සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

  •  ඔය පර්යන්තය දෙන්න වුණේ චීනය අනවශ්‍ය විදියට ළං කර ගත්ත නිසානේ. චීනයට මේ වරායවල් දුන්නාම ඉන්දියාව කිව්වා ඔයගොල්ලෝ චීනයට දෙනවා නම් අපිටත් කෑල්ලක් දෙන්න කියලා. මේක මේ වැරැදි විදේශ ප්‍රතිපත්තිය.

රටේ නව දේශපාලන පෙළගැසීම, ඉදිරි ක්‍රියා මාර්ග විමසමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය- සමගි ජන බලවේගයට දැන් තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්නද රන්ජන් රාමනායක පාර්ලිමේන්තු ​ෙග්න එකද?


පිළිතුර- දෙකම එක වගේ වැදගත්. මොකද අද ඇත්ත වශයෙන්ම බැලුවොත් ආණ්ඩුවක් නෑනේ. ආණ්ඩුවක් තියෙන බව පේන්නේ බඩු මිල පාලනයෙන්. අද බඩු මිල පාලනයක් නෑනේ. ඒකෙන් කියැවෙන්නේ ආණ්ඩුවක් නැහැ කියන එකනේ. අද රට දඩාවතේ ඇරලා තියෙනවා. කොවිඩ් ප්‍රශ්නය ගන්නකෝ. ආණ්ඩුව අද ඒක අතහැරලා. පීසීආර් පරීක්ෂණ අඩුවෙලා.



ප්‍රශ්නය- මගේ ප්‍රශ්නය වුණේ රංජන් රාමනායක ගැනයි?


පිළිතුර- ඔව් ඒක රංජන්ගේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි. ඒක මේ කතා කිරීමේ අයිතිය සමග සම්බන්ධ ප්‍රශ්නයක්. නවීන ලෝකයේ භාෂණයේ නිදහස ඉහළින්ම පිළිගන්නවා.


ප්‍රශ්නය-රංජන්ට චෝදනා නැගුණේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධවයි.


පිළිතුර- මං ඔබට උදාහරණයක් කියන්නම්. පසුගිය අවුරුද්දෙ අන්තිම කාලයෙ ඉන්දියාවේ බොහොම ප්‍රසිද්ධ නීතිඥවරයෙක් ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. අග්‍රවිනිශ්චයකාර තුමා මෝටර් සයිකලයක නැගලා ඉන්න පින්තූරයක් පළවුණා. උසාවි වහලා තිබුණේ කොවිඩ් නිසා. මහජන පෙත්සම් ඉදිරිපත් කරන්න තැනක් නෑ. නමුත් අග්‍රවිනිශ්චයකාරතුමා හෙල්මට් එකක් නැතිව, මාස්ක් එකක් නැතුව මෝටර් සයිකලය පදිනවා. අර නීතිඥයා අහලා තිබුණ ‘මේ වගේ දූෂිතයෙක්ද ඉන්දියාවේ අග්‍රවිනිශ්චයකාරයා’ කියලා. එහෙම කිව්වම උසාවියට අපහාස කළා කියලා එයාට එන්න කිව්වා. නමුත් ඒ නීතිඥයා වරද පිළිගත්තේ නෑ. එයා කිව්වා ‘මේක මගේ භාෂණයේ නිදහස’ කියලා. අන්තිමට එයාට රුපියලක් දඩ ගැහුවා. එයා කිව්වා ‘ඒ රුපියලත් මම ගෙවන්නේ නැහැ’ කියලා. රුපියල ගෙවන්නේ නැති නිසා දඬුවම් නියම කරන්න දිනයක් දීලා තියෙනවා. ඒ කාලයෙ තමයි අධිකරණයට අපහාස කළා කියලා දැඩි දඬුවම් දෙන්නේ. දැන් ඒක වෙනස් වෙලා. ඒ චෝදනාව කතා කිරීමේ අයිතියත් සමග සමබරව යන්න ඕනැ. ලෝකයෙ කිසිම රටක පහුගිය දශකය තුළ උසාවියට අපහාස කළා කියලා කිසිම කෙනෙක්ව හිරේ යවලා නෑ. නඩු තීන්දුවක් විවේචනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුව තුළත් පුළුවන්. පිටතදිත් පුළුවන්. මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා සමබරව මේ තීන්දු යන්න ඕනැ කියලා.


ප්‍රශ්නය- නමුත් සබ්ජුඩ්සේ සිද්ධාන්තයට අනුව අධිකරණය විවේචනය කරන්න බෑ.


පිළිතුර- නෑ. නෑ. ඒක වැරැදියි. ඒක මේ හදාගත්ත එකක්. නඩු තීන්දුවක් පාර්ලිමේන්තුව තුළත් පිටතත් විවේචනය කරන්න පුළුවන්. මෙන්න මේ හේතු නිසා නඩු තීන්දුව වැරැදියි කියලා කියන්න පුළුවන්. නඩුකාරයෝ අල්ලස් ගත්තා. නඩුකාරයෝ දූෂිතයෝ කියලා කියන්න බෑ. එස්.බී. දිසානායකට එදා ‘ඔය බලු නඩු තීන්දුව මම පිළිගන්නේ නෑ’ කියන ප්‍රකාශයට තීන්දුව දුන්නාම අපි ටීවී එකට ගිහින් ඒක විවේචනය කළා. මම කිව්වා ඒ දඬුවම සැර වැඩියි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමයි අයිතිය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරයෙක්ව විවේචනය කරන්න. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැල්ලා සම්මත වුණොත් ඒ විනිශ්චයකාරයා ගෙදර යන්න ඕනැ. මේක මේ හුඟ දෙනෙක් දන්නේ නෑ. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව තමයි අධිකරණයට දීලා තියෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවට බලයක් තියෙනවා මේ තීන්දු ගැන සලකා බලලා අදහස් ප්‍රකාශ කරන්න. ඥානසාර හාමුදුරුවන්ව හිරේට යැව්වාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තේරුණා ඒ තීන්දුව සැර වැඩියි කියලා. ඒ නිසා උන්වහන්සේට ජනාධිපති සමාව ලැබුණා. ඉතින් නඩු තීන්දු විවේචනය කරන්න පුළුවන්. ලංකාව මේ නැති බලයක් හදාගෙන. පිටරට ටීවීවල නඩු පතුරු ගහනවා.


ප්‍රශ්නය-පවතින නීතියට අනුව රංජන්ට පාර්ලිමේන්තු එන්න බෑ.


පිළිතුර- ප්‍රේමලාල් ජයසේකර නඩුව ඇපැල් අධිකරණයට ගියාම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ කතානායකතුමා කියලයි. අධිකරණයට තීන්දු කරන්න බෑ කෙනෙක් පාර්ලිමේන්තුවේ වාඩි වෙනවද නැද්ද කියලා. ඒක තීරණය කරන්න ඕනැ කතානායකතුමයි. ප්‍රේමලාල් ජයසේකරට උසාවියෙන් කිව්වේ නෑ පාර්ලිමේන්තුවේ වාඩි කරවන්න කියලා. උසාවිය බන්ධනාගාර කොමසාරිස්ට කිව්වා ‘මෙයා පාර්ලිමේන්තුවට කැඳවන්න’ කියලා. ඒ වෙලාවේ කතානායකතුමාට බලය තිබුණා මෙයාට පාර්ලිමේන්තුවේ ඉඳගන්න ඉඩ නොදී ඉන්න. නමුත් එතුමා ඉඩ දුන්නා. මැතිවරණ කොමිසමේ සභාපති කියනවනේ මාස හයකින් තමයි මන්ත්‍රි ධුරය අහිමි වෙන්නේ කියලා. ඉතින් අපි කියන්නේ ඒ මාස හයට රංජන් පාර්ලිමේන්තුවට කැඳවන්න කියලා.


ප්‍රශ්නය-ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට එන්න කතානායකවරයා ඉඩ දුන්නාම ඒක වැරැදියි කියලා දැඩිව විවේචනය කරපු ඔබම දැන් කතානායකට කියනවා රංජන්ව ගෙන්වන්න කියලා.


පිළිතුර- ඔව් මම විවේචනය කළා. නමුත් කතානායකවරයා දැන් පූර්වාදර්ශයක් දීලා තියෙන්නේ. අලුත් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් එතුමා ආරම්භ කළා. කතානායකවරයෙක් තීන්දුවක් දුන්නාම ඒ තීන්දුව අනාගත කතානායකවරු දිගින් දිගටම අරගෙන යනවා. ඒ පූර්වාදර්ශය එතුමා දුන්නා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මිනීමැරුමකට වැරැදිකරුවකු වූ කෙනෙක් සාක්ෂි 52ක් තියෙනවා. නමුත් එයාව ගෙන්නුවා නම් ඒ පූර්වාදර්ශය අනුව යමින් රංජන්ව ගෙන්නන්න කියලයි අපි කියන්නේ.


ප්‍රශ්නය-ප්‍රේමලාල් ජයසේකරට මරණීය දණ්ඩනය නියම කළේ පහළ උසාවියකින්. නමුත් රංජන්ට තීන්දුව දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්.


පිළිතුර- අපට ආයෙමත් රංජන් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවක් නැවත සලකා බලන්න ඉල්ලන්න පුළුවන්. ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලකින්නේ තීන්දු දුන්නේ. නැවත ඉල්ලන්න පුළුවන් විනිශ්චයකාරවරුන් හත් අට දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයකින් විභාග කරන්න කියල.


ප්‍රශ්නය- ඒ සඳහා ඔබලා කටයුතු කරනවද?


පිළිතුර- ඔව්. ඒ වෙනුවෙන් අපි කටයුතු කරගෙන යනවා. ඒ සියලු තොරතුරු දැන්ම හෙළි කරන්න අවශ්‍ය නෑ.


ප්‍රශ්නය- ඔබ කිව්වා රට දඩාවතේ යන්නේ කියලා. නමුත් තව දින කිහිපයකින් කොවිඩ් එන්නත ලංකාවට ගෙන්වනවා කියලා ආණ්ඩුව කියනවා.


පිළිතුර- ඇත්ත වශයෙන්ම කොහෙන්ද ගෙන්වන්නේ කියලා මෙයාලා අපිට කියන්නේ නැහැනේ. කොහෙන්ද එන්නේ? මට නම් මේක එනකම් විශ්වාස නෑ. මට නම් පේන්නේ මේගොල්ලෝ අපට දෙන්න යන්නේ අර චීනෙ හදපු එකයි රුසියාවෙ හදපු එකයි. බ්‍රිතාන්‍යය හා ජර්මනිය හදපු එන්නත් අපට හම්බවෙන්නේ නැහැ. මොකද චීනයෙනුයි රුසියාවෙනුයි ණයට ගන්න පුළුවන්නේ. මේගොල්ලන්ට එන්නත ගෙන්වන්නවත් සල්ලි නෑ. මිලියන දහදාහක් ඕනැ කියනවා. ඒ ගැනවත් හොයාගන්න බැරි තත්ත්වයක ඉන්නේ. අපි පාර්ලිමේන්තු​වේදී පෙන්නුවා සීනි බදු මුදල අඩු කරලා ආණ්ඩුවට මිලියන දහ දාහක පාඩුවක් වුණා. ඒක තිබ්බා නම් ආණ්ඩුවට මුදල් ප්‍රශ්නය එන්නේ නැහැ. බදු අඩු කළා කියලා පාරිභෝගිකයාගේ මිල අඩු වුණේ නැහැනේ.


ප්‍රශ්නය-කොටස් වෙළෙඳපොළ ඉකුත් සතියේ පෙර නොවූ විරූ ලෙස ඉහළ ගියා. රටේ ආර්ථිකය සුබවාදී පැත්තට හැරිලා කියලා ඔබට සිතෙන්නේ නැද්ද?


පිළිතුර- කොටස් වෙළෙඳ පොළේ වටිනාකම නීත්‍යානුකූලව ඉහළ ගිහිල්ලා තියෙනවා නම් ඒක හොඳයි. ඒක ගැන අපි සතුටු වෙනවා. මේක කෘත්‍රිම ඉහළ යාමක්ද කියලා බලන්න ඕනෑ. පිටරටවල තියෙන කළු සල්ලි සුදු කිරීමේ මාර්ගයක් තමයි කොටස් වෙළෙඳපොළ. සමාගමක් කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි කරනවා. ඒවට කොටස් මිලදී ගන්නවා. රුපියල් 10 වට්ටමට රුපියල් 20ට මිලදී ගන්නවා. ටික කාලයකින් ඒවා වැඩි මිලට විකුණනවා. ඒ නිසා බලන්න ඕනැ මේක කෘත්‍රිම ඉහළ යාමක්ද කියලා. 2010-2015 ආණ්ඩුව කාලෙත් එහෙම වුණානේ. පම්පින්-ඩම්පින් ක්‍රමය යටතේ මේ ගොල්ලෝ ලියාපදිංචි සමාගම්වල කොටසක් රුපියල් 10යි නම් ඒ කොටස 20ට මිලදී ගත්තා. ඒවා රුපියල් 100ට ඊටීඑෆ් එකට වික්කා. ඒ සමාගම්වලට රුපියල් 80ක් ලාභයි. ආයෙමත් තව ටික දවසක් යනකොට ඒ කොටසම රුපියල් 50ට අඩු වුණා. එතකොට ඊටීඑෆ් එකට රුපියල් 30ක පාඩුවක් වුණා. මේ සැරේ බලන්න ඕනැ මේ කොටස් මිලදී ගන්නේ කවුද කියලා.


ප්‍රශ්නය- වරාය නැගෙනහිර ජැටිය බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නෑ කියලා ආණ්ඩුව කියනවා. ඒ සටන් පාඨයත් ඉවරයි.


පිළිතුර- ඔය පර්යන්තය දෙන්න වුණේ චීනය අනවශ්‍ය විදියට ළං කර ගත්ත නිසානේ. චීනයට මේ වරායවල් දුන්නාම ඉන්දියාව කිව්වා ඔයගොල්ලෝ චීනයට දෙනවා නම් අපිටත් කෑල්ලක් දෙන්න කියලා. මේක මේ වැරැදි විදේශ ප්‍රතිපත්තිය. මේ ගොල්ලෝ චීනය අනවශ්‍ය විදියට ළං කර ගත්තා. පෝට්සිටිය හදන්න දුන්නා.

හම්බන්තොට වරාය හැදුවා. ඉතින් ඉන්දියාව කිව්වා අපිටත් කෑල්ලක් දෙන්න කියලා. 2000 වෙනකම් චන්ද්‍රිකාත් පාලනය කළානේ. චන්ද්‍රිකා ඔය කිසිම දෙයක් දුන්නේ නැහැනේ.


ප්‍රශ්නය-වරායේ නැගෙනහිර ජැටිය ගැන කතා කරන්න හම්බන්තොට වරාය විකුණද්දී අත් උස්සපු ඔබලාට අයිතියක් තියෙනවද?


පිළිතුර- ‘අපි වික්කෙ නැහැනේ. අපි 99 අවුරුද්දට ලීස් එකක් දුන්නේ. විකුණන්න නම් කවදාවත් දෙන්නේ නෑ. පෝට් සිටියත් සින්නක්කරම දීලා තිබුණේ. අපි ඒකත් 99 අවුරුද්දකට හැරෙව්වා. හම්බන්තොට වරායත් එහෙමයි. මේ ගොල්ලෝ සියයට 49ක් විකුණනවා. අපි කිසිම දෙයක් වික්කේ නැහැ. මේ අය චීනය අනවශ්‍ය විදියට ළංකර ගත්ත නිසා තමයි ඉන්දියාව කලබල වුණේ.


ප්‍රශ්නය-සමගි ජන බලවේගය තුළ හිටපු චම්පික රණවක දැන් වෙනම ගමනක් යන බව පේනවා?


පිළිතුර- එයා නම් කියන්නේ වෙනම ගමනක් නොවෙයි කියලනේ. ඒක එයාගෙන් අහන්න ඕනැ එකක්. එයාගේ හිතේ තියෙන දේවල් අපට කියන්න බැහැ. නමුත් එයා අපට කිව්වේ ‘ඒක වෙනම ගමනක් නොවෙයි. සමගි ජන බලවේගයත් එක්කම ඉදිරියට යන ගමනක් කියලා.


ප්‍රශ්නය-ඔබලාගේ ඊළඟ ඉලක්කය මොකද්ද?


පිළිතුර- 2024 දී තමයි ජනාධිපතිවරණය එන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕනැ. ලබන අප්‍රේල්වලදී තමයි ප්‍රාදේශීය සභා මැතිවරණය එන්නේ. පළාත් සභා මැතිවරණය තියයිද කියලා කියන්න බෑ. අපේ වැඩපිළිවෙළ නම් මුලින්ම එන්නේ පළාත් සභා නම් ඒක. එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා මැතිවරණය එනවා නම් ඒකට සංවිධානය වීමයි. ඒක මේ මීටර 100ක් දිවීම නොවෙයි. තව අවුරුදු හතරක් තියෙනවනේ. දැන්ම මේ කලබලවෙලා බලවේග හදලා වැඩක් නෑ. මැතිවරණය ඉවරවෙලා මාස හයයි. එහෙම බලවේග හදන්න බෑනේ. මේකේ ටිකක් ඉන්න ඕනැ. මේකට ටිකක් යන්න අරින්න ඕනැ.


අපි බලාපොරොත්තු වෙන්නේ මුලින්ම එන මැතිවරණයට හොඳින් මුහුණ දෙන්නයි. අපි ඒකට වැඩ කරගෙන යනවා. අපි අපේක්ෂකයන්ගෙන් අයැදුම්පත් කැඳවනවා. අපි ඒකට ලෑස්ති වෙනවා. හැබැයි ඔය සමගි ජන බලවේගයෙන් පිට බලවේග හදන එක කලින් වැඩියි. මේක මීටර 100ක් දුවන එකක් නොවෙයි. මේක මැරතන් එකක්. මම පාඨලීගෙන් ඇහුවම පාඨලී මට කිව්වේ සමගි ජන බලවේගය තුළම ගෙනියන ව්‍යාපාරයක් කියලා.


ප්‍රශ්නය-චම්පිකගේ 43 වැනි සේනාංකය එළි දක්වපු උත්සවයට ඔබට ආරාධනාවක් ලැබුණද?


පිළිතුර- නෑ. අපට ආරාධනා කරලා තිබුණේ නැහැ.

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්