
(ඩයනා උදයංගනී)
පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී පදිංචිය සහතික කිරීම සඳහා ඔප්පුවක් නොමැති අවස්ථාවලදී වසර පහක් අඛණ්ඩව ඡන්ද නාමලේඛනයේ නම සඳහන් වීමත්, ප්‍රදේශයේ ග්‍රාම සේවක ඇතුළු අදාළ බලධාරීන් විසින් පදිංචිය තහවුරු කිරීමත් ප්‍රමාණවත් බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළු කිරීමේදී ඔප්පුවක් ඉදිරිපත් කළහොත් ලකුණු 20ක් ලබාදෙන බවත්, එසේ ඔප්පු නොමැති වීමෙන් පාසලට ඉතා ආසන්නයේ පදිංචි දරුවන්ට පවා පාසල අහිමි වන බවටත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පැවැසීය.
එබැවින් නිශ්චිත ඔප්පු නැති අය වෙනුවෙන් මෙම නීතිය ඇතුළත් චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මීට අමතරව ඉදිරියේදී පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වවුචර වෙනුවට මෙරට නිෂ්පාදිත රෙදි ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද කැබිනට් ප්‍රකාශකවරයා කීවේය.
ඒ අනුව ලබන වසරේ සිට පාසල් දරුවන් ශ්‍රේණි අනුව කාණ්ඩ 6කට බෙදා රෙදි ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.
එලෙස කාණ්ඩ 6කට බෙදා රෙදි කැපීමේදී විශාල රෙදි ඉතුරුවක් සිදුවන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
දේශීය රෙදි නිෂ්පාදකයන් එම රෙදි නිපදවීම ආරම්භ කර ඇති අතර ලබන ජනවාරි අවසානය වනවිට පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට හැකිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
COMMENTS
අනේ ළමයින්ට ඉගෙන ගන්න දෙන්න. අපිට ඕනෑ කුඩු විකුණන අයගේ ගෝලයෝ හදන්න නෙමෙයි. කාලකණ්ණි දේශපාලකයින්ගේ පස්සෙන් යන ඇම්බැට්ටයෝ හදන්නත් නෙමෙයි. රටට සෙතක් කරන්න පුළුවන් පරපුරක් හදන්න.
එකෙන් නොවෙයි, වැඩේ පටන් ගන්නේ දෙකෙන්. දෙකේදී මේ මොකවත් ඕනෑ නැහැ. ලක්ෂයක්, දෙකක් දුන්නාම වැඩේ ගොඩයි. අම්බලන්ගොඩ කුලරත්න විදුහලේ බොහෝ පන්තිවල නාම ලේඛන දෙක දෙක තියෙනවා. නොදන්න කෙනෙක් නැහැ. වැඩේ යන්නේ සල්ලිවලට බව. ලේකම් සහ නිලධාරීන් අම්බලන්ගොඩ පැත්තේ ආවාම විදුහල්පති තමයි කන්න බොන්න දෙන්නේ. කලාප කාර්යාලයේ තියෙන හැම උත්සවයකටම වියදම් කරන්නේ විදුහල්පති. මෑතක් වෙනකම් පවත්වාගෙන ගිය නීති විරෝධි පන්ති පහෙන් වසරකට උපයා ගත් මුදල කෝටියකට වඩා වැඩියි. පරීක්ෂණයක් කරන්න. මම එන්නම් විමර්ශනය කරන හැටි කියලා දෙන්න. දකුණු පළාත් සභාවෙදි මේ ප්‍රශ්නේ ඇහුවාම අහපු මන්ත්‍රීන්ට මොනවද දීලා වැඩේ ෂේ්ප් කර ගත්තු බව කවුරුත් දන්නවා. ඇත්තටම විදුහල්පතිවරු බොහොමයක් ඉන්න ඕනෑ විදුහල්පති පුටුවේ නොවෙයි. හිර ගෙවල් වල. ඒත් එහෙම වෙන්නේ නැහැ. පව් පලිසන් දෙන්න.., තව පව් එකතු වුණාම. එක ගුරෙක් ඉන්නව නෝනට කාර් එකයි. එයාට කාර් එකයි. දරුවෝ ඇමරිකාවේ ඉගෙන ගන්නේ... දෙන්නා දෙපාරට තමයි දරුවො බලන්න යන්නේ. කාගෙද මේ සල්ලි? අර ළමයි පාසලට දාන්න ගන්න සල්ලි. මේවා මහ ඇමති නොදන්නවා නොවෙයි. හැම ඇමතිම දන්නවා. ඒ නිසා හොරුන්ට ඔප්පුව එච්චර කොක්කක් නොවෙයි. හැබැයි පලදෙනවා මයි. ටිකක් කල් යයි.
සියල්ල වාණිජකරණය හමුුවේ අධ්‍යාපනය පමණක් එසේ නොවේ යැයි කිව නොහැක, මාගේ විශ්වාසයට අනුව ජනප්‍රිය පාසැල්වලට ළමුන් ඇතුළත් කිරීමට ඒ ආසන්නයේ සිටින ළමුන්ට මූලික වශයෙන් අවස්ථාව ලබාදී යම් කෙනෙක් කැමති නම් සාධාරණ මුදලක් පාසලට ගෙවා ළමයෙක් ඇතුළත් කිරීමට අවස්ථාවක් ලැබිය යුතුයි. අධ්‍යාපනය නිදහස් නම් තමන් කැමති පාසලක ඉගෙන ගැනීමේ අයිතිය තිබිය යුතුයි. මොකද ලංකාවේ පැවති ක්‍රමයට අනුව පාසලේ නමත් එක් එක් අවස්ථා යටතේ එහි ලබන අධ්‍යාපනයට වඩා ඔහු හෝ ඇය ගිය පාසලට රැකියාව, දේශපාලනය ක්‍රීඩාව වැනි බොහෝ දේ තීරණය කරනු ඇත...
ඔප්පු බැලුවේ නැත්තම් නියමෙට තියේවි. ග්‍රාම සේවක අල්ලා ගන්න කෙනා ගොඩ.