ලෝකයේ පැවැත්ම ගැන අලුත් සාකච්ඡා ගණනාවක් ආරම්භ වී තිබේ. කොවිඩ්-19 වයිරසයේ බලපෑමට ගොදුරු වූ ආර්ථිකය හදාගැනීම ගැන එහි පළමු තැනට පත්ව ඇත. නිෂ්පාදනය, වෙළෙඳාම හා සේවා අංශ පිරිහීමක පවතින විට ආර්ථිකය ගැටලු සහගත තැනක බව අවිවාදිතය. ප්‍රතිසංස්කරණ යෝජනා සෑහෙන ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබේ. මෙතෙක් පැවැති ගමන් මගක් තිබේ. එය ව්‍යසනයකට මුහුණ පා ඇත. නැවත නැගී සිටිනු අරමුණු කරගෙන වෙනස්කම් කළ යුතුය. බටහිර ක්‍රමය නැගිටින විට බර අඩු කරගැනීමය.

කෙතෙක් බර ඇදගෙන ගිය මානව සම්පත කිසිම අනුකම්පාවකින් තොරව සේවයෙන් ඉවත් කරයි. එකී පියවර සඳහා අනුකූල වන සංස්කෘතියක් හා නීති පද්ධතියක් එම රටවල තිබේ. බටහිර ක්‍රමය සුදුසු බව සිතන මෙරට ප්‍රතිපත්ති සම්පාදකයෝ ද කප්පාදුව ගැන කතා කරන සාකච්ඡා ආරම්භ කර ඇත්තාහ. දහස් ගණනින් සේවකයන් ඉවත්කරන අතර වැටුප් හා දීමනා අඩු කරන පියවර ගැන අවධානය යොමු කර ඇත. තද තීරණ නොගතහොත් නැවත වර්ධනයකට අවස්ථාව හදා ගත නොහැකි බව දක්වති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතාම විශිෂ්ට තැනක තිබුණේ නැත. 2019 වසරේ වර්ධනය සියයට 2.3 කි. වසර ආරම්භයේ ශ්‍රී ලංකා මහ බැංකුව සියයට හතරක වර්ධනයක් අපේක්ෂා කළේය. එය ළඟා කරගැනීම අසමත්වීම අනෙක් ගැටලුවකි. මෙතැනට වඩා තවත් පහතට වැටෙන්නට ඉඩක් නැත. කොවිඩ්-19 බලපෑම කොපමණ තියුණු නමුත් එය නැවත පිළියම් කරගත හැකි එකක් බව පැහැදිලිය. මෙම පිළියම ඉදිරියේ කළ යුතු වැඩ පිළිවෙළ පැත්තක තිබිය දී කාර්ය මණ්ඩලය ඉවත් කිරීම පළමුවෙන් අවධානයට ගැනෙන්නේ මන්ද? රාජ්‍ය අංශය සේවකයන් ඉවත් කිරීමට සූදානමක් නැත. කවර අපහසුතා මධ්‍යයේ පවා ඉදිරියට ගමන් කිරීමට තීරණය කර තිබේ. එයට හේතුව ඉවත්කරන පිරිසක් වෙතොත් එය හා සමග රට තුළ ඇති විය හැකි ප්‍රශ්න බව පෙනේ. පෞද්ගලික අංශයට එවැනි අදහසක් නැත. විරුකියාව, දරිද්‍රතාව සහ සමාජ නොසන්සුන්තාව වැනි රට තුළ මතු විය හැකි මූලික ප්‍රශ්න ඔවුන්ට ගැටලුවක් නොවේ. ඒවා ආණ්ඩුව බලාගත යුතු ආණ්ඩුවක වගකීම් බව හිතන බව පෙනේ. එහෙත් එය සම්පූර්ණයෙන්ම නිවරැදි අදහසක් නොවේ.

දැනට වාර්තා වන කරුණු අනුව කාර්ය මණ්ඩලය ඉවත්කරන පළමු වෙඩිමුරය එල්ල කිරීමට ඇඟලුම් කර්මාන්ත අංශය සූදානම්ය. තුනෙන් එකක් පමණ සේවකයන් ඉවත් කිරීමෙන් තොරව පැවැත්ම ආරක්ෂා කරගත නොහැකි බව දැනටමත් ආණ්ඩුවට දැනුම්දී ඇතැයි අනාවරණය වී තිබේ. සේවක පිරිස පවත්වාගෙන නැවත නිෂ්පාදන ඇරඹීමට මාස තුනක වැටුප් රජයෙන් ගෙවිය යුතු බව ඇඟලුම් කම්හල් හිමියන් යෝජනා කර ඇති බව හෙළිවෙයි. සංචාරක, ව්‍යාපාර හා වෙනත් නිෂ්පාදන අංශ පවා නුදුරු කාලයේ මෙම තීරණය අනුගමනය කරන්නට බැරි නැත.

මෙරට කර්මාන්ත හා ව්‍යාපාර කොවිඩ්-19 ආර්ථික ප්‍රහාරය එල්ලවන කාලවකවානුව තුළ තිබුණ තත්ත්වය ද තේරුම් ගැනීම වැදගත්ය. එම ව්‍යුහය සමාලෝචනය කරන විට මෙරට පෞද්ගලික ව්‍යවසාය ඉතා ප්‍රයෝජනවත් වාසි ලබා තිබේ. කිසිම පර්යේෂකයකු ගණන් බලා හෙළිදරව් නොකිරීම මෙහි ඇති වරද  බව සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම සොයා බලා නිවැරදි විග්‍රහයක් කිරීම ස්වාධීන ආර්ථික පර්යේෂකයන් සතු යුතුකමකි.

ඇඟලුම් අංශය සලකා බැලුවහොත් මෙම කම්හල් සිය කාර්ය මණ්ඩලයට අවුරුදු අත්තිකාරම් ගෙවා නැත. එම මුදල සාමාන්‍යයෙන් එක මාසයක වැටුප් පිරිවැයට සමානය. අනෙක මෙම අර්බුදය පදනම් කරගෙන මෙම වසරේ වැටුප් වර්ධකය හා වාර්ෂික බෝනස් ගෙවන්නේ නැත. එය අපේක්ෂා කළ හැකි තත්ත්වයකි. පෞද්ගලික අංශයට එය කදිම අවස්ථාවකි. ඇඟලුම් අංශය පමණක් නොව කාර්ය මණ්ඩලයක් සහිතව වැඩ කරන සියලු සේවා ස්ථානයකම සාමාන්‍ය රාමුව මෙයට නොවෙනස්ය.

මෙම අතිරේක වියදම් වෙනුවෙන් සෑම ආයතනයක්ම බැංකු ණය අයිරා අයැදුම් කරන අතර එයට පොලියක් ගෙවිය යුතු බව නොරහසකි. සෑම ආයතනයක්ම පොලී බර රහිතව සේවක වරප්‍රසාද පැත්තකට කළ හැකි තැනකට අවතීර්ණ වී සිටී. අනෙක වැඩ නොකරන ලද කාලසීමාව තුළ වියදම බරපතළ සේ පහත වැටී තිබේ. විදුලිය, ජලය, දුරකතන, අන්තර් ජාල, ප්‍රවාහන හා ආහාර යනාදී වශයෙන් සෑම වියදමක් ද බිංදුවට වැටී තිබේ. සුළු පිරිසක් සේවය කළ තැන්වල එය සුළු වියදමකි. සෑම නිෂ්පාදන ආයතනයකම විදුලිය බිල සෑහෙන කොටසකි. කාර්ය මණ්ඩලය සතුටින් තබාගෙන නිෂ්පාදන ඉලක්ක සාර්ථක කරගනු සඳහා සෑම ඇඟලුම් කම්හලක්ම සිය කාර්ය මණ්ඩලයට නවාතැන්, ආහාර හා ප්‍රවාහනය සපයන ලද බව නොරහසකි. මෙම වියදම් නතර වී තිබේ. ඇඟලුම් අපනයනයට බාධා ඇතිකරන ලද නමුත් වියදම අවම වන පසුබිමක අද පවතින තත්ත්වය දරාගත නොහැකි එකක් නොවේ.

අමතක කර ඇති තවත් ප්‍රධාන කරුණක් ඇත. වත්මන් ආණ්ඩුව 2020 වසර සඳහා බදු සහන රාශියක් හඳුන්වා දුන්නේය. එයින් මහා භාණ්ඩාගාරයට අහිමි වූ ආදායම රු. බිලියන හත්සියයකට ආසන්න බව ප්‍රකාශ වී ඇත. දුර්වලතා මැඩ නැගී සිටින අරමුණ ඇතිව ආණ්ඩුව අවදානමක් ගත් අතර බදු අඩුකර ඒවා ආයතන හා ජනතාවගේ අතට පත් කළේය. ජනතාව අතට ලැබුණ දෙයින් පරිභෝජනය වැඩිවනු ඇති අතර ආයතනික අංශවලට ලැබුණ බදු සහන අනුව එයින් ඉතිරි කරගන්නා ධනයෙන් අලුත් ආයෝජන ඇතිවනු ඇතැයි උපකල්පනය කරන ලද බව පෙනිණ. අද වන විට කොවිඩ් ආර්ථික අර්බුදය බව හුවා දක්වා සහන ඉල්ලන සියලු සමාගම් මෙකී බදු සහන භුක්ති විඳිමින් සිටී.

මෙකී සහන අනුව මෙයින් ඉදිරියට වැට් බද්ද සඳහා වන අනුපාතිකය සියයට අටකට සීමා කර තිබේ. වැට් අය කරන සීමාව වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියනයක සිට මිලියන විසි පහ දක්වා නංවා ඇත. එය සියලුම ව්‍යාපාර, කර්මාන්ත හා සේවාවලට අදාළය. ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කර ඇත. ආනයනයේ දී අය කළ ජාතිය ගොඩනැගීමේ බද්ද හා වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද යන දෙකම එකතු කර එය සියයට දහයක් කර ඇත. ආර්ථික සේවා ගාස්තුව ඉවත් කර තිබේ.

බැංකු හා මූල්‍ය ආයතන මත පනවා තිබුණ හර බද්ද ඉවත් කර ඇති අතර කොටස් වෙළඳ පොළ මත පැනවෙන ප්‍රාග්ධන ලාභ බද්ද ඉවත්කර ඇත. සහාධිපත්‍ය එනම් මහල් නිවාස පැවරීමේ දී අය කළ දේපල බද්ද ආණ්ඩුව මගින් ඉවත් කරන ලද තවත් බද්දකි. විදුලිය සංදේශ බද්ද සියයට විසි පහකින් අඩු කෙරේ. මෙම අංශයෙන් සියයට තිස් හතක බද්දක් අය කරමින් තිබුණ අතර කෘෂි, ධීවර සහ සත්ව පාලන අංශවලින් ආදායම් බදු අය කරන්නේ නැත. ඉදිකිරීම් අංශයේ ආදායම් බදු ගණනය කිරීම මෙතෙක් අය කළ සියයට 28 ක ප්‍රතිශතය සියයට 14 ක් බවට පත් කළේය. මේවා වාසි නොවේද? පෞද්ගලික අංශය එතෙක් ආණ්ඩුවට ගෙවමින් තිබුණ බර තරමක් ඉහිල් වූ බව තක්සේරු කළ නොහැකිද?

අනෙක් අතට කොවිඩ්-19 වයිරසය බලපෑම සමග තවත් සහන පෞද්ගලික අංශයට ලැබී ඇත. මූල්‍ය වසර වෙනුවෙන් ගෙවන බදු තවදුරටත් ගෙවන නිශ්චිත දිනයක් නැත. ආදායම් බදු දෙපාර්තමේන්තුව නියම කරන තෙක් කාර්තුවේ බදු ගෙවිය යුතු නැත. වාර්ෂික වාර්තා ඉදිරිපත් කළ යුතු කාල වකවානු වෙනස් කර තිබේ. බැංකු ණය ගෙවීමට සහන සැපයේ. මාස හයක සහනයක් ඇති අතර එම කාලය තුළ පොලිය පමණක් ගෙවිය හැකිය. මෙම වාසි පමණක් නොව කසළ ඉවත් කිරීමට වැය කළ මුදලක සිට සියලු වියදම් අඩු වී තිබිය දී කාර්ය මණ්ඩලය බරක්වීම බරපතළ ගැටලුවකි.

ශ්‍රී ලංකාව බටහිර අන්ධානුකරණයට නතු විය යුතු නැත. මෙරට සංස්කෘතිය හා පැවැත්ම වෙනස්ය. ආයතනයක සේවය කරන කාර්ය මණ්ඩලයේ බැඳීම ඉතා හෘදයාංගමය. සේවකයෝ ඉතා කැපවීමෙන් වැඩ කරති. අප කල්පනා කළ යුතු තමන් සමග එකට දුක සැප බෙදා ගත් කෙනකු ගඟට තල්ලුකර තමන් ගැලවීම ගැන නොවේ. එකට එකතු වී එක ශක්තියෙන් පියාපත් විදහා දැල උසුලාගෙන විපතෙන් ගැලවෙන ක්‍රමය අනුගමනය කිරීමය. අවශ්‍යනම් සමාලෝචකයකට පසු වියදම අඩු කරන පොදු පියවර වෙනුවෙන් ආණ්ඩුව සමග සාකච්ඡා කිරීම අනෙකකි. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අනෙකකි.

 

(***සාරා කන්දෙගොඩ)