IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නැඳුන්ගමුවේ රාජා සුබ නැකතින් දළදා පෙරහරට පිටත්වෙන හැටි

 

මහනුවර ශ්‍රී දළදා පෙරහරේ කරඬුව වැඩම කරවීම සඳහා නැඳුන්ගමුවේ රාජා හස්තියා පසුගිය 14 වැනිදා පෙ.ව. 9.32ට යෙදුණු සුබ මොහොතින් නැඳුන්ගමුව හර්ෂවිජය වෙද රාළහාමිගේ නිවසින් පිටත්විය. රාජා මෙවර දළදා කරඬුව වැඩම කරවන්නේ 12 වැනි වරටය. 


පසුගිය 2016 වසරේ දළදා පෙරහරේ අඛණ්ඩවම 11 වැනි වරටත් කරඬුව වැඩම කරවූ රාජාට පසුගිය වසරේ ජුලි, අගෝස්තු කාලයේදී ඇති වූ අසනීප තත්ත්වයක් මත පෙරහර කටයුතුවලට සහභාගිවීමට අවස්ථාව නොලැබිණි. නමුත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන රාජා මෙවර පෙරහර සඳහා කලින් සිටම සූදානම් විය. 


පෙරහර කටයුතු සඳහා සහභාගි වීමට පෙර රාජා හස්තියා වෙනුවෙන් චාරිතානුකූලව පැවැත්වෙන ආගමික වතාවත් පසුගිය 14 වැනිදා නැඳුන්ගමුව වෙද නිවසේදී පවත්වන ලදී. එහිදී මහා සංඝරත්නය රාජාට ආශිර්වාද පතා පිරිත් දේශනාකර රාජාගේ ගෙලෙහි පිරිත් නූල් ගැට ගසන ලදී. පිරිත් දේශනය සාවධානව අසා සිටින රාජා පසුව මහා සංඝරත්නයට දණනමා ආචාර කරයි. රාජාට සුබපැතීම සඳහා ප්‍රදේශයේ විශාල ජනතාවක් නැඳුන්ගමුවේ වෙද නිවසට පැමිණෙති. එහිදී රාජාට ප්‍රණීත ආහාර සංග්‍රහයක් ද ලැබෙයි. 


අනතුරුව නැඳුන්ගමුව විදුහල අසල පිහිටි බුද්ධ මන්දිරය අභියසට ගොස් තම බුද්ධ වන්දනාව සිදුකරන රාජා ස්නානය සඳහා බැළුම්මහර ප්‍රදේශයට යයි. එහි පැයක් දෙකක් පමණ හොඳින් ස්නානය කරන රාජා කිලෝමීටර් සියයකට අධික වූ මහනුවර බලා යන ගමන ආරම්භ කරයි. කොළඹ - මහනුවර මාර්ගයේ එක් පසෙකට වන්නට ශාන්ත විලාසයෙන් ගමන් ගන්නා රාජා තම පළමු නවාතැන්පල ලෙස එදින රාත්‍රිය ගත කරන්නේ නිට්ටඹුව විද්‍යාරවින්ද මහ පිරිවෙන් විහාරස්ථාන භූමියේය. 


විහාරාධිපති ගලපිටමඩ ඉන්ද්‍රනන්ද නාහිමියන් ඇතුළු සංඝරත්නයේ ආශිර්වාදයට ලක්වන රාජා එතැනින් නික්මී පසුදින දංඕවිට දක්වා ගමන් කරයි. ඊට පසුදින නෙළුම්දෙණියටත්, රන්වල දුණුකොළ වලව්ව භූමියේත්, පසුව ගනේතැන්න රජමහා විහාර භුමියේත් නැවතී පසුව හිඟුල ප්‍රදේශයේදී හොඳින් පිරිසිදු වී මහනුවර ශ්‍රී දළදා මාලිගා භූමියට ළඟාවෙයි. 


නැඳුන්ගමුවේ රාජා හස්තියා අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි. පිළියන්දල නීලමහර වෙද පරපුරට අයත් හිමිනමක් වෙත රාජා පරිත්‍යාගයක් ලෙස ලැබුණේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ මහාරාජා කෙනෙකුගෙනි. මහාරාජාගේ ඥාතියෙකු මානසික රෝගියෙකු වී සිටියදී එය නිට්ටාවටම සුවපත් කළ වෙද හාමුදුරුවන්ට නැඳුන්ගමුවේ රාජාත්, නවම් රාජාත් ලැබිණි. පසුව මෙහි එක් අලි පැටවෙක් නැඳුන්ගමුවේ ධර්මවිජය වෙද රාලහාමි විසින් මිලට ගත් පසුව නැඳුන්ගමුවේ රාජා ලෙසත්, අනෙක් ඇත් පැටවා හුණුපිටිය ගංඟාරාමය විසින් මිලට ගත් පසු ‘‘නවම්රාජා’’ ලෙසත් නම් කරන ලදී. 


‘‘නවම්රාජා’’ වසර කීපයකට පෙර මිය ගියේය. නැඳුන්ගමුවේ රාජාට ද මේ වනවිට වසර 70 ඉක්මවා තිබුණද රාජා තුළ ඇති නිරෝගී කමේ ප්‍රධාන හේතුව වන්නේ රාජා කිසිදිනක වාහනයකින් ප්‍රවාහනය නොකිරීමයි. මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙණිය වැනි ඈත ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර මංගල්‍ය සඳහාත්, බෙල්ලන්විල හා ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර කටයුතු සඳහාත් රාජා ගමන් කරන්නේ පාගමනින් වීම නිසාත් රාජාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට හැකිවිය. 


නැඳුන්ගමුවේ රාජා වසරකට පාගමනින් ඇවිද යන කිලෝමීටර් ගණන දහසකට (1000) අධිකය. රාජා මේ වනවිට හැත්තෑවිය ඉක්මවා සිටිය ද පා ගමනින් යන ප්‍රමාණය අඩු වී නැත. එහෙත් එදා මෙන් නොව අද වනවිට මහාමාර්ග අසල පිහිටා තිබුණු විශාල ගස් කපා දමා කොළඹ - නුවර මහා මාර්ගය ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින නිසා රාජාට මහත් රස්නයක් දැනෙයි. රාජා තද අව්වේ ගමන් කිරීමට අකමැතිය. මේ නිසා ගම්පහ සිට මහනුවරට යන ගමනේදී මෙන්ම රත්නපුරයට යන ගමන්වලදී රාජාට මහත් වෙහෙසක් දැනෙයි. මේ නිසාම රාජා නිතර තෙමන්නට මෙන්ම පානීය ජලය ලබාදීමට නිතර කළ යුතු වෙයි. 


දැනට යුදහමුදා සෙබළුන් දහයක් හා මහා මාර්ගයේ ගමන් ගන්නා විට පෙර ගමන් පොලිස් යතුරු පැදියක් ද රාජා සමග ගමන් කිරීම රාජාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් හොඳ පියවරකි. මහා මාර්ගයේ ගමන් ගන්නා විට තමන්ට කෙතරම් රශ්නයක් හා පීඩාවක් දැනුණත් මාර්ග නීතිවලට ගරු කරමින් ගමන් කිරීම රාජාගේ සිරිතයි. මංසන්ධිවල දැල් වී ඇති රතුපාට සංඥාවලදී නැවතී තම වාරය එනතුරු බලා සිටීමට තරම් රාජා ඥානවන්තය. කොළ එළිය දැල් වූ පසු රාජා තම ගමන යළි ආරම්භ කරයි. 


රාජාව වසර 18ක් තිස්සේ බලා කියා ගන්නා ප්‍රධාන ඇත්ගොව්වා වන විල්සන් කොඩිතුවක්කු හා රාජා හස්තියා අතර පවතින්නේ ද මනා සබඳතාවකි. කොඩිතුවක්කු මහතා යම් කාරණාවක් නිසා හෝ මද වේලාවක් නතර වූවහොත් රාජා ද ක්ෂණිකවම නවතියි. ඇත්ගොව්වා යළි එනතුරු රාජා බලා සිටියි. එසේම කොඩිතුවක්කු මහතාට යම් කරදරයක් හෝ අසනීපයක් දැනේනම් රාජා තම අවධානය යොමු කරයි. 


පසුගිය 15 දින නිට්ටඹුව විද්‍යාරවින්ද මහා පිරිවෙනේ නැවතී සිට යළි ගමන් ආරම්භ කිරීමට තිබුණේ විනාඩි කීපයකි. විල්සන් කොඩිතුවක්කු මහතා බුලත් විටක් කෑමෙන් පසු ‘‘මත්’’ විය. ඔහු තරමක් අසීරුතාවට පත්විය. එම ස්ථානයේ රැදී සිටි සංඝයා වහන්සේලා වහා කොඩිතුවක්කු මහතාව පසෙකට රැගෙන ගොස් ඔහු පුටුවක වාඩි කළේය. වතුර ඉස්සේය. පවන් ගැසුවේය. තමා බලා ගන්නා තම මිතුරාට කරදරයක් බව වටහා ගත් රාජා කමින් සිටි දේ පසෙක දමා ඒ දෙස බලා සිටියේය. කොඩිතුවක්කු මහතා ප්‍රකෘති තත්ත්වයට පත්වෙනතුරු රාජා ඒ දෙස ඉතා දුකින් බලා සිටියේය. රාජාගේ ශරීරයේ ඇති වී ඇති තුවාල කීපයක් සෝදා පවිත්‍රකර එහි බෙහෙත් ගල්වනවිටත්, රාජා කොඩිතුවක්කු මහතා කෙරෙහි මහත් භක්තියකින් එකක්පස්ව සිටිනු දක්නට ලැබිණි. 


12 ​වැනි වරටත් දළදා කරඬුව වැඩම කරවීම සඳහා රාජා හස්තියා මේ වනවිට ගමන් ආරම්භ කර තිබේ. යක්කලින් ආරම්භ කළ ගමන දින 5 -6ක් තිස්සේ මහනුවර දක්වා රාජා ගමන් කරයි. මේ ලිපිය කියවන විට සෙනසුරාදා දින මාවනැල්ල පසුකර කඩුගන්නාවත්, හිඟුල ප්‍රදේශ පසු කරමින් රාජා ගමන් ගනිමින් සිටියි. ජාතික වස්තුවක් සේ සැලකෙන රාජා හස්තියා දැකබලා රාජාට ​ඔබේ ආශිර්වාදය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු. 

 

 

 

 

දොම්පේ - අජිත් මදුරප්පෙරුම
වාරණ - ආනන්ද ඉ. ජයකොඩි



අදහස් (0)

නැඳුන්ගමුවේ රාජා සුබ නැකතින් දළදා පෙරහරට පිටත්වෙන හැටි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31096 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 42 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site