත්තු රොටි දේශපාලනයක්. හඬ ගොඩායි - වැඩ කුඩායි.  


ප්‍රශ්නය - විපක්ෂයේ වගකීම කොහොම හරි මැතිවරණය ගන්න එක?  


පිළිතුර - ඒකටනේ ඒ අය නිල විපක්ෂයක් හදා ගත්තේ. පළාත් සභා කල් දමන්න අවශ්‍ය පරිසරය හදා ගත්තේ ඔය ඔක්කොම එකතු වෙලා.  


ප්‍රශ්නය - ඇයි ඒකාබද්ධ විපක්ෂය? ආණ්ඩුව සූදානම්? පැරණි ක්‍රමයට මැතිවරණය තියන්න. නමුත් ඒකාබද්ධ විපක්ෂය ඒකට විරුද්ධයි?  


පිළිතුර - අපේ ස්ථාවරය ඉතා පැහැදිලියි. ක්‍රමය මේ මොහොතේ වැදගත් නෑ. මැතිවරණ පැවැත්වීමයි වැදගත්. පැරණි ක්‍රමයට පවත්වන්න නම් අද සිට මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්විය හැකියි. අපි ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන්නම් පැරණි ක්‍රමයට හෝ ඉදිරි මාස 3 ඇතුළත මැතිවරණය තියන්න කියලා.  


ප්‍රශ්නය - ඔබ කියනවා ඔක්තෝබර් පළමු සතියේ උතුරු පළාත් සභාවත් විසිරෙනවා කියලා. ඒ මැතිවරණය ගන්න දෙමළ ජාතික සන්ධානය සටන් කරාවි?  


පිළිතුර - ඒක තමයි බරපතළම ඛේදවාදකය. 13 වැනි සංශෝධනය ගෙනාවෙම උතුරට හා නැගෙනහිරට පළාත් සභා පිහිටුවන්නයි. ඒක ගෙනාපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉඳලා විධායක ජනාධිපතිවරුන් හතර දෙනෙකුටම උතුරු - නැගෙනහිර ඡන්දය තියන්න බැරි වුණා. ඒ ඡන්දය තිබ්බේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ 13 වැනි සංශෝධනයෙන් වසර 25කට පස්සෙයි. එහෙම දිනා දිපූ මැතිවරණයවත් තියාගන්න බැරි තරමට දෙමළ ජාතික සන්ධානය අසරණ වෙලා. ඒ දෙමළ ජාතික සන්ධානය කොහොමද රටේම විපක්ෂය නියෝජනය කරන්නේ?  


ප්‍රශ්නය - ඔබ හිතන්නේ නැද්ද මේ විදියට මහ මැතිවරණයත් කල් දමයි කියලා?  


පිළිතුර - ඔව්. මහ මැතිවරණය කල් දාන්න පුළුවන්. වසර පහකට මහ මැතිවරණය කල් දමපු අපවිත්‍ර ඉතිහාසයක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා.  


ප්‍රශ්නය - එතකොට ජනාධිපතිවරණය?  


පිළිතුර - ජනාධිපතිවරණය කල් දාන්න බැහැ. අද ඉඳලා හරියටම දවස් 440ක් ඇතුළත ජනාධිපතිවරණය කැඳවිය යුතුමයි.  


ප්‍රශ්නය - ඊට කලින් වුණත් ජනාධිපතිවරණය කැඳවිය හැකියි?  


පිළිතුර - ඔව්. අද ඉඳලා හරියටම දින 140කින් ඒ කියන්නේ 2019 ජනවාරි 8 වැනිදායින් පසුව ජනාධිපතිවරයා තරග කරන්නේ නම් ජනාධිපතිවරණයක් කැඳවීමේ ව්‍යවස්ථානුකූල හැකියාව මෛත්‍රී ජනාධිපතිතුමාට තියෙනවා. ජනවාරි 9 රෑ ඒ විදියේ ‘බ්‍රේකින් නිවුස්’ එකක් එන්න බැරි නැහැ.

  
ප්‍රශ්නය - එහෙම ආවොත් ඔබ සූදානම්ද? මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයට තරග කරන්න බැහැ. ඒ නිසාම පොහොට්ටුව ඇතුළේ බල අරගලය පිපිරෙනවා?  


පිළිතුර - කිසිම බල අරගලයක් නෑ. අපි ළඟ සුදුස්සෝ රාශියක් ඉන්නවා. ඒ අතරින් වඩාත්ම සුදුස්සා මහින්ද රාජපක්ෂ මැතිතුමා නම් කරාවි.  


ප්‍රශ්නය - ඔබ ඔහොම කිව්වට මන්ත්‍රී වෙල්ගම එකක් කියනවා. මන්ත්‍රී වාසු තවත් එකක් කියනවා. මන්ත්‍රී මහින්දානන්ද තවත් එකක් කියනවා. අපිට පේන්නේ අච්චාරුවක් වගෙයි.  


පිළිතුර - ඒ මහත්වරුන් මොකක් කිව්වත් අවසානෙට එකක් කියනවා. ඒ තමයි ‘‘අපි පිළිගන්නේ මහින්ද මහත්තයා කියන එකයි’’ කියලා. ඒ නිසා වැඩි කල් නොගොසින්ම ඔබට පෙනේවි දැනේවි අච්චාරුවක් කියලා ඔබ කිව්වට මේක රස නහර පිනා යන අයිස් ක්‍රීම් එකක් කියලා. අනික ඔබ කියපු සියලු දෙනාම මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටනේ සෙන්පතියන් බවත් මතක තියා ගන්න.  


ප්‍රශ්නය - ඔබේ කඳවුරෙන් වැඩියෙන්ම කියැවෙන නම ගෝඨාභය රාජපක්ෂ කියන නමයි. ඔහු පිළිබඳ ඔබගේ කියැවීම මොකද්ද?  


පිළිතුර - ඔහු මේ මහ පො​ෙළාවට ණය නැති වැදගත් භූමි පුත්‍රයෙක්. රටේ ඉතිහාසය සුවපත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පමණක් දෙවැනි වූ වගකීමක් ඉටු කළ යෝධ පුරවැසියෙක්. ඔහු සංස්කෘතික මිනිසෙක්.  


ප්‍රශ්නය - නමුත් ඔහුට කිසිදු දේශපාලන සුදුසුකමක් නෑ. අවම වශයෙන් ප්‍රාදේශීය සභාවකවත් ඉඳලා නැහැ?  


පිළිතුර - මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ඒකාබද්ධ විපක්ෂය ඒකමතිකව තීරණය කළේ ජනාධිපති අපේක්ෂකයා ගැන අපි දැන්ම කතා කරන්නේ නැහැ කියලයි. ඒ නිසා මම කැමතියි ඔබේ ප්‍රශ්නය කඩඉම් ප්‍රශ්නය බවට පත් කරගන්න.  


ප්‍රශ්නය - නමුත් ඔබ උත්තරයක් දෙන්න. මම මතු කළේ පොදු ප්‍රශ්නයක්.  


පිළිතුර - මම ඔබට මෙහෙම උත්තරයක් දෙන්නම්. මේ රටේ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ රාජ්‍ය නායකයන් අතරිනුත් සිරිමාවෝ මැතිනිය ඉන්නේ ඉදිරියෙන්. සිරිමාවෝ මැතිනිය 1960 ජුලි මාසේ අගමැති වෙන්න එක පැයකට කලින් පැය 24ක් හෝ ගම් සභාවකවත් හිටපු කෙනෙක් නොවෙයි. ලෝකයේ බලවත්ම රාජ්‍ය පහෙන් දෙකක නායකයන් වන ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා හෝ ප්‍රංශයේ මැක්රේන් ජනාධිපතිතුමා ඒ පුටුවලට ආවේ ගම් සභාවක එක පැය 24ක් හෝ ඉඳලා නොවෙයි. වැදගත් වෙන්නේ ඔහුගේ දැක්ම කැපවීම හා අවංකකම පමණයි.  


ප්‍රශ්නය - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, ඇමැති අකිල විරාජ් කාරියවසම් කිව්වා පුංචි මැතිවරණය පැරදුණාට ජනාධිපතිවරණය හරිම ලේසියි කියලා.  


පිළිතුර - අපි දේශපාලනය වගේම ගණිතය දෙසත් බලලා ඔය ප්‍රකාශයට උත්තර හොයමු. දැන් අපේ රටේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 156යි. 2018-2019 ඡන්ද නාම ලේඛනවලින් මේකට තව ලක්ෂ 6ක් එකතු වේවි. එතකොට 2019 අග ජනාධිපතිවරණය පවත්වනකොට අපේ රටේ මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 162යි. සාමාන්‍යයෙන් ඉතිහාසය පුරා ජනාධිපතිවරණයක ඡන්දය පාවිච්චි කරන ප්‍රමාණය සියයට 80යි. ඒ අනුව ඡන්ද ලක්ෂ 162න් ඡන්ද ලක්ෂ 32ක් අඩුවෙලා. ඡන්ද ලක්ෂ 130ක් ඡන්ද පොළට එනවාමයි. මේ ඡන්ද ලක්ෂ 130න් ඡන්ද ලක්ෂ 65ක් ගත්ත කෙනා තමයි ජනාධිපති. අපි ඉදිරිපත් කරන මහින්ද රාජපක්ෂ ලකුණ හැරෙන්නට මෛත්‍රී ජනාධිපතිතුමා, රනිල් අගමැතිතුමා තරග කරන බව දැනටමත් ප්‍රකාශ වෙලා තියෙනවා.  


ප්‍රශ්නය- සමහරවිට පොදු අපේක්ෂකයෙක් එන්නත් ඉඩ තියෙනවා?  


පිළිතුර - ඔව්. එහෙම වෙන්නත් පුළුවන්. කොහොම වුණත් අපි බලමු මේ රටේ අවසාන මැතිවරණය දිහා මීට මාස 5කට පෙර පෙබරවාරි 10 වැනිදා ඡන්දය ගන්න. පෙබරවාරි 10 වැනිදාත් සියයට 50ක් ඡන්ද පොළට ආපු නිසා හරි ලේසියි ගණන් හදාගන්න. මෛත්‍රී ජනාධිපතිතුමාට ඡන්ද ලක්ෂ 14යි. එතුමා ජනාධිපතිවීමට නම් ඡන්ද ලක්ෂ 14 සිට ඡන්ද ලක්ෂ 65 දක්වා යා යුතුයි. ඒ කියන්නේ ඡන්ද ලක්ෂ 51ක්. කජුඇට කොස් ඇට නොවෙයි. මිනිස්සු ලක්ෂ 51ක් පුළුවන් ද බැරිද කියලා ඔබම කල්පනා කරන්න. ඊළඟට රනිල් අගමැතිතුමාට ලැබුණේ ඡන්ද ලක්ෂ 34යි. එතුමා එතැන ඉඳගෙන තවත් අලුතෙන් ඡන්ද ලක්ෂ 31ක් සොයා ගත යුතුයි. මම නැවත කියනවා. මේවා ගල් සියඹලා ඇට හෝ ඔලිඳ ඇට නොවෙයි. මිනිස්සු ලක්ෂ 31ක් අලුතෙන් සොයාගන්න ඕනෑ. මම හිතන්නේ නෑ ඒ ගෞරවණීය කාන්තාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියවත් ඒක පුළුවන් වැඩක් කියලා කියාවි කියලා. ඊළඟට පොදු අපේක්ෂකයා ගත්තොත් ඔබ ගණන් හදලා බලන්න එදා එකට එකතු වුණ සියලුම දෙනා නැවත පෙබරවාරි 10ට අනුව එකතු කරලා නම් එක්සත් ජාතික පක්ෂය ඡන්ද ලක්ෂ 34යි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ලක්ෂ 14යි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ 6යි. දෙමළ ජාතික සන්ධානය ලක්ෂ 5යි. එකතුව ඡන්ද ලක්ෂ 59යි. එදා පෙබරවාරි 10 ගත්තු ඡන්ද අද දක්වා එහෙමම තියෙනවා නම් ඔය තමයි යා හැකි උපරිම දුර. මේක සරල ගණිතය මිසක් ගැඹුරු දේශපාලන ප්‍රහේලිකා නොවෙයි. ඒ අනුව ඔබට පේනවා ඇති යහපාලන ආණ්ඩු නළලේ පරාජය කොටා අවසන් බව.

 

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්