(ඩයනා උදයංගනී)

අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත‍්‍රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප‍්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ.

දෙස් විදෙස් විශේෂඥයින් කණ්ඩායමක් යොදවා මීට වසරකට පමණ ඉහතදී, විශ්ව පාරමී පදනම මගින් සිදුකළ තත්ත්ව පරීක්‍ෂාවකදී චූඩා මාණික්‍යයේ සහ පාදමේ වර්තමාන තත්වය, එයට සිදුවී ඇති හානිය සහ එ සඳහා ගත යුත ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කළ බව කී උන්වන්සේ ඒ අනුව මෙම කටයුතු සිදුකෙරන බව ද සඳහන් කළහ.

චූඩා මාණික්‍යය මේ වන විට බොහෝ සෙයින් පළුදු වී, ඉරි තැලී, දුර්වර්ණව ඇති බව මෙන්ම චූඩා මාණික්‍යය වැඩසිටින රන් කොත් වහන්සේගේ ද තඹ කොටස් සම්බන්ධ වන්නාවූ ස්ථාන ඈත්වී වෙන්වී ඇති බව සිදුකරන තත්ත්ව පරීක්ෂාකවේදී තහවුරු වූ බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ පැවසූහ.

පල්ලේගම හේමරතන නා හිමියෝ මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

නව චූඩා මාණික්‍යයක් සැකසීම දියමන්තිවලට පමණක් දෙවැනි වන රොක් ක‍්‍රිස්ට්ල් නම් පලිඟු පාෂණය සැපයීමේ සහ කැටයම් කිරීමේ කටයුතු සඳහා අංක එකේ ආයතනය ලෙස හැඳින්වෙන  ඕස්ටේ‍්‍රලියානු  සමාගම හරහා ලබාගත් ඉතා වටින දුර්ලබ පලිගුවක් යොදාගෙන එම සමාගමෙහි සිදුවන බව කී උන්වහන්සේ චූඩා මාණික්‍යය සම්බන්ධ කෙරෙන පාදම නිර්මාණය ලෝක ප‍්‍රසිද්ධ සිංගප්පූරු සමාගමක් වෙත පවරා තිබෙන බව ද පැවසූහ.

පිරිසිඳු රත්තරන් කිලෝ ග‍්‍රෑම් 28 කට වැඩි බරකින් යුතුව හැඩ ගන්වන ලද ස්වාභාවික නිල්මැණික් සහ රතුමැණික් ගල් 4,300 ක් ඔබ්බවමින් මෙම රන් පාදම නිර්මාණය කෙරෙන බව ද උන්වහන්සේ පැවසූහ.

මෙම රන් පාදමසහිත චූඩා මාණික්‍යය මෙරටට වැඩමවා මහසෑයේ තැන්පත් කිරීමට පෙර සියලූම බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකිවන සේ නොවැම්බර් 18 සහ 19 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ”මිහිලක මැදුර” පරිශ‍්‍රයේ තැන්පත් කර තබා 20 වැනිදා පෙරවරුවේ අනුරාධපුරයට වඩමවනු ලබන බව ද පල්ලේගම හේමරතන හිමියෝ සඳහන් කළහ.

20 වැනිදා පස්වරුවේ සිට 22 වැනිදා පෙරවරුව තෙක් එය රුවන්වැලි සෑ භූමියේ සුවිශේෂී කුටියක් තුල තැන්පත් කර එය මහජනතාවට වැඳ පුදාගැනීමට සළස්වන බව කී හේමරතන හිමියෝ රුවන්වැලි මහසෑයේ පැළඳවීමට සුදුසු සුභ වේලාවක් සකස් කිරීම දෙස් විදෙස් ජ්‍යොතිර්වේදීන්ට පවරා ඇතැයි ද පැවසූහ.

රුවන්වැලි සෑයෙහි දැනට පවත්නා චූඩාමාණික්‍යය සහ පාදම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබාගෙන පෞරාණික වස්තුවක් ලෙස එම භූමියේම මහ ජනතාවගේ වන්දනා මාන සඳහා තැන්පත් කිරීමට බලාපොරොත්තු වන බව ද රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී හිමියෝ ප‍්‍රකාශ කළහ.

මෙය ශතවර්ෂ ගණනාවකට පසු මෙරට සිදුවන ඉහළම පිංකමක් වන අතර එයට කිසිඳු දේශපාලන මැදිහක්වීමක් නැතැයිද උන්වහන්සේ කීහ.

‘‘දුටුගැමුණු මහ රජු ඉදිකළ රුවන්වැලි මහාසෑය මේ දක්වා ආරක්‍ෂා වුණේ විවිධ රජවරුන්ගේ හා රජයන්ගේ මැදිහත්වීමෙන් සිදුකළ ප‍්‍රතිසංස්කරණ නිසයි. මෙය ඉදිකිරීමේදීත් මහ රහතන්වහන්සේලා සම්බන්ධ වූ බව ථූපවංශයේ දැක්වෙනවා. එමෙන්ම මෙම කටයුත්තේදීත් ආධ්‍යාත්මික ශක්තීන් ඇති උතුමන්ගේ දැවැන්ත සෙවණැල්ල ලැබී තිබෙනවා.

රුවන්වැලි සෑ මලූවේ ඉදිකළ විශාල පලංචිය ගැනත් විවිධ මත පළවුණා. මෙම චෛත්‍යයේ සියල්ල පිළිබඳව මමත් අටමස්ථානාධිපති හිමියෝත් ජාතියට වගකිව යුතුයි. අපි මෙම තීරණ ගන්නේ එය සියැසින් දැකබලාගෙනයි. දැන් අපි දෙදෙනාම වයස්ගත නිසා උණගස් දිගේ චෛත්‍ය මුදුනට නගින්න බැහැ. ඒ නිසා මෙම පලංචිය ඉදිකළා. එයත් ලබන ජනවාරියට පෙර මලූවෙන් ඉවත් වේවි. මෙහි සිළුමිණ පලූදු වී තිබියදී ගර්භය පමණක් සුන්දරව තබාගැනීම කළ නොහැකි බව සිරිනිවාස නා හිමියන් තීරණය කළේ එය සමීපයට ගොස් දැකබලාගෙනයි.

සියලූ සංස්කාර ධර්මයන් අනිත්‍ය බව බුද්ධ දේශනාවයි. වත්මන් චූඩා මාණික්‍යය වසර 80ක් ආරක්‍ෂා වුණා. අපි අලූතින් තැන්පත් කරන මාණික්‍යය වසර 100ක්වත් පවතිනු ඇතැයි අපි විශ්වාස කරනවා. මෙම ඓතිහාසික කාර්යය අපේ ජීවිත කාලය තුළ ඉටුකිරීමට ලැබීමම වාසනාවක්. මේ ගැන නොදැන විවේචන කර පව් පුරවා ගන්නට එපා යැයි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.’’

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම පළාතේ ප‍්‍රධාන සංඝ නායක, අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියෝ  රුවන්වැලි මහ සෑයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවල උපදේශකත්වය දරන ගැමුණු සිල්වා මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

(ඡයාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නයක)