නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයට අවස්ථා ගණනාවක් ගියද සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වූ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලක් මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා එම කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

පෙර රජදවසේ රජවරුන් වෙස් වළාගෙන මහජනයා අතර ගැවසුණු බව සඳහන්ය. එම ගැවසීමේ අරමුණ මහජනයාගේ ප්‍රශ්න ගැටලු හඳුනාගැනීම නොව රට්ටු තමන් ගැන කියන කතා සෘජුවම අසා දැන ගැනීමට විය හැකිය. කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණ චාරිකා අතිශයින්ම වැදගත්ය. මන්ද යත් රටක සංවර්ධන ක්‍රියාන්විතයේදී ඉහළ සිට පහළට සිදුවන සන්නිවේදනය මෙන්ම පහළ සිට ඉහළට සිදුවන සන්නිවේදනයද අතිශයින් ප්‍රයෝජනවත් වන හෙයිනි. විශේෂයෙන්ම අප වැනි රටක සමාජයේ බිම් මට්ටමේ ඇත්ත හඬ ඉහළට සන්නිවේදනය වීම දුර්ලභය. එනිසාම රටේ පාලකයාට රට පිළිබඳව නියම පින්තූරය දැකීමට අවස්ථා නොලැබේ. ජනාධිපතිවරයාගේ හදිසි නිරීක්ෂණ චාරිකා වැදගත් වන්නේ එහෙයිනි.

ප්‍රමාණවත් තරම් කාර්ය මණ්ඩලයක් නොමැති බව කියමින් නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාරාහේන්පිට කාර්යාලයේ නිලධාරීන් සිය රාජකාරී අවශ්‍යතාව ඉටුකිරීමට අපොහොසත් වූ බවට කාන්තාවක ජනාධිපතිවරයාට පැමිණිලි කළ බව එම ප්‍රවෘත්තියේ සඳහන්ය. ජනාධිපතිවරයා එම කාර්යාලයේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ‘ඔයගොල්ලෝ මොනවද මේ කරන්නේ’ යනුවෙනි. එම නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ ‘දැන් අද මෙතැනට ආවම එළවලා ඊයෙත් ඇවිල්ලා. අදත් ඇවිල්ලා. එක් කෙනෙක් නොවෙයි දෙන්නෙක්. ඇයි ඔයගොල්ලෝ මිනිස්සු එහෙම එළවන්නේ’ යනුවෙනි.

රාජ්‍ය ආයතනයකට ගොස් රස්තියාදු නොවුණ එකම පුරවැසියකු හෝ මේ රටේ සිටිය නොහැක. බොහෝ රටවල රාජ්‍ය ආයතන සමග සිදු කරන ගනුදෙනු නිවෙස තුළම සිට ‘ඔන්ලයින්’ ක්‍රමයට  සිදු කළ හැකි වුවත් අප රටේ ඒ සඳහා සති ගණන් ඇතැම් විට මාස ගණන් බඩ ගෑ යුතුය. රාජ්‍ය ආයතනයක සේවකයකු වෙනත් රාජ්‍ය ආයතනයකින් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට මෙසේ ‘බඩගෑම’ මගින් එම සේවකයාගෙන් රාජකාරි අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන ජනතාවටද රස්තියාදු වීමට සිදුවේ. මුළු රාජ්‍ය අංශයම අකාර්යක්ෂම සේවාවක් බවට පත්වී තිබෙන්නේ එසේය. එහෙත් තවමත් දහස් ගණනින් රාජ්‍ය සේවයට බඳවා ගනී. රැකියාවට ගිය සැණින් ඔවුන් ගණන් හදා බලන්නේ අමතර දීමනා අතිකාල දීමනා සහ වරප්‍රසාද ගැන මිස වගකීම් ගැන නොවේ.

ඉහත රස්තියාදුව නිසාම රාජ්‍ය ආයතනයකින් අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට යන පුද්ගලයකු එම ආයතනයේ දන්නා හඳුනන කෙනෙකු සිටීදැයි විමසා බලයි. එසේ නොමැතිනම් කීයක් හෝ අත මිට මොළවා තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට පෙළඹේ. මහජනයාට සේවා සපයන ආයතනයක ක්‍රියාකාරිත්වය එසේ වූ විට රටට අත්වන ඉරණම වටහා ගැනීම අසීරු නැත.

ජනාධිපතිවරයා සිදු කළ නිරීක්ෂණ චාරිකාවේදී ආබාධිත පුද්ගලයකුගේ අවනඩුවකටද සවන් දුන්නේය. එම ආබාධිතයා පැමිණ සිටියේ රෝද පුටුවකිනි. ඔහු ජනාධිපතිවරයාට ප්‍රකාශ කර සිටියේ ‘දවස් ගණනක් රස්තියාදු වෙනවා. මෙතැන ඔප්පු ප්‍රශ්නයක් තියෙන්නේ. පොලියත් ලක්ෂ එකහමාරක් ගෙවලා තියෙනවා. මේ අඩුපාඩුව හදලා දෙන්න ජනාධිපතිතුමා කරුණාකරලා. මම උදේ ඉඳලා මේ ඇවිත් ඉන්නේ.’

ආබාධිතයකු සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීම මනුෂ්‍යත්වයට අයිති කාරණාවකි. එහෙත් බොහෝ රාජ්‍ය ආයතනවල එම මනුෂ්‍යත්වයද නැත. බොහෝ රාජ්‍ය සේවකයන්ට රාජ්‍ය අංශය යනු පැය අටක වැඩ දිනයකි. එහෙත් ඔවුන්ගෙන් බොහෝ විට සිදු නොවන්නේද ‘වැඩ’ පමණි. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයා වද නොවෙයි. මන්දයත් මාසික වැටුප කලට වෙලාවට ඔහුගේ අතට පත්වන හෙයිනි.

අවංකව මෙන්ම කාර්යක්ෂමවද කැපවීමෙන් කටයුතු කරන රාජ්‍ය සේවකයෝ බහුතරයක් සිටිති. එහෙත් අශිෂ්ට සුළුතරය නිසා මුළුමහත් රාජ්‍ය අංශයම නිල මැස්සන් පිරි අසූචි වළක් මෙන් පෙනෙන්නට තිබේ. රටේ මහජනයාගේ බදු මුදලින් වැටුප් ලබන රාජ්‍ය සේවකයකුගෙන් එබඳු හැසිරීමක් අපේක්ෂා කළ නොහැකිය. රාජකාරිය දේව කාරියක් මෙන් ඉටුකළ ඉපැරණි සත්පුරුෂ රාජ්‍ය සේවකයන් වනපොත් කිරීම නූතන රාජ්‍ය සේවකයාට වඩාත් වැදගත් වන්නේ එහෙයිනි.

මෙයට මාසයකට පමණ ඉහතදී නිවාස සංවර්ධන අධිකාරියේ හිඟුරක්ගොඩ කාර්යාලයෙන් වාර්තා වූයේ එම කාර්යාලයේ සේවය කරන එක් නිලධාරියකුගේ මංගල උත්සවයට එම කාර්යාලයේ සේවය කරන සියලුම පිරිස සහභාගි වීමට ගොස් සිටි නිසා ජනතාව ඉමහත් පීඩාවට පත්වූ බවය. එදින එක් නිලධාරිනියක පමණක් එහි සිටි බව වාර්තා වූ අතර ඇයද එහි සිට ඇත්තේ මංගල උත්සවයට ගිය අයකු පැමිණෙනතුරු බවය. නිසි පරිපාලනයක් සිදුවන්නේ නම් මෙබඳු සිදුවීම් විය නොහැකිය. එහෙයින් රාජ්‍ය අංශයේ කඩාවැටීමට රාජ්‍ය සේවකයන් මෙන්ම පරිපාලනයද වගකිව යුතුය. ජනතාව ඉල්ලා සිටින්නේ හෘදය සාක්ෂියක් සහිත රාජ්‍ය සේවයකි.

(***)