ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ  හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටය. එහෙත් ඒ මහතා හදිසියේම ලංකාවට ආවේය. ඒ ඇයි? පොහොට්ටුවේ අර්බුදයක්ද්‍? තිරය පිටුපස දේශපාලන බල මෙහෙයුමක්ද? මේ ඒ සම්බන්ධයෙන් ඒ මහතා විමසමින් කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඔබ එන්න හිටියට වඩා කලින් ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට ආවා. එහෙම ආවේ විශේෂ හේතුවක් නිසාද?  


පිළිතුර:- අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුවටත් මගේ නීතිඥ මහත්වරුන්ටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ මට යන්න අවසරය ලබාදීම සම්බන්ධයෙන්. ඒ අවසරය ලබා ගැනීමේදී මම අවසර ඉල්ලා සිටියේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටයි. වෛද්‍ය ප්‍රතිකාර අවසන් වුණාට පස්සේ තවදුරටත් ඇමෙරිකාවේ රැඳී ඉඳීම සුදුසුද නැද්ද කියලා මම ම​ගේ නීතිඥ මහත්වරුන්ගෙන් විමසුවම ඔවුන් කිව්​වේ මාස තුනක කාලයක් අධිකරණයෙන් දුන්න. එහෙම දුන්නේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගතවන කාලය කලින් තීරණය කරන්න බැහැ කියන පදනම මත. ඒ නිසා මගේ නීතිඥයින් කිව්වේ වෛද්‍ය ප්‍රතිකාර අවසන් නම් ලංකාවට එන්න කියලයි. ඒ නිසා මම ආවා.  


ප්‍රශ්නය:- ඒකමද හේතුව? එහෙම නැත්නම් පොහොට්ටුවේ දේශපාලන කටයුතු ‘අල වෙමින්’ යනවා වගේ දැනුණද?  


පිළිතුර:- නැහැ. ඇත්ත වශයෙන්ම මට ඒ කාලය තුළ ලංකාවේ දේශපාලනය තුළ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්නවත් විවේකයක් තිබුණේ නෑ. මම ඉතින් කොහොමත් දේශපාලන කාරණා සම්බන්ධයෙන් සංවේදියි. ඒ තුළ ලංකාවට ඉක්මනින් එන එකත් හොඳයි කියලා මම හිතුවා.  


ප්‍රශ්නය:- ඔබ ඇමෙරිකාවේ ඉන්න කාලයෙ ‘කොළඹට ජන බලය’ වැනි විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක වුණා. ඒවා ගැන ආරංචි වුණාද?  


පිළිතුර:- යන්න ඉස්සෙල්ල මම ඒකට මැදිහත් වෙලා හිටියා. ඒ මැදිහත් වීමේ ප්‍රගතිය මම ආවට පස්සේ ලබාගත්තා.  


ප්‍රශ්නය:- ලැබුණු තොරතුරු මොනවද? සාර්ථකද? අසාර්ථක ද?  


පිළිතුර:- සාර්ථක අසාර්ථක බව කියන එක කරපු අය හෝ ඒකට විරුද්ධ අය කියන කතාවලින් නොවෙයි මැනිය යුත්තේ. ඒක තීරණය කරන්න ඕනෑ මහජනතාවයි. කරපු අපි හැමද‌ාම කියන්නේ සාර්ථකයි කියලයි. විරුද්ධ වෙච්ච අය කියන්නේ අසාර්ථකයි කියලයි. අපි මැයි දිනය ගෝල්ෆේස් පිටියේ තිබ්බමත් විරුද්ධ පාර්ශ්වය කියපු කතා දන්නවනේ. අසාර්ථකම මැයි දිනයක්’ කියලනේ කිව්වේ. නම් ගම් කියන්න ඕනෑ නෑ. කියපු දේවල් කියන්න අවශ්‍ය නෑ. අසාර්ථකයි කියලයි කිව්වේ. නමුත් ජනතාව කිව්වා අති සාර්ථකම මැයි රැලියක් කියලා. ඒ නිසා මෙතැනදිත් මැනිය යුත්තේ අපි කියන දේ නොවෙයි. ජනතාව ඒ ගැන කියන දෙයින්. මම ඒ ගැන අදහසක් කියනවට වඩා ඔබ ජනතාවගෙන් ඒ ගැන විමසීම වැදගත් බවයි මම හිතන්නේ.  


ප්‍රශ්නය:- ‘බැසිල් බාප්පා නැතිව අපටත් වැඩ කරන්න පුළුවන්’ කියලා පෙන්නන්න ගිහින් නාමල් පුතා ඇනගත්තා කියලත් කියනවා?  


පිළිතුර:- නෑ. ඒ තීන්දුව ගත්තේ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්. මමත් ඉන්න වෙලා​වේ තමයි ඒ තීන්දුව ගත්තේ. මට පැවැරුව වගකීම් සියල්ලම කරලයි මම ගියේ. අපේ පක්ෂය තමයි තරුණ සංවිධානයට ඒක පැවැරුවේ. ඒක එක පුද්ගලයකුට පවරපු දෙයක් නොවෙයි. දැන් ඕක තමයි හුඟක් වෙලාවට වෙන්නේ. පොදුවේ අපි කරන දෙයක් සංවිධානයකට දුන්නම එක පුද්ගලයෙක් පදනම් කරගෙන තමයි ඒක දිහා බලන්නේ. ඒක ඒ තරම් සාධාරණ කටයුත්තක් නොවෙයි. මම හිතන විදියට තරුණ සංවිධානය හැටියට ඒ මන්ත්‍රී කණ්ඩායමම නාමල් මන්ත්‍රීතුමා ප්‍රමුඛ ඒ පිරිස උපරිමයෙන්ම කළා කියලා හිතන්න පුළුවන්.  


ප්‍රශ්නය:- අද රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා ඔබ පිළිගන්නවද?  


පිළිතුර:- ඒක පිළිගන්නවා කියන්නේ ඒක මම පිළිගත්තත් නැතත් ඒක ගමේ ඉන්න ගෘහණියගේ ඉඳලා පවුලේ දරුවාට පවා දැනෙනවා. ගොවියා, ධීවරයා, කම්කරුවා, වෙළෙන්දා හැම කෙනෙකුටම වගේම අගමැතිවරයා, ජනාධිපතිවරයා දක්වා හැමෝම පිළිගන්නවා. දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා. මහ බැංකුවේ අධිපති පවා ඒක කියනවා. ඒ නිසා ඒක අහන්නවත් දෙයක් නොවෙයි.  


ප්‍රශ්නය:- මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඒ විදියට ඇහුවේ මේ ආර්ථික අර්බුදය එන බව දැනගෙන ජනාධිපතිවරණය අවුරුදු දෙකකට කලින් තිබ්බා කියලා ආණ්ඩුව කියන නිසයි.  


පිළිතුර:- එහෙම කියන්න පුළුවන්. ඒක නොවෙයි මේ ආණ්ඩුවට ඇත්තටම හොඳ මධුසමයක් ගත කිරීමේ අවස්ථාවක් තමයි ලැබුණේ. ​​මේ ආර්ථිකයේ අර්බුදයට ප්‍රධාන කරුණු 2 ක් බලපෑවා. ඒක තමයි දේශීය වශයෙන් ඇතිවන තත්ත්වයත්, විදේශීය වශයෙන් ඇතිවන තත්ත්වයත්. එතකොට මේ ආණ්ඩුව ආපු කාලය තුළ මේ දෙකේම ඉතාම වාසිද‌ායක තත්ත්වයක් තිබුණේ. එක පැත්තකින් ආණ්ඩුව ගන්න කොට විදේශ සංචිතය ඉතාම හොඳ මට්ටමක තිබුණේ. පොලී අනුපාතය ඉතාම අඩු තත්ත්වයක. උද්ධමනය ඉතාම අඩු තත්ත්වයක. වර්ධන වේගය ඉතා ඉහළ තත්ත්වයක. මෙන්න මේ සියලු යහපත් ලක්ෂණ තිබුණා. ඩොලරයේ අගයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව තිබූ ආණ්ඩුවක් තමයි මේ ගොල්ලන්ට ලැබුණේ. අනික් පැත්තෙන් ඊට අමතරව විදේශීය පැත්තෙන් ප්‍රධානම කාරණය තමයි තෙල් මිල. කිසිම දවසක ඒ කියන්​නේ දශක ගණනාවක් තුළ නොතිබුණ විදියට අඩුම තෙල් බැලරය තිබුණේ ඒ කාලයේ. මේක ඇත්තටම මධුසමයක් වගේ.  


ප්‍රශ්නය:- ඔබ හිතන විදියට ආණ්ඩුවට ඇයි එයින් ප්‍රයෝජනයක් ගන්න බැරිවුණේ?  


පිළිතුර:- ඇත්තම කියනවා නම් මධුසමයට ගිහින් තමන්ගේ නීත්‍යානුකූල බිරිය එතැන තියලා අනාචාරයේ ගියා වගේ වැඩක් මේ කට්ටිය කළේ. එහෙම ගිහින් එක එක ලෙඩ හද‌ාගෙන බිරියටත් බෝ කරලා දැන් කෑගහනවා. ඒ වගේ වැඩක් තමයි මේ ආණ්ඩුව කළේ. මම කියන්නේ නෑ දැන් මේ තියෙන අර්බුදය නිකම්ම ආවා කියලා. තෙල් බැරලය වැඩිවෙලා තියෙනවා. ඒවා ආණ්ඩුවකට පාලනය කළ නොහැකි දේවල්. අපේ කාලයෙත් තෙල් මිල ඉහළ යාමේ අර්බුදවලට මුහුණ දුන්නා. එතකොට ඒක දේශීය වශයෙන් පාලනය කරන්න ඕනෑ. දේශීය වශයෙනුත් පාලනය කරන්න බැරි තත්ත්වයට ආණ්ඩුවේ නොහැකියාව මතුවෙලා. පොලී අනුපාතය වැඩිවෙලා. උද්ධමනය වැඩි වෙලා. විදෙස් සංචිත අඩුවෙලා. වර්ධන වේගය අඩුවෙලා. අර වාසිද‌ායක ලක්ෂණ ටිකත් නැති කරගෙන. එතකොට ආද‌ායම් මාර්ග බිඳ වැටිලා. ග්‍රාමීය ආර්ථිකය කඩාවැටිලා. මිනිසුන්ට ආද‌ායම නෑ. නිෂ්පාදනය බිඳවැටිලා. ඔය කියන සියලු දේවලුත් වෙලා. ඒ අනුව ‘ඩබල් එෆෙක්ට්’ එකක් මේ ඇතිවෙලා තියෙන්නේ.  


ප්‍රශ්නය:- මේ ආර්ථික අර්බුදයට තියෙන විසඳුම මොකක්ද? කියලා කියන්න යනුවෙන් අගමැති රනිල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝගයක් කළා?  


පිළිතුර:- එහෙම අභියෝගයක් කළාට මහින්ද රාජපක්ෂ මහත්තයාට විසඳුම කතාවෙන් දෙන්න නම් පුළුවනි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එහෙම නොවෙයි ප්‍රායෝගිකවනේ කරන්න ඕනෑ. ප්‍රායෝගිකව කරලා පෙන්වන්න බලය මහින්ද මහත්තයාට ලැබෙන්න ඕනෑ. මට ගොඩ ඉඳලා පීනන්න උගන්වන්න බැහැනේ. මම වතුරට බහින්න ඕනෑනේ. වතුරට බහින්නේ නැතිව ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ කාටවත්.  


ප්‍රශ්නය:- ඔය ඔබ කියන බලය ලබා ගැනීම සඳහා අයවැයේදී ට්‍රයි එකක් දෙන්න සූද‌ානම් කියලා වාර්තා වෙනවා?  


පිළිතුර:- සාමාන්‍යයෙන් විපක්ෂයක කාර්යභාරය තමයි සාධාරණ විදියට පක්ෂ වෙන්න බැරි නම් අයවැයට විරුද්ධ වීම. පාර්ලිමේන්තුවේ ඉන්න නිල විපක්ෂය නම් අයවැයට පක්ෂව ඡන්දය දෙනවා. වැරැදි අයවැයක් පරාජය කරන්න නියම විපක්ෂයක් හැම උත්සාහයක්ම ගත යුතුයි. මේ වගේ යුගයක එහෙම නොකර ඉන්නවා නම් ඒක ඉතාම බරපතළයි. සියලු දේවල් කරන්නේ වැරැදි විදියට නම් ඒක පරාජය කළ යුතුයි. ඒ නිසා ඒ ගැන අහන්නත් අවශ්‍ය නෑ.  


ප්‍රශ්නය:- මම අහන්නේ එහෙම වැඩපිළිවෙළක්ද්‍, සාකච්ඡාවක් තියෙනව ද කියලයි?  


පිළිතුර:- එහෙමම මම දන්නේ නෑ. මම ලංකාවේ හිටියේ නැහැනේ. මම තාම ඇවිත් දවස් කිහිපයයි. අනිත් එක ඒක පාර්ලිමේන්තුවේ කාර්යයක්නේ. අපි කරගෙන යන්නේ ජනතාව තුළින් මේක මතවාදයක් ජනතාව තුළ ඇතිකරන්න. පාර්ලිමේන්තුවෙන් පිටත කළ යුතු දේවල් අපි සාකච්ඡා කරමින් යනවා.  


ප්‍රශ්නය:- එහෙම වැඩපිළිවෙළකට ජනාධිපති මෛත්‍රිගේ ආශිර්වාදයත් ලැබෙනවා කියලා ආරංචියි?  


පිළිතුර:- එතැනදී ඒක අද‌‌ාළ නැහැ අපේ පක්ෂයට අපට අද‌ාළ නැහැ. එයාගේ ආශිර්වාදය හෝ වෙනත් දෙයක්. අපි මේ අර්බුදයේ පාර්ශ්වකරුවෙක් විදියට තමයි ඔහු සලකන්නේ. ඒ නිසා අපිට ඔහු අද‌ාළම නැහැ. ඔහුව අද‌ාළ කරගෙන අපිට සටන් කරන්නත් බැහැ කියන එකයි මගේ මතය.  


ප්‍රශ්නය:- ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂත්වය මෛත්‍රිට දෙන්නත් අගමැති අපේක්ෂත්වය මහින්දට දීමටත් එකඟතාවයකට එමින් සිටිනවා කියලා වාර්තා වෙනවා?

  
පිළිතුර:- එහෙම ඉතින්.... මෙහෙමයි දේශපාලනයේ සිද්ධ වෙන දේවල් ගැන මට කියන්න බැහැ.  


ප්‍රශ්නය:- එහෙම දෙයක් ගැන සාකච්ඡා වෙනවා නම්?  


පිළිතුර:- දේශපාලන සාකච්ඡාවකට එවැනි දෙයක් වෙනවා නම් උපක්‍රමික වශයෙන් යම් යම් දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ සම්බන්ධයෙන් මම තවම දැනුම්වත් නෑ.  


ප්‍රශ්නය:- ඊළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මොකක්ද ඔබේ ස්ථාවරය?  


පිළිතුර:- ජනාධිපතිවරණය අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඒ විතරක් නොවෙයි ඉදිරියට තියෙන පළාත් සභා මැතිවරණත් අපි දිනන්න ඕනෑ. මොකද ගිය පළාත් පාලන මැතිවරණයට අපි මුහුණ දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළමු වතාවට. අපේ සහෝදර දේශපාලන පක්ෂත් එක්ක අපි ඉදිරිපත් වුණා. ඒ වෙලාවේ අපි සමුපකාර ඡන්දයකටවත් නිල වශයෙන් ඉදිරිපත් වෙලා හිටියේ නෑ. නමුත් අවුරුදු 70 ක් පැරණි යූඑන්පියත් අවුරුදු හැට ගණනක් පරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පරාජය කරලා, ජනපතිත් අගමැතිත් ඉන්න පක්ෂ දෙකම පරාජය කරලා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය ලබපු අඩුම ඡන්ද ප්‍රමාණය ලබාගත් මැතිවරණය බවට පත් කරන්නත් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩුම ප්‍රතිශතය ලබාගත් මැතිවරණයක්බවට පත් කරමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නත් අපිට පුළුවන් වුණා. එ් ජයග්‍රහණයත් එක්ක ජනතාව අපට පණිවිඩයක් දුන්නා අපි විශ්වාස කරන එකත් දේශපාලන ව්‍යාපාරය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් සහෝදර පක්ෂ සමග එකතු වුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියලා. ඒ අනුව අපි ඒ ඉණිමගේ දිගට යන්න තමයි අපේ බලාපොරාත්තුව. ඒකේ පළමු පියවර පළාත් පාලන ආයතන. ඊළඟට ජනතාවට නිත්‍යනුකූලව ලබාගත හැකි මැතිවරණය තමයි පළාත් සභා මැතිවරණය. ඒක පරක්කු කරනවා. ඊළඟට ජනාධිපතිවරණය. ඊළඟට මහ මැතිවරණය. කෙසේ වෙතත් ඉස්සර විපක්ෂයට මහන්සි වෙන්න වුණේ මැතිවරණයට ලෑස්ති වෙන්න. ඒක විතරයි තිබුණේ. දැන් ඒක විතරක් නොවෙයි මැතිවරණ ලබා ගැනීමට සටන් කරන්නත් මැතිවරණය දිනීමටත් සටන් කරන්න වෙලා. ඒ දෙකම ගිය පාර අපි කළා. මේ පාරත් ඒක නොකර අරින්නේ නැහැ.  


ප්‍රශ්නය:- ඔබේ ස්ථාවරය පාර්ලිමේන්තුව ඇතුළේ කරන ඔළුගෙඩි සෙල්ලමකින් බලය ගැනීම නොව මහ මැතිවරණයකින්ම බලය ගැනීමයි?  


පිළිතුර:- ආණ්ඩුව පෙරළීමට විවිධ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආණ්ඩු පිහිටුවීම සඳහා ජන බලය අවශ්‍යයි. ජනතා කැමැත්තෙන් පිහිටුවන ආණ්ඩුවකට තමයි ජනතා ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ. තාවකාලිකව භාරකාර, පරිවාර ආණ්ඩු පුළුවන්. ඒ උපක්‍රමිය වශයෙන්. හැබැයි විදේශ ආයෝජකයන්ගේ, දේශීය ව්‍යවසායකයන්ගේ ඒ වගේම නිලධාරීන්ගේ අනිත් විද්වතුන්ගේ ඉඳලා ගමේ ඉන්න සාමාන්‍ය පුරවැසියා දක්වාම විශ්වාසය ආණ්ඩුවකට තිබිය යුතුයි. ඒ විශ්වාසය ගොඩනගන්න නම් ඒකට තිබිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. නායකත්වයක් හොඳ වැඩපිළිවෙළක් තිබිය යුතුයි. ස්ථීර සාර ජනවරමකින් පිහිටපු ස්ථීර රජයක් විය යුතුයි. එතෙනින් තමයි විසඳුම එන්නේ.  


ප්‍රශ්නය:- ඒ කියන්නේ අතරමැදි ආණ්ඩු පෙරළියකට ඔබ සූද‌ානම් නැහැ?  


පිළිතුර:- නැහැ. නැහැ ඒකෙන් එහෙම කියැවෙන්නේ නෑ. නමුත් මගේ පෞද්ගලික මතය නම් මේ ගමනේ අතරමග අම්බලම් නැහැ කියලයි. නමුත් වැඩි දෙනෙක් ඉන්නේ අතරමග පියවරවල් ගන්න වෙනවා මේ තියෙන තත්ත්වය උඩ කියලයි. එහෙම ගන්නත් ඉඩ තියෙනවා. ඒත් මම ඒකට අභියෝග කරන්නේ නැහැ. නමුත් අපි යන ඉලක්කය වෙන පැත්තකට යවන්න මම සූද‌ානම් නැහැ.  


ප්‍රශ්නය:- ඊළඟ ජනාධිපතිවරණයට රාජපක්ෂ සහෝදරයෙක් වුණත් ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී කිව්වා. ඔබත් රාජපක්ෂ සහෝදරයෙක්?  


පිළිතුර:- දැන් මේකෙදි ජනාධිපතිවරණය ගැන කතා කළත් ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කිරීම සුදුසු නැහැ කියලා අපේ පක්ෂ නායකයෝ එකඟත්වයකට ආවා. ඒ නිසා ඒ ගැන කතා කිරීම සුදුසු නැහැ කියලයි මම හිතන්නේ.  


ප්‍රශ්නය:- ‘ජනාධිපති අපේක්ෂකයා’ පොහොට්ටුවේ බලවේග අතර අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා වගෙයි?  


පිළිතුර:- ඒක ගැනත් කතා නොකර ඉන්න එක හොඳයි. අපේක්ෂකයා ගැන කතා කරන්නේ නෑ කියලා එකඟත්වයකට ආවම අඩු ගානේ මම අපේක්ෂකයෙක් නෙවෙයි කියලා කියන්නත් මට නිදහසක් නෑ. සද‌ාචාරාත්මකව කිසිවක් කතා නොකර ඉඳීම හොඳයි කියලයි මගේ අදහස.  


ප්‍රශ්නය:- එහෙම නම් මේ ගැන උත්තරයක් දෙන්න. ‘මහින්ද රාජපක්ෂ හැර වෙනත් රාජපක්ෂ කෙනෙකුට මම කැමැති නෑ’ කියලා මන්ත්‍රී වෙල්ගම කිව්වා.  


පිළිතුර:- ඒකට උත්තර දෙන එකත් සුදුසු නැහැනේ.  


ප්‍රශ්නය:- ඒ කියන්​නේ ප්‍රශ්නවලට උත්තර නොදී ඉන්න වෙන තරමටම පොහොට්ටුවේ අර්බුද උග්‍රවෙලා?  


පිළිතුර:- නෑ... නෑ... අර්බුදයක් ඇති වෙන්න ඉස්සර යම්කිසි එකඟත්වයකට ආවා. ඒ එකඟත්වය හරිද වැරැදිද කියලා මම කියන්න යන්නේ නෑ. ඒත් ඒ නිසාම තීන්දුවක් ගත්තට පස්සේ මම පරිස්සම් වෙනවා. හැමද‌ාම මම කැමැති වුණත් අකමැති වුණත් ඒ තීන්දුව ආරක්ෂා කරන්න කැපවෙනවා. අප ආණ්ඩු කරන කාලෙත් ම​ගේ ප්‍රතිපත්තිය ඒකයි.  


ප්‍රශ්නය:- පොහොට්ටුව තුළ කතා කිරීමේ නිදහසත් අහිමි වෙලා?  


පිළිතුර:- නෑ. මම ඔබට මෙහෙම කියන්නම්කෝ. දියුණු රටවල පූර්ණ අපේක්ෂකයා තේරීමේ ඡන්දයක් පක්ෂය තුළ අවුරුද්දක් තිස්සේ යනවා. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා තෝරන්නේ ර​ට වටේ ගිහින් වෙනමම ඡන්දයක් තියලා. එංගලන්තයෙත් එහෙමයි. පක්ෂයෙන් නව යෝජනා ගැනීම ඡන්දය දිනීමට වඩා අමාරුයි. හිලරියි, ඔබාමායි ඉදිරිපත් වුණාම ඡන්දයෙන් තේරුවේ. එහෙම දිනුවම එතැන ඉඳලා යන්න ලේසියි. මම වඩාත් කැමැති එහෙම එකකට.  


ප්‍රශ්නය:- හොඳයි එහෙම අභ්‍යන්තර ඡන්දයක් තිබ්බොත් ඒකෙන් දිනන්නේ කවුද?  


පිළිතුර:- ඔය අහන්නෙත් අර ප්‍රශ්නයමනේ? මම ඒකට පිළිතුරු දීමෙන් වැළකී සිටිමි.  

 

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්