IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අපේ ගෙදර විදුලියවත් තිබුණේ නැහැ, මගේ වීරයා මගේ තාත්තා

2016-08-05-ent-36

පුංචි තිරයේ නිතර දකින අපිට ඉන්න දක්ෂ නළුවෙක් ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ. ඉදිරියේ දී සිනමාව හරහාත් ප්‍රේක්ෂක ඔබට සමීප වෙනවා. ඉතින් අපට හිතුණා අප සමඟ කතා බහකට ඉසුරු සම්බන්ධ කරගන්න.

 

මේ දවස්වල කොහොමද වැඩ කටයුතු?

2016-08-05-ent-35දෙදුන්නයි ආදරේ, සී රජ, කොළඹ අපි ආවා, එතකොට යකඩ කහවුණු මේ නාට්‍යවල වැඩ කරගෙන ඉන්නවා.

 

ඔබ හඬ කැවීම් කටයුතු කරන කෙනෙක්. මේ දවස්වල කරන චරිත?

ඔව්, අධිරජ ධර්මාශෝක නාට්‍යයේ ජස්ටින්ට හඬ ලබාදෙනවා. ඒ වගේම Blacklist කියන TV series එකටත් හඬ ලබාදෙනවා.

 

පුංචි තිරයේ නිතර දකින ඔබ අපිට සිනමාවෙන් දකින්න නැද්ද?

පුළුවන්. මගේ පළමු සිනමා නිර්මාණයේ වැඩ කටයුතු අවසන් වුණා. සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ රන් සයුර චිත්‍රපටය හරහා. එහි මා එක්ක රඟපානවා වසන්ත කුමරවිල, හිමාලි සිරිවර්ධන, රැවන්ගි රත්නායක, ලබන වසර මුලදී එය නරඹන්නට පුළුවන් ආදරණීය ප්‍රේක්ෂකයින්ට.

 

ඔබ චරිත තෝරාගන්නේ කොහොමද?

මට චරිතයකට කතා කළාම මම බලන්නේ ඒ චරිතය කළුද සුදුද කියලා නෙවෙයි. මට දෙයක් කරන්න පුළුවන්ද ඒ හරහා ප්‍රේක්ෂකයාට දෙයක් ලබාදෙන්න පුළුවන්ද කියන එක. මොකද ඔබත් දන්නවා ගොඩක් අය තමන්ගේ ප්‍රතිරෑපයට හානියක් වෙයි කියලා සමහර චරිත භාරගන්නේ නැහැ. මම එහෙම නැහැ. මේ අවුරැදු නවයක කාලය තුළ මම විවිධ චරිත කළා. එකම චරිතයක කොටු වුණේ නැහැ. ඉදිරියටත් මම එහෙමයි චරිත තෝරා ගන්නේ. මට ඕන දක්ෂ හොඳ චරිතාංග නළුවෙක් වෙන්න.

 

මෙතෙක් රඟපෑ චරිත අතරේ ඔබ කැමතිම චරිතය?

ඔහොම අහද්දීම මට මතක් වෙන්නේ ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍ය. එහි මා කළ පීටර් කියන චරිතය.

 

ඒක පාතාලයට සම්බන්ධ මැර චරිතයක්නේ?

මෙහෙමයි, මම කැමති නැහැ ඒ චරිතය මැර චරිතයක් කියනවට. මොකද ඒ පුද්ගලයින් මිනී මරන්නේ, පාතාලයට සම්බන්ධ වැඩ කරන්නේ තව කෙනෙක්ගේ වුවමනාවට. සමහර විට එයාලගේ ළමා කාලය ගත්තොත් අපේ ළමා කාලයටත් වඩා සුන්දර අහිංසක කාලයක් ගත කරපු අය. නමුත් එක එක අයගේ අතකොළු බවට පත්වෙලා එයාලා මේ තත්ත්වයට පත්වෙන්නේ. ඉතින් මම අහන්න කැමතියි. ඒ අයට මැරයින් කියනවානම් එයාලව මෙහෙයවන අයට මොකක්ද කියන්නේ. කියමනකුත් තියෙනවනේ ළිඳට වැටුණොත් ගොඩට එන්න ඕනේ ළිං කටින්ම කියලා. මම මෙහෙම කියන්නම්කෝ ඇයි අපි ගෙදර බල්ලෙක් හදන්නේ ගෙදරට එන මිනිසුන්ට අපිට ඔරවන්න සැරකරන්න බැරි නිසානේ. අන්න ඒ වගේ තමා තමාට කරන්න බැරි දේවල් කරන්න තමා මේ පුද්ගලයින් යොදවන්නේ. මම ස්තූතිවන්ත වෙනවා සාරංග මෙන්ඩිස් මහතාට මාව පීටර් කියන චරිතයට ගත්තට. ඒ වගේම දැන් නාට්‍ය විකාශය වෙලා අවුරැදු දෙකකට වැඩියි නමුත් ගිනි අවි සහ ගිනි කෙළි කියලා තවමත් FB page එකක් තියෙනවා. ඒ කියන්නේ තවමත් ඒ චරිත මිනිස්සු අතර මතකේ තියෙනවා.

 

මෙතෙක් රඟපෑ චරිත අතරේ ඔබට වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු චරිතය?

ඔය දේ සාපේක්ෂයි. නමුත් දෙදුන්නයි ආදරේ කියන නාට්‍යයේ ධනුෂ්ක කියන චරිතයට බාල තරුණ වැඩිහිටි හැමෝම ආදරෙයි. මොකද පීටර් කියන චරිතය ගත්තොත් එක්තරා පිරිසක් හිටියේ නමුත් ධනුෂ්ක කියන චරිතයට හැමෝම ආදරෙයි.

 

හැමෝම ආදරේ කරන ඉසුරුට ආදරය කරන්න කෙනෙක් ඉන්නවද?

එදා ඉඳලා අද දක්වාම මම ආදරෙන් පැරදුණු කෙනෙක්. හැබැයි කියන්න ඕනේ මේ දේ අනිවාර්යෙන්ම මාව දාලා ගිය හැමෝටම ගොඩාක් ස්තූතියි. මොකද ඒ නිසා තමා මම ජීවිතේ ඉගෙන ගත්තේ සහ අද මේ තැන ඉන්නේ. පළමු ආදරය ජයගත්තා නම් අද මම මෙතන නැහැ. මාතරට වෙලා දරුවෝ දෙන්නෙක් විතර හදාගෙන සාමාන්‍ය රැකියාවක් කරගෙන ඉඳීවී.

 

ආදරයෙන් පැරදුණු නිසාද කලාවට සම්බන්ධ වෙන්නේ?

නැහැ, මගේ පළමු ආදරය කියන්නේ පාසැල් ප්‍රේමයක් O/L කරන කාලේදී. මම උසස් පෙළ කරන්න හිටියේ කලා අංශයෙන් නමුත් මම යාළුවෙලා හිටිය ගෑනු ළමයා කිව්වා කලා අංශයෙන් නම් කරලා වැඩක් නැහැ ගණිත අංශයෙන් කරමු කියලා. මාත් ඉතින් තිබ්බ ආදරයට ගණිත අංශයෙන් ඉගෙන ගත්තා. එයා උසස් පෙළ සමත් වුණා ඉහළින්. මට බැරි වුණා. ඊට පස්සේ මොකද වුණේ. මෙන්න මෙයා මාව දාල ගියා. ඉතින් අද තමා මට තේරෙන්නේ ඒ ආදරය නිසා වුණ දෙයක් නෙවෙයි මගේ මෝඩකම නිසා වුණ දෙයක් කියලා. ඉතින් ඒ විරහවත් එක්කම මම යුද හමුදාවට බැදුණා. මම මේ දේ කියන්නේ පත්තරේකට පළමු වතාවට. මම යුද හමුදාවෙන් ඉවත් වෙද්දී ලුතිතන්වරයෙක්. මා එක්ක හිටපු අය අද ඉහළ තනතුරැවල.

 

කොහොමද යුද හමුදා ලුතිතන් විදියට හිටපු ඔබ කලාවට එන්නේ?

මම කොහොමත් කලාවට ළැදියි. කලාවට ආදරය කරන කෙනෙක් එදා ඉඳන්ම. මම නැටුම් විතරයි කළේ නැත්තේ අනිත් කලාවට සම්බන්ධ හැමදේම කළා. මම හමුදාවේදීත් නාට්‍ය කළා. මගේ සමකාලීන අය දන්නවා ඒ ගැන. ඉතින් මම යුද හමුදාවෙන් ඉවත් වුණාට පස්සේ තමා මේ කලාවට එන්නේ. මම නයි නටවන එකයි හිරමන පීරී ගාන එක ඇරෙන්න හැම රස්සවක්ම කරපු කෙනෙක්. මම කරපු හැම රස්සාවකටම වඩා අද මේ කරන කලාව ගැන තෘප්තිමත්. මම හිතනවා මගේ ඉරණම ලියවිලා ඇත්තේ කලාකරැවෙක් වෙන්න කියලා.

හැබැයි පුංචි දුකක් තියෙනවා හමුදාවේදී අපි කණ්ඩායමක් විදියට අපි ගත කරපු කාලය ගැන මතක් වෙද්දී. ඒ තුළින් ලැබුණු පන්නරය නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ දේ තමයි මේ වෙනකම් මගේ කොඳුනාරටිය වෙලා තියෙන්නේ. ඕනෙම ප්‍රශ්නයකට මුහුණදෙන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා නම් ඒ මගේ අම්මා තාත්තා අයියා දුන්නු හයිය සහ හමුදාවෙන් ලැබූ පන්නරය. ඒ නිසා මේ මොහොතේ ඒ සියලු දෙනා ආදරයෙන් මතක් කරනවා.

 

ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

මම මාතර නිදංගල කියන පොඩි ගමේ ඉපදුණු කෙනෙක්. අපේ ගෙදර විදුලියවත් තිබුණේ නැහැ. මගේ වීරයා මගේ තාත්තා. ඒ හැරැණමත් මට වීරයෙක් හිටියා. ඒ අපේ ගමේ එක බස් එකේ වැඩ කළෙ බස් රියදුරැ. මම ඉස්සර කියන්නේ කවදාහරි රියදුරැ කෙනෙක් වෙනවා කියලා. මොකද මම දැකපු ලෝකය ඒක. මම යන්නේ බැටරි පෙට්ටිය උඩ. මට එක මහා ලොකු දෙයක්. අපිට TV එකක් තිබ්බේ නැහැ. ඉතින් නළුකම දැකලා තිබුණේ නැහැ. නමුත් පෙර ආත්මයක සිට අරගෙන ආපු හැකියාවක් තියෙන්න ඇති ඉතින් අද ඉන්න තැන ගැන පුදුම සතුටක් තියෙන්නේ. හැබයි මම ගමන ඇවිත් ඉවර නැහැ. පටන් ගත්තා විතරයි. තාමත් ඉගෙන ගන්නවා තව දුර යන්න ඕනේ මට.

 

සම්මාන ගැන මොනවගේ අදහසක්ද තියෙන්නේ?

මම හොඳම නළුවා කියන සම්මානයට නම් පුදුම ආසාවක් තියෙන්නේ. කවද හරි දවසක මට ඕනේ ඒ හොඳම නළුවා කියන සම්මානය ලබාගන්න. ලැබෙයිද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඒ දේ ලබාගන්නවා කියන අධිෂ්ඨානය තියෙනවා.

 

අනාගත බලාපොරොත්තු?

මේ රටේ ඉන්න දක්ෂ චරිතාංග නළුවෙක් වීම තමා. මගේ රංගන ක්ෂේත්‍රයේ වීරයා ජෝ අබේවික්‍රම මහතා. මට මතක් වෙනවා එතුමා කියපු මේ දේ. දක්ෂතාවය රාමු කරලා බිත්තියේ එල්ලන්නත් බෑ සම්මාන වලින් මනින්නත් බෑ, ඉතින් මම උත්සහ කරනවා ජෝ මහත්තයා වගේ කෙනෙක් වෙන්න.

 

අනුෂා රණසිංහ සේයාරූ I FB

 

DESHAYA

 

2016-08-05-ent-34



අදහස් (0)

අපේ ගෙදර විදුලියවත් තිබුණේ නැහැ, මගේ වීරයා මගේ තාත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 893 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 993 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site