තුන් වතාවක් සතුරන්ගෙන් දිවි බේරාගත්තා

 

අප්‍රිකා-සහරා කලාපයේ පිහිටි මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල යෙ දී සිටි ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ අකල් මරණ හේතුවෙන් ඔවුන්ගේ ඥාතීහූ තවමත් කම්පාවට පත්ව සිටිති. මේ එම හමුදා සාමාජිකයන් දෙදෙනා පිළිබඳ නෑසියන්ගේ මතක සමුච්චයකි. 


මියගිය කපිතාන් ජයවික්‍රම පුතුන් සිව් දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් පිරිමි දරුවායි. ඔහුගේ බාල සහෝදරයින් තිදෙනාද ආරක්ෂක අංශවලට සම්බන්ධ අයවීම විශේෂත්වයකි. 


මෙම රණවිරුවා පවුලේ තවත් පුතුන් දෙදෙනකු ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳි සේවය කරන අතර, බාල පුතු නාවික හමුදාවේ සේවය කරනු ලබයි. පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය මහ ගොවි ජනපද ව්‍යාපාරයට අයත් පුලස්තිගම බී. ඕ. පී. 398 ප්‍රදේශයේ දෙවැනි පරපුරේ ගොවියකු වන හමන්ගොඩ ජයවික්‍රම (61) මහතා කපිතාන් ජයවික්‍රමගේ පියාණන්ය. 


පාබල හමුදාවට උප ලුතිනන්වරයකු ලෙස සේවයට බැඳුණු ඔහු දියතලාව යුද හමුදා පුහුණු පාසලේ පුහුණුව නිමවා ඉන් අනතුරුව වැඩි කාලයක් රාජකාරිවල නිරතව ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වලය. වසර 30 කට ආසන්න කාලයක් අප රටේ පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මාතෘ භුමිය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දියත් කළ මෙහෙයුම්වලදී ත්‍රස්ත ප්‍රහාරයන්ට ගොදුරුව කපිතාන් ජයවික්‍රම මීට පෙර තුන් වතාවක් දිවි බේරාගෙන ඇත්තේ අනූ නවයෙන් බව ඔහුගේ රණවිරු සොහොයුරෝ අප සමඟ කියා සිටියහ. 


කිලිනොච්චිය, නන්දිකඩාල් වැනි සටන් පෙරමුණුවලදී ඔහු බරපතළ ලෙස තුවාල ලබා ඇති බවද අපට දැන ගන්නට ලැබුණි. එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් සම්බන්ධ කර ගනු ලැබූ අවස්ථාවේ කපිතාන් ජයවික්‍රම එහි ගොස් ඇත්තේ 2017 දෙසැම්බර් මාසයේදීය. එහි වසරක සේවා කාලයි අවසන් කර නැවත ඔහුට දිවයිනට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය වසරේ (2018) දෙසැම්බර් මාසයේදි. නමුත් තවත් මාස හයකින් ඔවුන්ගේ සේවා කාලය දීර්ඝ කර ඇති බව කියති. ඒ අනුව ඔහුට යළිත් මෙරටට පැමිණෙන දිනය මේ වසරේ මැයි මාසය තෙක් දිගුවී ඇත. 


කපිතාන් ජයවික්‍රමගේ අම්මා ප්‍රේමකාන්ති මහත්මිය සිය පුතු ගෙදර එන දිනය උදාවන මැයි මාසය වන තෙක් ඇඟිලි ගනිමින් සිටි බව අප ඔවුන්ගේ නිවෙසට ගොඩ වැදුණු මොහොතේ දැන ගන්නට හැකිවිය. 


එපමණක් නොව මිය ගිය කපිතාන්වරයා මෙරට පැමිණි පසු ඔහුගේ විවාහ මංගල උත්සවය ද ගැනීමේ සූදානමක් තිබූ බව කපිතාන් ජයවික්‍රමගේ රණවිරු සොහොයුරෙකු අප සමඟ කීය. 

 

 

පොලොන්නරුව ක.ග. කරුණාරත්න සහ හිඟුරක්ගොඩ පී. ඒ. පියතිලක 

 

 

 

 


මහත්තයට ඕනෑ වුණේ දුවල දෙන්න හොඳට හදා ගන්න

 

“මේ සිද්ධිය වුණා කියන වෙලාවට හරියටම පැය භාගයකට විතර ඉස්සර වෙලත් මගෙ මහත්තය මට කතා කළා. එයා හැමදාම කතා කරනවා. කතා කරන හැම වෙලාවෙම එයා දුවලා දෙන්න ගැන තමයි අහන්නෙ. එයාට ඕනෑ කළේ දුවලා දෙන්නට හොඳට උගන්වන්න. දැන් ලොකු දුවට අවුරුදු අටයි. දුව ලොකු ළමයෙකු වෙන්න ඉස්සර ගේ වැඩ ඉවර කර ගන්නත් එයා හීන දැක්කේ. අනේ ඉතිං ඒ හීනත් එක්කම එයා අපට නැති වුණා. “ 


තම ආදරණීය දූවරුන් දෙදෙනා ද තුරුලු කර ගෙන සිහින් හඬින් මෙසේ ඉකිබිඳින්නේ පසුගිය 25 දින උදෑසන අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ සාම සාධක ක්‍රියාන්විත රාජකාරී කටයුතුවල නියැළෙමින් සිටියදී බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොල්පිතිගම, රාවඇළ, බටුයාය නම් ගම්මානයේ විසූ එස්. සමන්ත විජේසේකර කෝප්‍රල්වරයාගේ ආදරණීය බිරිඳ වන සුනේත්‍රා මල්කාන්ති මහත්මියයි. 


අට හැවිරිදි වැඩිමහල් දියණිය කඳුළු පිරි දෙනෙතින් මව දෙස බලා සිටින අතර සිදුව’ ඇති ඛේදවාචකය පිළිබඳ හරිහැටි වටහා ගත නොහැකි තවමත් තුන් වැනි වියේ පසුවන කුඩා දියණිය නොනවත්වා ඉකිබිඳින මව හා සිය සොහොයුරිය දෙස වික්‍ෂිප්තව බලා සිටින්නීය. 


 නොනවත්වා සිහින් හඩින් වැළපෙන ඇය මෙසේ ද කියන්නීය. 


මහත්තය හමුදාවේ වැඩ කළාට එයා හරිම නිහඬ කෙනෙක්. ඒ වගේම එයා හරිම උණුවෙන හිතක් තිබුණ කෙනෙක්. එයා මට නිතරම කියනවා යුද්ධය නිසා අනාථ වුණ අයට ඒ අය නිතරම කෑම ගිහින් දෙනවා කියලා. අපේ දුවලා වගේ ළමයි බඩගින්නෙ ඉන්නව දකින එයා හුඟාක් වෙලාවට එයාගෙ කෑම එක ඒ ළමයින්ට දීල බඩගින්නෙ ඉන්නව කියල එයා කියනවා. 


එහෙම ඔයා බඩගින්නෙ ඉන්න එපා අසනීප වෙයි කියලා මම කිව්වාම එයා කියන්නෙ ඒ අසරණ ළමයි දැක්කාම මට මගෙ දුවලා මතක් වෙනවා. එතකොට ඒ ළමයි බඩගින්නෙ ඉද්දි මට කන්න බෑ. ඒ නිසා කෑම එක දීල බඩගින්නෙ ඉන්නවා. මම වගේම අපේ අනික් අයත් ඒ ළමයින්ට අපේ කෑම පාර්සලය දීල බඩගින්නෙ ඉන්නවා කියල එයා කියනවා. අනේ ලොකු දුව ඉගෙන ගන්නෙ හතර වසරේ. 


පොඩි දුව තවම මොන්ටිසෝරිවත් යන්නෙ නෑ. මේ දරුවෝ දෙන්නට මම තාත්ත කෙනෙකුගේ අඩුව කොහොම සම්පූර්ණ කරන්න ද? 


පසුගිය 25 වැනි දින පෙ.ව. 6.30 ට පමණ මාලි රාජ්‍යයේ ඩුඑන්සා නම් කාන්තාර ප්‍රදේශයේදී කෝප්‍රල් සමන්ත විජේසේකර ඇතුළු පිරිස ගමන්ගත් W.M.Z වර්ගයේ සංග්‍රාමික රථය ඉලක්ක කර ගනිමින් එල්ල වූ බිම් බෝම්බ ප්‍රහාරයකින් මෙම අනතුර සිදුවිය. එහිදී කෝප්‍රල් සමන්ත විජේසේකර සමඟ ඔහුගේ අණ දෙන නිලධාරියා ද ජීවිතක්‍ෂයට පත් වූහ. තුවාල ලැබූ තවත් ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් තිදෙනෙකු රෝහල් ගත කර ඇත. 


තිස්හත් වැනි වියේ පසුවූ කෝප්‍රල් විජේසේකර මහතා 2001 වසරේදී යුද හමුදාවේ පළමු වැනි යාන්ත්‍රික බළඇණියට එක්වී ඇත. යුද හමුදාවේ සේවය කළ කාලයෙන් වැඩිම කාලයක් ක්‍රියාන්විත සේවයේ යෙදී සිට ඇති විජේසේකර මහතා 2009 අවසන් යුද්ධයට ද සහභාගිව ඇත. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ සටනේ දී බිහිසුණු අවස්ථා ගණනාවකට මුහුණ දුන්නද සමන්තට කිසි දිනෙක තුවාල සිදුව නොමැති වීම විශේෂත්වයකි. 


සන්නද්ධ රථ ක්‍රියාකරුවෙකු ලෙස සේවය කළ සමන්ත 2017.12.24 දින මාලි රාජ්‍යයේ සේවයට ගොස් ඇති අතර වසරක සේවා කාලය හමාර කර 2018.12.24 දින ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටිය ද ශ්‍රී ලංකාවෙන් හමුදා කණ්ඩායමක් එහි යන තුරු ඔවුන්ගේ ආපසු පැමිණීම ප්‍රමාද වී ඇත. 

 

සොවින් තැවෙන බිරිය සහ දියණියන් දෙදෙනා

 

 


තිදෙනෙකුගෙන් යුතු පවුලක එකම පිරිමි දරුවා ලෙස උපන් සමන්ත සිය ගම වන රාවඇළ කනිෂ්ඨ විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්ව යුද හමුදා සේවයට එක්වී ඇත. 2009 වසරේදී කුරුණෑගල, ඉඳුල්ගොඩකන්ද පදිංචි සුනේත්‍රා මල්කාන්ති මහත්මිය සමඟ විවාහ දිවියට එළඹ ඇති සමන්ත විජේසේකර ඉතාම නිහතමානී, අනෙකාගේ දුකෙහිදී කම්පා වෙන හදවතක් තිබූ පරිත්‍යාගශීලී අයෙකු බව ඔහුගේ මිතුරෝ පවසති. හමුදා සෙබළෙකු ලෙස ඉතා දුෂ්කර රාජකාරියක නිරත වුවද ඉතාම නිවුනු සුහදශීලී පුද්ගලයෙකු වූ ඔහු නිවාඩු ලබා ගමට පැමිණෙන සෑම අවස්ථාවකදීම ගමේ පොදු කටයුතුවල දී කැපවීවෙන් දායක කටයුතු කරන අයෙකු බවද ප්‍රදේශවාසීහූ පවසති. 
වසර 18 ක සේවා කාලයෙන් වසර 15ක් පමණම උතුරු, නැගෙනහිර ක්‍රියාන්විත සේවයේ කටයුතු කර ඇති සමන්ත යුද බිමේ දැක්වූ නිර්භීත බව හා විනයගරුක බව නිසාම එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවයට එක් වීමට සුදුස්සෙකු විය. 


සිය රට තුළ ඉතා බිහිසුණු යුද්ධ ගණනාවකට සහභාගි වී ජීවිතය ආරක්‍ෂා කර ගත් ඔහු මව් බිමට කිලෝමීටර් දහස් ගණනක දුරින් පිහිටි යුද බිමක සාමය ස්ථාපිත කිරීමට ගොස් දිවියෙන් සමු ගෙන යාමට සිදුවීම අවාසනාවකි. 


සමන්ත විජේසේකර මහතාගේ දේහය ලබන මස 3 දින ශ්‍රී ලංකාවට ගෙන්වීමට නියමිතව ඇත.

 

 

 

යාපහුව සුනිල් කහගල්ල