ආණ්ඩුව සහ ජනමාධ්‍ය අතර ආතතිකාරී සබඳතාවක් නිර්මාණය වී තිබෙන බව ඉකුත් දිනවල වාර්තා වූ සිදුවීම්වලින් පෙනේ. එහි ඇති විශේෂත්වය වන්නේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මතවාදය සකස් කිරීමට දායක වූ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් ද ආණ්ඩුකරණයේ පරස්පරතා මතුව තිබීම ය. ආණ්ඩුකරණය සහ ජනමාධ්‍ය හැසිරවීම අතර පැවතිය යුතු සබඳතාවේ ස්වරූපය, එහි පරස්පරතා මතුවීමන් උද්ගත විය හැකි අර්බුද පිළිබඳ මේ සාකච්ඡාව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සමග ය.   

 

කොළඹ විශ්වවිද්‍යාලයේ 
ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය
ටියුඩර් වීරසිංහ

Q ජාතික ජන බලවේගය බලයට පත්වීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රබල භූමිකාවක් ඉටු කළා වගේම එම පක්ෂය සමාජ මාධ්‍ය මත දැඩි විශ්වාසයක් තැබූ බවත් බොහෝ දෙනා පිළිගන්නා කරුණක්. ඒත් දැන් ආණ්ඩුකරණය සහ මාධ්‍ය භාවිතය අතර ආතතිකාරී සබඳතාවක් නිර්මාණය වී තිබෙනවා. ඔබ මේ තත්ත්වය තේරුම් ගන්නෙ කොහොමද?

මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසයේ පටන්ම දේශපාලන බලය හා මාධ්‍ය අතර තියෙන්නෙ අවියෝජනීය සම්බන්ධයක්. ඒ ඒ යුගවල පැවති මාධ්‍යයේ ස්වභාවය කුමක් වුවත් රාජ්‍යයන් තමන්ගෙ දේශපාලන බලයේ අවියෝජනීය කොටසක් හැටියට මාධ්‍ය පාවිච්චි කරලා තියෙනවා. විවිධ යුගවලදී බලය හිමි පන්තිය ඔවුන්ගේ දේශපාලන බලය වර්ධනය කරගැනීම සඳහා මාධ්‍ය පාවිච්චි කරලා තියෙනවා. ලෝකය නූතන ධනවාදී යුගයට එද්දී ධනේශ්වර පන්තිය තමන්ගේ දේශපාලන බලය සහ මතවාදය පවත්වාගෙන යෑම සඳහා පුවත්පත, ගුවන්විදුලිය සහ රූපවාහිනිය පාවිච්චි කළා. වර්තමාන යුගය වනවිට මානව සමාජය සාම්ප්‍රදායික මාධ්‍ය ආකෘතියේ සිට නව මාධ්‍ය ආකෘතියකට ඒ කියන්නෙ සමාජ මාධ්‍යවලට ගමන් කරමින් තියෙනවා. ජාතික ජන බලවේගය බලයට පත්වෙන්නෙත් ලෝක මට්ටමින් තුන් වැනි යුගයේ මාධ්‍යයේ ආධිපත්‍යය හා ප්‍රමුඛතාව මතු වෙමින් තියෙන යුගයක. මේ නිසා ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර විශේෂ අවධානයක් යෙමු කළේ පුවත්පත්, ගුවන්විදුලිය සහ රූපවාහිනිය කියන නූතන මාධ්‍යවලට වඩා නව මාධ්‍යවලට. නැත්නම් සමාජ මාධ්‍යවලට. සමාජ මාධ්‍ය ප්‍රධාන මාධ්‍යයන්ගෙන් වෙනස් වන දෙයක්. සමාජ මාධ්‍ය කියන්නෙ හුදු තොරතුරු සංසරණය කරගන්නා තොරතුරු හුවමාරු කරගන්නා මිනිස්සු දැනුවත් කරන මාධ්‍යයක් විතරක් නෙවෙයි. ඒ මාධ්‍ය විශේෂය ඇත්තටම මිනිසුන් සංවිධානය කරන, මෙහෙයවන සහ සමාජානුයෝජනය කරන එකක්. ඒ නිසා තමයි 21 වැනි සියවසේ සමාජ මාධ්‍ය භාවිත කරලා බොහෝ රටවල ආණ්ඩු පෙරළි සිදු වුණේ. යුරෝපයේ අරාබි ලෝකයේ සහ ආසියාවේ රටවල ඒ විදියේ පෙරළි සිදු වුණා. මේ නිසාම සමාජ මාධ්‍ය සතු ඒ විභවතාව බොහෝ පර්යේෂකයන් විසින් හඳුනාගෙන තිබුණා. මේ ආණ්ඩුවත් ඒ හැකියාව මත වැඩි බරක් තබමින් කටයුතු කළා.

මාධ්‍ය විසින් මහජනතාවට ඉදිරිපත් කරන්නෙ පාලකයාගේ මතය පමණක් නෙවෙයි කියන එක ආණ්ඩුව තේරුම්ගත යුතුයි

සමාජ මාධ්‍යයේ තියෙන එක විශේෂත්වයක් තමයි සෑම පුද්ගලයෙකුටම ප්‍රවේශ වීමේ හැකියාව. ඒ නිසා සාම්ප්‍රදායික මාධ්‍යවලට වඩා සමාජ මාධ්‍ය අවකාශයේ තමන්ට භූමිකාවක් තිබෙනවාය කියන හැඟීම පුරවැසියන්ට තියෙනවා. මම හිතන විදියට ආණ්ඩුව ඒක ඉතාම දක්ෂ විදියට බලය ලබා ගැනීමට පාවිච්චි කළා. ඒ වගේම ප්‍රතිවාදීන්ගේ මත ඛණ්ඩනය කිරීමටත් විවේචනවලට පිළිතුරු දීමටත් ආණ්ඩුව සමාජ මාධ්‍ය පාවිච්චි කළා. සමාජයක බලය පවත්වා ගෙනයෑමට සහ සමාජයක් පවත්වාගෙන යෑමට අවශ්‍ය සාධකවලින් එකක් තමයි මාධ්‍ය කියන්නෙ. ආණ්ඩුව බලයට පත්වෙලා ගත වුණු වසරක කාලයේදී ලෝක මට්ටමිනුත් රට ඇතුළතිනුත් විශාල වෙනස්කම් සිදු වෙලා තියෙනවා. සිදුවෙමින් පවතිනවා. ඒ වෙනස්කම් කුමනාකාරයට ජනතාවට බලපායිද කියන කාරණය මත බලයට තියෙන සම්බන්ධතාව තීරණය වෙනවා. බලයට පත්වීමට පෙර තිබුණු තත්ත්වය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහා ආණ්ඩුව විපක්ෂයේ සිටියදී කළ මැදිහත්වීම ඉතා සාර්ථකව සිදු වුණා. නමුත් දැන් තියෙන තත්ත්වයත් එක්ක ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ සාධාරණීයකරණය කිරීම සඳහා හැකියාවක් නෑ. යථාර්ථය ඊට වඩා වෙනස්. ඒ නිසා ආණ්ඩුව කුමනාකාරයට සමාජ මාධ්‍ය භාවිත කළත් ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය සංවිධාන කවර තොරතුරු සමාජ මාධ්‍යවල පළ කළත් ජනතාව ඒ තොරතුරු ගන්නෙ පවතින යථාර්ථයත් සමග සම්බන්ධයක් නැති තොරතුරු හැටියට.

Q බලය ලබාගැනීමට මතවාදීමය වශයෙන් ආධාර කළ සමාජ මාධ්‍යයෙන් ආණ්ඩුවට දේශපාලන විවේචනයක් ගොඩනැගෙන විට ඊට ප්‍රතිචාර දක්වන ස්වභාවයෙන් කියාපාන්නෙ ආණ්ඩුවට මාධ්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් පරිචයක් නැතිකම ද?

අනිවාර්යයෙන්ම. සමස්තයක් විදියට ආණ්ඩුවට සාම්ප්‍රදායික මාධ්‍ය පමණක් නෙවයි සමාජ මාධ්‍ය පවා කළමනාකරණය කිරීමේ, මෙහෙයවීමේ පරිණතභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. සමාජයේ ඉන්න විවිධ පුද්ගලයන් සහ බලවේග මාධ්‍ය භාවිත කරනවා. නමුත් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය ඇතුළු මාධ්‍ය හසුරුවන අය මේ නව තත්ත්වය ඇතුළත මාධ්‍ය ජනතාව හා විරුද්ධ පක්ෂ හැසිරවීම සම්බන්ධයෙන් අපරිණතභාවයක් පෙන්නුම් කරනවා. මම හිතන්නෙ ඒකෙන් තමයි ආණ්ඩුවට දැඩි ප්‍රතිවිරෝධතාවක් එල්ල වෙන්නෙ.

Q ඒක හුදු අපරිණතභාවයක් ද නැතිනම් චේතනාන්විතවම කරන දෙයක් ද?

මම හිතන්නෙ ඒක චේතනාන්විතව කරන දෙයක් නෙවෙයි. ඒක අත්දැකීම් නැතිකම. චේතනාන්විතව කරනවා නම් ඒක අවුල් කිරීමක් වෙන්න ඕනැ. ඒ කියන්නෙ අවුල් කිරීම මගින් පාලනය පවත්වාගෙන යෑම. ඒක විසි වැනි සියවසේ අවසානයේ හා විසි එක් වැනි සියවසේ මුල්භාගයේ මතු වූ ලෝක භූ දේශපාලනයේ න්‍යායික සිද්ධාන්තයක්. නමුත් මෙතන තියෙන්නෙ රාජ්‍ය බලය හා පක්ෂයේ බලය අතර තියෙන පරස්පරතාවක්. මාලිමාව ආණ්ඩු බලය ගත්තට පස්සෙ ද්විත්ව බලයක් සමාජයේ ක්‍රියාත්මක කරනවා. එකක් තමයි ජවිපෙ තමන්ගෙ පක්ෂය කේන්ද්‍ර කරගෙන සමස්ත සමාජ ආයතනික ව්‍යුහයට මැදිහත්වීමේ ප්‍රවේශයක් වර්ධනය කරනවා. අනිත් පැත්තෙන් අනාදිමත් කාලයක් තිස්සේ විවිධ ආණ්ඩු යටතේ හැඩගැසුණු නිලතන්ත්‍රවාදී ව්‍යුහයකුත් ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි නිල වශයෙන් රාජ්‍ය පාලනය කරන යාන්ත්‍රණය. සමාජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික හැම ක්ෂේත්‍රයකම ජනතාව සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම්වල ප්‍රමාදයක් තියෙනවා. එහෙම නැත්නම් ඒකෙ පරස්පරතාව සමාජයට මතු වෙනවා. මෙවැනි බලය සහිත රටවල සාමාන්‍යයෙන් සිදුවෙන්නෙ සියලුම නිලතන්ත්‍රවාදී රාජ්‍ය බලය පක්ෂ බලයට මාරු වෙන එක. එතකොට පක්ෂය තමයි රාජ්‍ය බවට පත්වෙන්නෙ. දැනට තියෙන්නෙ පක්ෂ බලය හා නිලතන්ත්‍ර බලය අතර ආණ්ඩුව දෝලනයවීමක්. ඒ නිසා තමයි සමාජයට මේක අවුල්සහගත තත්ත්වයක් විදියට පේන්නෙ.

Q මාධ්‍යකරණය සම්බන්ධව ආචාරධාර්මික ප්‍රශ්න තියෙනවා නම් ඒවා ගැන පැමිණිලි කළ හැකි ආයතන හා කාර්යපටිපාටිමය ව්‍යුහයක් තියෙද්දී ඍජුවම නීතිය හමුවට යෑම ප්‍රශ්නකාරියි කියා ඔබ සිතනවා ද?

ඔබ මතු කළ කාරණය නිවැරදියි. කලින් කිව්ව නිලතන්ත්‍රවාදය හා රාජ්‍ය විසින් බලය ක්‍රියාත්මක කිරීමට තිබුණු ආයතන පද්ධතිය අතික්‍රමණය කිරීම නිසා නීතියේ ආධිපත්‍යය බිඳවැටෙනවා. ඒක තමයි ආණ්ඩුවට තේරෙන්නෙ නැත්තෙ. පරිකල්පනීය නීතියක් ඔළුවෙ තියාගෙන මේ අය තීන්දු ගන්න බවක් පෙනෙන්නට තියෙනවා. නීතිය කියන්නෙ ප්‍රායෝගිකව සමාජයේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක්. ඒක සමාජ කෘත්‍යයක්. නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නිලතන්ත්‍රවාදය මගින්. ඒක තමයි වැදගත්. දේශපාලන අධිකාරියට මේ ගැන විශ්වාසයක් නැත්නම් ඒකට විකල්පයක් ඉදිරිපත් වෙන්න ඕනෑ. විකල්පය හැටියට තමයි ආණ්ඩුව පක්ෂ කේන්ද්‍රීය බලය වර්ධනය කරන්න හදන්නෙ. නමුත් තවම ඒක වර්ධනය වෙලා නෑ.

රාජ්‍ය බලය හා පක්ෂයේ බලය අතර පරස්පරතාවක් ඇතිබව පේනවා.

අනිත් පැත්තෙන් ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය ක්‍රියාත්මක වීමේ යම් යම් ප්‍රශ්න තියෙන බව ඇත්ත. ජවිපෙ එහි ඉතිහාසයේ පටන්ම විවේචනාත්මක විපක්ෂයක් හැටියට තමයි ක්‍රියාත්මක වුණේ. ඒ මානසිකත්වය ඇතුළෙ ගොඩනැගෙන දෙයක් තමයි අනික් අය කරනවාට වඩා තමන්ට හැකියාව තියෙනවා කියන එක. ඒ විදියට මනෝමය වශයෙන් යම් අධිපතිවාදී දෘෂ්ටිවාදයක් නිර්මාණය වෙනවා. එතකොට බාහිර සමාජයට පෙනී යනවා ආණ්ඩුව විශාල උද්ධච්චභාවයකින් කටයුතු කරනවා කියලා. ආණ්ඩුව අනික් අය ගණන් ගන්නෙ නැති තමන් ගැන අධිතක්සේරුවකින් කටයුතු කරනවාය යන හැඟීමක් සමාජයට ඇති වෙන්නෙ මේ නිසා. න්‍යායිකකරණය වූ අය ඉන්නෙ වාමාංශික ව්‍යාපාරය ඇතුළෙ බවට ලංකාවේ මතයක් තියෙනවා. ඒ මතයෙ මේ ආණ්ඩුවත් ඉන්න බව පෙනෙනවා. ඒත් ප්‍රායෝගිකව ගත්තොත් ඒක මේ යථාර්ථයට ගැළපෙන්නෙ නෑ. න්‍යායට වඩා පරිචයෙන් හා ව්‍යවහාරයෙන් මිනිසුන් අතර සබඳතා හොඳින් ක්‍රියාත්මක වෙන බව පැහැදිලියි. ආණ්ඩුවේ අය ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා සෙසු පක්ෂවල ඉන්න ප්‍රායෝගික මතධාරීන් හෑල්ලුවට ලක්වෙනවා. නමුත් ඒ අය ඉවෙන් දේශපාලනය සහ ඉදිරියට වෙන දේවල් දැනගන්නවා. මේ අය න්‍යායිකව පොහොසත් කියන ආකල්පයේ ඉඳිමින් දෘෂ්ටිවාදීකරණයට ලක්ව ඇති නිසා ස්වයං අරෝපණයකට එනවා තමන් ක්‍රියාත්මක කරන දේ හැමවිටම නිවැරදියි කියලා. නමුත් ඒක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කරන්න ගියහම ඒ පරස්පරතාව යථාර්ථය සමග ගැටෙනවා. ඒ නිසා ප්‍රතිවිරෝධතා ඇතිවෙලා මේ විදියේ අවිනිශ්චිතතා හටගන්නවා. ඒ නිසා තමයි මම කිව්වෙ රාජ්‍ය නිලතන්ත්‍රය හා පක්ෂ බලය අතර තියෙන පරස්පරතාව ගැන. ඒකට තියෙන මානසික පදනම තමයි මේ අයගෙ තියෙන අධිතක්සේරුව. තමන් සියල්ල දන්නවා කියන එක. ඒක මාධ්‍ය ක්ෂේත්‍රයේත් දේශපාලන ක්ෂේත්‍රයේත් තීන්දු ගැනීමේදී අදාළයි. අධ්‍යාපන ප්‍රතිපත්තියේදිත් ඒක අදාළයි. 

Q ආණ්ඩුකරණයට මාධ්‍ය බලපෑම දැඩිව බලපාන පරිසරයක ආණ්ඩුකරණයට ආධුනික වූ මේ කණ්ඩායමට ආණ්ඩුකරණය සහ මාධ්‍යකරණය අතර තියෙන සම්බන්ධය නිසි සංයමයකින් යුතුව පාලනය කරගැනීමට අපොහොසත් වුවහොත් මුහුණ දීමට සිදුවෙන දේශපාලන ප්‍රතිවිපාක මොනවා ද?

ආණ්ඩුකරණය කියන්නෙ පාලනමය කටයුත්තක්. ආණ්ඩුකරණයේ තව කොටසක් තමයි මාධ්‍යකරණය කියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළෙ මාධ්‍යකරණයකින් තොරව ආණ්ඩුකරණය පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩුකරණය ඇතුළෙ තියෙන අඩුපාඩු, ප්‍රශ්න, ජනතාව හා පාලක පන්තිය අතර තියෙන සම්බන්ධය, ජනතාවගේ ප්‍රශ්න පාලකයන් වෙත සන්නිවේදනය කිරීම සහ පාලකයන්ගේ තීන්දු ජනතාව වෙත ගෙනයෑම  කරන්නෙ මාධ්‍ය කියන සමාජ ආයතනය මගින්. මාධ්‍ය කියන සමාජ ආයතනය පාලකයා සහ ජනතාව අතර සිටිමින් සුවිශාල භූමිකාවක් ඉෂ්ට කරනවා. මාධ්‍ය විසින් මහජනතාවට ඉදිරිපත් කරන්නෙ පාලකයාගේ මතය විතරක් නෙවෙයි කියන එක ආණ්ඩුව තේරුම්ගත යුතුයි. මාධ්‍ය විසින් කරන තව දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම. පාලකයන් ජනතාවට කියන දේවලුත් ජනතාව පාලකයන් ගැන කියන දේවලුත් මේ දෙකම ඉදිරිපත් කරන්නෙ මාධ්‍යකරුවන්. මාධ්‍යකරුවන් ඒ කාර්යය කරන්නෙ මාධ්‍යයේ දෘෂ්ටිකෝණය අනුව. එහෙම නැතුව පාලකයන් කියන විදියටවත් ජනතාව කියන විදියටවත් නෙවෙයි. ඒකත් ආණ්ඩුකරණයේ ඉන්න අය තේරුම් ගන්නෙ නෑ. මාධ්‍යකරණයට අදාළ මේ සම්බන්ධතාව කළමනාකරණය කරගැනීමේ ගැටලුව නිසා තමයි ආණ්ඩුකරණය සහ මාධ්‍යකරණය අතර ගැටලුව ඇතිවෙලා තියෙන්නෙ. ඒක ඉතා සංකීර්ණ ගැටලුවක්.

මට පේන විදියට ආණ්ඩුව මේ වේලාවේ පාලකයන්ගෙ අවකාශය පමණක් සැලකිල්ලට ගෙන අනෙක් දෙකම හුදකලා කරනවා.

මාධ්‍යයේ බලය නැතිනම් මාධ්‍ය තන්ත්‍රවාදය නිර්මාණය කරන්නෙ මාධ්‍යකරුවන් විසින්. මාධ්‍යකරුවන් සමාජ ප්‍රශ්න දකින විදියක් වෙනම හැදෙනවා. පාලකයන් ඒවා දකින විදියකුත් හැදෙනවා. ජනතාව ඒවා දකින වෙනම විදියකුත් නිර්මාණය වෙනවා. ආණ්ඩුකරණයේ නියුක්ත අය මේ අවකාශ තුන අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුයි. මට පේන විදියට ආණ්ඩුව මේ වේලාවේ පාලකයන්ගෙ අවකාශය විතරක් සැලකිල්ලට ගෙන අනිත් දෙකම හුදකලා කරනවා. නැතිනම් නොසලකා හරිනවා. ඒ නිසා තමයි ජනතාව හා පාලකයන් අතර මාධ්‍ය සහ ආණ්ඩුකරණය අතර මේ විදියෙ පරස්පරතාවක් මතුවෙලා තියෙන්නෙ. නිදහසින් පසු ලංකාවේ කිසිම පාලනයක් යටතේ සිදු නොවුණු විදියට මේ ආණ්ඩුව යටතේ ගෙවුණු අවුරුද්දේදී ආණ්ඩුකරණයේ බලයයි පක්ෂයේ බලයයි අතර පරස්පර සම්බන්ධයක් ඇති වුණා. මම හිතන්නෙ ඒක විශාල ප්‍රශ්නයක් සහ ඒක නිරාකරණය වෙන්න නම් ඒ බල ධාරා දෙකෙන් එකක් ජයග්‍රහණය කරන්න ඕනෑ.

සාකච්ඡා කළේ 
උපුල් වික්‍රමසිංහ